Saturday 28 September 2013

කිවියර සොහොන් බිම පිපුණු සෙව්වන්දිය




පෙරදිග සියලු ගීත රෑ කොවුලෙක් රෝස කුසුමකට ආලය කළ අන්දම පවසයි. නිහඬ තරු පහන් රාත්‍රීන් හි දී පියාපත් ඇති ගායක තෙමේ ඔහුගේ සුගන්ධිත කුසුමට පෙම් ගී ගයයි.

උදාරම් බවින් දිගු ගෙල ඔසවාගත් ඔටුවන් පිට බර පටවාගත් වෙණෙඳ කෙනෙකු සුසුදු බිම මතින් ඔවුන් දක්කාගෙන යන, ස්මිර්නාවෙන් වඩා ඈත් නොවෙන තුඟු රඹ යාය යට රෝස වදුලක් දුටිමි මම. උසැති ගස් අතු අතර කැලෑ පරෙවියන් පියා හැඹූහ. ඔවුන්ගේ පියාපත් දිලිසුනේ මුතුයෙන් තැනූ කලක මෙනි.
රෝස වදුල එහි වූ සියළු කුසුමන්ට වඩා සුන්දරතර වූ එක් කුසුමක් දරා සිටියේය. රැ කොවුලා සිය දුක්බර ගීත ගායනා කළේ ඇය උදෙසාය. එහෙත් රෝස කුසුම නිහඬව උන්නාය. ඇගේ පෙති වටය මත දයාවේ කඳුලකට බඳු එකද තුසර බිඳක් හෝ නොවැතිරින. ඇය සෙල් පුවරු කීපයක් වෙත නැමී උන්නාය.  
'මෙහි ලොවෙහි උත්තම වූ කවියා සැතපෙයි. ඔහුගේ සොහොන මත මගේ සුගන්ධය වගුරුවමි. සැඩ කුණාටුව විසින් ඉරා හළ කල්හි ඒ මත මගේ පෙති විසුරුවා ලමි. ඔහු ත්‍රෝජ පුරය මිහිබත් වූ අයුරු ගැයීය. මම ඒ බිමෙන් උපන්නෙමි. හෝමරයන් ගෙ සොහොන් බිමෙහි ජාත රෝස කුසුම මමයි. දුප්පත් රෑ කොවුලෙකු උදෙසා පිපෙනවාට වඩා අගයෙන් යුතු වෙමි.' සෙව්වන්දිය පැවසුවාය.

රැ කොවුලා ගී ගයා එයින්ම මිය ගියේය.

ඔටු සාත්තු නායකයා බර පැටවූ ඔටුවන් හා කාපිරි වහලුන් සමග පැමිණියේය. ඔහුගේ සිඟිති පුතුට මියගිය කෝකිලයා හමු විය. ඔහු කුඩා ගායකයා ව උතුම් හෝමරයන්ගේ සොහොනේම වළලා දැමීය. රෝස කුසුම සුළඟෙහි සැලුනාය. සැඳෑ කල උදා විය. රෝසිය සිය පෙති එකිනෙක හකුළුවා ගෙන මෙබඳු සිහිනයක් දුටුවාය.

එය පැහැපත් ඉර එළියෙන් දීප්තිමත් දිනයක් විය. අමුත්තන් රැසක් ඇය අසලට පැමිණියහ. ඔවුන් හෝමරයන්ගේ සොහොන් බිම වෙත වන්දනා ගමනක පැමිණ සිටියහ. අමුත්තන් අතර වලාවන්ගේ හා උත්තරාලෝකය නිවහන වන උතුරෙන් පැමිණි කවියෙක් විය. ඔහු රෝස කුසුම නෙලා ගත්තේය. එය පොතක පිටු අතර තබා ලොව අන් තැනකට ගෙන ගියේය. දුරින් වු ඔහුගේ පීතෲ භූමියට ගෙන ගියේය. රෝස කුසුම දුකින් වියැකී යමින් කුඩා පොතෙහි පිටු අතර සැතපී සිටියාය. කවියා ඔහුගේ නිවසේදී එය විවෘත කර මෙසේ කිවේය "මේ හෝමරයන්ගේ සොහොනෙන් ගෙනා රෝස මල"
මේ රෝසිය දුටු සිහිනයයි.

ඇය නින්දෙන් අවදිව සුළඟේ සැලුනා ය. ඇගේ පෙති අතරින් ගිළිහුණු තුසර බිඳක් කිවියර සොහොන මත රැඳිනි. ඉර නැගිනි. රෝස කුසුම පෙරටත් වඩා සොඳුරු බවින් ආඪ්‍යවුවාය. ඇය ඇයගේ ආසියාවෙහිම සිටියා ය. පිය ගැටෙන හඬ ඇසිනි. ප්‍රංශ අමුත්තන් පැමිණියහ. ඒ සැබවින්ම රෝස කුසුම සිහිනයෙන් දුටුවා මෙන් විය. සංචාරක අමුත්තන් අතර උතුරෙන් පැමිණි කවියෙක් විය. ඔහු රෝස කුසුම නෙලා ගත්තේය. එහි නැවුම් මුව මත හාද්දක් තැවරීය. ඇය වලාවන්ගේ හා උත්තරාලෝකයේ නිවහන වන ඔහුගේ දේශයට ගෙන ගියේය.

කල් සුරැකි සිරුරක් සේ රෝසිය ඔහුගේ ඉලියඩ් හි පිටු අතර වැතිරී සිටියාය. සිහිනයේ සේම ඇය, ඔහු පොත විවර කරන අතර මෙසේ පවසනු ඇසුවාය.

'මේ හෝමරයන්ගේ සොහොනින් ගෙනා රෝස මල'.

හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්


හෂිත/ 19-11-1995