Sunday, 29 January 2012

විජය කුවේණි - 4




සමහර අභිචාර විධි ඇති වූ හේතුව එහිම පැවසෙතත් බොහෝ විට සමූහ විඥානය විසින් මෙහෙයවන අප්‍රකාශිත හේතුවක් අභිචාර විධියේ උප්පත්තිය විය හැකිය. කුවේණිය; ලිලී පොටර් [කියවන්න හැරි පොටර් කතා මාලාව] කෙනෙකු, කන්නොන් සාමාවක මෙන් කළ ප්‍රේමණීය ජීවිත පරිත්‍යාගය අප ආරක්ෂා කරමින් අවකාශයේ පවතින බව සිතන්නට මම කැමැත්තෙමි.

ප්‍රේමයේ, නොවෙනස් වන බවේ සංකේතය වන දියමන්තිය දිවක් [දිගු කළ දිව ෆැලික සංකේතයකි] නිසා විජය රෝගී විය. වජ්‍රමය දිවක් ඇති දිවි වෙසකින් කුවේණිය පැමිණ විජය ගේ හෘද ය වෙත දිව දිගු කළ බව කුවේණි අස්න කියයි. ගණ ගෝත්‍ර පොදු තිරණයට එකඟව කුවේණියගෙන් වෙන් වූ විජය ගේ අවිඥානය ඔහුට වද දුන්නේ ඔහුගේ පරිකල්පනීය ලෝකය අවුල් කරමිනි. අනාර්ය කුවේණියගේ අවිය වන්නේ ආර්ය මහ දෙවි ඉන්ද්‍ර [ථෙරවාදයේ ශක්‍ර දේව, මහායාන විස්වාසයේ වජ්‍රපාණි]ගේ වජ්‍රායුධයයි. විජයගේ අවිඥානය ඔහු වේදනාවට පත් කරන්නේ මහදෙවි ස්වරූපයෙනි. සෘග් වේදයට අනුව ඉන්ද්‍ර කුලයෙන් නෙරපූවන් නැවත කුලයේ පිහිටුවයි.

[මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරයේ නගර වැනසූ ආර්යයන්ගේ දෙවි වු නිසා ඉන්ද්‍ර දෙවි පුරන්දරනමින්ද හැඳින්වෙයි.]

විජය පඬි රටින් ගෙන ආ කුමාරිකාව හා පෙමින් නොඇළුනා පමණක් නොව ඇය හා කිසිදු කායික සම්බන්ධතාවයක් නොපැවැත්වූ බව රාජාවලිය සඟවතැයි මට සිතේ. එසේ නම්, 'විජය රජුගේ බිසව බඩ වඳ හෙයින්' යනුවෙන් රාජාවලිය පවසන්නේ විජය හා සහවාසයක් නොවී ඉතිහාසයේ නමක් හෝ නැතිව මැකී ගිය කන්‍යා කුමාරියක් ගැනය.

සවැනි පැරකුම්බාවන් කලක් මලයාවේ ස්වර්ණ පුරයේ ගත කළ බවද, එහි බිසවක්ද පුරන්දර නමින් වූ පුතෙකු ද වු බව ඉසිවර පරණවිතානයන් උපුටා දක්වන මහාචාර්ය මුදියන්සේ දිසානායක කියයි. චෙං හෝ ගෙන් උපකාර ලබන පැරකුම්බාවෝ පන්තිස්වසකට පසු ලක එක් සේසත් කරති. කීරවැල්ලේ රන් මැණිකා ගෙන් ලබන පුරන්දර දරුවා ද මිය යයි. ස්වර්ණපුර බිසවගෙන් වෙන් වූ පුරන්දර දරුවන් දෙදෙනාගේ මරණ නිසා සෝ බර වූ පැරකුම්බාවන් වෙත උතුරුමුළ මහ තෙරිඳු [රාහුල උන්නාන්සේ] කුවේණි අස්න හා සිහබා අස්න ලියූ බව ඔහු තව දුරටත් කියයි.

කොහොඹා යක් කංකාරියේ උත්පත්තිය වෙන පඬුවස්දෙව් රජ හට කුවේණියගෙන් පැමිණි දිවිදොස තුරන් කිරීමට මලරජ ඇතුලු තුන් කට්ටුවක් ලංකාවට කැඳවා ගෙන ඒම සඳහන් වෙයි. ඒ මල රජ මොනරයතුරු පැද ගිය බිසව ඇතිකරපු කුමාරයෝ යයි දැනගත යුතුය -රාජාවලිය. සීතාව ගෙ පුත්‍රයා මෙසේ රෝග සුව කිරීම සඳහා කැඳවා එන්නේ ද , ඒ සඳහා රාහු අසුරයා මුල වන්නේ ද වියෝව පිළිබඳ සංකාවෙන් මිදවීම පිණිස ඔවුන් සතු කවර ගුණාංගයක් නිසාද?

