Friday, 12 October 2012

භින්න සමරූපික ජ්‍යාමිතිය හා ප්‍රබුද්ධ ii





බෙනුවා මැන්ඩෙල්බ්‍රොට් ස්වභාවධර්මයේ ෆ්‍රැක්ටල් ජ්‍යාමිතිය’ [the fractal geometry of nature] ලිවීමට පෙර

Z(n+1) D Zn+ c

සමීකරණය මගින් හඳුන්වා දෙන මැන්ඩල්බ්‍රොට් ශ්‍රීතය විශේෂ ගණිතමය ගුණාංගයක් ඇතුළත් එකකි. එහි සමාන ලකුණ වෙනුවට ඔහු යොදාගන්නේ ප්‍රත්‍යාවර්ත බව පෙන්වන සංකේතයයි. එම ප්‍රතිඵලය ඊළඟ පියවර ගණනය සඳහා ඇතුළත් වෙයි. මෙසේ බොහෝ වතාවක් සිදුවන ප්‍රත්‍යාවර්තනයන් විසින් ප්‍රතිපෝෂණ ලූපය විශාලනය කරයි.

මින් ඉහත සඳහන් කර ඇති පරිදි කැඩපත් අවදියේ මව සමඟ හා පසු ව සමාජිය අනෙකා [මහා අනෙකා] අතර ඇති වන ප්‍රතිවර්තී ප්‍රතිපෝෂණය නිසා ඇති වන විදාරණය පුද්ගලික හෝ සමාජයීය පරමාර්ථ සොයා යෑමේ පෙළඹවීමේ ස්වභාවය නිරූපණය කරන බව මට හැඟේ.

මෙබඳු ප්‍රතිපෝෂණයක් සිදුවිය හැකි ආකාර දෙකකි. එකක් ධනාවර්තී ප්‍රති පෝෂණයයි.

ධනාවර්තී ප්‍රතිපෝෂණය විසින් ඇති කරන වැඩි වන ආන්තික ආදායම [මෙය ලිබිඩිනල් ආර්ථිකයටත් මෙසේම අදාළ විය යුතු යැයි මට සිතේ] විසින් පුද්ගලයා සිය පැවැත්මද නොතකා ආයෝජනයට පෙළැඹෙයි.ලිබිඩිනල් ආර්ථිකයේ ධනාවර්තී ප්‍රතිපෝෂණය විසින්  දේශපාලන ක්‍රියාකාරිකයෙක් ගොඩ නගන්නේ, සිය මුලු වාණිජ වටිනාකමින් හරි අඩකටත් වඩා පර්යේෂණ හා සංවර්ධනය සඳහා වැය කරන බෝයිං සමාගම අයුරිනි. ඔහුගේ ප්‍රක්ෂේපණ නිවැරදි වුවහොත් ප්‍රතිලාභ [සමාජයීය හෝ පුද්ගල]බෝයිං සමාගම මෙන් විශාල හා අසාමාන්‍ය විය යුතුය.

අනෙක් අතින් ලිබිඩිනල් ආර්ථිකයේ හීනවන ආන්තික ප්‍රතිලාභ නිසා 'දුක' මුල්කරගත් ආත්මීය සෘණාවර්තී ප්‍රතිපෝෂණයක් ඇතිවිය හැකිය. එහි නොකඩවා ආයෝජනය කරන පුද්ගලයා ආධ්‍යාත්මික මාර්ගයක ගමන් කිරීම අරඹනු ඇතැයි මට සිතේ. ඔහුගේ ප්‍රතිලාභ [පුද්ගල හෝ සමාජයීය] අසාමාන්‍ය ප්‍රතිලාභ ලැබිය යුත්තේ සංසාරය කෙළවරදී ය.

සේකර ප්‍රබුද්ධ හි තෙවන සර්ගයෙන් මේ වෙන්ව යාමේ ලක්ෂ්‍යය සළකුණු කරන්නේ දෙකෙහිම නිෂ්පාදන සාධක පංචස්කන්ධය ම නිසා විය යුතුය. ප්‍රතිත්‍ය-සමුත්පාද වශයෙන් ජාති-ජරා-මරණ-සෝක හෝ පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස හෝ වශයෙන් පිළිවෙලින් වෙන්ව තෝරාගත් මාර්ග සහිත ආධ්‍යාත්මික විප්ලවවාදියා මෙන්ම සමාජ විප්ලවවාදියාද මේ සියල්ලෙන් එකිනෙක සංඝටක අඩු වැඩිව සංයුක්ත කරගත් සාමාන්‍ය පෘතග්ජනයාද, එකී එක් වර්ගයකට අයත් වීමට නියමිත තරුණයෝද තරුණියෝද එහි වෙති;

දැලි රැවුල් වවාගත්
මළානික පෙනුමෙන් යුත්
තරුණයෝ දැන උගත්
අහසට දෙනෙත් යොමු කොට
රක්සාවක් ඉල්ලත්.
උන් මෙන්ම මළානික තරුණියොත්
උන් ළඟම ඉඳගෙන ඉඳිත්.
අසරණ බවම මිස උන්ගෙත්
ඇස්වල නැත ප්‍රීතියක්.
[පි: 43 ප්‍රබුද්ධ-1982]. 

ලැබිය හැකි වේද විමුක්තිය මේ මඟින්?   
[පි: 56 ප්‍රබුද්ධ-1982]. 
   

71 කැරැල්ල නිසා ඇතිවූ සංශය සිය කවිය තුළ එසේ මුදා හරින සේකර සාමාන්‍ය ගෘහ ජීවිතය ද ප්‍රශ්න කරයි.

2 comments:

හිරුහිමාවී said...

මටනම් වචන ටික බර වැඩිද මන්ද :)
අපූරු ලිපියක්!

Susara Wijeratne said...

හෂිත
ඔබේ ලියවිල්ල බර සාරයි. සිල්ලර කියවීමකට ඔරොත්තු නොදෙන තරම්ම .
ඒ නිසාම සිල්ලරට කොමෙන්ට් කරන්නත් බැහැ.
ඔබ ප්‍රමාණවත් හැදෑරීමකින් ලියන දෙයට නිසි ප්‍රතිචාරයක් දීමටත් එවැනි හැදෑරීමක් අවශ්‍යයි.
එහෙත් කිසිම දෙයක් නොකියා යන එක ඔබේ හැදෑරීමට නිගරු කිරීමක් වගේ .
තෙවැනි කොටසත් කියවල වඩා හොඳ ( අදාළ ) ප්‍රති චාරයක් දෙන්න උත්සහ කරන්නම් .