Tuesday 23 October 2012

භින්න සමරූපික ජ්‍යාමිතිය හා ප්‍රබුද්ධ iii



මම රයිනෝසරස් ලාව අඳිනවා..
මම ඔයාව අඳීන්නම්..
ඔයාගෙ සෝබර ඇස්..
ඔයාගේ තොල්, රත්වුනු වැලි උඩින් වැගිරෙනවා..
ඔයාගෙ.....ඔයාගේ මූණේ එක කඳුලක්..
ඒ එක කඳුලේ වෙනත් මූණක්..
ක්‍රිස්තු  ගෙ මූණ..
ඔව් රයිනෝසරස් ගෙ ඇතුළේ..


සැල්වදෝර් දාලි ගේ දෙබස-මිඩ් නයිට් ඉන් පැරිස්- වූඩි ඇලන් [2011]



කෙතරම් විශාලනය කළ ද,කෙතරම් දුරින් සිට බැලුවද,කෙතරම් අන්වීක්ෂීයව නිරීක්ෂණය කළද ඒ සෑම විටෙකම යම්කිසි හැඩයක් නිරීක්ෂණයට හසු වීම ෆ්‍රැක්ටලය සිය ස්වභාවය කර සිටී.

නාගරික  ෆ්‍රැක්ටලයේ ස්වභාවය වෙනස් වෙන බව ආකාශ රේඛාවේ වෙනස්වීම කාලාවර්තීව  නිරීක්ෂණය කරන කෙනෙකුට පෙනී යා හැකිය. නමුත් වෙනස් වන්නේ එහි ස්වභාවය නොව එහි  හැඩය පමණකි. දුඃඛිත භාවය මිම්මකින් මනිද්දී නිරීකෂණය කළ හැකි වෙනසක් කාලාවර්තීව සිදු නොවන  බව: සමහර අය 'ඉණි මගේ ඉහළට' ගියද 'ගමනක මුල' සිටින සංඛ්‍යාවෙන් විශාල  වන හෝ විශාල වෙමින් පවතින හෝ ජනගහනයක් සෑම නාගරික ෆ්‍රැක්ටලයකම අන්තර්ගත  බව ප්‍රබුද්ධ තෙවැනි සර්ගයෙන් සේකර අප වෙත දන්වා සිටියි.

නාවර පෙරෙන හොටු
ඇඳ වැරහැලි කිලුටු
කැහැටු දරුවෝ සිටිත්
මුඩුක්කු දොරකඩට විත්.

නාගරික විථි ගණිකාවකගේ මුහුණ, ගමක කඩයප්පන් සාදන මවගේ මුහුණ, යසෝදා ගේ මූහුණ, නිරංජලා ගෙ මුහුණ.. ආදී මුහුණු මාලාව [මණ්ඩලය] එකිනෙකක් හා ස්ව-සමරූපී වන බව සේකරට ගෝචර වෙයි. ඔහු භගවත් ගීතා පාඨයක් එහි ඡෙදනයෙහි යොදන්නේ ආත්ම ගණනක් එකිනෙකා හා සිටින කෘෂ්ණ-අර්ජුන යුග්මය සසර පුරා නැවත නැවත හමුවීම හෙවත් සංසාර චක්‍රයෙහි දඟර වැටී ඇති 'මෝබියස් වළලු' ස්වභාවය හොඳින් දන්නා කෙනෙකු ලෙසිනි.


ශිව-පාර්වතී සංගමයෙහි ශිවගේ ස්තිථික ෆැලික ස්වභාවය [ලිංග ස්වරුපය] හා පාර්වතීගේ යළි යළිත් උපදින ගතික[ස්‍රාවමය] හා මිනිය නොහැකි ෆැලික ස්වභාවය අතර නැවත නැවත වෙන ගැලතීම ඔහු සිය සම-කාලය වෙත ප්‍රක්ෂේපණය කරයි.    

ඇයි නැත්තේ නිරංජලා [පාර්වතී = මේ මම කියවන විදිහ]
මට මතකයි නිරංජලා ....
………………………..

නැගිටින්ඩකො කිරි හදන්ඩ, බත් උයන්ඩ,
පරක්කු වෙයි වැඩට යන්ඩ.

ඉන් ඔබ දිනක් පුරා ගෑණු-පිරිමි පංචස්කන්ද නාගරික ෆ්‍රැක්ටලයේ විවිධ සලාවැටුම් අතර ස්ව- සමරූපීව ඇතිවීම හා නැතිවීම  ඔහු වදන්  සිත්තමකට  නගයි.  විදුලිය  සුලබ  භාණ්ඩයක්  නොවූ  1970  දශකයේ  මැද  රාත්‍රිය  මඳකට  ජීවිතයේ  අනවරත  බව  නිවා  දැමූ බව  ඔහු  එම  සර්ගයේම  ලෞකිකමය  නොවූ  කොටසක්  ඇතුලත්  කරමින්  පෙන්වයි.    

බොහෝ වෙම්වා මම්.
වැඩී වර්ධනය වේවා මම්.
.....
මෙසේ තමා කෙරෙන් විශ්වය විහිදා හැර .
...

එ ද ඔබ මවයි බොහෝ හැඩ රූ
මවා ඔබ බොහෝ හැඩ රූ
‍යළි ඔබ තුළටම උරා ගනී.

