Tuesday, 7 February 2012

හැරි පොටර් ලංකාවේදී කියවීම - මිථ්‍යාව හා යථාර්ථය සම්මුඛ වීම

[ආදරය යනු 1/0 (all or none) වර්ගයේ එකක් පමණක් බව පුන පුනා කියන ඩෝසන් ප්‍රීති සහෝදරයාට තිලිණයකි]

ඉතිහාසය ප‍්‍රවාදය බවටද ප‍්‍රවාදය මිත්‍යාව බවටද පත් විය. -ගලද්‍රියෙල් - ලෝඞ් ඔෆ් ද රිංග්ස්, පෙර කථනය-

යුරෝපය නිතර ඇතිවෙන යුද්ධ, ගැටුම්, අර්බුද නිසා ජීවිත අවුල් වෙන භූගෝලීය පෙදෙසකි. ප‍්‍රංශ සිසු නැගිටීම්, තැචර් පාලනය යටතේ කම්කරු ගැටුම්, බර්ලින් තාප්පය වැටීම, අයර්ලන්ත අර්බුදය, ඉස්ලාමික අන්තවාදය හා ආර්ථික අවපාතය (ණය පපඩම බිඳීම) ආදී වශයෙන් වෙන අන්තරායන්ගෙන් පිරුණු අඩවියකි. හැරි පොටර් රැකියා විරහිත, එක්දරු, ඒකල මවක ගේ ජීවිත ව්‍යාපාරය වන්නේ මෙබඳු සංදර්භයකදී ය.

යුරෝපයේ ජීවිතය අවිනිශ්චිත ය, එය ක්ෂණ භංගුර ය. දෙමාපියන් දික්කසාද වීම එහි අරුමයක් නොවේ. දරුවෝ එයින් පීඩාවට පත් වෙති. ෆ්‍රොයිඩියානු පවුල එංගලන්තයේදී අටානූවක් රෝග, නවානූවක් ව්‍යාධි හා දෙසිය තුනක් ආන්තරාවන්ට මුහුණ දෙයි. මාක්ස් කියූ අවතාරය යුරෝපය පුරා සැරිසරයි. පවුල අර්බුදයට යමින් පවතී. අවිනිශ්චිත අවස්ථාවන් හරහා වොල්ඩෙමොර්ට්වේශයෙන් පැන නගින පවුල අහිමි, අවජාතක, පීතෘ ඝාතක, ටොම්නම් සමාජ ප‍්‍රහෙළිකාව (රිඞ්ල්-Riddle) ත‍්‍රස්ත ස්වරූපයෙන් පවුල් බය කරමින් ඉගිල යයි.

ජොඇන් රෝලිං නූතන මායාකාරියකි. ඇය පොටරියානු මිථ්‍යාව වෙළුම් හතකින් නිමා කරමින් ඉක්බිති සියල්ලෝ සතුටින් ජීවත් වූහයනුවෙන් සමාප්ත කෙරෙන ඇගේ කතාව ගොඩනගා ඇත. ඇය විසින් ලේඛන ලෝකයට බලාපොරොත්තුවක් කැඳවා ගෙන එයි. බහු මාධ්‍ය ලෝකයක තාක්ෂණ විවිධාංගීකරණය අභියෝගයට ලක් කරන ඇය පැරණි මුද්‍රිත මාධ්‍යය කතා කලාවෙන් අලංකාර කළ විට මායා ලෝකයක් මැවීමට සමත් බව ප‍්‍රත්‍යක්ෂ කර ඇත. ලෝකයේ ඇති එකම මායාව සංඥාර්ථවේදය ප‍්‍රගුණ කිරීම බව පෙන්වා ඇත.

