Saturday 2 October 2021

වැල්ලවත්තේ දිනෙක

වැල්ලවත්තේ දිනෙක

නෙරූඩා ආවාස කළ

දැවෙන පොල් තෙල් සුවඳ

පිච්චමල් පුසුඹ

හමන සුළඟේ මුසුව

 

කපු යාර හය වෙලූ

නටන පස්සකි දුවන

ජේත්තු උස් පාවහන්

අඟල් හතරක් උසට

අලුත් නිළියක් නොවෙයි

මේ කොළඹ විසූ ළඳ

අවලාද අවමාන

බහු බැරල්

පහර ලද


තොවිල් යක් බෙර හඬින්

ගිගුම් දෙයි කොළඹ හය

ගම ගෙනැත් පැළකලා

වැනිය මෙහි නුවර මත

 

රතුපාට, කහපාට

වීදි වේදිකා මත

මැදින් මහ වැහි වැටෙයි

විසුළ කුණු සෝදනු පිණිස..

05/


03/2014




Tuesday 13 July 2021

බටු පලුව - ක්‍රිෂන් චන්දර්

 

(මේ පරිවර්තනය ගඟ පැත්තෙන් මහා සද්දයක් ඇහුනු කට්ටියට පිදේ!) 

-සිංහලට දැම්මේ හෂිත අබේවර්දන-


හොඳා, මට බරම්පුර් වල රස්සාවක් හම්බුනේ නැති වෙලාවේ, අපි දවස් දෙකක් තිස්සේ හාමත් වෙලා ඉන්නකොට, මගේ සාක්කුවේ පයිසා පනහේ කාසියක් විතරක් ඉතුරු වෙලා තියෙන අල්ලපනල්ලේ, මම මගේ ගෙදර උන්දෑගෙන් මෙහෙම ඇහුවා: “අඩුම ගානේ අද දවල්ට කන්ට ආටා ටිකක් හරි තියේද?

“හ්ම්, චපාති හතරකට විතරක් ඇතිවෙන්න තියෙනවා.”

‘එහෙනම් ඒක හරි.’

‘ඒ කොහොමද?’ ඒ ඇත්ති ඇහුවා.

මම මගේ සාක්කුවෙන් පයිසා පනහේ කාසිය ඇන්න උන්දැගේ අතට දීලා හිට මෙහෙම කිව්වා: ‘එළවලු කඩේට ගිහිං හිට, වම්බටු ටිකක් ඇන්න වරෙන්. උඹට හොඳ රහට බටු කුරුමාවක් හදන්ට පුලුහන් කියලා මම දන්නවා නෙව.’

‘දවල් කෑම හරි, එතකොට රෑට කන්නේ අහවල් දෙයක්ද?’ එවුන්දෑ බයක් හැකක් නැතුව කියව්වා.

‘උඹ ඒවා ගැන හිතන්නෙං කාරි නෑ, මගේ ආලවඩන හාන්නැහේ. උඩ දිවිය ලෝකේ ඉන්න ඇත්තාම ඒක බලා ගනියි.’

එතකොට හුණු බදාමෙන් හදාපු ටාජ් මහල් රූපේ ඉදිකරලා තියෙන ඇබිත්තන් විදුරු පෙට්ටිය මගේ ඇහැට වැටුනා. මම මේක අපේ උන්දැට ඇන්න දුන්නේ අපි දීග කන්න පටන් ගත්ත මුල්ම දොහේ. මම මේක ගත්තේ අග්‍රා ගියාපු වෙලාවේ ටාජ් මහලේ බැලුවයින් පස්සේ. ආලවන්තකම කියන්නේ මහ අමුතුම, කාටවත් කියාගන්න බැරි එකක්, දීග කන්න ගත්ත මුල්ම දවස්සොල ඒක හරිම මෙව්වා එකක්. මේ රුපියල් විස්සේ තෑග්ග දුන්නහම අපේ උන්දැගේ කම්මුල් දෙකේ පිරිච්ච රෝස පාටක් ඇල්ලුවා නෙව. එත් දැන් ඉතිං මේකවත් විකුනලා කීයක් හරි හොයා ගන්න වෙනවා කියලා හිත හදාගෙන ඒක දිහා බලද්දිං, අපේ උන්දැගේ මූණට මහ අලුපාට කළුවක් පාත් වුනා.

උන්දැ කුපිත වෙලා, බයෙන්, කර කියා ගන්න දෙයක් නැතුව, ‘ නෑ, නෑ, මම ඔහෙට ඒක විකුණන්ට දෙන්නේ නෑ, ඕක නිමිත්තක්, ඕක තමා මගේ සුවාමියා පණපිටින් ඉන්න එකට තියෙන නිමිත්ත.’

මම එවුන්දගේ කේන්තිය බාල කරන්න මෙහෙම කිව්වා. ‘හරි හරි, අපි ඒක විකුනන්නේ නෑ. අපි ඒ වෙනුවට වෙන මක්ක හරි විකුනමු. එතකොට උඩ ඉන්න ඇත්තා අපිට කරුණා දිවැස් වදාරයි. හැබැයි, දැන් කඩේ ගිහින් වම්බටු ටිකක් ඇන්න වරකෝ. මම මෙතන සුදහ ගින්නේ මැරෙන්න තනනවා නෙව.’

උන්දැ කඩේ ගිහින් අලි කළු බටු ගෙඩි ටිකක් ඇන්න ඇවිත්, කුස්සියට ගිහිං එව්වා කපන්න ගත්තා. උන්දැ පලවෙනි ගෙඩිය දෙකට පලු ගහන ගමන් හදිස්සියේ ම නැවතුනා - පිහිය ඔලුවට උඩින් උරුක්කරගෙන හිටං.

‘මොකෑ බොල?’ මම ඇහුවා.

‘මේ බලහල්ලා, බටු ගෙඩියේ ඇතුලේ ලියවිලා තියෙන එක.’

මම බටු ගෙඩිය හොඳට බැලුවා.

බටු ගෙඩිය ඇතුලේ ඇට ටික ‘අල්ලා’ කියලා කියවෙන්න අරාබි අකුරෙන් හැදිලා තිබ්බා.