ජීවිතය සමරූපික එකක් නොවේ යැයි අපට පෙනෙතුදු එය සමරූපික එකක් වෙයි. එසේම එය හාත්පසින්ම විවිධ යැයි පෙනී යන නමුත් එය ජරා-මරණ ආදියට එක සේ ලක් වෙයි. අට ලෝ දහමෙහි කම්පිත වෙයි. හීනාර්ථ වශයෙන් සැනසෙන නමුත් පරමාර්ථ වශයෙන් දුක අනුභව කිරීම  හෙවත් 'සාමාන්‍ය දොම්නසින් [general unhappiness]' ජීවත් වීම, අහස් ගුණ්ඩුවක් එහි කෙටි උජ්වලිත දිවිය කෙළවර කොට ඉරටුවක් හා කඩදාසි කොපුවක් පමණක්  බවට පත් වී පොළවට පතිත වීම සේ සේකරට හසු වෙයි.

එදිනෙදා ජිවිතයෙන් උකහාගත් අංශූන් ස්ව-සමරූපීව හා ආවර්තීව සකස් කළවිට තමාට උවමනා සියුම් භාවයන් ප්‍රකාශනය කළ හැකි බව දන්නා සේකර, පෙර මෙහි ලියා ඇති පරිදි අම්ලකර වැඩිපුර උරා ගනු පිණිස භින්න-සමරූපී ව සකස් වූ පෙනහළු පුප්ඵුස සේ ද, සිරුර පුරා ජිව පදාර්ථ ගෙන යනු පිණිස එලෙසම සකස් වූ රුධිර වාහිනී පද්ධතියක් සේ ද ප්‍රබුද්ධ මුල් පිටු පනස් හය [1982 මුද්‍රණය] කාව්‍යාවකාශයෙහි සංවලිත වීමට සලස්වයි.

iv කොටසට...

Friday 12 October 2012

භින්න සමරූපික ජ්‍යාමිතිය හා ප්‍රබුද්ධ ii





බෙනුවා මැන්ඩෙල්බ්‍රොට් ස්වභාවධර්මයේ ෆ්‍රැක්ටල් ජ්‍යාමිතිය’ [the fractal geometry of nature] ලිවීමට පෙර

Z(n+1) D Zn+ c

සමීකරණය මගින් හඳුන්වා දෙන මැන්ඩල්බ්‍රොට් ශ්‍රීතය විශේෂ ගණිතමය ගුණාංගයක් ඇතුළත් එකකි. එහි සමාන ලකුණ වෙනුවට ඔහු යොදාගන්නේ ප්‍රත්‍යාවර්ත බව පෙන්වන සංකේතයයි. එම ප්‍රතිඵලය ඊළඟ පියවර ගණනය සඳහා ඇතුළත් වෙයි. මෙසේ බොහෝ වතාවක් සිදුවන ප්‍රත්‍යාවර්තනයන් විසින් ප්‍රතිපෝෂණ ලූපය විශාලනය කරයි.

මින් ඉහත සඳහන් කර ඇති පරිදි කැඩපත් අවදියේ මව සමඟ හා පසු ව සමාජිය අනෙකා [මහා අනෙකා] අතර ඇති වන ප්‍රතිවර්තී ප්‍රතිපෝෂණය නිසා ඇති වන විදාරණය පුද්ගලික හෝ සමාජයීය පරමාර්ථ සොයා යෑමේ පෙළඹවීමේ ස්වභාවය නිරූපණය කරන බව මට හැඟේ.

මෙබඳු ප්‍රතිපෝෂණයක් සිදුවිය හැකි ආකාර දෙකකි. එකක් ධනාවර්තී ප්‍රති පෝෂණයයි.

ධනාවර්තී ප්‍රතිපෝෂණය විසින් ඇති කරන වැඩි වන ආන්තික ආදායම [මෙය ලිබිඩිනල් ආර්ථිකයටත් මෙසේම අදාළ විය යුතු යැයි මට සිතේ] විසින් පුද්ගලයා සිය පැවැත්මද නොතකා ආයෝජනයට පෙළැඹෙයි.ලිබිඩිනල් ආර්ථිකයේ ධනාවර්තී ප්‍රතිපෝෂණය විසින්  දේශපාලන ක්‍රියාකාරිකයෙක් ගොඩ නගන්නේ, සිය මුලු වාණිජ වටිනාකමින් හරි අඩකටත් වඩා පර්යේෂණ හා සංවර්ධනය සඳහා වැය කරන බෝයිං සමාගම අයුරිනි. ඔහුගේ ප්‍රක්ෂේපණ නිවැරදි වුවහොත් ප්‍රතිලාභ [සමාජයීය හෝ පුද්ගල]බෝයිං සමාගම මෙන් විශාල හා අසාමාන්‍ය විය යුතුය.

අනෙක් අතින් ලිබිඩිනල් ආර්ථිකයේ හීනවන ආන්තික ප්‍රතිලාභ නිසා 'දුක' මුල්කරගත් ආත්මීය සෘණාවර්තී ප්‍රතිපෝෂණයක් ඇතිවිය හැකිය. එහි නොකඩවා ආයෝජනය කරන පුද්ගලයා ආධ්‍යාත්මික මාර්ගයක ගමන් කිරීම අරඹනු ඇතැයි මට සිතේ. ඔහුගේ ප්‍රතිලාභ [පුද්ගල හෝ සමාජයීය] අසාමාන්‍ය ප්‍රතිලාභ ලැබිය යුත්තේ සංසාරය කෙළවරදී ය.