රෝලිංග් ගේ එකෝමත් එක රටනූතන එංගලන්තයයි, එහි මෙට්‍රොපොලිටනය අස්සේ සැඟවි ඇති අවිඥානක බිය හැරි පොටර් චරිත බවට පත් වී පොත් පිටු පුරා රඟති. ජේ ආර් ආර් ටොකීන් (රිංග් ත‍්‍රිත්වය) ජෝර්ජ් ලූකස් (ස්ටාර් වෝර්ස්) රොබට් එච් හොවාර්ඞ් (කොනන්) රයිඩර් හැගාර්ඞ් (ෂී) හා වචොව්ස්කි සහෝදරයින් (මෙටි‍්‍රක්ස්) කතා කරුවන් විසින් මිත්‍යා විශ්වයක ගොඩනගන දේශපාලන සංදර්භය හිට්ලර් , ස්ටාලින් ආදි නාගරික නූතන ඉතිහාසයන් විසින් තහවුරු කරයි.

හැරි පොටර් චරිතය ගොණු වන්නේ මේ යුගයේ තරුණ වටිනාකම් පිළිබඳ අත් පොතක් වශයෙනි. දෙමාපියන් අහිමි අනාථ මායාකාර ඔලිවර් ට්විස්ට් කෙනෙකු වන හැරි නායකත්වය, ධීර බව, මිත‍්‍රත්වය, කැපවීම, පේ‍්‍රමය, ගුරු දෙගුරු ගෞරවය සහිත ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් හෙබි, කරුණාවන්ත යෞවනයෙකි. රෝලිංග් මෙහිදී ග‍්‍රීක මිථ්‍යාවන්ගේ සිට ග‍්‍රීම් සහෝදරයින් ගේ කතා දක්වා යුරෝපය පුරා පැතිරුණු මිථ්‍යාංශූන් මුසු කරමින් ඇයගේම මිථ්‍යාවක් තනන්නේ වෙළඳ දැන්වීම් කරුවන් ලැජ්ජාවට පත් කරමිනි.

හැරි පොටර් කතන්දරය පුරා ලිබරල් සුළු ධනේශ්වරය හා ෆැසිස්ට්වාදය අතර දෝලනය වන සමාජ පැවැත්ම ගැන කතාංශූන් හමු වෙයි. හර්මයොනි ග‍්‍රාන්ජර් ගේ ලිබරල් නිදහස, ආන්තික ජීවින් කෙරෙහි ඇති සානුකම්පාව රෝලිංග් විසින් සවිස්තරව කතාව තුල බහා ලන්නේ මේ එක් පක්ෂයක් (ජයග‍්‍රාහී පක්ෂය) අනෙකට වඩා හොඳ බව තහවුරු කිරීමේ අභිලාෂය කුලූ ගන්වමිනි.

දෙපක්ෂයේම පවුල පිළිබඳ විශ්වාසය, පොදු යහපත නම් ලාලසාව ඇති, පුද්ගල නිදහස නම් ලිබරල් ආශාව ඇති අය නපුරට බිය වෙති. නපුර ජය ගැනීමේ ක‍්‍රියාවලියේ අනියම් කොටස් කරුවන් වීම ඔවුන් අතින් අවිඥානිකව හෝ සිදු වෙයි. වොල්ඩිමෝර්ට් විසින් ඇති කිරීමට යන ශුද්ධ රාජ්‍යය විසින් අහිමි කරවන දේ පිළිබඳව ඉඟියක් මැල්ෆෝයි පවුලේ මන්දිරය ඩෙත් ඊටර්ප‍්‍රවාහයේ මූලස්ථානය වීම නිසා මැල්ෆොයි වරු අහිමි කරගන්නා පුද්ගල නිදහස මගින් නිරූපනය වෙයි. ඉන්ගිරිසි ලිබරල් චින්තාව මුදුන් පමුණුවන රෝලිං, බලය අත් හැරීම විසින් නොහොත් බලය මත ස්වයං විනයක් ඇති කිරීම මගින් යහපත් හෙට දිනක් ඇති වන බවට නිශ්ඨා කොට පොටරියානු මිත්‍යාව අවසන් කරයි. හැරී විසින් මායාකාරී ආධිපත්‍යයේ උපරිමය වන එල්ඩර් යෂ්ඨිය’ [Elder Wand] අතහැරීම මගින් බලය නිසා ඇති වන සංකූලතාවන් ගෙන් ලිබරල් සමාජය ආරක්ෂා කිරීමට පුද්ගල කැපවීමේ ඇති කේන්ද්‍රීය බලපෑම පෙන්වයි.

