Monday, 16 January 2012

විජය කුවේණි - 2


වාරියපොළ හන්දියෙන් මඳක් ඔබ්බට ගිය විට වැල්ලෑගල විහාරය හමුවෙයි. විහාරය පිහිටා ඇත්තේ ගිරිකුළක මැද හරියේය. විහාරයටත් වඩා ප්‍රසිද්ධ සූනියම් දේවාලයක් එහි වෙයි. ස්කන්ධ [සිංහ?- (සවෙනි ශාක්‍ය කුමාරයා උන් තැන මාගම් නුවර විය-රාජාවලිය)] හා ආරොවට පත් වල්ලීය එහි කලක් විසූ බව පුරාවෘතය පවසයි. දේවාලයත් විහාරගෙයත් අතර පෙත් මගෙහි ගල් නෙරුවක් ඇත. ගල් නෙරුව මතට ඈතින් ඇති කන්දක් පෙනෙයි. උදෑසන ඒ දෙස බලන කෙනෙකුට ගුප්ත සංඥාවක් කරමින් දිග සෙවනැල්ලක් තැනි බිමෙහි ඇඳෙයි.

‘ඔය තමයි දොළුකන්ද’ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ පවසති.

කුවේණිය මේ බිමෙහි සැරිසැරුවා වන්නට ඇත. ආර්යවර්තයේ නැගෙනහිර කොණේ සිට මුහුදු යතුරා පැමිණි රන්වන් ඡවි, කේශ, නේත්‍රායෙන් හෙබි ගෝත්‍ර නායකයා ඇයගේ ප්‍රේමයට බඳුන්වූවා විය හැකිය. ගණ සංඝයේ විවිධාකාර ශිල්පීය දස්කමින් යුක්ත ඔහු ඇයගේ විරුවා වන්නට ඇත.

කුවණ්නාව ඉතිහාසයේ හමු වන අපූර්වතම ස්ත්‍රියකි. ඇයගේ උපත්තියේ සිට පියොවුරු තුනක් සහිතව උන්නාය, සිය ඉරණම්කරු හමු වු විට ඉන් එකක් මැකී යන බවට අනාගත වාක්‍යයක් විය. පච්ඡිම රාජනිය නම් ජගන් මාතාවක විස්වාස කළ ඇයගේ ගෝත්‍රය මානව වංශ සන්තතියේ පෙර අවධියක පසු විය. පියොවුරු තුනක් සහිතව උන් අනිත් කාන්තාව නම් ‘පත්තිනි’ය උපන් මදුරා පුරයේ ම උපන් ‘මිනාක්ෂි’යයි. ඇයගේ උපතේදී ද කුවණ්නාවට ට ම බඳු අනාවැකියක් පළ වූ බව 'ස්ථල පුරාණය' පවසයි.

බොහෝ මිථ්‍යා රූපික කාන්තාවන්ට මෙන් කුවේණියට ගුප්ත හැකියාවන් ආරුඪ කිරීමට කතා කරුවෝ උත්සුක වි ඇත්තා හ. විවිධ රූප ගැනීමට, එයිනුත් වෙළඹ රූපයක් ගෙන යක් සෙනඟ නැසීමට විදෑවන්ට උදව් කළ යක්ෂණියක් ඒ අනුව රූපණය වි ඇත. දිවි දෙනකට බඳු නම්‍යශීලී සිරුරකින් හා වෙළඹකට බඳු ජවයකින් උන්නා යැයි පරිකල්පනය කළ හැකි කුවේණිය විජය ගේ නාරි අර්ධය වීම ප්‍රශස්තය. රන් සිරුරින් යුතු ඔහු උපුල්වන් සිරුරකින් යුතු ඇය හා සම්භෝග වීම තාන්ත්‍රික යෝගයකි. වජ්‍රමය එකීයත්වයකි. දියමන්ති හෝ ඊට සමාන අවිනාශීය දැඩි බවකින් යුතු වජ්‍රය, විටෙක හෙණපහරක් සේ ඉන්ද්‍ර අතෙහි ලෙළ දෙයි. මහායානයෙහි වජ්‍රය මාර්ගය සංකේතවත් කරයි.

කුවේණිය රූපත් බවට හා ඇය විජය සේනාපති හා දැඩි පෙමින් කල් යැවූ බව පැවසෙන කතා, කතා අන්තර පඬුවස්නුවර, වාරියපොළ ආදි ප්‍රාන්තයන්ගෙන් සොයා ගත හැකි බව මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දෙගම 1990/2000 පියවර සඟරාවට ලියා ඇත.

ඉහත කී වැල්ලෑගල පන්සල ඉදිරියෙන් ගනේවත්ත පාරේ කුවේණිගල වෙත යා හැකිය. එක් කලෙක විජය සේනාපති දරුණු කුෂ්ට රෝගයකින් පෙළෙමින් සිටි බැවින්, තම්මැන්නා නුවර උණුසුම් වැඩි හෙයින් සිංහ පුරයට සමාන දේශගුණයක් සහිත තැනෙක විසිය යුතු මනා බව තීරණය කෙරිනි. රෝගියා වෙන්කර තැබිය යුතු වීම අනෙක් උවමනාව විය. දොළුකන්දේ පර්වත ගුහාවක විජය සේනාපති නවත්වා පිළියම් කෙරිනි. විජය කුවේණි ප්‍රේමය කෙතරම්ද යත් උනුන් නොදැක සිටිනු නොහැකි වීම අන්‍යතර රෝගයක් විය. කුවේණිය දිනපතා කුවේණිගල මත විදෑවන්ට පෙනෙන සේ හිඳ ඉතා දිගු සිය වරලස ගලෙන් පහළට වැටෙන සේ මුදා හැර කෙස්වැටියේ අවුල් හරිමින් එය පීරමින් සිය පෙම්වතා දෙස බැලුම් හෙළමින් හුන් බව ජනශ්‍රැති ගත ව ඇත.

