Sunday, 22 January 2012

විජය කුවේණි - 3

පුරාතන ගණයෝ පුද්ගලයාට වඩා සමූහය වැදගත් කොට සැලකූහ. ලිච්ඡවීන් අනුගමනය කළ අපරිහානීය යැයි හොඳින් පෙනෙන සප්ත ධර්මයන් විසින් ඔවුන් බැඳී සිටියහ. ගණ තීරණයට පිටුපා කැරළි ගැසූ විජය සේනාපති ඇතුලු සේනාංකය පිටුවහල් කරන්නේ ඒ රීතියට අනුවය. එහි අනෙක් අරමුණ වූයේ උත්තරාපථයේ නොවෙන අන් දෙසක හෝ ගණ සංස්ථා පිහිටුවීමයි.

විජය හා කුවේණිය අතර ඇති සම්භෝග ප්‍රේමය ගණයේ අභිලාශයට බාධාවකි. ඔවුන්ගේ අරමුණ සිය ජාන සම්පත්තිය සුරැකීමයි. පැහැපත් සමින්, පැහැපත් නෙතින් හා පඬුපැහැ කෙසින් යුතු අවම වශයෙන් ක්ෂත්‍රිය වර්ණයට හෝ අයත් කුමරියන් සොයා ගොස් සිය ජාන සම්පත වෙනත් පරම්පරාවක් කෙරේ සම්ප්‍රේෂණය කළ යුතුය. කුවේණිය නම් සුපිරි ගැහැණිය ඔවුන් වෙත මහත් බාධකයක් ව සිය රුසිරින්, නුවණින් හා හැකියාවෙන් ආඪ්‍යව ගණ අභිලාශය ඉදිරියේ නැගී සිටියි.

ඇය සතු පුරාතන ඥානය විසින් හා විජය සතු කෞශල්‍යය විසින් ඔවුන් දෙදෙන එකිනෙකා හා වජ්‍රමය බන්ධනයකින් බැඳ තබා අහවරය. එකී බන්ධනය විසින් කුවේණිය සිය සංකේතීය ලෝකය විනාස කර දමන තැනට පත් කර තිබුණි. සිය ඥාති වර්ගයා ආගන්තුකයාගේ වසයට පත් කළ කුවේණිය යුග පැරණි සංකේත පද්ධතියක් වනසා ඇත.

විජය ඇතුළු ගණ යෝධ කැල ඔවුන් පුහුණු කළ ගණ සංස්ථා රැස්වීම් පැවැත්වූවා වන්නට ඇත. විජය විෂයයෙහි ඔවුන් මුහුණ දෙමින් උන් උභතෝකෝටිකය සාකච්ඡාවට ගත්තා වන්නට ඇත. ගණ ගෝත්‍රයක පුද්ගලයාට වඩා ගෝත්‍රය, සමූහය මුල් වෙයි. හයසිය අනූනව දෙනෙකු හා විජය යනු අතුල්‍ය බල සැකැස්මකි. විජය මහා ප්‍රජාතාන්ත්‍රිකයෙකු වන්නේ ඒ නිසාය. ඔහු ගණ තීරණයට හිස නමන්නට ඇත. ක්ෂත්‍රිය කුමාරිකාවන් සොයා දූතයන් පඬි රටට යැවූයේ එහෙයිනි.

විජය හා කුවේණිය වෙන් වන්නේ ගණ තන්ත්‍ර තීරණයට හිස නමමිනි. ඔවුන් අනෙකුත් උම්මත්තක ප්‍රේමවන්තයන්ට වඩා වෙනස් අයුරක උම්මත්තකයින් දෙදෙනෙකු වන්නේ පුද්ගලයාට වඩා සමූහයට මුල් තැන දුන් නිසාය.

විජය සේනාපති සිය පරිකල්පනීය ලෝකය මේ නිසා විනාස කර ගත්තේය. ඔහු හා කුවේණිය අතර ඇති අර්චනකාමී බන්ධනය බිඳීම විජයගේ පරිකල්පනීය චිත්තය සුණු විසුණු කළ කොන්ටම් මට්ටමේ පිපිරීමක් වන්නට ඇත.

