මම රයිනෝසරස් ලාව අඳිනවා..
මම ඔයාව අඳීන්නම්..
ඔයාගෙ සෝබර ඇස්..
ඔයාගේ තොල්, රත්වුනු වැලි උඩින් වැගිරෙනවා..
ඔයාගෙ.....ඔයාගේ මූණේ එක කඳුලක්..
ඒ එක කඳුලේ වෙනත් මූණක්..
ක්‍රිස්තු ගෙ මූණ..
ඔව් රයිනෝසරස් ගෙ ඇතුළේ..
සැල්වදෝර් දාලි ගේ දෙබස-මිඩ් නයිට් ඉන් පැරිස්- වූඩි ඇලන් [2011]
කෙතරම් විශාලනය කළ ද,කෙතරම් දුරින් සිට බැලුවද,කෙතරම් අන්වීක්ෂීයව නිරීක්ෂණය කළද ඒ සෑම විටෙකම යම්කිසි හැඩයක් නිරීක්ෂණයට හසු වීම ෆ්‍රැක්ටලය සිය ස්වභාවය කර සිටී.
නාගරික ෆ්‍රැක්ටලයේ ස්වභාවය වෙනස් වෙන බව ආකාශ රේඛාවේ වෙනස්වීම කාලාවර්තීව නිරීක්ෂණය කරන කෙනෙකුට පෙනී යා හැකිය. නමුත් වෙනස් වන්නේ එහි ස්වභාවය නොව එහි හැඩය පමණකි. දුඃඛිත භාවය මිම්මකින් මනිද්දී නිරීකෂණය කළ හැකි වෙනසක් කාලාවර්තීව සිදු නොවන බව: සමහර අය 'ඉණි මගේ ඉහළට' ගියද 'ගමනක මුල' සිටින සංඛ්‍යාවෙන් විශාල වන හෝ විශාල වෙමින් පවතින හෝ ජනගහනයක් සෑම නාගරික ෆ්‍රැක්ටලයකම අන්තර්ගත බව ප්‍රබුද්ධ තෙවැනි සර්ගයෙන් සේකර අප වෙත දන්වා සිටියි.
නාවර පෙරෙන හොටු
ඇඳ වැරහැලි කිලුටු
කැහැටු දරුවෝ සිටිත්
මුඩුක්කු දොරකඩට විත්.
නාගරික විථි ගණිකාවකගේ මුහුණ, ගමක කඩයප්පන් සාදන මවගේ මුහුණ, යසෝදා ගේ මූහුණ, නිරංජලා ගෙ මුහුණ.. ආදී මුහුණු මාලාව [මණ්ඩලය] එකිනෙකක් හා ස්ව-සමරූපී වන බව සේකරට ගෝචර වෙයි. ඔහු භගවත් ගීතා පාඨයක් එහි ඡෙදනයෙහි යොදන්නේ ආත්ම ගණනක් එකිනෙකා හා සිටින කෘෂ්ණ-අර්ජුන යුග්මය සසර පුරා නැවත නැවත හමුවීම හෙවත් සංසාර චක්‍රයෙහි දඟර වැටී ඇති 'මෝබියස් වළලු' ස්වභාවය හොඳින් දන්නා කෙනෙකු ලෙසිනි.
ශිව-පාර්වතී සංගමයෙහි ශිවගේ ස්තිථික ෆැලික ස්වභාවය [ලිංග ස්වරුපය] හා පාර්වතීගේ යළි යළිත් උපදින ගතික[ස්‍රාවමය] හා මිනිය නොහැකි ෆැලික ස්වභාවය අතර නැවත නැවත වෙන ගැලතීම ඔහු සිය සම-කාලය වෙත ප්‍රක්ෂේපණය කරයි.
ඇයි නැත්තේ නිරංජලා [පාර්වතී = මේ මම කියවන විදිහ]
මට මතකයි නිරංජලා ....
………………………..
නැගිටින්ඩකො කිරි හදන්ඩ, බත් උයන්ඩ,
පරක්කු වෙයි වැඩට යන්ඩ.
ඉන් ඔබ දිනක් පුරා ගෑණු-පිරිමි පංචස්කන්ද නාගරික ෆ්‍රැක්ටලයේ විවිධ සලාවැටුම් අතර ස්ව- සමරූපීව ඇතිවීම හා නැතිවීම ඔහු වදන් සිත්තමකට නගයි. විදුලිය සුලබ භාණ්ඩයක් නොවූ 1970 දශකයේ මැද රාත්‍රිය මඳකට ජීවිතයේ අනවරත බව නිවා දැමූ බව ඔහු එම සර්ගයේම ලෞකිකමය නොවූ කොටසක් ඇතුලත් කරමින් පෙන්වයි.
බොහෝ වෙම්වා මම්.
වැඩී වර්ධනය වේවා මම්.
.....
මෙසේ තමා කෙරෙන් විශ්වය විහිදා හැර .
...
එ ද ඔබ මවයි බොහෝ හැඩ රූ
මවා ඔබ බොහෝ හැඩ රූ
යළි ඔබ තුළටම උරා ගනී.
ජීවිතය සමරූපික එකක් නොවේ යැයි අපට පෙනෙතුදු එය සමරූපික එකක් වෙයි. එසේම එය හාත්පසින්ම විවිධ යැයි පෙනී යන නමුත් එය ජරා-මරණ ආදියට එක සේ ලක් වෙයි. අට ලෝ දහමෙහි කම්පිත වෙයි. හීනාර්ථ වශයෙන් සැනසෙන නමුත් පරමාර්ථ වශයෙන් දුක අනුභව කිරීම හෙවත් 'සාමාන්‍ය දොම්නසින් [general unhappiness]' ජීවත් වීම, අහස් ගුණ්ඩුවක් එහි කෙටි උජ්වලිත දිවිය කෙළවර කොට ඉරටුවක් හා කඩදාසි කොපුවක් පමණක් බවට පත් වී පොළවට පතිත වීම සේ සේකරට හසු වෙයි.
එදිනෙදා ජිවිතයෙන් උකහාගත් අංශූන් ස්ව-සමරූපීව හා ආවර්තීව සකස් කළවිට තමාට උවමනා සියුම් භාවයන් ප්‍රකාශනය කළ හැකි බව දන්නා සේකර, පෙර මෙහි ලියා ඇති පරිදි අම්ලකර වැඩිපුර උරා ගනු පිණිස භින්න-සමරූපී ව සකස් වූ පෙනහළු පුප්ඵුස සේ ද, සිරුර පුරා ජිව පදාර්ථ ගෙන යනු පිණිස එලෙසම සකස් වූ රුධිර වාහිනී පද්ධතියක් සේ ද ප්‍රබුද්ධ මුල් පිටු පනස් හය [1982 මුද්‍රණය] කාව්‍යාවකාශයෙහි සංවලිත වීමට සලස්වයි.
iv කොටසට...
3 comments:
මට තේරුණේ නැ
මෙලෝ දෙයක් මට නම් තේරුනේ නැහැ
කෝරලේ වලව්ව
සංසාරය නම් මෝබියස් වළල්ලක් වැනි බව සැබෑ වෙයි
Post a Comment