සේකර ප්‍රබුද්ධ හි තෙවන සර්ගයෙන් මේ වෙන්ව යාමේ ලක්ෂ්‍යය සළකුණු කරන්නේ දෙකෙහිම නිෂ්පාදන සාධක පංචස්කන්ධය ම නිසා විය යුතුය. ප්‍රතිත්‍ය-සමුත්පාද වශයෙන් ජාති-ජරා-මරණ-සෝක හෝ පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස හෝ වශයෙන් පිළිවෙලින් වෙන්ව තෝරාගත් මාර්ග සහිත ආධ්‍යාත්මික විප්ලවවාදියා මෙන්ම සමාජ විප්ලවවාදියාද මේ සියල්ලෙන් එකිනෙක සංඝටක අඩු වැඩිව සංයුක්ත කරගත් සාමාන්‍ය පෘතග්ජනයාද, එකී එක් වර්ගයකට අයත් වීමට නියමිත තරුණයෝද තරුණියෝද එහි වෙති;

දැලි රැවුල් වවාගත්
මළානික පෙනුමෙන් යුත්
තරුණයෝ දැන උගත්
අහසට දෙනෙත් යොමු කොට
රක්සාවක් ඉල්ලත්.
උන් මෙන්ම මළානික තරුණියොත්
උන් ළඟම ඉඳගෙන ඉඳිත්.
අසරණ බවම මිස උන්ගෙත්
ඇස්වල නැත ප්‍රීතියක්.
[පි: 43 ප්‍රබුද්ධ-1982]. 

ලැබිය හැකි වේද විමුක්තිය මේ මඟින්?   
[පි: 56 ප්‍රබුද්ධ-1982]. 
   

71 කැරැල්ල නිසා ඇතිවූ සංශය සිය කවිය තුළ එසේ මුදා හරින සේකර සාමාන්‍ය ගෘහ ජීවිතය ද ප්‍රශ්න කරයි.

Monday 8 October 2012

භින්න සමරූපික ජ්‍යාමිතිය හා ප්‍රබුද්ධ i




සැල්වදෝර් දාලි ගේ යුද්ධයේ මුහුණ[1940] නම් සිතුවම භින්න-සමරූපික ජ්‍යාමිතියේ අපූරු භයංකර ප්‍රකාශනයකි. එහි විකෘතව ගිය මුහුණු හැඩයේ රූපයක ඇස් හා මුඛ කුහරයෙහි තවත් එබඳුම විකෘතව ගිය මුහුණු තුන බැගින්ද ඒ එක් එක් මුහුණක සමරූපික විකෘත මුහුණු තුන බැගින්ද කුඩා වෙමින් අන්තර්ගත වෙයි. 

1971 කැරැල්ල විසින් එතෙක් නොවූ විරූ අන්දමින් ලංකාවේ සමාජය හොල්ලා දැමීය. එතෙක් සිය කොදෙවු සීමාවන් ඇතුළත නිශ්චිත රටාවකට දෝලනය වෙමින් පැවති නිෂ්පාදන, ආර්ථික, සමාජයීය, දේශපාලනික සාධක විසින් නිමහම් කළ ලංකාවේ ජීවිතයේ විධිමත් යටත් විජිත පරිපාලන පිළිවෙල සුණු විසුනු කර ක්ෂණභංගුර, ව්‍යාකූල, අවිනිශ්චිත [chaotic]බවකට පෙරලනු ලැබීය. 1971න් පසු සමාජ කතිකාව\ආඛ්‍යානය සෑම විටෙකම 1971 හෝ ඉන් පසු ඇති වූ කුඩා හෝ මහත් හෝ වූ වියවුල් හි [1977, 1980, 1983, 1989, 1994, 2001, 2004, 2009] ස්ව-සමාන [self-similar]බව පිළිබඳ කතාංශූන් පුනරුච්චාරණය කරයි. 

එතෙක් වර්ධනය වූ රසවාදී හෝ යථාර්ථවාදී  හෝ සමාජ සත්තා යථාර්ථවාදී හෝ වූ කවියට, කතාවට, සංගීතයට හෝ සිනමාවට සපුරා ග්‍රහණය කර ගත නොහැකි තරමට 71 අත්දැකීම වික්ෂෝභයෙන් උජ්ජ්වලිත, ජාතික ක්ෂිතියක් විය. එම ක්ෂිතිය සපුරා වැළඳ ගැනීමට අවැසි සාහිත්‍ය මෙවලම්, උපක්‍රම හෝ ප්‍රකාශන සංයෝජන තාක්ෂණය වර්ධනය වී නොතිබීම නිසා විටින් විට දැල්වුන නිර්මාණ පුළිඟු [උදා: අජිත් තිලකසේන, බර්ටි බී කුඩාහෙට්ටි] විනා පුළුල් ප්‍රවාහයක් ගොඩ නොනැගුනි. එතෙක් පැවති සාහිත්‍ය-සමාජ-දාර්ශනික කතිකාවේ සරච්චන්ද්‍රමය හෝ වික්‍රමසිංහමය හෝ වාමාංශිකමය හෝ ස්තිථික භාවය විසින් ජනප්‍රියවාදි හා ජනතාවාදී වූ කැරැල්ලේ ගතික බව උපස්තර කරගැනීමට අසමත් විය.

තවද 71 කැරැල්ල සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ විසින් දල්වා ලීමට නියමිත වූ සමාජ-සංස්කෘතික ගින්නේ ප්‍රමාදයන්ට එරෙහිව ගොඩ නැගුනු [කර්මකාරක-passive] ස්ව-සංවිධානාත්මක-self organising [කැරැලි කරුවන් නියෝජනය කළ විවිධත්වය සළකා බලන කල] කුඩා පිපිරුමකි-small bang. කැරැල්ල පුපුරා යන්නේ තුන්හවුල් රජය [ශ්‍රිලනිප, සමසමාජ, කොමියුනිස්ට්] බලයට පත් වී වසරක් ගත වීමටත් පෙර දීය.

