Monday, 8 October 2012

භින්න සමරූපික ජ්‍යාමිතිය හා ප්‍රබුද්ධ i




සැල්වදෝර් දාලි ගේ යුද්ධයේ මුහුණ[1940] නම් සිතුවම භින්න-සමරූපික ජ්‍යාමිතියේ අපූරු භයංකර ප්‍රකාශනයකි. එහි විකෘතව ගිය මුහුණු හැඩයේ රූපයක ඇස් හා මුඛ කුහරයෙහි තවත් එබඳුම විකෘතව ගිය මුහුණු තුන බැගින්ද ඒ එක් එක් මුහුණක සමරූපික විකෘත මුහුණු තුන බැගින්ද කුඩා වෙමින් අන්තර්ගත වෙයි. 

1971 කැරැල්ල විසින් එතෙක් නොවූ විරූ අන්දමින් ලංකාවේ සමාජය හොල්ලා දැමීය. එතෙක් සිය කොදෙවු සීමාවන් ඇතුළත නිශ්චිත රටාවකට දෝලනය වෙමින් පැවති නිෂ්පාදන, ආර්ථික, සමාජයීය, දේශපාලනික සාධක විසින් නිමහම් කළ ලංකාවේ ජීවිතයේ විධිමත් යටත් විජිත පරිපාලන පිළිවෙල සුණු විසුනු කර ක්ෂණභංගුර, ව්‍යාකූල, අවිනිශ්චිත [chaotic]බවකට පෙරලනු ලැබීය. 1971න් පසු සමාජ කතිකාව\ආඛ්‍යානය සෑම විටෙකම 1971 හෝ ඉන් පසු ඇති වූ කුඩා හෝ මහත් හෝ වූ වියවුල් හි [1977, 1980, 1983, 1989, 1994, 2001, 2004, 2009] ස්ව-සමාන [self-similar]බව පිළිබඳ කතාංශූන් පුනරුච්චාරණය කරයි. 

එතෙක් වර්ධනය වූ රසවාදී හෝ යථාර්ථවාදී  හෝ සමාජ සත්තා යථාර්ථවාදී හෝ වූ කවියට, කතාවට, සංගීතයට හෝ සිනමාවට සපුරා ග්‍රහණය කර ගත නොහැකි තරමට 71 අත්දැකීම වික්ෂෝභයෙන් උජ්ජ්වලිත, ජාතික ක්ෂිතියක් විය. එම ක්ෂිතිය සපුරා වැළඳ ගැනීමට අවැසි සාහිත්‍ය මෙවලම්, උපක්‍රම හෝ ප්‍රකාශන සංයෝජන තාක්ෂණය වර්ධනය වී නොතිබීම නිසා විටින් විට දැල්වුන නිර්මාණ පුළිඟු [උදා: අජිත් තිලකසේන, බර්ටි බී කුඩාහෙට්ටි] විනා පුළුල් ප්‍රවාහයක් ගොඩ නොනැගුනි. එතෙක් පැවති සාහිත්‍ය-සමාජ-දාර්ශනික කතිකාවේ සරච්චන්ද්‍රමය හෝ වික්‍රමසිංහමය හෝ වාමාංශිකමය හෝ ස්තිථික භාවය විසින් ජනප්‍රියවාදි හා ජනතාවාදී වූ කැරැල්ලේ ගතික බව උපස්තර කරගැනීමට අසමත් විය.

තවද 71 කැරැල්ල සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ විසින් දල්වා ලීමට නියමිත වූ සමාජ-සංස්කෘතික ගින්නේ ප්‍රමාදයන්ට එරෙහිව ගොඩ නැගුනු [කර්මකාරක-passive] ස්ව-සංවිධානාත්මක-self organising [කැරැලි කරුවන් නියෝජනය කළ විවිධත්වය සළකා බලන කල] කුඩා පිපිරුමකි-small bang. කැරැල්ල පුපුරා යන්නේ තුන්හවුල් රජය [ශ්‍රිලනිප, සමසමාජ, කොමියුනිස්ට්] බලයට පත් වී වසරක් ගත වීමටත් පෙර දීය.

