Saturday 23 November 2013

පත් සිඳුණු වසන්තය [autumn in spring] 2

'මේ විත්තිය රොං එක්ක කිව්වොත් එයා මාව සනසන්න හදාවිද? ගෑණු ළමයි කොහොමටත් ළාමකයි, හොඳටම විස්වාසයි එයා අඬා වැටෙයි, ඊළඟට මං වෙනුවට දුක් වෙන්න ගනී. ඊට හොඳයි නොකියා ඉන්න එක.' මට හිතුණේම මගේ තීරණේ හරි කියලයි.

ඒත් එතකොට ම එයා කාමරේට ආවා. එතකොටත් සූ මුළු කතාවම එයාගෙත් එක්ක කියලා ඉවරයි.

'ඔයා ආයෙමත් මාව අමනාප කළොත් මං කරන්නෙත් අයියා කරපු දේමයි' එයා මට අනතුරු ඇඟෙව්වා, මදිවට තොල් දෙකත් කැටි කරගත්තා. හොඳා! එහෙනම් එයාටත් පුළුවන් තොල් කැටි කරන්න.!

අයියාගේ පියවගත්තු තොල් මතක් වෙලා මට බය හිතුණා.'විහිලුවටවත් එහෙම කියන්න එපා', මම එයාගේ කට වහන්න යනකොට එයා මගේ අත අල්ලලා නැවැත්තුවා.

'අපි ඇවිදින්න යං' එයා කිව්වා. ඒ ගමන්ම ටෙලිග්‍රෑම අරං ඒකෙන් පවන් සලා ගත්තා.
'ගල් කන්දට එහා තියෙන මල් වත්තට යං' මම කිව්වෙ ටිකක් අකමැත්තෙන්.
'බෑ මම එතනට කැමති නෑ, එතන මැලේ වොචර්ව මට අල්ලන්නෑ' එයා නෝක්කඩුවට වගේ ඔලුව අනිත් පැත්තට හරවන ගමන් ටෙලිග්‍රෑම බිම දැම්මා.
'ඔලුව අවුල් කරගන්න එපා' මම කෙඳිරුවා, ටෙලිග්‍රෑම අරන් මගේ සාක්කුවේ දා ගත්තා. 'පිච්ච මල් නිසා මල් වත්ත පැත්තෙ යන එක වැඩිය හොඳයි', මම ඉස්සරහට ගියා.
'ංහාඑයා හිනා වේවී කිව්වා. 'ඔයා කියන ඕන තැනකට'. මම කඩුල්ල වහලා එයා පස්සෙං ගියා.

අල්ලපු ගේක බල්ලෙක් මගෙ ළඟට බුරාගෙන ආවත් පස්සෙ වලිගේ වන වනා ආපහු ගියා.

අපි දෙන්නා පෙළට ඇවිදගෙන ගියා. එයා මාව අතේ දුරින් තියා ගන්න වග බලා ගත්තා. මට එයාව තේරුම් ගන්න අමාරුයි. මොකාට ඒනවද කියලාවත් හිතා ගන්න අමාරුයි.

ආකාසෙ, ගහ කොළ, ගෙවල්, පාරවල්, ඉර එළිය නාලා. වංගු පාරක් එයාගේ හීන්දැරි සරිරේ කන්ද උඩට ගෙනිච්චා. එයාගේ කොට සාය අතරින් පෙනුන කළු පාදජාලා දාපු දෙපය සිනිඳු තාරපාර උඩ නටමින් හැඩ ගමනක් ගියා. 

අපි කනත්ත ගාවට ආවාම එයා එතන එකපාරට නතර වුනා. ඒ කරලා සද්ද නැතුව වැටට හෙත්තු වෙලා ඈත කුරුස පේලියි ඊටත් එපිටින් පෙනෙන සොහොන් ගලුයි දිහාවේ බලාගෙන හිටියා.

මේ වගේ තරුණ කෙල්ලක් මිනී වලවල් ගැන උනන්දු වෙන එක කොයි තරම් අමුතුයිද?

'දැං යං' මම නොඉවසිල්ලෙන් කිව්වා, 'මොනවා කියලා බලන්නද?' එයා හෙලවුණේ වත් නෑ. 'මෙතන වැතිරිලා ඉන්න එක මොනතරම් සාන්තද?' එයාගේ මිහිරි කටහඬින් එකපාරට කිව්වා.