මම ඒ කාලේ පදිංචි වෙලා හිටියේ මෝහල්ලා පුරිබාන් වල නෙව, ඒක හැම ජාතියම කලවං වෙච්ච දිහාවක් නෙව. බාගෙකට වැඩිය අපි වාගේ හින්දුවෝ. අනික් බාගේ වැඩියෙම්ම මුසල්මානුවෝ. තැන තැන ක්‍රිස්තියානි ආගමේ ඈයොත් ඉහිරිලා හිටියා. වම්බොට්ටේ ‘අල්ලා හිටිය ආරංචිය මෝහල්ලා හැම තැනම ලැව්ගින්න වාගේ පැතිරිලා ගියා, හැම පැත්තෙම්ම මිනිස්සු නඩ-නඩ ආවා දේව හාස්කම දැක බලා ගන්න. හින්දු ක්‍රිස්තියානි කවුරුවත් ඒක හාස්කමක් කියලා මායිමකට ගත්තේ නෑ, හැබැයි මුස්ලිම් ඈයෝ එහෙම පිටිම්ම ඒක බාර ගත්තා. හජ්ජි අච්චන් මහත්තයා රුපියල් පහකින් පලවෙනි සම්මාදම දුන්නේ කටයටින් මොකක්දෝ එකක් මතුරන අස්සෙමයි.

මේ හාස්කමේ සුද්දවන්තකමයි ඒක ආරස්සා කරන්නයි ඕන හින්දා මම ටාජ්මහලෙ එලියට ඇන්න බටු පලුව වීදුරු පෙට්ටියේ දැම්මා. සම්‍යක්දෘෂ්ටිවන්තයෙක් ඒක යටින් කොළ රෙද්දක් එලුවා, ඉතිං ඔන්න අපේ මුන්නන් මහත්තයා ඇවිදින් කුරානේ කියවන්න ගත්තා. ළඟ අහල-පහල දිහාවල් වලින් මුස්ලිම් ඈයෝ - සමස්තිපුරේ හිට මෙමොනාපුරේ වෙනකම්, තව බයිජ්වාඩා හිට කාමනගර් වෙනකම්, සයිලන් මියන් හන්දියේ හිටං මෝහල්ලා කොතියාරන් වෙනකම් - මේ හාස්කම දැකබලා ගන්න නඩ හැදිලා ආවා.

එකෙක් මෙහෙම කිව්වා : ‘බලාපියව් අපේ ආගම මිත්යාදෘස්ටිකයින්ගේ ගෙවල්ලොලත් පැහිලා පල දෙන හැටි’

අනිකා මෙහෙම කිව්වා : ‘මේක අල්ලා ගේ කැමැත්ත, මේක මේ මිත්යාදෘස්ටිකයින්ට දොස් කටින එක ගැන දැනුං දෙන හැටි.’

සම්මාදන් ගලාගෙන එන්න ගත්තා. පලවෙනි සති දෙකේ මට රුපියක් හත්දාහකට වැඩිය එකතු වුනා. මං ඒකෙන් රුපියල් තුන්සීයක් පැය විසිහතර තිස්සෙම හෂිශ් ගහලා දේව හාස්කම ආරස්සා කරපු සෙයින් කරම් ශාහ ට දුන්නා. දවස් විස්සකට පස්සෙන් පහු සෙනග තුනී වෙන්න ගත්තා.

ඔන්න එක දොහක රෑ සෙයින් කරම් ශාහ අබිං සැරට උඩුකුරුඤ්ඤං ගහලා ඉන්න අස්සේ මම බටු පලුව ඇන්න, ඒක ඩිංගක් හරවලා හිට අපේ උන්දැ ළඟට ඇන්න ගිහිං පෙන්නුවා. ‘මේං බලාපං, දැන් මොකද්ද පෙන්නේ?’ මං උන්දැගෙන් ඇහුවා.

උන්දැගේ අත කටට ගියා. ඇස්දෙක මහ පුදුමෙන් ලොඬි වුනා. ඒකි පුදුමෙන් කෑගැහුවා, ‘හරේ රාමා!’ මේ බලපල්ලකො, අරාබි අල්ලා කොහොමද දේවනාගරී ඕම් අක්සරේ වුනේ. මේක නම් ඇස්පනාපිට වෙච්ච මහාබල හාස්කමක් නෙවද.’

මං එදාම රෑ පණ්ඩිත රාම දයාල් ගේ දොරට තට්ටු කරලා උන්නැහේව ඇහැරවා ගෙන ඇවිල්ලා හිට - දැන් ඩිංගක් වෙනස් කරලා තියලා තියන බටු පලුව පෙන්නුවා

‘හරේ රාමා! හරේ ක්‍රිෂ්ණා! මේ ඕම්, අපේ ඕම්. මෙච්චර දවසක් මේ තම්බි අපිව රවට්ටලා නෙව.”

සෙයින් කරම් ශාහව ඒකගේ තුන්කුදු ඇනගත්ත නින්දෙන් කීද්දුවා. ඒකා රාම් දයාල් දිහාවේ රතු වෙච්ච ඇස් දෙකෙං බැලුවා.  ‘තොලොංචි වෙලා පල, මිත්යාදෘස්ටිකයා, තොපි අපේ ධර්මය අපිරිසිදු කරා. අපේ ඕම් තොපේ අල්ලා එක්ක නිනව්වක් නැතුව මුහු කරලා. පල යන්ට.’ ඒකාව ගෙයින් දොට්ට විසි කෙරුව රාම් දයාල් ආන්න එහෙමයි කිව්වේ.

ටවුමේ හිටිය හින්දුවොන්ට තන්තෝසේ බැරුව ගියා බටු ඇට රූපේ හැබෑවටම තියෙන්නේ ඕම් කියලා මිසක අල්ලා කියලා නෙවෙයි කියලා දැනගත්තට පස්සේ. පණ්ඩිත රාම් දයාල් මේ සිද්ද වෙච්ච එකේ බලේ එහෙම පිටිම්ම තමන්ගේ අතට ගත්තා. හැමදාම බටු පලුව ඉස්සරහ පිට දවල් රෑ  දෙකේම පාන් පූජා තියන්න ගත්තා. කිර්තන්, බජන් කිව්වා, සල්ලි වලින්, රෙදි පෙරෙදි වලින් වෙන එකක් තියා ඔන්න ආබරණ වලින් හිට මහාසාර පුජා තියන්න ගත්තා. මම ඒ පූජා වලින් පහෙන් පංගුවක් පණ්ඩිතයන්ට දුන්නා. මහන්සි වෙලා වැඩකරන ඇත්තන්ට හොඳට සැළකෙන්න ඕන. මම සාදාරණේ, දුකට දුප්පත්කමට වැටිච්ච මිනිස්සුන්ට උදව් පදව් කරන එක විස්සාස කරන මිනිහෙක්.

