Sunday, 15 January 2012

විජය කුවේණි -1

විජය කුවේණිව එලවලා පඬි රටෙන් කුමාරිකාවක් ගෙනත් බිසව කරගත්තා. කුවේණි දුකට අඬ අඬා නෑයින් ළඟට ගියා. නෑයෝ කුවේණිව මරලා දැම්මා. ජීවහත්ථ දිසාලා දෙන්නා කැලේටගියා. දෙන්නගෙන් තමයි වැද්දො පැවතගෙන එන්නේ. එච්චරයි..!

ඉතිහාසය එතරම් සරළ නම් අපිට සතුටු විය හැකිය. එය සරළ නැත. එහි වැසී පැවතුනු වේදනාවන් සංඥාවන් සංස්කාරයන් හදිසියේ 'සෙල්ලිපියක මතුපිට අකුරු අතරින් මතුවන වෙනත් සෙල්ලිපියක්' සේ ඉස්මතු වෙයි. කෙනෙකු අසන කෙටි පැනයක් මේ සියල්ල දල්වනවා විය හැකිය. අපි ඉතිහාසයේ පෙම් චරිත ගැන කතා කරමුද? යනු එබඳු පැනයකි. අපි දන්නා පෙම් කතා බොහොමයකි. රාමා සීතා, සාලිය අසෝකමාලා, ගැස්කෝන් ප්‍රමිලා අපි අසා ඇති වෘත්තාන්තයෝ වෙති. ගැමුණු රන් මැණිකා, කීර්ති ශ්‍රී රාජසිංහ සුබ්බම්මා ආදී සැඟවුනු පෙම් කතාවෝ ජන කතා අතරින් ඉස්මතු වෙති.

විජය කුවේණි?

කාලචක්‍රයේ අඳුරු හෙවනැළි අතර සඳපහන් රැයෙක වනස්පතියක අරළු අතරෙහි පෙමින් අබිසෙස් ලද ශෘංගාරමණ්ඩපයක කුළු ගැන්වුනු ගාන්ධර්ව විවාහයක නටබුන් සේ පෙනෙන මහාවංස ගාථා හතරකින් පමණක් කියා නිම් කළ නොහැකි ප්‍රේම වේදනාවකින් මිය ගිය විදෑවන් හා කුවණ්නාව පොදු අවිඥානයේ සැඟව සිටිති. ඔවුහු අපගේ ‘ගර්භ විඥානයේ’ ශුක්‍ර ශ්‍රෝතස සේ තැන්පත්ව සිටිති. මේ කාලචක්‍රය විනිවිද එක කොන්ටම් ක්ෂණයක ඔවුන්ගේ හා අපේ ශ්වාස රිද්මය සමාන්තරවූ මොහොතේ ඇතිවුනු සිතිවිල්ලයි. අපගේ පොදු විඥානය පුරා පැතිරී ඇති ඓතිහාසික වරදක පැල්ලම් මත තැවරුනු කොන්ටම් දුහුවිල්ල පිස එන අතීතකාමයක සුවඳ පොදයි.

ලංකා ඉතිහාසයේ මා දන්නා විජය ලා දෙන්නෙකි. එක්කෙනෙක් පෙම් කුමරෙකි, නළුවෙකි, ප්‍රජාතන්ත්‍රවාදියෙකි, කඩවසම් මිනිහෙකි. අනිත් කෙනා ජාතියක ආරම්භකයෙකි, දේශාටකයෙකි, මහා ප්‍රජාතන්ත්‍රවාදියෙකි, පුද්ගල සතුට ප්‍රජා අරමුණ වෙනුවෙන් කැපකළ නර ශ්‍රේෂ්ඨයෙකි, ප්‍රේමාතුරයෙකි.

විජය සිංහබාහුගේ හා සිංහ සීවලීගේ ඖරස පුත්රයාය. ඔවුහු හිමාලය නැගෙනහිර බෑවුමේ හා මගධයේ සිටි එක් ආර්ය ගෝත්‍රයකි [නේපාලයේ තොරායි තැනිබිම, බෙංගාලය - භාත් ඛානා ?- බත් කන පෙදෙස් ]. ලිච්ඡවීන්, මල්ලයන්, කෝලියයන් හා ශාක්‍යයන් මෙබඳු ගණ ගෝත්‍රයෝය. ගණයක් ගණ නායකයෙක් හා ගණ සාමාජික ඥාතීන් ගෙන් යුක්තවෙයි. ගණයක ගැහැණුන් හා පිරිමින් ඝණ සංඝයෙහි හැර අන් තැනෙහි සම අයිතියෙන් යුක්ත වෙයි. දරුවෝ ගණයට අයත් වෙති. මහාවංසයට අනුව සිද්ධාර්ථයෝ ශාක්‍ය කුමරෙකි. ශාක්‍ය ග්‍රාමණීයයෝ කුලපාරිශුද්ධිය දිවි දෙවැනි කොට තැකූ අරිය ගණයකි.

