Wednesday, 8 August 2012

සුදු නෙළුම...


උදයංගි ගේ මරණය මා නිහඬ කළේය.

සිමොන් දෙ බුවා  [Simone de Beauvoir] සිය දෙවැනි ලිංගය’[the second sex] නම් මහා පොත  ලියමින් කියා සිටියේ ස්ත්‍රීන් පෙලන රෝග, ආබාධ, අතුරු-ආන්තරාවන්ගෙන් සියයට අසූවක් ඇතිවෙන්නේ ඔවුන් ස්ත්‍රීන් නිසාම බවයි.

උදයංගි බොහෝ ගැහැණුන් යන මඟ ගියා මතු නොව ඉන් ඔබ ඇති සියළු මිනිස් වගට පොදු මරණයේ පියෙස වෙතද පිවිසියා . ඇය අත්හැර ගිය භෞතික සිරුර දවාලූ පසු ඉතිරි වූ ශේෂයන් කැළණි පන්සල ළඟ තොටුපොළෙන් දියට ලූ මොහොතේ මහ පොළව කම්පා විය. පෙර දින අඬා වැටුනු අහස නිසා බොරදියෙන් ආඪ්‍ය වූ කැළණි ගඟ ඇයගේ දරුවා ගේ අළු සඟවා පහළට ගලා ගියේ අ‍ප්‍රේල් 11 වෙනි දාය.

ඈත සුදු නෙළුම් මල් පාව යනු දුටු මට ජීවිතයේ සාපේක්ෂ බව මොහොතකට හැඟිණි

උදයංගි 2009 දී ඔවුන්ගේ මඟුල් පෝරුව සැළසුම් කළ නෙළුම් මල එහි රළු රාමුවේ දැවටී අවුරුදු තුනක් පොලිතීන් කවරයක බැස සිටියේ , පෙරදාක එහි පොලිතීන් ගලවා රාමුව රිදී පැහැයෙන් වර්ණ කර සාලයේ බිත්තියේ එල්ලීමු. එරන්දතී රිදී පැහැ රාමුව දෙස බලා 'සෝකය' පිළිබඳ අදහසක් ඇගේ ළමා වදනින් පළ කළාය. සෙන්ටිමීටර එකක ඇදයක් ගැන දබර කරගනිමින් අපේ ගෙදර උන්දෑ මම මහායාන මණ්ඩලයක් සිහිකරන නෙළුම් කැටයම බිත්තියේ එල්ලා  අවසානයේ පොදු විඩාවකින් යුතු වාඩි වී නෙළුම් මල දෙස බලා උන්නෙමු


සමමිතිය හා සවිස්තර බව කැමති යුවතියකගේ භාව-ශේෂය මේ යැයි කියමින් නෙළුම් මල අප දෙස පෙරළා බලා සිටිනු පෙනෙයි. රතු පසුබිමක අමුරෙදි පාට නෙළුමේ රටාව කැපී පෙනෙයි. සැඳෑ හිරු හල්මිල්ල අතු අතරින් බැසයන්නේ නෙළුම් පෙත්තක් සිය රන්වන් රැස් කෙඳිත්තකින් ස්පර්ශ කරමිනි

අවුරුද්දක් එක හමාරක් පමණ අපට මඟ හැරී තිබූ ගෙයි සාලාව වෙත උදයංගී නැවත අපව කැඳවා තිබේ. සැළසුමෙහි තැනක ගෘහවැසියන්ගේ පැවැත්ම රටා ගන්වනු පිණිස සූර 'වාස්තු ශිල්පියෙකු' සඟවා තබන වශී ගුරුකමක් වැනි ව්‍යුහ-රූප සමායෝජනයේ සමාපත්තිය ඇති කිරීමෙනි. මල්ලිගේ ගෘහ සැළසුමේ වූ දෘෂ්ටිමය රික්තය පිරවූයේ උදයංගී ඉතිරි කර ගිය නෙළුම් මලයි.
 
සාලාවේ බිත්ති බෙයදෙහි වූ අවකාශමය විස්තාරණය භේදනය කර ඇසට හසු කරගත හැකි පහත හා ඉහළ වෙනස ඇති කළ උදයංගි ගේ නෙළුම් මල අපේ සාලය ප්‍රීයමනාප තැනක් කර ඇත.

ඇයගේ වෙන්ව යාමේ තිළිණය යැයි සිතන්නට මම කැමැත්තෙමි
 
එරික් ඉලයප් ආරච්චිගේ පිත්තල හන්දිය ගොළු බවකින් කෙනෙක් අවදි කරවන සුළු කවි එකතුවකි. එහි 13 වෙනි පිටුවේ මෙවැනි පද්‍ය අර්ධයක් වෙයි..
වරක් අත් දුටු සතුට සදා සතුටකි ඇයට..
සුළඟ අතු රිකිලි සේ ඉගිල යන ලිහිණි සේ ...
කෙටි කලක් විඳි සතුට සදා සතුටකි ඇයට.

[ප්‍රීතිමත් වැන්දඹුව-පිත්තල හන්දිය 2012]

ඉතා කෙටි වූ යුගජීවිතයක සතුට විඳ කිසිදු වේදනාවකින් තොරව ඇය යන්න ගියා යැයි මම සිතමි. ඇය කිසිදා මහලු නොවන, අපේ සාලයේ එල්ලා ඇති නෙළුම් මල සේ රුවෙන් ගුණයෙන් ජරාවට නොයන හර්ද රූපයක් වී සිටී.

උදයංගී නෙළුම් මලකින් මා අමතා නිහඬ බව බිඳ දමා ඇත......  

2012/Aug/06

6 comments:

Hasitha said...

කලකට පස්සේ දුක හිතෙන සිදුවීමක් එක්ක ඇවිත්නේ...

තිස්ස දොඩන්ගොඩ said...

හැමදාටම ජීවත් වන්නන්ට දුක අලුත් කරන දෙයක් වේවිද, දුක තුනී කරගන්න උදව්වක් වේවිද?

ලිපියේ හැටියට හෂිතට නම් දෙවැනි දේ වෙන හැඩයි...

හිරුහිමාවී said...

................. දුක..

Lishan Puwakowita said...

දුක දැනෙන්නේ මියෙන්නන්ට නොව ජීවත් වනවුන්ටය..,
ඒ මියෙන්නාගේ පහස ජීවත් වනවුන්ට අහිමිවීමේ දුක නිසාය..,
මියෙන්නා ජීවත් වන්නන්ට වඩා පියවර ඉදිරියෙන් සිටින බව දන්නේ එහෙමත් එකෙකු පමණි..,
එහෙම එකකු ඔබ පවුලේ සිටින වග මම දනිමි..!

රතු රජරට said...

නොගියොත් යළිත් ආ නොහැකිය
යාම හොදය
ගොස් ඊමද හොදය
ලොවැ ඇත්තේ යාම් ඊම් ය
නෑවිත් යන්ට බැරිය
නොගොස් එන්ට බැරිය
--මළවුන්ගේ අවුරුදු දා -

TG said...

මට මොහොතකට අපූගේ ලෝකය අපර්ණා හා අපූ හා මතක්වුනා ....කෙටි මිහිරි යුගදිවියක අවසානය ... මරණින් මතු අපර්ණා කොහේ ඇත්දැයි සිතමින් යෝගියෙකු සේ ඉබාගාතේ යන අපූ....