 දැන් ඉති සාමි ලා ගුරු ජි ලා එක එක ආචාරීන් ලා එක එක දිහා වලින් ආවා නෙව. අල්ලා, ඕම් වෙච්ච එක හැටියකට තම්බින්ව පරද්දපු, පානිපත් වල කියලා තියෙන යුද්ද තුනම දිනපු බටු පලුව බැහැ දැකලා යන්න. අපේ දර්මයේ තියෙන ශ්‍රේෂ්ට කම ගැන කතා කරන දේසනා ටවුමේ කීයක් නං තිබ්බද මන්දා. ටික ටික මෙහෙ තිබිච්ච හිතවත්කම ඇඹුල් වෙලා යන්න ගත්තා, අවිස්සාසෙට, හිත ගැස්මකට.

හින්දුවෝ කිව්වා, ‘සත්තකින්ම මේ ඕම්.’

මුසල්මානුවෝ කිවවා, ‘කුක්කුච්චයක් නැතුවම මේ අල්ලා.

‘ඕම්.’

‘අල්ලා.’

‘හරි ඕම් තත් සත්.’

‘අල්ලා හු අක්බර්.’

ඊ ළඟ මාසේ මම සුද්ද ලාබේ විදිහට සම්මාදම් දේව පූජා වලින් රුපියල්ම විසිපන්දාහක් සාර සුබාවට නෙලා ගත්තා.

එතකොට මේ හාස්කම ගැන තිබිච්ච උනන්දුව ටික ටික ඇකිලා මැකිලා යමින් තිබ්බේ. ඉතින් මේ දේව උනන්දුව දිගටම අවුස්සලා තියාගන්න මට වෙන හැටියක් කල්පනා කරන්න වුනා.

දවසක් රෑ රාම් දයාල් හොඳටම බුදියගෙන ඉන්නකොට මම අපේ උන්දැට කතා කරලා මෙහෙම කිව්වා, ‘යෝදියේ බටු පලුව බලපන්. ඒකේ ලියලා තියෙන්නේ මොකද්ද?

‘ඕම්. මේ තියෙන්නේ හොඳට 'ඕම්'.’

මම ඉතිං ඕම් ඩිංගක් හරෝලා, ඇබින්දක් මහන්සි වෙලා බටු ඇට ඩිංගක් එහා මෙහා කරලා ආයේ ඇහුවා,  

‘එහෙනං දැන් මොකද්ද පෙන්නේ?

‘මගේ දෙයියනේ,’ අපේ හාන්නැහේ පුදුමෙන් ඉහ අත බදාගත්තා.’මේ කුරුසයක්, ක්‍රිස්තු ගේ කුරුසේ! ඔහේ කොහොමද මේක කෙරුවේ?

මම මගේ කටට ඇඟිල්ල තියලා මෙහෙම කිව්වා, ‘අඩී කට වගහෙන හිටු, හෙට ඉරිදා. මම ගිහින් දුරන්ද පියාව මුණගැහිලා එන්නං.’

ඊට පස්සෙන්දා දුරන්ද පියා තව ක්‍රිස්තියානි එකොළොස් දෙනෙක් එක්ක ඇවිල්ලා බටු පලුවේ කුරුසිය දැකබලා ගත්තා. උන්නැහේලා මේ විපිරියාස හාස්කම හින්දා බිරන්තට්ටු වෙලා ගියා. ඔක්කොමලා කුරුසේ ඇඳගෙන ගීතිකා කියන්න ගත්තා.

ටවුමේ හිටිය ඔක්කොම ක්‍රිස්තියානුවෝ මේ හාස්කම දැකබලා ගන්න සූරී කෑවා.

උනන්දුවයි ගැස්මයි දෙකම ඇවිස්සුනා. හින්දුවෝ කිව්වා ඒක ඕම් තමයි කියලා. මුසල්මානුවන්ට මේක අල්ලාහ් ම තමා. ක්‍රිස්තියානුවෝ විස්වාස කරේම ඒ සුද්ද කුරුසේ කියලා.

ගල් ගහ ගත්ත ඒවා, පිහි ඇන ගත්ත ඒවා අන්තිමටම මිනී මැරුම්. සමස්තිපුරේ හින්දුවෝ දෙන්නෙක් මරලා දැම්මා. සුරන්ජපුරේ තම්බි තුන්දෙනෙකුට මැරෙන්න ම වැඩේ කරලා තිබුණා. ටවුමේ හන්දියේ ක්‍රිස්තියානි හාදයෙක් පිහි ඇනුම් කෑවා. පොලිසිය මාව අත් අඩංගුවට ගන්න තීන්දු කෙරුවා.

හැබැයි වැඩේ වෙන්න කලින් මට ඒක ඉව වැටුනා නෙව. මම බටු පලුව කාණුවට වීසි කරලා මගේ හරුබස්ස පොදි බැඳගෙන බොම්බායට ආවා නෙව. ඒ හාස්කම් හින්දා මගේ ළඟ එකතුවෙලා තිබිච්ච සල්ලි වලින් මේ ටැක්සිය ඇරගෙන ඒක දුවන්න ගත්තා නෙව.

මම මගේ කතාව කියලා ඉවර වෙලා හිට මගේ වීදුරුව බොන තිප්පලේ බාර් තට්ටුවෙන් උස්සලා ඇන්න එක උගුරට හලාගෙන ඉවර කෙරුවා.

