Friday, 17 August 2012

කොළඹ අහස් රේඛාව….



මගේ කොළඹ අහස් රේඛාව වෙනස් වෙන්න පටන් ගත්තේ 1983 දී . මම කොළඹ අවුරුද්දේ සිටයි. වරින් වර පියරත්න මාමාගේ ගෙදර හිඳ ඉස්කෝලේ ගිය මට, වරින් වර, විවිධ පුද්ගලයින් ප්‍රබන්ධාර්ථයන් සේම යථාර්ථයන් සේද හමු වී ඇත.

උසස්පෙළ ආරම්භයේ අප බොහෝ දෙනෙකුට සේකරපිස්සුවක් වැළඳුනි. සේකර නිසා කවි පිස්සුවක් වැළඳුනි. රත්න ශ්‍රී ගේ වස්සානේ වූ ආටෝප බහුල කවි නිසා ඇතිවූ ආහ්ලාදය තවමත් පේළි කීපයක් ලිවීමේදී අවිඥානකව කොපි වෙයි. මට කවියෙකු විය නොහැකි වූ නමුත් කාලයේ සිට ඇති කර ගත් කවි කියවීමේ පුරුද්ද අත් නොහැරී පවතියි

මාමා ගේ රාක්කයේ තිබී ආලින්දය නම් කවි පොතක් හමු විය. එය ලියා තිබුණේද මෙතෙක් අසා නොතිබූ කෙනෙකු විසිනි. කවියා  එරික් ඉලයප්ආරච්චි නම් කෙනෙකි. ඔහු ගේ කවි කියවන විට එතෙක් කියවූ කවි බොහෝමයක නොතිබූ මොකක් දෝ 'මෙව්වා' එකක් හසු විය. මෙව්වා එක මොකක්දැයි වර නගා ගන්නට නොහැකි වුවත්, මම එරික් ගේ රසිකයෙක් වීමි.

එරික් ගේ කවි ජානය ලෙනාඩ් වුල්ෆ් පරම්පරාවෙන් පැවත එන්නක් යැයි මට සිතේ. බ්‍රැඩ්මන් වීරකෝන්, කුලනාථ සේනාධීර, ස්ටැන්ලි කිරින්දේ ආදී හු එහි පසු කාලීන උරුමකරුවන් වූහ. සරත් අමුණුගම ගේ 'හද තුළ ආසා' වියැකී ගියේ ඇයිද යන්න ඔහුවත් නොදන්නා කරුණක් විය හැකිය.

1992 දී සියලු කවියන්ට ගුරු පොතක් විය හැකි පෙරවදනක් සහිත ගුණසිංහ මහත්තයාගේ  'දොරමඬලාව[1991]' කියවීමට ලැබුණි. එහි එරික් ගැන ඉතා පැහැදිලිව මෙසේ ලියා තිබිණි.  “එරික්…..ඔහුගේ කවි ගැඹුරෙහි සැඩ රළ සුළි සඟවාගෙන මතු පිටින් අහිංසක ලා රැළි නඟන දිය තලාවක් වැනි . එහි නියම ස්වභාවය පසක් කර ගැනීමට නම් පත්ළට කිමිදිය යුතු වෙයි. ” -පිටුව 31-

දියරැළි දිය මත මතු කරන්නේ ජ්‍යාමිතික රටාවකි. එය භින්න-භාග ජ්‍යාමිතියෙන්[fractal geometry] පමණක් පැහැදිලි කළ හැකි ප්‍රපංචයකි. එක රැල්ලක දාරය, රැළි දාර සිය දහසක් එකතු වී තනයි. පියෙවි ඇසට පෙනෙන දාරය එබඳු ක්ෂුද්‍ර දාර ඒකක අනන්තයක අනුයාත පිහිටීමකින් තැනී ඇත. සමාජය, ආර්ථිකය, නීතිය, කලාව ආදී සියල්ල   මෙබඳු . එක එකක් ක්ෂුද්‍ර ඒකක ප්‍රවනතා හා පොදු රටා එකතු වීමෙන් නිර්මාණය වේ..