තමන් එතෙක් විශ්වාස කළ; යටත් විජිත පරිපාලනය විසින් හා එම පරිපාලනයට විපක්ෂ ව ගොඩනැගුනු, 1956 විසින් උත්කර්ෂයට පත් කළ, සමාජ පරමාර්ථයන් උදෙසා වූ අපේක්ෂාව ඇස්පනාපිට දුහුවිල්ලක් තෙක් බිඳී යනු දැක චිත්ත වික්ෂෝභයට පත් කවියෙකුට භාවගීත, උයනක හිඳ ලියූ කවි, ආදිය තව දුරටත් ලියා සතුටට පත් වීමට නොහැකිය. මහගම සේකර ප්‍රබුද්ධ ලියන විට පත්ව හුන් චිත්ත වික්ෂෝභය එහි රචනා මාදිලිය, ගෙතුම් තාක්ෂණය හා සංයෝජන රටාව ලෙහා බලන විට පුනරාවර්තනය වේ. තමන් සාරවත් යැයි දුටු අතීතකාමි, ජාතිකවාදී සෞභාග්‍යය තව දුරටත් නොපවතින බව අවිඥානකව ගොණු කිරීමට සමත් වූ සේකර, 'අවිඥානය' මුල් වරට කවියක යොදා ගනී [පිට.80 මුද්‍රණය].

1971 දී පුපුරා කුඩු වී ගිය එකී සෞභාග්‍යමත්, රම්‍යවූ, උදාර වූ, සාර වූ භූමියක ස්වප්නයේ දුහුවිල්ල [Cantor-dust?] තැනින් තැන අනුවර්තීව, ස්ව-සමානව, ස්ව-සංවිධානාත්මකව, බහු-මාධ්‍යව දශක 4ක් ඔස්සේ ඇති වී නැතී වී යමින්, පෙනී නොපෙනී යමින් ඈ වශයෙන් දෝලනය වෙමින් පවතී.

1975 දී සෙලින්කෝ ආකාස කඩේ විසින් සළකුණු කළ ඉහළ ලක්ෂ්‍යය සහිත කොළඹ අහස් රේඛාව සීමිතව ඉහළ නැඟි එකක් විය. එහි මතු මහල් තලයේ සිට මහ පොළව දකවා මිනිස් වර්ගයා සදා පෙලන, ඇති නැති පරතරය, උස්-පහත් භේදය, උගත්-නූගත් බව ආදී විෂමතාවන්ගෙන් යුතු නාගරික ෆ්‍රැක්ටල් රේඛාව විය. 1977 ප්‍රබුද්ධ පළ වන විට ජේ. ආර් ගේ ආර්ථික විවෘත භාවය විසින් කොළඹ අහස් රේඛාව අජටාකාශය තෙක් ප්‍රක්ෂේපණය කිරිමේ හැකියාව ඇති කර තිබුණු නමුත් එහි මූලික ව ඇති විෂමතා සමනය කිරීමේ යාන්ත්‍රණයක් ඉදිවී නොතිබිණි.


ප්‍රබුද්ධ බිහිවන වට පිටාව ගැන මට එසේ සිතෙයි.

1971 කැරැල්ලෙන් විමතියට පත් කෙනෙකුට ඉතිරි වන එක් දෙයක් නම් ප්‍රශ්නාර්ථයයි, .....

ඇයි? .... නම් එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට සදාකාලික පැරඩොක්සයක්-උභතෝකෝටිකයක් වන ආධ්‍යාත්මික විමුක්තිය හා ලෞකික විමුක්තිය අතර නොසීහෙන කෙන්ද්‍ර සිහුම් කිරීම බඳු අපහසු ක්‍රියාවක් කවියෙකු අතින් ඉටු විය. ඒ විය යුතුම පරිද්දෙනි. මහගම සේකර ප්‍රබුද්ධ ලියමින් පිළිතුරු සොයන්නේ මේ උභතෝකෝටිකයටයි. ඔහුගේ කලා-කාරියේ [ඩබ් ඒ සිල්වා සිරිමතුන් ගෙන් ණයට ගතිමි] මහේක්ෂ ස්වභාවය, සර්ග, සර්ගිකා, පැදි, පාද, වදන් යන ස්ව-සමාන පැරඩොක්සික රූපකයන් ගෙන් පැහැදිලි කරගැනීමට තැනූ තැත ප්‍රබුද්ධ නමින් ආඛ්‍යාන කාව්‍යයක් වීය.