ප්‍රේමය සතු එක් ගුණාංගයක් නම් ප්‍රේම වස්තුවක් හෙවත් අර්චනකාමී වස්තුවක් සිය ප්‍රියයා- ප්‍රියාව ඇසුරෙන් තනා ගැනීමයි. ප්‍රේම වස්තුව හෝ අර්චනකාමි ෆැන්ටසිය [phantasy], අහිමි විමේ සංකාවෙන් කෙනෙක් මුදන තිරයක් තනා දෙයි [එස්තර් සැන්චෙස් පාර්දො-මෙලනි ක්ලයින් හා නූතන විෂාදි]. එකී තිරය දෙස බලන පෘතග්ජනයා පරිපූර්ණ බවට පත් වීමේ මායාවෙන් සතුටට පත් වෙයි. අර්චනකාමී ෆැන්ටසිය අවසන් විය හැකි වන්නේ මරණයෙන් විය යුතුය.

කෙනෙකු සිය ගෝත්‍රයට ද්‍රෝහි වීම, ප්‍රේම වස්තුව අතහැර දැමීමට සිදුවීම, දාරක දුහිතෘ අහිමි වීම විෂාදිජනක විය හැකිය. ඇතුළත හා පිටත ගැට නොලෙහෙන ලෙස තදින් ලෞකික ප්‍රේමයකින් බැඳුනු විදෑවන් හා කුවණ්නාව ඉතිහාසයේ ඈත ලක්ෂ්‍යයක සිට කාල චක්‍රය හරහා අප වෙත එවන්නේ ඔවුන්ගේ අනුල්ලංඝනීය ප්‍රේම සංඥාවයි.

අහිමි විමේ සාංකාව මිනිස් වර්ගයා සදා පෙලන රෝගයයි.

සේයාරුව: යක්ෂනී- පැට්නා කෞතුකාගාරය- විකිපීඩියා

5 comments:

Pali said...

නියමයි.....

ආගන්තුකයා | Stranger said...

කුවේණි කියන්නේ චරිතයක්. මට නම් හිතෙන්නේ කුවේණි කියන්නේ නියම ෆිගර් එකක් තිබුනු චරිතයක්. අර අහවල් කිරිපිටි වර්ගය බ්ව්වාම එන ජාතියේ ඇඟක් එක්ක ක්‍රීඩාශීලී ගතියක් සහිත දිගුවරලසක් තියෙන කාන්තාවක්. මේක මවාගත හැකි සුන්දරත්වයක්. මට නම් කෙලින්ම ඔළුවට එන්නේ කොණ්ඩේ දණිස්ස ගාවට දිග හැලීබෙරීව.. ඒත මම හිතන්නේ කුවේණි ඊට වඩා ලස්සනයි වෙන්න ඕනි.

DilanW said...

අයියෝ ආගන්තුකයා, උඹේ කමෙන්ටුව හරි ඕලාරිකයි නේ! ඒ ගෑනිගෙ රූපය මොනවගේ ද කියලා හිත හිතා ඉන්නෙ නැතුව මේකෙ කන්ටෙන්ට් එක කියවපන් කෝ. මේ මනුස්සයා කියන්න හදන්නෙ මොකද්ද කියලා යාන්තම් අදහසක් ඔලුවට ආවත්, උඹේ කමෙන්ටුව දැක්කම ඒක කාබාසිනියා වුණා. :|

niroshini said...

මේ බ්ලොග් එකේ දැක්කේ අදයි... එක හුස්මට පෝස්ට් තුන හතරක්ම කියෙව්වා.
අර කුවේණි ගල උඩ ඉඳන් දිග කොණ්ඩේ අවුල් අරින එක මට මැවිලා පෙනුන...කුවෙනිට තියෙන්න ඇත්තේ කැරලි කොණ්ඩයක් වෙන්න ඇති කියල හිතෙනවා. අවුල් අරින්න :)

ආගන්තුකයා | Stranger said...

මට ඕවා තේරෙන්නේ නෑ ආයුබෝං. මට මුලින්ම ඔළුවට ආපුදේ ඕක තමා. කුවේණියගේ රූපය. මොනා කරන්නද බං ඉතින් මම උඹ තරම් තේරුම්ගන්න දක්සයෙක් නෙමෙයිනේ. මම මේකෙන් ගත්තේ විජය කුවේණි ප්‍රේමය කියන සරල කියවීම ඒක ඕලාරික වෙන්න පුළුවන්. කොහොමත් මම මහාප්‍රාණ කියවීමට වඩා ඕලාරික කියවීමට කැමතියි. ඒ කියවීම ඇතුලේ කුවේණියගේ ප්‍රේමය කුවේණියගේ සුන්දරත්වය විජයගේ කඩවසම් බව සහ විජයගේ සිත තුල කුවේණිය ගැන තිබුන අපි නොදැක්ක ප්‍රේමය තිබුනා. උඹේ අදහස කාබාසිනියා වුන එක ගැන මට සමාවෙන්න මිත්‍රයා මම ඒක හිතාමතා කරපු දෙයක් නෙමෙයි.