ගුණසිංහ මහත්තයා පුන පුනා පවසන පොදු විඥානය එබඳු ඓකික විඥාන සමූහනයකි.
  
එරික් සිය මෑත කවි බොහොමයක් මගින් නාගරික අහස් රේඛාවේ ඇතිවෙන වෙනස්කම් ග්‍රහණය කර ගනී. අහස් රේඛාව වෙනස් වුවද එහි මූලික තැනුම් ඒකක වෙනස් නොවෙයි, එය විභේදනය කර බලත් බලත් හසු වන්නේ ජ්‍යාමිතික රේඛාවේ මෙන්ම  ආර්ථික, සමාජයීය, දේශපාලනික, නෛතික වෙනෙකක් තබා පුද්ගල ස්වභාවයේ මූලිකාංග වල වෙනස් නොවන සුළු හැඩයයි. සමාජ කතිකාව, දේශපාලන කතිකාව, ආර්ථික කතිකාව, ආගමික කතිකාව ආදී කතිකාවන් , මහා ආඛ්‍යානයද මෙබඳුම භින්න-භාග ව්‍යූහයන් යැයි මට හැඟේ. එපමණක් නොව, දිය රැළි යට කැරකෙන සුළි හා අනෝමික මනෝ ඕඝ ධාරාවන් භින්න-භාග ජ්‍යාමිතියේ රටාවන් හා නීති අනුගමනය කරනවා ඇතැයි ආශ්‍රිත ග්‍රැෆික් චිත්‍ර විමසන විට හා වියවුල් න්‍යායේ[chaos theory] කරුණු කියවන විට මනසට නැගේ.


එරික් ගේ මගෙ කොළඹට සඳ පායා හි සඳ පායන්නේ ද, පියස්සක් නැති පරෙවියෙක් හි පරෙවියා සැරිසරන්නේ මේ අහස් රේඛාව ඔස්සේ හා එම රේඛාවේ ජ්‍යාමිතිය තුළට . පිත්තල හන්දියේ ලේ නහර වැනි මාවත් ගමක ගෙයක් අද්දරින් ඇදෙන කේශ නාලිකාවක් බඳු පෙත් මඟක් හා භින්න-භාග ශ්‍රිතයක රටාව අනුගමනය කරමින් බෙදි බෙදී යයි.

මුල වරට භින්න-භාග ප්‍රකාශනයක් සාහිත්‍යයේ යොදාගත්තේ ආතර් සී ක්ලාක් . ඔහු The Ghost from the Grand Banks  හි කුඩා දැරියකට මැන්ඩල්බ්‍රොට් කුලකය (සුප්‍රසිද්ධ m-set ) හැඩයේ පොකුණක් තනා දී එහිම ගිල්වා මරා දමයි. ටයිටැනික් නැව 2012 වසරේ ගොඩගන්නා තැතක් වටා කතාව ගොඩ නගා ඇති බවට මට මතක .

ලට්ට පට්ට ගල් ගඩොල් ද
යකඩ තහඩු ටිං බැරල්ද [මුඩුක්කු/මගෙ කොළඹට සඳ පායා]සහිත කොළඹ පහත ආකාස රේඛාව වෙනස් වෙන්නේ සිග්‍රයෙනි.

අනවසරව තැනු සියල්ල
බිලි වෙන විට යකඩ කටට
විලිබිය නැති යකුට බනියි
ඇඳෙන් නැගිට එන වෙසඟන [එම]
රජස් නොමැති සුර ලොව වෙත නැගෙන නව ආකාස රේඛාව, මුඩුක්කු එහි කොටසක් නොවනු කැමති වෙයි.