යුදයෙන් දිනූ රාම සීතාව රැගෙන ආපසු ගිය බවද, රාවණ රජු කෙබඳු කෙනෙක්දැයි යෙහෙළියක ඇසූ විට කෙහෙල් පතක රාවණ රුව ඇඳි බවද, රාම එනු අසා කෙහෙල් පත ඇඳ යට හෙලූ නමුත් රාවණා බලයෙන් ඇඳ සෙලවුනු බවද, ඒ දුටු රාම සීතාව පිටුවහල් කළ බවද ප්‍රවාද ගතය.

සීතාව පිටුවල් කළ රාම එකී සිත් වේදනාවෙන් උන් බවද, දෙවනුව සීතා හා දරු තිදෙන හමු වූ පසුව සීතාව සිය මව වූ මිහිකත වෙත ගිය බවද රාම සියදිවි නසාගත් බවද තව දුරටත් කියැවේ. වියෝව නම් නුඹටමැ නොව රාම විජය ආදීන්ටද පොදු ධර්මතාවයකැයි කියා පැරකුම්බාවන් සැනසීමට 'භාෂාව' භාවිත කළෝ රාහුළ මහා ස්වාමින්ද්‍රයෝය.

කුවේණියගේ අපූර්ව පෙම් කතාව, ඇයගේ පරිත්‍යාග ශක්තිය කතන්දරයක් බවට පත් වී දනන් තුඩ තුඩ රැව් දෙමින් පරම්පරා අනුයාතව පැමිණ; අභයගිරියට පැමිණි හා අභයගිරියෙන් පිටට ගිය දැනුම හා මුසු වන්නට ඇත. සුවණ්ණ පුරයට, ශ්‍රී විජය පුරයට ගිය භික්ෂූන්, තාපසයින්, වෙණෙඳුන්, දේශාටකයින් විසින් කුවණ්නාවගේ වරුණ ඈත පෙරදිග පැල කරන්නට ඇත.

එනයින් කුවණ්නාව ගුඅන්යින්[චීනය], කුඅන්යින්, කන්නොන්[ජපානය] කුඅන් එයිම්, පරම කුඅන් එයිම් [තායිලන්තය] කුඅන් තෙ ආම්[වියට්නාමය] කුඅන් යුම්[හොං කොං] කබ්යීබ් [යුනාන් කඳුකරය-චීනය] දේවි කුඅන් යිම් [ඉන්දුනීසියාව] හෝ පරම මෛත්‍රිය තාරා [ටිබෙට්] යනුවෙන් මහායානයට කුලවැද්දී සම්භාවනාවට පාත්‍රවූ බව සිතීමටද මම කැමැත්තෙමි. ඇය කුඩා දරුවන්ගේ ද, සමුද්‍රයාත්‍රිකයන්ගේ [විජයගේ] ද ආරක්ෂක දෙවඟනයි. කුවන් යින් සියලු මිනිස්වග නිවන් දකින තෙක් ඔවුන් වෙනුවෙන් සිය නිර්වානය පමා කළ මහා කරුණාවන්තියයි.

ඉතිහාසය ගොඩ නැගෙන්නේ භාෂාව නිසාය. විජය-කුවේණි අමරණීය වන්නේද භාෂාමය විශ්වයක බව මට සිතේ. ඉතිහාසය පුරාවෘත්තය බවටද පුරාවෘත්තය මිථ්‍යාව බවටද පත්වීය යනුවෙන් ජේ ආර් ආර් ටොකීන් 'ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්' හි ලියන්නේ ඒ නිසාය.

කට බොරු කිව්වද දිව බොරු නොකියයි..!

සේයාරුව: වැල්ලෑගල පන්සලේ සූනියම් දේවාලය ඉදිරිපිට 2010 මාර්තු පැවැත්වූ සොකරි නැටුමේ ආඬි ගුරු සොකරි අම්මා සමග ලංකාවට පිටත් වීම. ස්තුතිය ලිෂාන් ට

1 comment:

Hasitha said...

අනර්ඝ පැහැදුම් පෙළක්. ඉතිහාසය අලුත් ආකාරයකට කියවීම මනාව කර තිබෙනවා :)