මහගම සේකර කවියෙකු වීමට පෙර සිටම චිත්‍රශිල්පියෙක් විය. ප්‍රබුද්ධ පිදුම් කවිය චිත්‍රශිල්පියෙකුට පමණක් ලිවිය හැකි එකකි. විශ්වීය රටාවක් ගැන ලියන සේකර අනුවර්තී ස්ව-සමානතාව නම් ෆ්‍රැක්ටල් ස්වභාවය රූපකයක් ලෙස යොදා ගනී.  එහි මාතෲ සංඥාව හෙවත් [රටාවක් බව මේ මහා විශ්වය’] ජෛව හා මනෝ ව්‍යුහ ස්ව-සංවිධානයේ ගර්භය ඔහු විසින් ප්‍රාථමික කරන්නේ පීතෲ සංඥාවේ ද්වීතියික, සමාජයීය ස්ව-සංවිධානයේ [විශ්වයේ රටාව ම කලාවට නගන හැටි’]හා නාමකරනයේ ස්වභාවය ගැන පැහැදිලි අන්තර්ඥානයකින් යුක්ත රචනා කරුවෙකු  වශයෙනි.

රටාවක්  බව මේ මහා විශ්වය... මහගමසේකර මෙහිදී ලියන්නේ භින්න-සමරූපික ජ්‍යාමිතික විශ්වය ගැනයි..
    
ප්‍රබුද්ධ මුල සර්ගය ඇරඹෙන්නේ අහම්බෙන් මෙන් රෝහලකිනි, මේ රෝහල ඉන් පෙර අයි. ඕ යව්දිව් සිල්වා මියගිය, චන්දන පස්ගම්මන ගැන දෙමව්පියන් මැවූ සිහින මියගිය, රෝහල ම නොවේද? නොමියෙමි අවසන් කළ තැනින් සිය අවසාන කාව්‍යය අරඹන සේකර බෝඩිම, රාජතිලක ලයනල් හා ප්‍රියන්ත, මක් නිසාද යත් ආඛ්‍යානයන්ගෙන් ප්‍රාර්ථනා කළ ලෝකය ඉදි නොවීමේ ඉච්ඡාභංගත්වය 'එල්ලංගාවක' [cascade] මෙන් ගලා අවුත් එකතු වීමට, ප්‍රකාශ වීමට ඉඩ හරී.  සිය කවි පොත් 1, 2 ,3 වශයෙන් ශ්‍රේණි ගත නොකරන නමුත් ඒවා මත ජලතලයක හෝ වැලි තලයක ඇතිවාක් වැනි රටාවන් ඉස්මතු කර ගැනීමට ඉවසිලිවන්ත කියවන්නියකට ඉඩ සලසයි.

ගුවන්විදුලිය, ග්‍රැමෆ්‍රෝන් [එල් පී] තැටි, කැසට් , රූපවාහිනීය, එෆ් එම් චැනල, පුද්ගලික රූපවාහිනී, පරිගණක හා අන්තජාලය ආදී වශයෙන් අනුයාත තාක්ෂණික අභිවෘද්ධිය නිසා ජනප්‍රිය කලාවේ ඇතිවීමට නියමිත විපරිණාමය [transformation] එහි මිනිස් සංඝටකය මිනිස් අංශූන් බවට ඌණනය කිරීම සේකර ප්‍රබුද්ධ මුල් සර්ගයෙන් පෙර දකියි. මෙහි ප්‍රතිපක්ෂය නම් යහපත් සමාජයක් සඳහා පෙරගමන්කරුවන් විය හැකි කලාකරුවන්ගේ අභිනිෂ්ක්‍රමණයයි. ලොරෙන්z [Edward Norton Lorenz] කාළගුණ දත්ත ඇතුළත් කිරීමේදී කළ වරද [0.000127] හෝ රොබර්ට් මේ [Robert May] මත්ස්‍ය ගහණය ගැන නිමානය කළ සමීකරණයේදී මෙන් සේකර ද ඉතා කුඩා නමුත් පුළුල් සමාජයීය වෙනසක් කළ හැකි [කුණාටුවක් උපදවන සමනළ පියාපත් සැලීම මෙන්]කලාකරුවෙක් ගැන සිහින මවයි.

සලබ ස්පර්ශකයක ක්ෂෙත්‍රඵලය වැඩිකරනු පිණිස පරිණාමය විසින් එහි අනුවර්ති ස්ව-සමාන බව යොදා ගන්නවා මෙන් ම සේකර සිය කුඩා ආඛ්‍යාන කවිපොතේ වපසරිය අනුවර්තී ස්ව-සමාන බවින් වර්ධනය කරයි. සමාජ ආචාරධර්මයන් විසින් හික්මුණු කෙනෙකු තැනීමේ පහසු හා ජනප්‍රිය උපකරණය වන ආගම ඒ ගැන අනේක උදා හරණ සපයයි. සේකර ආගම් කුලකයේ ඇති ස්ව-සමාන අංශුන් සිය පබඳ හා උපක්‍රමිකව මුහු කරන්නේ පෙර සොයාගෙන ඇති රෝදය නැවත තනා 'මෙව්වා මගේ කවි' යැයි ණයට ගත් සංකල්ප කවි බවට පත් කරන අනාගත යුගයක වෙසෙන්නවුන්ට පාඩමක් කියා දෙමිනි.