ඒ අස්සේ හදිස්සියේ මගේ ඇහැට වැටුනේ වීදුරුවේ අඩියේ තිබ්බ අමුතු වතුර පැල්ලමක් දිහාවට. මම මාත් එක්ක ටැක්සි දක්කන අනික් හාදයා මුම්මද්භායි මෙහෙම කිව්වා, ‘අඩේ, මුම්මද්භායි. මේ බලහන්කො, මේ වීදුරු අඩියේ තියෙන හැඩේ බලාපන්කෝ. ඒක ඕම් අක්සරේ වගේ නෙවෙයිද අඩේ?’

මුම්මද්භායි ඒක දිහාවේ බැලුවා, මගේ දිහා බැලුවා, ඊට පස්සේ මගේ පිටට හෙණ පාරක් පතබාලා මෙහෙම කිව්වා නෙව, ‘අඩෝ!- මේක ගොඩේ බයියෝ ඉන්න බරම්පුරේ නෙවෙයි  අරිද! මේක බොම්බාය. මෙහෙ ඔය එකෙක්වත් නෑ. මේ ඕම් නෑ, අල්ලා නෑ, කුරුසෙත් නෑ. මෙහෙ තියෙන්නේ රුපියල් විතරයි. මෙහෙ සල්ලි මිසක් මොකුත් වැඩක් නෑ අරිද, ඒ හින්දා මෙතන තෙපර බබා ඉන්නේ නැතුව රෑ ශිෆ්ට් එකෙන් කීයක් ගොඩ දා ගන්න යමං.

මිනිහා බාර් කවුන්ටරේ තිබ්බ අමුතු හැඩේ අතෙන් එක විඩේට පිහිදලා මාව බාර් එකෙන් එලියට ඇදගෙන ආවා.

(හින්දියෙන් ඉංගිරිසියට දැම්මේ ජායි රතන්)  

* පානිපත් යනු අවකන් - හින්දු යුද්ධයකි - 1761 සිදුවූ බවක් කියවේ 

 

Wednesday 13 January 2021

සුගතපාල ද සිල්වා - තුප්පහි* මුලාචාරියා [Master Translator] ගැන කෙටි සටහනක්



*යටත් විජිත සමයේ පරිවර්තක රාජකාරියේ යෙදුනවුන් හැඳින්වුනේ මේ නමිනි. උචිත අවස්ථාවක සුගතපාල ද සිල්වා අතින් මේ බඳු යෙදුමක් දඟ කැවී පරිවර්තනයකට එකතු වන්නට තිබූ බව මතක් කරමින් මේ මැය යෙදීමි.

 

1990 වෙන විට ලංකාවේ ඇති වූ දේශපාලන විපිරියාසය දරා ගැනීමට, එම රික්තකය උරා ගැනීමට ඉතිරිව තිබූ එකම අවකාශය සාහිත්‍යය පමණක් විය යුතුය. එකී විපිරියාසය පෙරදුටු සාහිත්‍යයක් එවකට බිහිව තිබුණි නම් ජීවත් වීම වඩාත් පහසු වන්නට ඉඩ තිබුණි. සාංදෘෂ්ඨිකවාදය පිළිබඳව අගනුවර ආශ්‍රිතව ඇති වී තිබුණ සංවාදය එහි එක් ධාරාවකි. දේශීයව එම යුග කම්පනය දරාගත හැකි සාහිත්‍යයක් බිහිවීමේ අඩුවක් තිබුණි. එම අඩුව පුරවාගැනීමට නම් නැවත හැරී යාමට සිදු වූයේ පරිවර්තිත සෝවියට්-රුසියානු සාහිත්‍යය වෙතම වීම එක්තරා අන්දමක සරදමකි. සාංදෘෂ්ඨිකවාදය හා අදාළ කරගත් ඇල්බෙයා කැමූ ගේ මහාමාරිය හා පිටස්තරයා පරිවර්තන විසින්ද එවක තරුණ පරම්පරාවට හඬා වැළපීම සඳහා උවමනා කළ උරහිස සපයා නොතිබිණි.

 

'ආතර්, පීසා නුවර දේවධර්ම විද්‍යාලයීය පොත් ගුලට වැද අසුන්ගෙන දේශනා ගොන්නක් පරික්ෂා කරමින් සිටියේය.' යනුවෙන් ඇරඹෙන නවකතාවක් 1988 ඔක්තෝබරයේ මුද්‍රණය වී තිබුණේ ඒ පුළුල් උරතලය සපයමිනි. එතෙක් බහුලව පරිවර්තනය වී තිබූ රුසියානු, ඉංගිරිසි සාහිත්‍යය නොපෑ සමත් කමක් 'ඇටමැස්සා' සතුව තිබුණි. එකවරම ප්‍රේම ප්‍රහර්ෂයේ හා ආත්මීය වේදනාවේ පොදු සංකේතයක් පහළව යුවජනයා අත සැරිසරන්නට විය. කොළඹ පදික වේදිකා මත හමුවූ තරුණ ආතර්-රිවාරේස් වරු මොන්සිංඤෝර් මොන්ටිනෙල්ලි හා කුමක් කරන්නදැයි මූණු මුණු ගෑහ. ඉන් පසු තෝස කඩවලට වැදී රුපියල් පහකට 'තෝසෙ දෙකක් හා ප්ලේන්ටියක්' නම් වට්ටෝරුවෙන් සෑහී සිය 'ජෙම්මා' හමුවීම සඳහා විසිර ගියහ. සුගතපාල ද සිල්වා නම් කුඩා සිරුරක් ඇති පුරුෂයා ලංකාවේ තරුණ පෙළ ට සිය සාහිත්‍ය සමර්ථ බව දානය කරමින්, සිය සමාජ පෙරදැක්ම කල්තබා පළ කරමින් 'ඇටමැස්සා' පරිවර්තනය නොකළා නම් ඒ යුගයේ සියදිවිහානි කරගන්නවුන් මීට වඩා වැඩි වන්නට ඉඩ තිබිණි.