තමන් එතෙක් විශ්වාස කළ; යටත් විජිත පරිපාලනය විසින් හා එම පරිපාලනයට විපක්ෂ ව ගොඩනැගුනු, 1956 විසින් උත්කර්ෂයට පත් කළ, සමාජ පරමාර්ථයන් උදෙසා වූ අපේක්ෂාව ඇස්පනාපිට දුහුවිල්ලක් තෙක් බිඳී යනු දැක චිත්ත වික්ෂෝභයට පත් කවියෙකුට භාවගීත, උයනක හිඳ ලියූ කවි, ආදිය තව දුරටත් ලියා සතුටට පත් වීමට නොහැකිය. මහගම සේකර ප්‍රබුද්ධ ලියන විට පත්ව හුන් චිත්ත වික්ෂෝභය එහි රචනා මාදිලිය, ගෙතුම් තාක්ෂණය හා සංයෝජන රටාව ලෙහා බලන විට පුනරාවර්තනය වේ. තමන් සාරවත් යැයි දුටු අතීතකාමි, ජාතිකවාදී සෞභාග්‍යය තව දුරටත් නොපවතින බව අවිඥානකව ගොණු කිරීමට සමත් වූ සේකර, 'අවිඥානය' මුල් වරට කවියක යොදා ගනී [පිට.80 මුද්‍රණය].

1971 දී පුපුරා කුඩු වී ගිය එකී සෞභාග්‍යමත්, රම්‍යවූ, උදාර වූ, සාර වූ භූමියක ස්වප්නයේ දුහුවිල්ල [Cantor-dust?] තැනින් තැන අනුවර්තීව, ස්ව-සමානව, ස්ව-සංවිධානාත්මකව, බහු-මාධ්‍යව දශක 4ක් ඔස්සේ ඇති වී නැතී වී යමින්, පෙනී නොපෙනී යමින් ඈ වශයෙන් දෝලනය වෙමින් පවතී.

1975 දී සෙලින්කෝ ආකාස කඩේ විසින් සළකුණු කළ ඉහළ ලක්ෂ්‍යය සහිත කොළඹ අහස් රේඛාව සීමිතව ඉහළ නැඟි එකක් විය. එහි මතු මහල් තලයේ සිට මහ පොළව දකවා මිනිස් වර්ගයා සදා පෙලන, ඇති නැති පරතරය, උස්-පහත් භේදය, උගත්-නූගත් බව ආදී විෂමතාවන්ගෙන් යුතු නාගරික ෆ්‍රැක්ටල් රේඛාව විය. 1977 ප්‍රබුද්ධ පළ වන විට ජේ. ආර් ගේ ආර්ථික විවෘත භාවය විසින් කොළඹ අහස් රේඛාව අජටාකාශය තෙක් ප්‍රක්ෂේපණය කිරිමේ හැකියාව ඇති කර තිබුණු නමුත් එහි මූලික ව ඇති විෂමතා සමනය කිරීමේ යාන්ත්‍රණයක් ඉදිවී නොතිබිණි.


ප්‍රබුද්ධ බිහිවන වට පිටාව ගැන මට එසේ සිතෙයි.

1971 කැරැල්ලෙන් විමතියට පත් කෙනෙකුට ඉතිරි වන එක් දෙයක් නම් ප්‍රශ්නාර්ථයයි, .....

ඇයි? .... නම් එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට සදාකාලික පැරඩොක්සයක්-උභතෝකෝටිකයක් වන ආධ්‍යාත්මික විමුක්තිය හා ලෞකික විමුක්තිය අතර නොසීහෙන කෙන්ද්‍ර සිහුම් කිරීම බඳු අපහසු ක්‍රියාවක් කවියෙකු අතින් ඉටු විය. ඒ විය යුතුම පරිද්දෙනි. මහගම සේකර ප්‍රබුද්ධ ලියමින් පිළිතුරු සොයන්නේ මේ උභතෝකෝටිකයටයි. ඔහුගේ කලා-කාරියේ [ඩබ් ඒ සිල්වා සිරිමතුන් ගෙන් ණයට ගතිමි] මහේක්ෂ ස්වභාවය, සර්ග, සර්ගිකා, පැදි, පාද, වදන් යන ස්ව-සමාන පැරඩොක්සික රූපකයන් ගෙන් පැහැදිලි කරගැනීමට තැනූ තැත ප්‍රබුද්ධ නමින් ආඛ්‍යාන කාව්‍යයක් වීය.

මහගම සේකර කවියෙකු වීමට පෙර සිටම චිත්‍රශිල්පියෙක් විය. ප්‍රබුද්ධ පිදුම් කවිය චිත්‍රශිල්පියෙකුට පමණක් ලිවිය හැකි එකකි. විශ්වීය රටාවක් ගැන ලියන සේකර අනුවර්තී ස්ව-සමානතාව නම් ෆ්‍රැක්ටල් ස්වභාවය රූපකයක් ලෙස යොදා ගනී.  එහි මාතෲ සංඥාව හෙවත් [රටාවක් බව මේ මහා විශ්වය’] ජෛව හා මනෝ ව්‍යුහ ස්ව-සංවිධානයේ ගර්භය ඔහු විසින් ප්‍රාථමික කරන්නේ පීතෲ සංඥාවේ ද්වීතියික, සමාජයීය ස්ව-සංවිධානයේ [විශ්වයේ රටාව ම කලාවට නගන හැටි’]හා නාමකරනයේ ස්වභාවය ගැන පැහැදිලි අන්තර්ඥානයකින් යුක්ත රචනා කරුවෙකු  වශයෙනි.