වෝල්ඩිමොර්ට් ගේ බහු කුණප (හෝර්ක‍්‍රක්ස්- horcrux) පැවැත්මේ එක ආකාරයක් හැරී බවට පත් කරන රෝලිං එනයින් සමාන හා විරුද්ධ අනෙකා හා ඇති දයලෙක්තික සම්බන්ධය ගොඩනගයි. ඉඳි කටු තුඩක පණ තිබූ රාක්සයා නම් මිත්‍යාංශුව හෝක‍්‍රක්ස් නමින් සිය පණ බෙදා කිසියම් වස්තුවක හංගන වොල්ඩිමොර්ට් ගේ කතාංශුව දක්වා වර්ධනය කරන රෝලිං ඉන්ද්‍රජාලික යතාර්ථය තව දුරටත් වර්ධනය කළ හැකි බවට සංඥා කරයි. එකෙක් ජීවත්ව සිටියදී අනෙකා ජීවත්ව සිටිය නොහැකියයන උභතෝකෝටිකයේ ඇති උත්ප‍්‍රාසය මත කතන්දරය පුරා ආතතිය ගොඩ නැගූ ඇගේ කතා උපක‍්‍රමයේ ප‍්‍රබල කම යුරෝපයේ පමණක් නොව ලංකාවේ ද පොත් හල් ඉදිරිපිට පෝලිම් ඇති කළ අයුරු කාල අක්ෂය හරහා දිවෙන ප‍්‍රවෘත්තියකි.

මේ මිථ්‍යා, ඉතිහාස, දේශපාලන, වාණිජ සංදර්භය අහිමි ලංකාවට හැරි පොටර් පොත්තක් ලැබෙයි. විකිණිය හැකි පොත් අනාගතයේ හෝ පරිවර්තනය කර ධනෝපායනය කළ හැකි පොත් වෙළඳපැලැන්තියක් විසින් උණු කැවුම්ලේඛකයන් අත් පත් කර ගැනීමේ නිර්දය තරඟයක් හා පොත් මාලා පරිවර්තනය කරන පරිවර්තක රංචුවක් සහිත රටක, හැරි පොටර් හි ඉන්ගිරිසි බසෙහි සියුම් බව හා ජොආනියානු රචනා ශෛලීයට හානි කරන මධුර ශබ්ද කෝෂයේකොපි පේස්ට් පරිවර්තන කියවීමේ ඔක්කාරය ඇති කරයි. ධාරණී, මන්ත‍්‍ර, ගුප්ත විද්‍යා ශාස්ත‍්‍ර, හදි-හූනියම්, බලි-තොවිල් ඈ විසින් ගහණ චූල ආඛ්‍යානය මුහුකුරා ගිය රටක පරිවර්තකයන් ඕං රාමා හරේ ක‍්‍රිෂ්ණායනුවෙන් රෝලිං සිය බුද්ධිමය ශ‍්‍රමයෙන් නිෂ්පන්න කරන දැහැන්, මන්ත‍්‍ර, සූත‍්‍ර සිද්ධිරහිත වචන පේලි බවට පෙරළීමෙන්, ඒ පී ගුණරත්න, ඊ ආර් එරත්න ආදී විශිෂ්ටයින්ට නිගරු කරන සාහිත්‍ය දූෂණය ඛේදනීයය. රෝලිං මේ හේතුව නිසාම ලංකාවට පැමිණෙන්නේ විකෘත ස්වරුපයකිනි. එ මගින් අපගේ ස්වයංසිද්ධ ප‍්‍රත්‍යක්ෂඥානය [spontaneous perception-Zizek] අර්බුදයට යවයි.