 

ඔහු පරිවර්තන සාහිත්‍යය වෙත පිවිසෙන්නේ ද්විභාෂික පරිචය හා වේදිකා-ගුවන් විදුලි නාට්‍ය රචනා කරමින් වාක්‍ය උචිතභාවය, පණැති මාධ්‍ය දෙකක දශක දෙකහමාරක් පමණ යොදවා ලත් අත්දැකීමෙන් මුහුකුරා ගිය රචකයෙකු වශයෙනි. එවකට ද ඔහුගේ නවකතා පහක් පළවී තිබුණි. එමගින් ඔහු සාහිත්‍යමය යොදවාගැනීම් හි පමණ මනාකොට ප්‍රගුණ කර සිටි නිසා ත්, ඔහුගේ දේශපාලන, සාහිත්‍ය සම්පර්කයේ විසල් බව විසින් සැපයූ සෞන්දර්යාත්මක පර්යාලෝකයේ විශිෂ්ට බව නිසාත් සුගතපාල ද සිල්වා පසු-යටත්විජිත ලංකාවේ විසූ  'බැරෑරුම්' පරිවර්තකයා බවට පත් වෙයි.

 

'බයිබලය පරිවර්තනයක් වශයෙන් කියවීම, අලුත් බිරිඳ මුහුණු වළාව සමගින් සිපගන්නවා වැනි.' යි  හයිම් නච්මාන් බියාලික් ගේ කවියක යෙදී ඇත, ඒ ලතින් traduttore, traditore (පරිවර්තක, ද්‍රෝහියා) යෙදුමේ පදානුපදික පරිවර්තනයයි. එලෙසම  හන්ගේරියානු කියමනක fordítás: ferdítés (පරිවර්තනය යනු විරූපණයක්.) ලෙස හැඳින් වේ. එසේ කියවෙන්නේ පරිවර්තනයේ දී යමක් නැති ව යයි යන මූලික අදහස නිසාය. මුල් නිර්මාණයක ආකෘතිය හා අර්ථය එකිනෙකා හා සුන්දරව අරුත් දන්වමින් ක්‍රියාකිරීම මුඛ්‍ය වේ. නමුත් පරිවර්තනයේ දී ආකෘතිය (මුල් කෘතියේ ) හා අර්ථය එකිනෙකා හා ගැටුම් ඇති කර ගනී. පරිවර්තනයේ ආකෘතිය, අර්ථය තමා වෙත නමා ගනී. උදාහරණ ලෙස ගතහොත් කැමූගේ පිටස්තරයා (මෙහිද විවිධ නාමපද යොදා ගතහැකි, නමුත් කවුරුත් දන්නා 'පිටස්තරයා' නම යොදා ගනිමි ) මුල් වැකිය ඉංගිරිසියට පෙරළී ඇති ආකාරය ගැන පවතින විවිධාකාර විවේචන සළකා බැලිය හැකිය.

 

'Mother died today.' යනුවෙන් එහි ප්‍රසිද්ධම පරිවර්තනය වන 'The Outsider' ඉංගිරිසියට පෙරලූ ස්ටුවර්ට් ගිල්බර්ට් ගේ ඉංගිරිසි පොතේ මුල් වැකිය සෝමරත්න බාලසූරිය අතින් සිංහලට පෙරළෙන්නේ 'අම්මා අන්තරා වුනා භූමදානේ හෙට' ලෙසිනි. එහිම ප්‍රංශ මුල්පොත සිංහලට පෙරලූ පියසිරි විජේසේකර  'අද... අම්මා මළා.' යනුවෙන් සිංහල කරයි. මෙහිදී 'මමො,' යන ප්‍රංශ ජනවහරේ අම්මා ඇමතීම ට යොදා ගන්නා සුරතල් (ළදරු හුරතලයට වඩා මුහුකුරා ගිය) යෙදුම ඉංගිරිසියෙන් යෙදීමේ අපහසුව ට පරිවර්තකයින් දෙදෙනාම අහඹු ලෙස ජයගනිති. එහි ඉංගිරිසි පරිවර්තකයින් කිහිප පොළක් ම සරළ, සෘජු, පහසු නමුත් වැරදි යයි සැළකෙන 'Mother' යෙදුමෙන් මිදීමේ නොහැකියාව වසර හතළිස් ගණනක් තිස්සේ ඉංගිරිසි පරිවර්තන සාහිත්‍යය පෙළුන බව 'නිව් යෝකර්' පුවත්පතට ඒ ගැන ලිපියක් ලියන රයන් බ්ලූම් පවසයි. තව දුරටත් ඒ ගැන කියන ඔහු එහි වඩාත් ආසන්න පරිවර්තනය කළ මැතිව් වෝඩ් ගේ පරිවර්තනයේ 'මමො' යන යෙදුම එළෙසම තැබීමෙන් වෝඩ් පරිවර්තකයාගේ අර්බුදය ජයගත් බව සඳහන් කරයි. (Maman died today.). එහිදී ඔහු ඉස්මතු කරන්නේ ද්විඕෂ්ඨජ '' '' '' වැනි ශබ්ද  ඉතා පහසුවෙන් නිපදවිය හැකි නිසා, ඉංගිරිසි 'මමා', චීන මැන්ඩරින් 'මාමා', දකුණු ඉන්දියානු 'අම්මා', වෙනත් බොහෝ භාෂාවන්ගේ 'මම්මා'  නම් වදන යොදා ගන්නා අය 'මදර්' වදන යොදා ගන්නා ඉංගිරිසියට වඩා පහසුවෙන්  'පිටස්තරයා' (අමුතුම මිනිහෙක්) හි මුල් වැකියේ අරුත ග්‍රහණය කරගන්නා බවයි.

 

සුගතපාල ද සිල්වා මේ ගැටුමේ කොටස්කරුවෙකු වීම පහසුවෙන් මගහරී. ඔහු බොහෝ කොට පරිවර්තනය සඳහා තෝරාගන්නේ ඉංගිරිසි මුල් කෘතීන්ය.  ඒ අපගේ යටත් විජිත උරුමය සහිත භාෂාවයි. ඒ සඳහා අපිට සියවස් දෙකක් පරණ ශබ්ද කෝෂයක් හා වාක් කෝෂයක් ඇත. ඉංගිරිසි යෙදුමක් එහැම පිටින් උචිත තැනක බහාලීමේ නිදහස නිසගයෙන් අප සතුය. සුගතපාල ද සිල්වා පරිවර්තන නිදහස උකහාගන්නේ ඒ උරුමයෙනි.