'ඔයා..... ඔයා හිතන්න.........' මගෙම හිතිවිල්ලෙන් මාවම වෙව්ලලා ගියා. මොකක් හරි අසුබ නිමිත්තක් පෙන්නන කළිං එතනින් යන්නයි මට ඕන වුනේ.
'මට වද දෙන්න එපා' එයා කිව්වේ බැගෑපත්ව මිසක් සැරෙන් නෙවෙයි. මගෙ අත එයාගේ සිනිඳු අතින් තදින් අල්ලා ගත්තා.
මම පුදුමෙන් එයා දිහාවේ බැලුවා.

එයාගේ හිත ඇතුළේ මොනව කැරකෙනවද කියලා මට හිතා ගන්න බැරි වුනා!
අපිට කිට්ටුවෙන්ම, සොහොන් ගල් දෙකක් ළඟ මල් වඩම් තිබුණා. එකක් හොඳටම පරවෙලා, අනික අලුත්.
'මේක ඔයාගේ' අලුත් එක දිහාවට ඇඟිල්ල දික් කරලා එයා කිව්වා. 'අරක මගේ' කියලා පර වෙච්ච එක පෙන්නුවා.
'මට තේරෙන්නේ නෑ' මම කිව්වේ එක හිතින්මයි, මට දැනුනා මොකක්දෝ එයාගේ හිතේ තෙරපෙන බව.
'ඔයාට තේරෙන්නෙ නෑ?' එයා මගේ දිහාවට හැරුණේ මහ පණ නැති මන්දස්මිතයකුත් එක්ක. එයා එහෙම හිනා වෙනවා මම මීට කලින් දැකලා නෑ. ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි, එයාට අසනීප ගතියක් තිබුණේත් නෑ. අනික ඒ හිනාව පිළිගන්න අමාරුයි. ඔයින් මෙයින් මට අඬන්න හිතුණා.
'ඔයා කොලොප්පං කරනවා" එයා ඒපාර කැකිරි පලන්න ගත්තා. 'ඔයා වගේ මොළේ තියෙන මසුස්සයෙක් හොඳටම තේරුං ගන්න ඕන.. මගේ අනාගතේ අප්‍රසන්නයි ඒක හරියට අර පරවුණ මල් වගේ' ආපහු එයා පර මල්වඩම පෙන්නුවා.'
'ඔයා අර අළුත් මල්වඩම වගේ, ඔයාගේ අනාගතේ දීප්තිමත්', මල් වඩම් දෙක ගොඩක් කිට්ටුවෙන් තිබුණාට ඒවා එකට නෑනේ - හරියට අපි වගේමයි

මගෙ ඉස්සරහ දීප්තිමත්, මේක සිය වතාවක් විතර අහලා තියෙන කතාවක්. ඒත් මීට කළින් කවදාවත් ඒ කතාව අහපු වෙලාවක මට අඬන්න හිතිලා නෑ.
'ඒක ගැලපෙන කතාවක් නෙවෙයි., මිනිස්සු කවදාවත් මල් වලට ගලපන්න බෑ' මම අමාරුවෙන් හදාගත්තු හිනා මූණක් එක්ක කිව්වෙ එයාව සතුටු කරන්නම නෙවෙයි, මට ඇඬෙයි කියන බයට.
'ඒත් මම මල් වලට ආසයි' එයාට හැම වෙලාවෙම සූදානම් කරපු උත්තරයක් තිබුණා. මට ඒකට උත්තරයක් නෑ.
එයා මල් වලට ආසයි කියපු එක ඇත්ත. එයාගේ කාමරේට ගිය හැම දවසකම මම දැකලා තියෙනවා නානාප්‍රකාර පාට අලුත් මල් පොකුරක් මල් පෝච්චියක තියෙනවා. එතනම බිත්තියේ එයාගේ අම්මාගේ පින්තූරයක් එල්ලලා තිබුණා. උන්දෑ මැදි වයසේ කෙනෙක්.
'තරුණ ගෑණු ළමයෙක් කනත්තක් ගාව මෙහෙම ඉන්න එක මදිවට එබිලාත බලං ඉන්න එක හොඳ මදි නේද?' හිතේ අමාරුව වහගන්න මම හයියෙන් හිනා වුනා.

'ංහා, අපි යමු' එක පාර මගේ අත අතඇරපු එයා කිව්වා.
උයන් දොර ළඟදි අපිට පිච්චමල් සුවඳ හොඳටම දැනුනා.
'හොඳා! ඔයා මගෙත් එක්ක අමනාප නැහැ නේද?' මම බැගෑපත් වුනා.
'මට එහෙම හිතුන්නෑ' එයා හිනා වුනා.