රටාවක්  බව මේ මහා විශ්වය... මහගමසේකර මෙහිදී ලියන්නේ භින්න-සමරූපික ජ්‍යාමිතික විශ්වය ගැනයි..
    
ප්‍රබුද්ධ මුල සර්ගය ඇරඹෙන්නේ අහම්බෙන් මෙන් රෝහලකිනි, මේ රෝහල ඉන් පෙර අයි. ඕ යව්දිව් සිල්වා මියගිය, චන්දන පස්ගම්මන ගැන දෙමව්පියන් මැවූ සිහින මියගිය, රෝහල ම නොවේද? නොමියෙමි අවසන් කළ තැනින් සිය අවසාන කාව්‍යය අරඹන සේකර බෝඩිම, රාජතිලක ලයනල් හා ප්‍රියන්ත, මක් නිසාද යත් ආඛ්‍යානයන්ගෙන් ප්‍රාර්ථනා කළ ලෝකය ඉදි නොවීමේ ඉච්ඡාභංගත්වය 'එල්ලංගාවක' [cascade] මෙන් ගලා අවුත් එකතු වීමට, ප්‍රකාශ වීමට ඉඩ හරී.  සිය කවි පොත් 1, 2 ,3 වශයෙන් ශ්‍රේණි ගත නොකරන නමුත් ඒවා මත ජලතලයක හෝ වැලි තලයක ඇතිවාක් වැනි රටාවන් ඉස්මතු කර ගැනීමට ඉවසිලිවන්ත කියවන්නියකට ඉඩ සලසයි.

ගුවන්විදුලිය, ග්‍රැමෆ්‍රෝන් [එල් පී] තැටි, කැසට් , රූපවාහිනීය, එෆ් එම් චැනල, පුද්ගලික රූපවාහිනී, පරිගණක හා අන්තජාලය ආදී වශයෙන් අනුයාත තාක්ෂණික අභිවෘද්ධිය නිසා ජනප්‍රිය කලාවේ ඇතිවීමට නියමිත විපරිණාමය [transformation] එහි මිනිස් සංඝටකය මිනිස් අංශූන් බවට ඌණනය කිරීම සේකර ප්‍රබුද්ධ මුල් සර්ගයෙන් පෙර දකියි. මෙහි ප්‍රතිපක්ෂය නම් යහපත් සමාජයක් සඳහා පෙරගමන්කරුවන් විය හැකි කලාකරුවන්ගේ අභිනිෂ්ක්‍රමණයයි. ලොරෙන්z [Edward Norton Lorenz] කාළගුණ දත්ත ඇතුළත් කිරීමේදී කළ වරද [0.000127] හෝ රොබර්ට් මේ [Robert May] මත්ස්‍ය ගහණය ගැන නිමානය කළ සමීකරණයේදී මෙන් සේකර ද ඉතා කුඩා නමුත් පුළුල් සමාජයීය වෙනසක් කළ හැකි [කුණාටුවක් උපදවන සමනළ පියාපත් සැලීම මෙන්]කලාකරුවෙක් ගැන සිහින මවයි.

සලබ ස්පර්ශකයක ක්ෂෙත්‍රඵලය වැඩිකරනු පිණිස පරිණාමය විසින් එහි අනුවර්ති ස්ව-සමාන බව යොදා ගන්නවා මෙන් ම සේකර සිය කුඩා ආඛ්‍යාන කවිපොතේ වපසරිය අනුවර්තී ස්ව-සමාන බවින් වර්ධනය කරයි. සමාජ ආචාරධර්මයන් විසින් හික්මුණු කෙනෙකු තැනීමේ පහසු හා ජනප්‍රිය උපකරණය වන ආගම ඒ ගැන අනේක උදා හරණ සපයයි. සේකර ආගම් කුලකයේ ඇති ස්ව-සමාන අංශුන් සිය පබඳ හා උපක්‍රමිකව මුහු කරන්නේ පෙර සොයාගෙන ඇති රෝදය නැවත තනා 'මෙව්වා මගේ කවි' යැයි ණයට ගත් සංකල්ප කවි බවට පත් කරන අනාගත යුගයක වෙසෙන්නවුන්ට පාඩමක් කියා දෙමිනි.

ප්‍රබුද්ධ දෙවැනි සර්ගයේ සේකර තමා පෙලන ලෞකික-ලෝකෝත්තර උභතෝකෝටිකය මතු නොව ඊට යටින් ඇති මහා වියවුල ද දකී.
සංසාරේ හැම දෙයක් ම විපර්යාස වී
අවුලක් වගේ තොපට දැන් පෙනේවි [ප්‍රබුද්ධ].

මවගේ ඒ කටහඬ
තමාගේ ද කටහඬ බව
ඉන් පසු ඔහුට හැඟිණ....