 

සුගතපාල ද සිල්වා ගේ අනෙක් වැඩිම මුද්‍රණ ගණනක් පළ වූ පරිවර්තනය වන 'අමුතු ඉලන්දාරියා' [ඔහු පියසිරි විජේසේකර ගේ 'අමුතුම මිනිහෙක්' අසළින් සිය ග්‍රන්ථනාම පරිවර්තනය ගමන් කරවයි.] මුල් වැකිය ඔහු සිය මුහුකුරා ගිය අත්දැකීම් හා ශ්‍යාම් සෙල්වදුරෙයි ගේ සමස්ත රචනාවන්ගේ යටි පෙළ වන උපහාසය මුහු කොට අතින් දැමූ ටිකක් ද සහිතව කියවන්නා කොක්කක අමුණා ගනී. විශේෂයෙන් අමුතු ඉලන්දාරියා පරිවර්තනයේ දී ඔහු කටවහර යොදාගන්නේ තම පරිවර්තන අධිකාරිය මුල් රචකයා තරම්ම සුභාවිතව භාවිතා කරමිනි.

 

' නත්තල් උත්සවය හා වෙනත් මේලා අවස්ථා හා හැරුණු විට අප සියළු දෙනා - නැන්දමාමලා, ලොකූලා, පුංචිලා, බාප්පා-මහප්පලා, ඥාති සොහොයුරු සොහොයුරියන් ඇවැස්ස ඥාති සනුහරයම පුල පුලා බලා සිටියේ නිවෙසින් බැහැරව නෑසියන් හා එකට කා බී, සතුටු සාමීචීයේ හා කෙළිදෙළෙන් පසුවන දවසක් ගෙවන දවස උදාවන තෙක් ය. මෙහි තද අකුරින් යොදා ඇති කොටස් දෙක වැඩිමනත් දෙයකි. පරිවර්තනයේදී යමක් හැලී යාම සේම යමක් එකතු වීමද සිදුවිය හැකිය.

 

පරිවර්තනයෙන් අහිමි වන සේම අතින් එකතුවෙන කුඩා කුඩා දේ පරිවර්තකයා ගේ පරිවර්තන ප්‍රතිභාව හා රඳා පවතී. සුගතපාල ද සිල්වා ගේ ඇටමැස්සා පරිවර්තනය මේ දෙක අතර ස්ථානයක පවතියි. එහි මුල් කෘතියෙන් අහිමි වූ යමක් සොයා ගැනීමට අපහසුය. එසේම සුගතපාල ද සිල්වා හා එතල් ලිලියන් වොයිනික් අතර කාලාන්තරයක් තිස්සේ වූ සංවාදයක ප්‍රතිඵලයක් එහි පෙළ අතරින් මතුව එයි. එහි මුල්ම ඉඟිය මතුවෙන්නේ ඇටමැස්සා පරිවර්තනයට සුගතපාල ද සිල්වා ගන්නා ලද තීරණයෙහි ය. පරිවර්තනයක මුල් වැකිය පරිවර්තනය කරන ආකාරය තරම්ම පරිවර්තනය සඳහා කෘතියක් තෝරාගැනිම වැදගත් වෙයි.

 

පරිවර්තන කෘතිය ඒ ඇතුළත උප-සංස්කෘතියක් ඇති කරයි. පාත්‍රවර්ගයා, කතා සංදර්භය, චරිත ස්වභාවයන්, පුද්ගල සම්බන්ධතා, පරිසරය, කනබොන දේ, ගෘහනිර්මාණ-යානවාහන විස්තර, රුචි අරුචිකම්, එහි උපුටා යෙදෙන වෙනත් කෘතීන් ආදිය විසින් ගොඩනගන උපසංස්කෘතිය අන් බසකට පෙරළීම ඉමහත් අසීරු කාර්යභාරයකි. ඇටමැස්සා හි ඇන්ග්ලෝ-ඉතාලි සම්බන්ධතාවය, කතෝලික-රෙපරමාදු ගැටුම්, පීතෲ වෛරය, දිව්‍යමය ප්‍රහසනයේ අන්තර් වියමන(ජෙම්මා වොරන්ස් = බියට්‍රිස් පොර්ටිනාරි ) හා විලියම් බ්ලේක් ගේ කවිය (විලියම් බ්ලේක් දිව්‍යමය ප්‍රහසනය බ්ලොක් චිත්‍ර බවට පත් කළේය .) සොක්‍රටීස්, ඔහු ගේ ඇටමැස්සා විරුදය හා පලා යාමට වූ අවස්ථාව ප්‍රතික්ෂේප කර හැම්ලොක් බඳුන අතට ගැනීමට ඔහු ගත් සදාචාරාත්මක තීරණය, ආදිය සහිතව පූර්ණ සාහිත්‍යාංගයක් ලෙස සිංහලට පෙරළීම සුගතපාල ද සිල්වා අතින් සිදුවන්නේ පරිවර්තන ශ්‍රමය ස්වතන්ත්‍ර නිර්මාණයක් තරම්ම හෝ ඊටත් වැඩි ශ්‍රමයක් උවමනා සාහිත්‍යාංගයක් ලෙසිනි. පරිවර්තකයා ගේ නිදහස හා මුල් කෘතියේ නිර්ව්‍යාජ බව අතර ඇති අරගලය ජය ගැනීමට අවශ්‍ය පැසුණු බව අත්පත් වන තුරු අන් පරිවර්තනයක් නොකළ සුගතපාල ද සිල්වා ගේ සාහිත්‍යමය හික්මීම ද එහිදී  අවධානයට ගත යුතුය.