අපි පඩි නැගගෙන මල් වත්තට ගියා. මැලේ වොචර් රතු පැල්ලම් ඒප්‍රන් එකේ අත පිහ දම දම නෙරපු ඇස් ගෙඩි වලින් එයාගේ දිහාවට ඔරවාගෙන හිටියා. මිනිහා තද දුඹුරු පාටයි, රැවුල බරුගහලා දාපු මුඩුම මූණකුත් එක්ක.
'එපා කරපු මිනිහෙක්, මිනිහගේ ඇස් ගෙඩි මගෙ මුණටම නෙරවගෙන ඉන්නහැටි!. අපි මිනිහාව පහු කරගෙන යනකොට එයා කෙඳුරුවා. 'හැමදාම ඔහොම්මයි'.
'ඒ ඔයා ලස්සන හින්දා' මම හිනා වේවී කිව්වා.
'විකාර දොඩවන්න එපා, ඔයත් මාව විහිලුවකට ඇරගෙනද? මට පාඩුවේ ඉන්න දීලා යන්න, ඒක වැඩිය හොඳයි. එයා කේන්ති ගිය බවක් පෙන්නගෙන ඉක්මනට ඇවිදගෙන ගියා.

මං එතන නැවතිලා එයාගේ හීන් සරිරේ දිහාවෙයි යන්තම් බොකුටු වුන කොට කොණ්ඩෙ දිහාවේයි බලාගෙන එයාගේ හැසිරීම ගැන කල්පනා කළා,. මම අසුබ හිතිවිලි වලින් හිත පුරවගන්න ගත්තා.


2 පරිච්ඡෙදය.. ඉතිරි කොටස.

Tuesday 19 November 2013

පත් සිඳුනු වසන්තය [autumn in spring]: 1


පත් සිඳුනු වසන්තය [autumn in spring]

බා ජින් - 1932

1995 මැද හරියේ විශ්වවිද්‍යාල වසා දැමිනි. මම නම් ශිෂ්‍යයා ඒ කාලයේ කෙටි නවකතාවක් පරිවර්තනය කළේය. දැන් මා සතුව ඉන්ගිරිසි පොත නැති නිසා මෙහි හරි වැරදි බැලීමට නොහැකිය. අපේ ගෙදර උන්දෑ පසුගිය දිනෙක මේ කොළ මිටිය රාක්කයක් තිබී සොයා ගත්තාය.


1.

නංගි ගෙදරින් ටෙලිග්‍රෑමක් එවල තිබුණා. අයියාගේ මරණෙ දන්නලා.

මට කිසිම දෙයක් දැනුනේ නෑ එයාගේ මරණෙ ගැන. මම දන්න තරමින් මිනිහා හොඳ සනීපෙන් හිටියේ. ළඟදි විවාහ ගිවිස ගන්නත් අදහසක් තිබුණා. 

මේක හීනයක් වෙන්න ඇති! මිනිහෙක් මේ තරං ඉක්මණට මැරෙන්නේ කොහොමද? විසේසයෙන්ම කසාද ගිවිසුමට ඔන්න මෙන්න තියලා? මට පුදුම හිතුණා.

මම ඒක ගැන හිතන එක නැවැත්තුවා. මගේ මොකුත් වෙනස් වුනේ නැති හින්දා. ඒ මරණෙ ගැන හිතන්න තරං මොකුත් වෙලා තිබුණේ නෑ.

පහුවෙනිදා තවත් ටෙලිග්‍රෑමක් ආවා, වචන තිස් හතරක් එක්ක. වැඩිපුර විස්තර ඒකේ තිබුණා. අයියා එයාගෙම ගිරිය කපාගෙන දිවි නහගෙන.

මගේ යාලුව සූ අත් වෙවුල වෙවුල ඒක කියෙව්වා.

'ඉතිං මක්කැයි කරන්නේ', මිනිහා ඇහුවා. 'මොකක් කියන්නද? මට තේරෙන්නෑ'. මගේ අතක් මිරිකගෙනම මටම කියා ගත්තා. 'හොඳා! එහෙනං ඒක හිනයක් නෙවෙයි.'

සූ මගේ දිහා බැලුවේ විභ්‍රාන්ත වෙලා. එයාට මාව පේන්න ඇත්තේ ලෝකේ ඉන්න අවාසනාවන්තම මිනිහා හැටියට.