ඔහු එම සර්ගයෙහිම මම/මව නම් මූලික ව්‍යුත්පන්නය, එනම් මිනිස් මනස මව හා ඇති සම්බන්ධයේ දර්පණමය ස්වභාවය [බලන්න 'ද මිරර්' - අන්ද්‍රෙයි තර්කොව්ස්කි-1975] එය සම්මුඛ වන ලෝකය විසින් 'වර්ධනය' 'විස්තාරණය' [amplify]කර ආධානග්‍රාහී, ස්වරූප ආලොලිත[නාර්සිස්මික බව] හා අනන්‍යතා දේශපාලනය කෙරෙහි යොමුකළ ලාංකික තරුණයාගේ ගර්භගත වීමේ කාව්‍යමය ආසාවෙහි [දවසක් පැල නැති හේනේ.. ] මූල බීජය නොහොත් පරාජිතයාගේ සෞන්දර්යයේ උපත සනිටුහන් කරයි. 

දෙවන සර්ගයෙහි සේකර විසින් සකස් කරන අලංකාරික පංතිය එල්ල වන්නේ එතෙක් ලක් සමාජයේ මුල් බැසගත් සමාජ-පුද්ගල විමුක්තියේ මුහුම් ලක්ෂ්‍යය තැනීමට ය [එය ඉන් පසු රැගෙන ගියේ සයිමන් ය]. ඔහු මහායානයෙහි අවලෝකිතෙශ්වර-කුවන් යින් පාරමිතාව වන දෙනෝදහක් එක්ක එකට බුදු විම නම් රූපකය මගින් 1971 දී තමන් වෙලා ගත් මකරා දමනය කිරීමට වරම් ඉල්ලයි.    

ii කොටසට  ....  

Friday 17 August 2012

කොළඹ අහස් රේඛාව….



මගේ කොළඹ අහස් රේඛාව වෙනස් වෙන්න පටන් ගත්තේ 1983 දී . මම කොළඹ අවුරුද්දේ සිටයි. වරින් වර පියරත්න මාමාගේ ගෙදර හිඳ ඉස්කෝලේ ගිය මට, වරින් වර, විවිධ පුද්ගලයින් ප්‍රබන්ධාර්ථයන් සේම යථාර්ථයන් සේද හමු වී ඇත.

උසස්පෙළ ආරම්භයේ අප බොහෝ දෙනෙකුට සේකරපිස්සුවක් වැළඳුනි. සේකර නිසා කවි පිස්සුවක් වැළඳුනි. රත්න ශ්‍රී ගේ වස්සානේ වූ ආටෝප බහුල කවි නිසා ඇතිවූ ආහ්ලාදය තවමත් පේළි කීපයක් ලිවීමේදී අවිඥානකව කොපි වෙයි. මට කවියෙකු විය නොහැකි වූ නමුත් කාලයේ සිට ඇති කර ගත් කවි කියවීමේ පුරුද්ද අත් නොහැරී පවතියි

මාමා ගේ රාක්කයේ තිබී ආලින්දය නම් කවි පොතක් හමු විය. එය ලියා තිබුණේද මෙතෙක් අසා නොතිබූ කෙනෙකු විසිනි. කවියා  එරික් ඉලයප්ආරච්චි නම් කෙනෙකි. ඔහු ගේ කවි කියවන විට එතෙක් කියවූ කවි බොහෝමයක නොතිබූ මොකක් දෝ 'මෙව්වා' එකක් හසු විය. මෙව්වා එක මොකක්දැයි වර නගා ගන්නට නොහැකි වුවත්, මම එරික් ගේ රසිකයෙක් වීමි.

එරික් ගේ කවි ජානය ලෙනාඩ් වුල්ෆ් පරම්පරාවෙන් පැවත එන්නක් යැයි මට සිතේ. බ්‍රැඩ්මන් වීරකෝන්, කුලනාථ සේනාධීර, ස්ටැන්ලි කිරින්දේ ආදී හු එහි පසු කාලීන උරුමකරුවන් වූහ. සරත් අමුණුගම ගේ 'හද තුළ ආසා' වියැකී ගියේ ඇයිද යන්න ඔහුවත් නොදන්නා කරුණක් විය හැකිය.

1992 දී සියලු කවියන්ට ගුරු පොතක් විය හැකි පෙරවදනක් සහිත ගුණසිංහ මහත්තයාගේ  'දොරමඬලාව[1991]' කියවීමට ලැබුණි. එහි එරික් ගැන ඉතා පැහැදිලිව මෙසේ ලියා තිබිණි.  “එරික්…..ඔහුගේ කවි ගැඹුරෙහි සැඩ රළ සුළි සඟවාගෙන මතු පිටින් අහිංසක ලා රැළි නඟන දිය තලාවක් වැනි . එහි නියම ස්වභාවය පසක් කර ගැනීමට නම් පත්ළට කිමිදිය යුතු වෙයි. ” -පිටුව 31-

දියරැළි දිය මත මතු කරන්නේ ජ්‍යාමිතික රටාවකි. එය භින්න-භාග ජ්‍යාමිතියෙන්[fractal geometry] පමණක් පැහැදිලි කළ හැකි ප්‍රපංචයකි. එක රැල්ලක දාරය, රැළි දාර සිය දහසක් එකතු වී තනයි. පියෙවි ඇසට පෙනෙන දාරය එබඳු ක්ෂුද්‍ර දාර ඒකක අනන්තයක අනුයාත පිහිටීමකින් තැනී ඇත. සමාජය, ආර්ථිකය, නීතිය, කලාව ආදී සියල්ල   මෙබඳු . එක එකක් ක්ෂුද්‍ර ඒකක ප්‍රවනතා හා පොදු රටා එකතු වීමෙන් නිර්මාණය වේ..

ගුණසිංහ මහත්තයා පුන පුනා පවසන පොදු විඥානය එබඳු ඓකික විඥාන සමූහනයකි.
  