ඔවුහු පුද්ගලික බව ගණයට දෙවෙනි කළාහු වෙති. මහාචාර්ය රාහුල සංස්කෘත්‍යායනයන් අනුව කියැවෙන්නේ, ඔවුහු සතුටෙන් ජීවත් වූ බවයි, අස් ධාවනයෙහි, ඛංග-ධනුද්ධර ශිල්පයන්ගෙ කෙළ පැමිණි බවයි. ගෝපාලනයෙහි අශ්ව සිංචනයෙහි පාරප්‍රාප්ත දැනුමින් යුතුවූවාහු බවයි. ධාන්‍ය රෝපණයෙහි, උද්‍යාන ගෝපනයෙහි, ද්‍රාක්ෂා සවනයෙහි, ඛාද්‍ය ව්‍යඤ්ජනයෙහි සමර්තයන් වූ බවයි. නර්තනයෙහි හා සංගීතයෙහි ප්‍රමාණික වූ බවයි. සප්ත අපරිහානීය ධර්මය මහා පරිනිබ්බාන සූත්‍රයට ගෙතෙන්නේ ලිච්ඡවී ගණය නිසා . ගණ සමාජයෝ සප්ත අපරිහානීය ධර්මයෙන් යුක්ත වූවාහුය.

ඔස්මානියා සරසවියේ කංචා ඉලයියා ඇදුරුන් අනුව, බුද්ධපරිනිර්වානය සිදුවන කාලය කෝසලය හා මගධය දෙපසින් ගණගෝත්‍රයන් තලා වනසනු පිණිස පිඹුරුපත් සැකසූ යුගයකි. ආදි ප්‍රජාතන්ත්‍රය මහාරාජ්‍ය ක්‍රමය විසින් ගිල ගැනීමට නියමිත වූ යුගයකි. කෞටිල්‍ය/චාණක්‍ය විසින් ගණිකාවන්, වෙදුන්, කරණවෑමියන් ලවා ගණ නායකයන් භේද කොට උනුන් මරාගනු පිණිස යොමු කරවූ යුගයකි.

විදෑවුන් ගණ තීරණ ඉක්මවා ගණ උරුමය රකිනු පිණිස කෝසළ [පසේනදී කොසොල්] මගධය [බිම්බිසාර] යන මහාරාජ්‍යයන් හා සටනට එළැඹ සිය සත්සියයක් ගණ යෝධයින් හා එක්ව කැරැල්ලක් මෙහෙයවූ ශාක්‍ය සේනාපතියෙකි.

අරීය ගණයේ නීතිය කෙසේද යත්, වරදකරුවෙක් විනිච්චය මහාමත්ත වෙත ඉදිරිපත් කෙරෙයි. ඔහු වෝහාරික වෙතද, ඔහු සුත්තධාර වෙතද, ඔහු අට්ඨකුලක [ගණ අධිකරණය]වෙතද, එමගින් සේනාපති වෙතද, සේනාපති උපරාජ වෙතද උපරාජ, රාජ [ගණ නායක-මහාලි ගණ නායකයෙකි] වෙතද යොමු කෙරේ. රාජ විසින් ප්‍රවේණි පුස්තකය විමසා බලා දඬුවම නියම කරයි.