කුවෙණිය හට සිය 'යථ' හමු වන්නේ ඇයගේ සංකේතීය ලෝකය පුපුරා ගොස් කලක් ගත වූ පසුවය. සිය ගෝත්‍රයට පිටුපා විජය හා බැඳුනු බැම්මෙන් ඇය මවා ගත් සංකේතීය තිරය තව දුරටත් වලංගු නොවෙන බව සෘජු ප්‍රජාතන්ත්‍රය කුටුම්භය වෙත සම්ප්‍රේෂණය කරන පණිවුඩයයි. යථ හමු වීම යනු මරණය හමු වීමයි. කුවේණිය මරණය තෝරාගන්නේ ඇය සතුව අනෙකුත් හැකියාවන් නොතිබූ නිසා නොවේ. විජය හා බැඳුනු වජ්‍රමය සම්බන්ධය බිඳුනු පසු ඇයට සත්තාව අරුත් විරහිත වීම නිසාය.

ඇයගේ සංකේතීය ලෝකය වන යක්ෂ ගෝත්‍රය වෙත ආපසු යෑමට පෙර ඈ නැගූ විලාපය විලාකටුපොත ගල්තලාවක ලියා ඇතැයි ජන ප්‍රවාදය කියයි. විලාපය කටු ගෑ පොත විලාකටුපොත වී යැයි කියැවේ.එම ගලෙහි ලියූ විලාපය කටුගා දමා ඉරි කැබලි පමණක් ඉතිරි වී ඇතැයි ද කියැවේ.

ඇයගේ අවසාන ප්‍රේමණීය ක්‍රියාව සිය දිවි නසා නොගෙන සිය ඥාති වර්ගයා අතින් මරණයට පත් වීමයි. සිය සංකේතීය ලෝකය කිළිටි කළ කුවණ්නාව වෙත දඬුවම් දුන් පසු සංසිඳෙන යක් ගණය නිසා විජය ඇතුළු පිරිසට සැලසෙන ආරක්ෂාව ඇයගේ අරමුණ වූවා වන්නට ඇත. කුවේණිය ඉතිහාසයේ පැනෙන සියළු අක්‍රිය පෙම්වතියන්ට වඩා විශිෂ්ට වන්නේ ඒ නිසාය.

වැල්ලෑගල ගිරිමුදුන ගුප්ත හාස්කම් ඇති තැනක් යැයි එහි පැමිණෙන බොහෝ දෙනෙක් විස්වාස කරති. කුවේණිය එහි පැමිණියා වන්නට බැරිද? ඇයගේ උමතු ප්‍රේම පරිත්‍යාගය දුකට පත් ජනයා ආරක්ෂා කරමින් එහි රැඳී පවතිනවා වන්නට බැරිද?

ගූඪ බව මිනිස් සන්තානයේ ඇති රෝගී සංකාවට එක් ප්‍රතිකාරයකි.

ස්තුතිය - කොළඹ අවන්හලකදී හමු වූ විටෙක අතට අසු වූ කොළ කැබැල්ලක න්‍යායික කරුණු ලියා පැහැදිලි කරන ඩෝසන් ප්‍රීති සහෝදරයාට

සේයාරුව: ජායිපුර් හි මහාරාජා ජය සිං[හ] විසින් ඉදි කළ 'ජන්තර් මන්තර්' අන්තරීක්ෂ දර්ශන-මාන ව්‍යූහයේ මිථුන ලග්නය.

3 comments:

Lishan Puwakowita said...

කුවේණි මරණ මුවවිටේ ඉඳන් සාපයක් කලා කියලා ජනකතා වල තියෙනවා නේද? "කුවේණි සාපය" මෙහෙම කල්පනා කලාම එහෙම දෙයක් වෙන්න ඉඩක් නෑ නේද??
මට ඉතිහාසය යනු මැටි පිඩකි.., කතා කරුවා සිය දස්කම් දක්වා විවිධ අතට ඒ මැටිපිඩ හසුරවා කතන්දර තනයි.

හෂිත said...

මේක ගැන කියවගෙන යනවා. විස්තර දාන්නම්.

Hasitha said...

බොහොම රසවත්ව කරුණු දක්වා තිබෙනවා.

කුවේණිගේ සාපය වදින්නේ පඬුවස්දෙව් රජතුමාට නේද ? දිවිදොස් රෝගය වගේ නමක් නේද ඒකට තිබුණේ ?