 

සුගතපාල ද සිල්වා එතැන්හිදී පරිවර්තකයා ගේ කාර්යය යනුවෙන් වෝල්ටර් බෙන්ජමින් ලියා ඇති රචනාව සිහිකැඳවයි.  එම රචනාවේදී බෙන්ජමින්, මෙසේ අසයි,

 

"පරිවර්තනය අරමුණු කරගන්නේ මුල් කෘතිය කියවා ගත නොහැකි කියවන්නා ද? එයින් ප්‍රමාණවත්ව අදහස් කෙරෙන්නේ තථ්‍ය වශයෙන් කලාව ක්ෂේත්‍රයෙහි පරිවර්තනය හා මුල් කෘතිය දරන්නේ වෙනස් ස්ථානයන් දෙකක් බවයි. තවද, එයින් අදහස් කෙරෙන සිදුවිය හැකි එකම හේතුව නම් 'එකම දේ' නැවත කීමයි. සාහිත්‍ය කෘතියක් 'නැවත කියන්නේ' කුමක් ද? එමගින් සන්නිවේදනය වන්නේ කුමක්ද? එය තේරුම් ගන්නා අයට එමගින් කියවෙන්නේ ස්වල්පයකි. එහි අත්‍යාවශ්‍ය ගතිගුණය වන්නේ සන්නිවේදනය හෝ තොරතුරු සම්ප්‍රේෂණය නොවේ. එසේ වුවත්, සම්ප්‍රේෂණ කාර්යය අපේක්ෂා කරගත් කවර හෝ පරිවර්තනයකට කිසිවක් සම්ප්‍රේෂණය කළ නොහැකිය, එමගින් සන්නිවේදනය වෙනවා පමණි. එනයින් ඒ අත්‍යවශ්‍ය නොවෙන දෙයකි. මේ නරක පරිවර්තන වල මුද්‍රාවයි. නමුත් අපි සාමාන්‍යයෙන් සළකන්නේ සාහිත්‍ය කෘතියක සන්නිවේදනයෙන් ඔබ පවතින දේ-ඉතා දුර්වල පරිවර්තකයෙක් පවා මේ අත්‍යවශ්‍ය ගුණාංගයක් බව පිළිගනී-අනෝමික, අගාධමය, වටහාගත නොහැකි, ගුප්ත 'කාව්‍යමය' භාවය ලෙස නොවේද? තවද එය පරිවර්තකයා ට ජනනය කළ හැකි වන්නේ ඔහුද කවියෙකු වන්නේ නම් පමණකි? .... බාල පරිවර්තනයන්ගෙ තවත් ලක්ෂණයක් වන්නේ අත්‍යවශ්‍ය නොවෙන අන්තර්ගතය සාවද්‍යව පරිවර්තනය කිරීමයි."

 

"පරිවර්තනය යනු ආකෘතියකි. ආකෘතිය අවබෝධ කර ගැනීමට කෙනෙක් මුල් කෘතිය වෙත ආපසු යා යුතුය., ඒ පරිවර්තනය පාලනය කරන නීති මුල් කෘතියේ අන්තර්ගත වන බැවිනි, එහිම පරිවර්ත්‍යභාවය (translatability) නම් ගුණය රැඳි පවතී. කෘතියක පරිවර්ත්‍යභාවය නම් ගැටලුව තුළ අරුත් දෙකක් ගැබ්ව පවතී. එක් අතකින්, කෘතියක සමස්ත කියවන්නන් අතරේ ප්‍රමාණික පරිවර්තකයෙක් සිටීද? හෝ වඩා උචිතව, කෘතියේ ස්වභාවය තමා පරිවර්තනය කිරීමට ඉඩ දීම සහ එම නිසා, ආකෘතියේ ඇති වැදගත් කම මත පරිවර්තනයක් ඉල්ලා සිටීද? කෙසේ වෙතත්, මූලධාර්මිකව, මුල් ප්‍රශ්නය ආනුෂංගිකව තීරණය කළ හැකි වෙන අතර, දෙවන ප්‍රශ්නය පරස්පර විරෝධයකින් තොර වේ."

 

"මුල් කෘතියේ තත්වය උසස් වෙත්ම, එහි මුල් අරුත යන්තමින් ස්පර්ශ කරන විටක පවා පරිවර්තනයට ඉඩ සළසමින් එහි පරිවර්ත්‍යභාවය ඉහළ නංවා ගනී." (Walter Benjamin, The Task of the Translator, Selected Writings Vol. 1)

 

නැවත සුගතපාල ද සිල්වා වෙත පැමිණෙන විට අපිට පෙනෙන්නේ ඔහුගේ පරිවර්තන තෝරාගැනීම් වල පරිවර්ත්‍යභාවය නම් ගුණය ඔහු අතින් මනා ලෙස ප්‍රයෝජ්‍ය වුනු බවයි. ඇටමැස්සා පමණක් සළකා බලන කල්හි වුවද එහි ඉංගිරිසි මුල් කෘතියේ රොමැන්ටික භාෂා භාවිතය, පරිවර්තකයාගේ ද්විභාෂා පරිඥානය පමණක් නොව ඔහු ගේ දේශපාලන ජීවිතයේ අත්දැකීම් ද සමග මුසු වෙමින් පරිවර්තන කෘතිය පරිසමාප්තියට පත් කරයි. ඔහු අතින් කෙරුණු මුඛ්‍ය පරිවර්තන තුනම එම කෘතීන් කියවූ ලංකාවේ පාඨකයින් අතර සිටින ප්‍රමුඛ තම ප්‍රමාණික කියවන්නා ඔහු බව එම පරිවර්තනයන්ගේ භාෂාව, වාක්‍ය රටා, වාක්‍ය රටා මූර්ජනය  ආදිය සළකා බලන විට ආනුභවික වේ.

 

සුගතපාල ද සිල්වා ගේ මුඛ්‍ය පරිවර්තන තුන වන, ඇටමැස්සා, හතරවෙනි තට්ටුව හා අමුතු ඉලන්දාරියා අයිතිවන්නේ ඉතිහාසයේ කාල වකවානු තුනකට වුවත්, ඔහු ඒ කතා තුන පරිවර්තනය කරන්නේ ඔහු ජීවත් වන කාලයේ සමාජ දේශපාලන  ගැටුම හා අර්බුදය මුහුකුරා යන රටාවට සමාන්තර වෙමිනි. ඇටමැස්සා පසු කම්බයේ, 'ආදරය හා කුමන්ත්‍රණය පිළිබඳ සෘෂි දැක්මක් ඇති නවකතාවක්'  ගැනත්, 'එය අපට ආගන්තුක වනුයේ නම්ගම් විසින් පමණකැයි' ලෙස හතරවෙනි තට්ටුව පෙරවදනේත්, 'ස්වකීය සමකාමී චර්යාවන් හා තමා ජීවත් වන්නාවූ සමාජයේ ජාතිවාදය සමග අරගල කරන' වශයෙන් අමුතු ඉලන්දාරියා පසු පිටේත් කෙටියෙන් සඳහන් කිරීමෙන් ස්ඵුට වන්නේ ඔහු සිය පරිවර්තන තීරණ ආවාට ගියාට නොගත් බවකි.  පරිවර්තන ස්වකීය සමාජයේ චලනයන් හා අනුපූරක වූ විට පමණක් ඔහු ඒ සඳහා උත්සුක වූ බවත් ය.