මායා මිරිඟු කොළඹක
අහසට නැගෙන පහපෙළ
උත්පල දිගටි ඇස් වල
පිළිබිඹු නගන ලස්සන [අධ්‍යාපන චාරිකාව/එම]

ඇස් රෝහල ආනන්දය පාක් එක
සැකයට නිමිත්තකි පෙනෙනා සියළු දෙය [ සැක කටයුතු පෙම් වතිය /එම]

අන් රටක සුන්දර 
පිහිටි නොපිහිටි කොළඹ [සංගීත ගුරුවරිය/එම]

එරික් කොළඹ අහස කළු කරනු දකින මුත් ඉන් පලා යන්නට නොසිතයි. ඔහුට කොළඹ මගේ වන්නේ එහෙයිනි. නාගරික පහසුව තැවරුනු නගරය අනාගත කාමී වෙයි. එහි නොස්ටැල්ජියාව පවා ඉදි කරන්නේ අපූරු සුලලිත රේඛාවන්ය. [බලන්න - මිඩ් නයිට් ඉන් පැරිස් -2011/වූඩි ඇලන්] 

එරික් ගේ නාගරික රූපක විසින් නගන සියුම් රිද්මය මරදාන දුම්රිය නැවතුම්පොළ, කොළඹ විද්‍යාල, සංස්කෘතික ගැටිති, මුඩුක්කු, ගාලු මෝදර, බොරැල්ල ආදී විවිධ තැන් හි සිට පෙනෙන ආකාශ රේඛාවේ වෙනස්වීම නරඹනු පිණිස ඇරයුම් කරයි.

1960-70 ගණන්වල මහගම සේකර කළාක් බඳු අභියෝගයක් එරික්ගෙන් කවියට එල්ල වෙයි. ගුහා ගත නොවන එළිමහන් අවකාශයක් වෙත කවිය ගෙන ඒම එම අභියෝගයයි. ජෙෆ්‍රි බාවා ගේ ජීවන රටා හැසිරවිම දක්වා කිඳා ගිය 'වාස්තු වේදය' සේම පිත්තල හන්දිය, දෙමටගොඩ වේගයෙන් ඉදිවන මහල් නිවාස ආදී තත්කාලීන විසිතුරු ඔහුගේ කවියේ පිළිබිඹු වෙයි.


ඔහු කොළඹ ආකාස රේඛාවේ භින්න ජ්‍යාමිතියට අරක් ගන්නා රුදුරු අවතාර ගැන ලියයි.

ඒ දුදන අහස මත
ඇණ වලින් සවි කරනු
පෝය වෙනුවෙන් තැබෙන
බාල වීදුරු රවුම [කොළඹ යක්කම- පිත්තල හන්දිය]

මුල්ම උපත මුල් මළගම
එකපිට එකපිට සිදුවිය
අලුත ලැබුණු දැලට උඩින්
වොලි බෝලය ඉහල නැඟින [ මහල් නිවාස/එම]


එරික් ගේ කවියේ රූප සොයන අතර ජැක්සන් පොලොක් [1912-1956] ගේ ක්‍රියා චිත්‍ර [action paintings] විසින් පුරෝකථනය කළ වියවුල් න්‍යාය පිළිබඳ සටහනක් හමු විය.පොලොක් ගේ චිත්‍ර විශ්ලේෂණය කළ ටේලර්, මිල්කොලිච් හා ජොනාස් ඔහුගේ සිතුවම් කාලාවර්තීව [synchronic] සළකා බලා ඒවායේ ඇති වියවුල් න්‍යායික අන්තර්ඥානය ගැන සඳහන් කරති.  ජැක්සන් පොලොක් චිත්‍ර නිර්මාණයේදී මාධ්‍ය එලෙසම භාවිතා කරන නමුත් සිය චිත්‍ර ඵලකය ඊසලයෙන් [ආධාරකයෙන්] ගලවා බිත්තියේ හෝ පොළවේ අතුරයි. "මට පොළවේ ඇතිරූ කැන්වසය හා පහසුවෙන් වැඩ කළ හැකියි." ඔහු කියයි. ඔහු බුරුසුව වෙනුවට කෝටු, පිහි, මේසන් හැඳි වැනි සම්ප්‍රදායික නොවන මෙවලම් යොදා ගනි.