මෙබඳු විධිමත් අධිකරණ ක්‍රමයක් තිබූ ගණ ගෝත්‍ර විනයක් තිබියදී පියාගේ[සිංහ බාහු] කැමැත්තට විජය-සිංහ හිස් අඩක් බූගා නැවක දමා පිටුවහල් කළා යනු ඉතා සරළ කළ විග්‍රහයකි. ගණයෙන් පිටුවහල් කිරීම මරණයට වඩා මාරාන්තික වන ක්‍රමයක විජය ගණයෙන් පිටුවහල් කළ බවද පිළිනොගැනිමට කැමැත්තෙමි. වෙනුවට මහාරාජ්‍යයන් විසින් අභියෝගිත ගණගෝත්‍රයක් වෙනත් පෙදෙසක ජනාවාස වනු පිණිස සිය අග්ගසාර යොධ කැල නැව්නංවා පිටත් කළ බව විස්වාස කිරීමට මගේ හිත මට බල කරයි. සිය ජාන සම්පත්තිය සංරක්ෂණය කිරීම ගණ ගෝත්‍රයන් ඉදිරියේ තිබූ මහත් ගැටළුවකි. හාඩි හා වයින්බර්ග් පෙර සිය ජාන අන් තැනෙක සංරක්ෂණය කෙරෙනු පිණිස දූපතක් තෝරා මෙසේ යැව්වෝ ආර්ය ගණයෝ වෙති. ක්‍රමාණුකූල ජාන විතරණය නිසා ඇතිවන සුළු වෙනස්කම් පමණක් මහා දීපයෙන් වෙන් වූ දූපතක ඇති වන බව ඔවුන් දැනසිටියා වැන්න.

මහාවංසය පෙනෙන නොපෙනෙන උදාහරණයන් මේ උදෙසා ගොණු කරයි.

ඉතිහාසය කිසි සේත්ම සරළ නැත.


සේයාරුව-තක්ෂිලා හි නටබුන්-Heritage Key Web අඩවිය

5 comments:

ආගන්තුකයා | Stranger said...

ඉතිහාසය කිසිසේත් සරල නැත. ඉතිහාසයේ හිටියෙත් වර්තමානයේ වගේම මනුෂ්‍ය කොටසක්. අපිට පුරාවිද්‍යාවෙන් උඩින් පහුරුගාන්න පුළුවන් පොත්වලින් කතාව හොයාගන්න පුළුවන් අඩු ටික ගොඩ දාන්න අපිට ඒකෙ ජීවත් වෙන්න වෙනවා. විජය නරක මිනිහෙක් වෙන්න පුළුවන් ඒත් විජය ප්‍රේමය පැත්තෙන් ගත්තොත් සුන්දර පොරක්.

Lishan Puwakowita said...

කවුරුවත් නරක නෑ ලසියා. උනුත් අපි වගේම "අලු" මිනිස්සු හරි වැරැද්ද කියන එක හදාගෙන තියෙන්නේ අපි අපිමයි. දෙයක් කරන තුරු පේන්නේ නෑ නේ අපි මේ කරන්නේ හරි දෙයක් ද වැරදි දෙයක් ද කියලා. ඒත් යමක් සිදුවීමෙන් පස්සේ අපේ හිත් අර සාම්ප්‍රදායික තරාදියට දාලා මනින්න ගන්නවා එහි හොඳ නරක. ඉතින් ඊට අනුව විජය නරකයෙකු වන්නට ඇති. ඒත් ඔව් උඹ හරි ඌ මනුස්සයා ආදරේ පැත්තෙන් සුන්දර පොරක්.

දුකා said...

මගේ හැඟීමක් තිබ්බේ විජය කියන්නේ රට රටවල් බලන්න කැමැත්ත තිබුනු . . යාලුවෝ එක්ක නැවක නැගලා යන්නේ කොහේද නොදැන හිපියෝ යනවා වගේ ත්‍රාසජනක ගමන් යන . . සෙල්ලක්කාර කෙනෙක් කියලා . . .

මේ ලිපිය නිසා ඒ අදහස වෙනස් විදිහකට දකින්නත් පුලුවන් උනා.

හෂිත said...

:)

Halcyon days in Sri Lanka said...

මෙට අදාල නැති පොඩි දෙයක් කියන්න කැමතියි. කොන්ටම් ක්ෂණය හෝ කොන්ටම් දුහුවිල්ල වැනි වචන නොයොදනවා නම් අගෙයි. කොන්ටමය කියන්නේ පැකට් එකටය. මෝස්තරයට වචන භාවිතයෙන් වළකින්නේ නම් අගෙයි. සරලව කිව හැකි බොහෝ දෙය වටෙන් කීම නරකම නැත, වදන් හරඹයෙන් බස පෝශණය වන නිසා. ඒත් ඉතින් එක වාක්‍ය තුනකින් කියන්න තියන දෙයක් ඇද්දා කියලා කරුණු වෙනස් වන්නේ නම් නැත.