 

ඔහුගේ පරිවර්තන සාමාර්ථ්‍යය පෙන්නුම් කරමින් ඔහු යොදාගන්නා විශේෂ යෙදුම් පරිවර්තනයේ අගය වැඩි කරයි, ඇටමැස්සා හි smuggler = කල්ලකඩත්තයා ලෙසද අමුතු ඉලන්දාරියා හි Her Fatness = තකදොම්බේ ලෙසද පරිවර්තනය කරමින් කළ පොළාපැන්නවීම ඓතිහාසික භාෂා හරඹයන් ය. ඔහු අතින් Pigs can't fly පරිවර්තනය වෙන්නේ හොටබරියන්ට පියාසර කළ නොහේ යනුවෙනි. දිගාමඬුලු වහරේ එන 'හොටබරියා' නාම පදය ඔහු විසින් ස්ථාන ගත කරන්නේ නැවතත් එම පරිවර්තිත කෘතිය ස්වයං සාධක සාහිත්‍යකාරියක් තරම් ස්වාධීනත්වයට පත් කරමිනි.

 

තවද ඔහුගේ පරිවර්තනයේ සියුම් බව පෙන්නුම් කරන අවස්ථා පහත අයුරින් උපුටා දැක්විය හැකිය.

 

'රෑ මුළුල්ලේම, ජනේලයෙන් පිට බලකොටුව මිදුලේ තණපත් මඳ සුළගේ සෙළවුණේය - ස්කෝප්පයකින් මුල් උදුරා දමනු ලැබ ඉක්මණින්ම මැළවී යාමට නියමිත තණපත්. ඒ රෑ මුළුල්ලේ ම ඇටමැස්සා අඳුරේ හුදෙකලාව වැතිර ඉකිබින්දේය. (ඇටමැස්සා , 1988 ඔක්තෝබර් 354 පිට.) [All night the grass waved softly in the courtyard below- the grass that was so soon to wither, uprooted  by the spade; and all the night long the Gadfly lay alone in the darkness, and sobbed-282- The Gadfly]

 

මා සිත ඇඳි රාධා නැන්දා ගේ රුව සිංහල තිරයේ අර දේවතාවිය මාලනී ෆොන්සේකාට බොහෝ සෙයින් සමාන විය. (අමුතු ඉලන්දාරියා, 56 පිට, තෙවන මුද්‍රණය ) [the picture I formed of Radha Aunty bore strong resemblance to that goddess of Sinhala screen Malini Fonseka- 43- Funny Boy]

 

මේ තරම් බලසම්පන්න සාහිත්‍ය පරිවර්තන, පරිවර්තකයා සිය ක්‍රියාව ට ඓන්ද්‍රියව දක්වන ලද සම්බන්ධතාවය හේතු කොටගෙන හුදු යාන්ත්‍රික භාවය නිරවද්‍යතාවය ඉක්මවා ගිය සාහිත්‍ය කෘතීන් බවට පත්ව පරිවර්තන සාහිත්‍ය ඉතිහාසයේ මග සළකුණු ලෙස නිතර කියවීමට, උපුටා දැක්වීමට හා විවාදයට පාත්‍ර වේ. සුගතපාල ද සිල්වා ඒ ගුණය අත්පත් කරගත්තේ දේශපාලනය හා කලාව සිය වැඩබිම කරගත් නිසාය. ඔහු ගේ මරණය ගැන ඇසූ එල් ටී ටී ඊ සංවිධානයේ න්‍යා‍යාචාර්ය ඇන්ටන් බාලසිංහම් අවුරුදු  තිස්ගණනකට එපිට මතකය මත හඬා වැළපුන බව ප්‍රවාදගත සත්‍යයකි. ඒ සුගතපාල ද සිල්වා ගේ සාහිත්‍ය-දේශපාලන භාවිතාවේ තථ්‍යභාවය, අදාළත්වය හා කිසිවෙකුට මගහැර යා නොහැකි බව ගැන පෙන්නුම් කළ හැකි ප්‍රබලතම සාක්ෂියයි.

 

සුගතපාල ද සිල්වා ගේ පරිවර්තන ක්‍රියාවන්ගේ පූළුල තහවූරු කරන පහත උපුටනයෙන් මේ කෙටි සටහන අවසන් කරමි.

 

"අප දැනටමත් කියා ඇති පරිදි පරිවර්තන යනු අපහසු ක්‍රියාවකි, ඒ සාහිත්‍යකාරියක සෞන්දර්යය වන්නේ එහි නිර්ව්‍යාජත්වය නිසාය. කෙසේ නම් ඒ සෞන්දර්යය පරිවර්තනයක පුනරූපණය කරන්නද?

නමුත්, අපිට පරිවර්තන සිතේ පිළිසිඳවා ගත හැකිය, මක්නිසාද යත් ඒවා සිය ගුණය විසින්ම හා ලේඛන තුල්‍යතාවය මගින්, ඇතිකරගත් නිර්ව්‍යාජත්වය මත ඒවායේ මුල් ප්‍රබන්ධ හා කරට කර සිටිති.

අපිට පරිවර්තන සිතේ පිළිසිඳවා ගත හැකිය, මක්නිසාද යත්, සියවස් ගණනාවක් පුරා සමස්ත සාහිත්‍යයන් එකිනෙකා වෙත පරිවර්තනය වී ඇත, පරිවර්තන යනු එක් හුදෙකලා කෘතියක සම්පර්කය ලැබිමේ ක්‍රමවේදයක් නොවේ.- ඒවා සංස්කෘතීන් හා ජනසමූහයන් අතර සම්බන්ධතාවන් ඇති කිරීමේ ක්‍රමවේදයන් වේ. "

 

-බොරිස් පස්තෙර්නාහ්-