එරික් කඩදාසිය හා කවිය ත්‍රිමාණ අවකාශයේ එල්ලයි. එය කොළඹ ආකාශ රේඛාවට තබා ඇණ ගසයි. ද්විමාන දෘෂ්ටියකින් කියවීමට හැකි නමුත් ඒවා ත්‍රිමාණ දෘෂ්ටිය තෙක් විකාශ කරයි. සයිබර් යුගයක කවි පැටවු ගසන සමයක, කවිය පර්යාලෝකයෙන් නැරඹීමට එහි වස්තු විෂයය විදාරණය කරයි. 

එරික් ගේ පිත්තල හන්දිය කවිපොත කියවමින් ගිය මම දුම්රිය රාගම පසු කරද්දී පහත පණිවිඩය [SMS] ලිවීමි.

After reading Pittala Handiya..

Your sight of sunrise...
Covered by slum towers...
The daily eyesore...( < සිරි  ගුනසිංහ ගෙන් හොරකම් කළා)

Day has become a night..
While night remained night..

The women of the night..
Visible on the horizon..
They lost their hangout..
Not at Chandni Chowk,.. but at Pital Chowk..

How could..a sad poet...
See the beauty of night..
The beauty of the changing skyline..
The skyline only…

If he does not see..
The beauty of the Temple Trees...?

එරික් කොළඹ එන කෝච්චිය, උදෑසන කැලණි පාළමෙන් කොළඹට පිවිසෙන විට  කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් රෑ පුරා නික්මුණු ගෙන්දගම් වාෂ්පයෙන් අනුන වලාව සිරිපා නැමද උදාවන හිරු එළියෙන් දිදුලනවා ඔහුට පෙනෙනවා විය හැකිය. කොලොන්නාවෙන් පෙනෙන කොළඹ නගරයේ ආකාශ රේඛාව අහස් සූරන මැදුරු, දොඹකර ඔටුනු ලූ නව ඉදිකිරීම්, සහිතව මුඩුක්කු පෙලක් ඔස්සේ ක්ෂිතිජය වෙත පහත් වෙනවා ඔහු දකිනු ඇත. නාගරික අලකාව ඉදි කරන  විගස එහි අභාවයා ගේ අභාවය වන මුඩුක්කු හා නාගරික පාදඩ උපස්ථරය ඉදිවන බව හා විස්තාරණය වන බව දෙමටගොඩ දුම්රිය අංගනයේ අබලි දුම්රිය කොටස් අතරින් ඇදෙන හන්ස්ලේ ඇන්ජිමක දුම් අතරින් ඔහු ඇස ගැටෙනු ඇත.

වඩා වැදගත් වන්නේ මේ සියල්ල දැකීම හා ඒවායේ සාහිත්‍යාංශූන් හා රටා වෙන්කර  හඳුනා ගැනීම .


ආශ්‍රිත:
1.      දොරමඬලාව - දයාසේන ගුණසිංහ
2.      මස් ලේ නැති ඇට , අබිනික්මන - සිරි ගුනසිංහ
3.      මැදියමේ ගීතය හා තවත් කවි, ආලින්දය, මගෙ කොළඹට සඳ පායා, පියැස්සක් නැති පරවියෙක්, පිත්තල හන්දිය - එරික් ඉලයප් ආරච්චි
4.      Introducing Chaos – Ziauddin Sardar, Iwona Abrams



5 comments:

Rohan Jayasena said...