එරික් සිය මෑත කවි බොහොමයක් මගින් නාගරික අහස් රේඛාවේ ඇතිවෙන වෙනස්කම් ග්‍රහණය කර ගනී. අහස් රේඛාව වෙනස් වුවද එහි මූලික තැනුම් ඒකක වෙනස් නොවෙයි, එය විභේදනය කර බලත් බලත් හසු වන්නේ ජ්‍යාමිතික රේඛාවේ මෙන්ම  ආර්ථික, සමාජයීය, දේශපාලනික, නෛතික වෙනෙකක් තබා පුද්ගල ස්වභාවයේ මූලිකාංග වල වෙනස් නොවන සුළු හැඩයයි. සමාජ කතිකාව, දේශපාලන කතිකාව, ආර්ථික කතිකාව, ආගමික කතිකාව ආදී කතිකාවන් , මහා ආඛ්‍යානයද මෙබඳුම භින්න-භාග ව්‍යූහයන් යැයි මට හැඟේ. එපමණක් නොව, දිය රැළි යට කැරකෙන සුළි හා අනෝමික මනෝ ඕඝ ධාරාවන් භින්න-භාග ජ්‍යාමිතියේ රටාවන් හා නීති අනුගමනය කරනවා ඇතැයි ආශ්‍රිත ග්‍රැෆික් චිත්‍ර විමසන විට හා වියවුල් න්‍යායේ[chaos theory] කරුණු කියවන විට මනසට නැගේ.


එරික් ගේ මගෙ කොළඹට සඳ පායා හි සඳ පායන්නේ ද, පියස්සක් නැති පරෙවියෙක් හි පරෙවියා සැරිසරන්නේ මේ අහස් රේඛාව ඔස්සේ හා එම රේඛාවේ ජ්‍යාමිතිය තුළට . පිත්තල හන්දියේ ලේ නහර වැනි මාවත් ගමක ගෙයක් අද්දරින් ඇදෙන කේශ නාලිකාවක් බඳු පෙත් මඟක් හා භින්න-භාග ශ්‍රිතයක රටාව අනුගමනය කරමින් බෙදි බෙදී යයි.

මුල වරට භින්න-භාග ප්‍රකාශනයක් සාහිත්‍යයේ යොදාගත්තේ ආතර් සී ක්ලාක් . ඔහු The Ghost from the Grand Banks  හි කුඩා දැරියකට මැන්ඩල්බ්‍රොට් කුලකය (සුප්‍රසිද්ධ m-set ) හැඩයේ පොකුණක් තනා දී එහිම ගිල්වා මරා දමයි. ටයිටැනික් නැව 2012 වසරේ ගොඩගන්නා තැතක් වටා කතාව ගොඩ නගා ඇති බවට මට මතක .

ලට්ට පට්ට ගල් ගඩොල් ද
යකඩ තහඩු ටිං බැරල්ද [මුඩුක්කු/මගෙ කොළඹට සඳ පායා]සහිත කොළඹ පහත ආකාස රේඛාව වෙනස් වෙන්නේ සිග්‍රයෙනි.

අනවසරව තැනු සියල්ල
බිලි වෙන විට යකඩ කටට
විලිබිය නැති යකුට බනියි
ඇඳෙන් නැගිට එන වෙසඟන [එම]
රජස් නොමැති සුර ලොව වෙත නැගෙන නව ආකාස රේඛාව, මුඩුක්කු එහි කොටසක් නොවනු කැමති වෙයි.

මායා මිරිඟු කොළඹක
අහසට නැගෙන පහපෙළ
උත්පල දිගටි ඇස් වල
පිළිබිඹු නගන ලස්සන [අධ්‍යාපන චාරිකාව/එම]

ඇස් රෝහල ආනන්දය පාක් එක
සැකයට නිමිත්තකි පෙනෙනා සියළු දෙය [ සැක කටයුතු පෙම් වතිය /එම]

අන් රටක සුන්දර 
පිහිටි නොපිහිටි කොළඹ [සංගීත ගුරුවරිය/එම]

එරික් කොළඹ අහස කළු කරනු දකින මුත් ඉන් පලා යන්නට නොසිතයි. ඔහුට කොළඹ මගේ වන්නේ එහෙයිනි. නාගරික පහසුව තැවරුනු නගරය අනාගත කාමී වෙයි. එහි නොස්ටැල්ජියාව පවා ඉදි කරන්නේ අපූරු සුලලිත රේඛාවන්ය. [බලන්න - මිඩ් නයිට් ඉන් පැරිස් -2011/වූඩි ඇලන්] 

එරික් ගේ නාගරික රූපක විසින් නගන සියුම් රිද්මය මරදාන දුම්රිය නැවතුම්පොළ, කොළඹ විද්‍යාල, සංස්කෘතික ගැටිති, මුඩුක්කු, ගාලු මෝදර, බොරැල්ල ආදී විවිධ තැන් හි සිට පෙනෙන ආකාශ රේඛාවේ වෙනස්වීම නරඹනු පිණිස ඇරයුම් කරයි.

1960-70 ගණන්වල මහගම සේකර කළාක් බඳු අභියෝගයක් එරික්ගෙන් කවියට එල්ල වෙයි. ගුහා ගත නොවන එළිමහන් අවකාශයක් වෙත කවිය ගෙන ඒම එම අභියෝගයයි. ජෙෆ්‍රි බාවා ගේ ජීවන රටා හැසිරවිම දක්වා කිඳා ගිය 'වාස්තු වේදය' සේම පිත්තල හන්දිය, දෙමටගොඩ වේගයෙන් ඉදිවන මහල් නිවාස ආදී තත්කාලීන විසිතුරු ඔහුගේ කවියේ පිළිබිඹු වෙයි.