'මොකද මගේ දිහා ඔහොම බලන්නේ?' කියලා අහන්න කලින්ම මිනිහා කාමරෙන් එළියට ලිස්සුවා.

මං සෝපාවේ ඉඳගෙනම බිත්තියේ එල්ලි එල්ලී තිබුණ ජැනට් ගේනර් ගේ පින්තූරේ දිහා බැලුවා. එයා මගේ දිහා හිනා වේගන ඉන්නවා. මේ මෝඩ කෙල්ල ගොඩ කාලයක් තිස්සේ හිනා වුනේ නැතුවයි හිටියේ. මොකැයි අද මේ හදිස්සියේම හිනා වෙන්න තියෙන කාරණේ. මගේ අවාසනාවට හිනා වෙනවද?

එයා සුව සම්මන්න ඡවි කළ්‍යාණයක් තියෙන තඹල කේශියක්. ලා ම ලා නිල් පාට හැට්ටයක් ඇඳගෙන ! ඉතිං මට මෙව්වෑයෙං ඇති පලේ මොකක්ද? එයා නිකම්ම නිරූපිකාවක් විතරයි.

ඒ මදිවට දැං අයියා මැරිලා. 

ජැනට් ගේනර් ගෙන් මගේ ඇස් ගියේ හොඳට සුදු පිරිමැදපු බිත්තිය  දිහාවට, ඒකේ තිතක් වත් නෑ. ඒත් ඒකෙන් අමනාපෙන් කළු වුන මූණක් ටිකෙන් ටික මතු වුනා. ඒ මූණේ විසේසයක් තිබුණේ නෑ. ඒක කාගෙත් වගේ මූණක්. නමුත් ඒක අයියාගේ මූණුවර ගත්තා.

හැබෑටම ඒ අයියාගේ මුණ. එයාගේ සාමාන්‍ය ජීවිතේ කොයි වගේද පෙන්නුම් කරන සාමාන්‍ය තරුණයෙක්ගේ මූණ.

'මම මැරුණා' එයා හදිසියේම කට ඇරියා. 'මම මගේම අත් වලින් බෙල්ල කපා ගත්තා.'

'ඔයාට එහෙම කර නොගන්න තිබුණා.' මම විරුද්ධ වුනා, 'ඒක ඇත්ත වෙන්න බෑ, එහෙමනං ඔයා දැන් මගෙත් එක්ක කතා කරන්නේ?'

'ඒ පිහිය ඒ වේදනාව, අන්තිමට මරණ දුක! කවුරුවත් මයෙ හිතිවිලි දැනං උන්නේ නෑ. කවුරුවත් මගේ ගැන දුක් වුනේ නෑ. එහෙමයි මගෙ පණ කෙළවර වුනේ.' එයා දුකෙන් කිව්වා.

ලොකු කඳුලු ගුළි එයාගෙ ගිලිච්ච ඇස් වලින් ගලා හැලුනා.

'මැරිච්ච කෙනෙකුට කතා කරන්නයි, කඳුලු හලන්නයි පුලුවන්නම් මරණෙත් ඒ තරම් භයානක නෑ. කවුරුත් මැරෙනවා නෙව!' මම දෙගිඩියාවෙන් මටම කියා ගත්තා. කාටවත් ඇහෙන්නෙ නැති තරම් හෙමිහිට.

'මට මැරෙන්න ඕන වුනේ නෑ' එයා තොල් කැටි කර ගත්තා. එයාගේ මූණ අබ පුපුරවන්න පුලුවන්. කට ඉරක් වගේ පියවිලා. ඇස් පුංචියට ඇකිලිලා.

එයාගේ මූණ අවඥාවෙන් බනිසක් වගේ වෙනකම් මමත් ඇස් ලොකු කරගෙන බලං උන්නා.

බිත්තිය ආපහු සුදු පාටයි. ඒකේ අයියාගේ මූණේ කිසිම සළකුණක් තිබුණේ නෑ.

'මොන කෙහෙම්මලක් ද?' මං කියා ගත්තා. 'උඹ දවල් හීන බලනවයි?'

ටෙලිග්‍රෑම තාමත් මේසේ උඩ. වචන තිස් හතරක් තියෙන ටෙලිග්‍රෑම.   


Actress Janet Gaynor was the first winner of the Academy Award for lead actress and the youngest ever to win the award (until Marlee Matlin in 1986). She was born Laura Gainer on October 6, 1906 in Philadelphia. Gaynor had a long career in show business with over sixty film, theater, and television credits from 1924 until 1981.