Akuru kala sithvili samaga anada sevane athithaya aawarjanaya kalemi.... Rohan London

හෂිත said...

http://poerty-dawson.blogspot.com/
ෆ්‍රැක්ටල් ජියොමෙට්රි (Fractal Geometry) හෝ හෂිත එය සිංහලට පෙරලන අයුරින් "භින්න භාග ජ්‍යාමිතිය" (මෙම සිංහල පරිවර්තනය මා හට දැනෙන්නේ කිසියම් දෝශයකින් පෙලෙන බවයි. භින්න භාග යනු කිසියම් සංකීර්ණ වීජ ප්‍රකාශනයක් භාග ලෙස පැවතිය හැකි අවස්ථාවක එහි හරයේ ඇති ප්‍රථමක සාධක ඇසුරින් වෙනස් නමුත් සංකලනයෙන් හෝ එකතුවෙන් සර්වසම භාග කීපයක් බවට මුල් වීජීය ප්‍රකාශනය බිඳ දැමීම යි. ෆ්‍රැක්ටල් ජියොමෙට්රි තුළ එබන්දක් නොපවතී. එහි ඇත්තේ විශාලනයේ දී පවත්වා ගන්නා සමමිතිකභාවය නම් වූ සමමිතිය ආශ්‍රිත සංකල්පනයකි.)

හෂිත said...

මේ ඩෝසන් බ්ලොග් අවකාශයේ කළ රචනාවන්ගේ අතුරු ඵලයක් හෝ සෘජු ඵලයකි. වියවුල් න්‍යාය සාහිත්‍යය හා සම්බන්ධ කිරීමට මා තුල දශකයක් පමණ ලියලූ උවමනාව එළියට පැන්නේ වචන ටැක්සිය නිසාය.
සුනන්ද ඔබේසේකර පාසැල් මිතුරු/විවි බැචා, 1997 මයිකල් ක්‍රිච්ටන් ගේ 'ද ලොස්ට් වර්ල්ඩ්'ගෙනැත් දී මචං මේ පොතේ කේඔස් තියරි එක ගැන හැම චැප්ටර් එකකම මුල ලියලා තියෙනවා, ඒක ෆලෝ කරපං, කියූ වග ද මතකයට නැගෙයි.

හෂිත said...

http://wachana-taxi-notes.blogspot.com/2012/08/blog-post.html
එක්තරා ග්‍රීක මිථ්‍ය කතාවකට අනුව විශ්වය නිර්මානය වන්නේ කේඕස් (Chaos)1 නැමැති හිස් අවකාශය කාලය පවා නොමැති ශූන්‍යතාවයක සිට ඉබේමය. කේඕස් යනුවෙන් යෙදෙන්නේ ඉංගිරිසියෙන් "වියවුල" නම් වූ සංකල්පය වෙනුවෙනි. මේ කිසිවෙකුගේ සම්බන්ධයකින් තොරව ඉබේ හටගන්නා පෘථිවිය, මුහුද සහ අහස ආකාර වූ පදාර්ථයේ ස්වරූප ත්‍රිත්වයෙන් (ඝණ, ද්‍රව, වායු) ඉන්පසු ඉබේම පහල වන "ගයියා" (Gaia) නම් වූ දෙවඟනක විසින් පෘථිවියේ පාලනය නතු කර ගනී. මේ අහස පොළව සහ මුහුද යන ත්‍රිත්වය නිර්මානය වන බලවේගය ග්‍රීක මිථ්‍යා කතාවට අනුව හිස් බවකි. එනම් කිසිවක් නොමැති අවකාශයෙන් මේ ත්‍රිත්වය හෙවත් පදාර්ථය හට ගත් බවයි ඉන් කියැවෙන්නේ.

විචාරක Wicharaka said...

මේ අඩවියට පළමු වරට ආවේ අදයි. සතුටු වීමි. බෙහෙවින් සතුටුවීමි. රස වින්දෙමි. බොහෝ රස වින්දෙමි. ඔබ අර්ථවත් යමක් ලියන බව ඉතා පැහැදිලිව පෙනේ. බ්ලොග් ගොහොරුවෙන් නැගී සිටින අරවින්දයක් වන්නට හද පත්ලෙන්ම සුබ පැතුම්.

ගූගල් අයි එම් ඊ මගින් කෙලින්ම බ්ලොග් එක මත අදහස් ලියන්නට බැරි බව පෙනේ. එය විසඳීමට උත්සාහ කරන්න.

අසමි දකිමි සොයමි ලියන විචාරක