ඔහු කොළඹ ආකාස රේඛාවේ භින්න ජ්‍යාමිතියට අරක් ගන්නා රුදුරු අවතාර ගැන ලියයි.

ඒ දුදන අහස මත
ඇණ වලින් සවි කරනු
පෝය වෙනුවෙන් තැබෙන
බාල වීදුරු රවුම [කොළඹ යක්කම- පිත්තල හන්දිය]

මුල්ම උපත මුල් මළගම
එකපිට එකපිට සිදුවිය
අලුත ලැබුණු දැලට උඩින්
වොලි බෝලය ඉහල නැඟින [ මහල් නිවාස/එම]


එරික් ගේ කවියේ රූප සොයන අතර ජැක්සන් පොලොක් [1912-1956] ගේ ක්‍රියා චිත්‍ර [action paintings] විසින් පුරෝකථනය කළ වියවුල් න්‍යාය පිළිබඳ සටහනක් හමු විය.පොලොක් ගේ චිත්‍ර විශ්ලේෂණය කළ ටේලර්, මිල්කොලිච් හා ජොනාස් ඔහුගේ සිතුවම් කාලාවර්තීව [synchronic] සළකා බලා ඒවායේ ඇති වියවුල් න්‍යායික අන්තර්ඥානය ගැන සඳහන් කරති.  ජැක්සන් පොලොක් චිත්‍ර නිර්මාණයේදී මාධ්‍ය එලෙසම භාවිතා කරන නමුත් සිය චිත්‍ර ඵලකය ඊසලයෙන් [ආධාරකයෙන්] ගලවා බිත්තියේ හෝ පොළවේ අතුරයි. "මට පොළවේ ඇතිරූ කැන්වසය හා පහසුවෙන් වැඩ කළ හැකියි." ඔහු කියයි. ඔහු බුරුසුව වෙනුවට කෝටු, පිහි, මේසන් හැඳි වැනි සම්ප්‍රදායික නොවන මෙවලම් යොදා ගනි.

එරික් කඩදාසිය හා කවිය ත්‍රිමාණ අවකාශයේ එල්ලයි. එය කොළඹ ආකාශ රේඛාවට තබා ඇණ ගසයි. ද්විමාන දෘෂ්ටියකින් කියවීමට හැකි නමුත් ඒවා ත්‍රිමාණ දෘෂ්ටිය තෙක් විකාශ කරයි. සයිබර් යුගයක කවි පැටවු ගසන සමයක, කවිය පර්යාලෝකයෙන් නැරඹීමට එහි වස්තු විෂයය විදාරණය කරයි. 

එරික් ගේ පිත්තල හන්දිය කවිපොත කියවමින් ගිය මම දුම්රිය රාගම පසු කරද්දී පහත පණිවිඩය [SMS] ලිවීමි.

After reading Pittala Handiya..

Your sight of sunrise...
Covered by slum towers...
The daily eyesore...( < සිරි  ගුනසිංහ ගෙන් හොරකම් කළා)

Day has become a night..
While night remained night..

The women of the night..
Visible on the horizon..
They lost their hangout..
Not at Chandni Chowk,.. but at Pital Chowk..

How could..a sad poet...
See the beauty of night..
The beauty of the changing skyline..
The skyline only…

If he does not see..
The beauty of the Temple Trees...?

එරික් කොළඹ එන කෝච්චිය, උදෑසන කැලණි පාළමෙන් කොළඹට පිවිසෙන විට  කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් රෑ පුරා නික්මුණු ගෙන්දගම් වාෂ්පයෙන් අනුන වලාව සිරිපා නැමද උදාවන හිරු එළියෙන් දිදුලනවා ඔහුට පෙනෙනවා විය හැකිය. කොලොන්නාවෙන් පෙනෙන කොළඹ නගරයේ ආකාශ රේඛාව අහස් සූරන මැදුරු, දොඹකර ඔටුනු ලූ නව ඉදිකිරීම්, සහිතව මුඩුක්කු පෙලක් ඔස්සේ ක්ෂිතිජය වෙත පහත් වෙනවා ඔහු දකිනු ඇත. නාගරික අලකාව ඉදි කරන  විගස එහි අභාවයා ගේ අභාවය වන මුඩුක්කු හා නාගරික පාදඩ උපස්ථරය ඉදිවන බව හා විස්තාරණය වන බව දෙමටගොඩ දුම්රිය අංගනයේ අබලි දුම්රිය කොටස් අතරින් ඇදෙන හන්ස්ලේ ඇන්ජිමක දුම් අතරින් ඔහු ඇස ගැටෙනු ඇත.

වඩා වැදගත් වන්නේ මේ සියල්ල දැකීම හා ඒවායේ සාහිත්‍යාංශූන් හා රටා වෙන්කර  හඳුනා ගැනීම .


ආශ්‍රිත:
1.      දොරමඬලාව - දයාසේන ගුණසිංහ
2.      මස් ලේ නැති ඇට , අබිනික්මන - සිරි ගුනසිංහ
3.      මැදියමේ ගීතය හා තවත් කවි, ආලින්දය, මගෙ කොළඹට සඳ පායා, පියැස්සක් නැති පරවියෙක්, පිත්තල හන්දිය - එරික් ඉලයප් ආරච්චි
4.      Introducing Chaos – Ziauddin Sardar, Iwona Abrams