Friday 31 January 2014

පියතිලක


එක පැත්තකට පමණක්
වාහන ගමන් ගන්නා
බම්බලපිටිය හන්දියෙ
පැරණි උයනක් වෙයි

නුග රුක් වැවී සා බර
වල්ලහපට්ට වැනි
අගනා මිහිරි හර යුත්
නොයෙකුත් රුකිනි සසොබන
සෙවණට ඉන්න යහපත්
අඳුරු හේඩාවැති
උයනකි ඉතා සුන්දර

උයන් පල්ලෙක් වීය
සියලු රුක් දැනගත්
කුසුමෙන් කුසුම රැකගත්
සෙවණට පැමිණි සියොතුන්
ඔහුගෙන් ගී අසා ගත්

ජෑස්, කර්ණාටක්
ඇෆ්‍රෝ, රෙගේ, රිදම් හා බ්ලූ
ෆියුෂන්, ලතින්, මෙටලික් රොක්
මනරම් ඉස්තරම්
වැවුනයි එහි කුසුම් කැන්..!

සංස්කෘතිය වගා කළ
නෙගණ පිල් රැස්කළ
උයනක් නොවී වෙන
ගෙන්දගම් පොළව මත

අළුත් ගී මියුරූ
සොයමින්  නිබඳ සැරි සැරූ
කල් රැකි පැරණී ගී
යහනෙහි සිටිය මල් කරූ

රිය යන එක දෙසට
මහ මං තීරු ඇතිරෙන විට
උයනක නිසල බව
ඇවැසි වෙද කා හට
එ සිතූ උයන් පල්ලා
අස්වනු නෙලන්නා හා
යන්නට ගියේ නික්මී
දවසක හදිසියේ..

ලෝරිස් පාර අයිනේ
ඇති කුඩා උයනේ
නොනිවෙන කුඩා පහනක්
උයන් පල්ලා නමින් දැල්වේ..!


හෂිත අබේවර්දන

30-01-2014