ප්‍රබුද්ධ දෙවැනි සර්ගයේ සේකර තමා පෙලන ලෞකික-ලෝකෝත්තර උභතෝකෝටිකය මතු නොව ඊට යටින් ඇති මහා වියවුල ද දකී.
සංසාරේ හැම දෙයක් ම විපර්යාස වී
අවුලක් වගේ තොපට දැන් පෙනේවි [ප්‍රබුද්ධ].

මවගේ ඒ කටහඬ
තමාගේ ද කටහඬ බව
ඉන් පසු ඔහුට හැඟිණ....

ඔහු එම සර්ගයෙහිම මම/මව නම් මූලික ව්‍යුත්පන්නය, එනම් මිනිස් මනස මව හා ඇති සම්බන්ධයේ දර්පණමය ස්වභාවය [බලන්න 'ද මිරර්' - අන්ද්‍රෙයි තර්කොව්ස්කි-1975] එය සම්මුඛ වන ලෝකය විසින් 'වර්ධනය' 'විස්තාරණය' [amplify]කර ආධානග්‍රාහී, ස්වරූප ආලොලිත[නාර්සිස්මික බව] හා අනන්‍යතා දේශපාලනය කෙරෙහි යොමුකළ ලාංකික තරුණයාගේ ගර්භගත වීමේ කාව්‍යමය ආසාවෙහි [දවසක් පැල නැති හේනේ.. ] මූල බීජය නොහොත් පරාජිතයාගේ සෞන්දර්යයේ උපත සනිටුහන් කරයි. 

දෙවන සර්ගයෙහි සේකර විසින් සකස් කරන අලංකාරික පංතිය එල්ල වන්නේ එතෙක් ලක් සමාජයේ මුල් බැසගත් සමාජ-පුද්ගල විමුක්තියේ මුහුම් ලක්ෂ්‍යය තැනීමට ය [එය ඉන් පසු රැගෙන ගියේ සයිමන් ය]. ඔහු මහායානයෙහි අවලෝකිතෙශ්වර-කුවන් යින් පාරමිතාව වන දෙනෝදහක් එක්ක එකට බුදු විම නම් රූපකය මගින් 1971 දී තමන් වෙලා ගත් මකරා දමනය කිරීමට වරම් ඉල්ලයි.    

ii කොටසට  ....  

4 comments:

Hermitian said...

මෙබඳු ලියැවිල්ලක් නම් කවර කලෙකට වරක් කියවන්නට අප මේ සංසාරයේ පිං කොට ඇත්දැයි දෙවැනි කොටසට කියා ලියා ඇති තැන දැකුමින් සිතුණි.

සංසාරය වැනි භෞතිකයෙන් එහා ඇති යමක (සංඥාවට හසු නොවන) ක්ෂුද්‍ර පරිමාණමය සමමිතියක භෞතික (සංඥාමය ලෙස හසු වන) ලෙස අත පෑ හැකි දුරක් වෙත ෆ්‍රැක්ටලමය යාන්ත්‍රණයකින් ප්‍රසාරණය කොට (හෝ සංකෝචනය කොට) දැකිය හැකි මෙබඳු විශ්ලේෂනයක් අප වෙත මවා පෑම පවා විශ්මිත බැව් සඳහන් කරමි.

රතු රජරට said...

මම ඔබව කියවනවා. ඇත්තෙන්ම බ්ලොග් ලෝකයෙන් මෙවැනි ගැඹුරු ලියැවුම් කියවන්නට අවස්තාව ලැබෙන්නේ කලාතුරකින් ..බොහෝ දෙනා ඔබව කියවිය යුතු යැයි මම සිතනවා. ඒ නිසාම මගේ සිංඩිකේටරයෙන් ඔබේ අඩවිය ගැන කතා කරන්නට අවසර.

හෂිත said...

@ Hermitian: ස්තුතියි.
@ රතු රජරට: මම පුද්ගලිකව සින්ඩිකේටර එකකට වත් සම්බන්ධ නැහැ, නමුත් මා ලියන දේ අනෙක් අය කියවිය යුතු යැයි ඔබ සිතනවා නම් එසේ එක්කිරීම ගැන මගේ ගැටළුවක් නැහැ.

Vithuda Abayagunawardana said...

කාව්‍යාකාර විචාරක