ධනපති ආර්ථික ක‍්‍රමයක මූලික අංගය වන ගෘහස්ථය/කුටුම්භය අර්බුදයට යෑම පද්ධතිය විසින් ඇති කරගන්නා අභ්‍යන්තර අසාත්මික තාවයකි. මේ අර්බුදය ස්ත‍්‍රීවාදී ව්‍යපාර, ලිංගික නිදහස, පවුල් නොතනන පුද්ගලයන් ආදී විවිධ මීයන් විසින් හිල් කිරීම නිසා ඔඩු දුවයි. බුදුන් හා මාක්ස් දෙදෙනම පවුල විනාස කළ යුතුය යන අදහස පිළිවෙලින් ලෝකෝත්තර ව හා ලෞකිකව ප‍්‍රකාශ කළහ. රෝලිං නම් ගැහැණිය මේ අදහසට එරෙහිව පවුල උපයෝගී කොට කුඩා සුර ලෝකයක් ඉදි කරන්නීය. එහි එක් කෙනෙක් සුපිරි වීරයෙක් හෝ වීරවරියක් වෙන විට අනෙකා සාමාන්‍ය කෙනෙකි. මේ ඌන පූරක සුසංයෝගය සුර පුරයක් තනයි. වස්තු සම්පාදනය කරයි. වෙළඳ පොලට නතු වෙයි. පාලකයින් පත් කරයි. පාලකයින් එළවයි.

මේ ප‍්‍රකෘති පවුල; රාජ්‍යය, එහි ප‍්‍රජාතාන්ත‍්‍රික ස්වභාවය විවර්තනය කරන කුඩා සිදුරක් වැනිය. රාජ්‍යය සුජාත වීම, එහි චර්යාව සාධාරණීකරනය වීම, වෙළඳපොල බලවේගයන් සක‍්‍රීය වීම සිදු වන්නේ පවුලෙනි. ලිපිනයක් නැති තනි පුද්ගලයෙක් මේ කිසිවක පූර්ණ ග‍්‍රහණයට හසු නොවේ. එ නිසා පවුල රැකිය යුතු මනාය.

එදිනෙදා ජීවිතයේදී මෙන්ම රෝලිං විශ්වයේ ද හමු වන ඛේදනීය වීරයන්, අවිවාහක, පෙමට කැප වූ, හුදෙකලා පසුතැවෙන්නන් වෙති. මහාචාර්ය ඩම්බල්ඩෝර් [Dumbledore] හා ස්නේප් [Snape] චරිත විසින් අපිට පෙන්වන ඉසා (චරිත තුනක්) හා සුගත් (ගොළු හදවත) ස්වභාවයන් පවුල සම්පූර්ණ කර ගත නොහැකි වූ නිසා ලෝකය සිය පවුල වීම නම් සමාජ මැදිහත් වීම පෙන්නුම් කරයි. මේ බඳු අමුතු ආකර්ෂක [strange attractors] නිසා ලෝකය ගමන් කරන මාවත වෙනස් වන අයුරු රෝලිං කැන්වසයේ විචිත‍්‍රව ඇඳේ.

මුළු කතාව පුරා මාතෲ පසුබිමක් මෙන් පවතින වීස්ලි මහත්මියඅවසාන පොතේ අවසාන පරිච්ඡේදයේ බෙලාටි‍්‍රක්ස් හා ද්වන්ද්ව සටනකට එන්නේ, බෙලාටි‍්‍රක්ස් ව මරා දැමීමට පෙර බැල්ලි, මගේ දරුවො මරන්න උඹ?’ යනුවෙන් මොරදෙමිනි. සිය පවුල වැනසිමට එන සතුරාට සැතිරියට එරෙහිව රෝලිංනැමති මව කතා අවසානයේ සමාන්තර ඉතා ප‍්‍රබල සිද්ධියකින් ඉස්මතු වෙන්නේ රණවිරු කාලියක, ආදි මාතාවක ස්වරූපයකිනි.

රෝලිං දශකයකට වැඩි කාලයක් ඉම්පිරියෝ’ මනෝ බන්ධන අංගම [Imperio Curse] මතුරමින්, ඉංගිරිසි පාඨක සමාජයට ධනාත්මක චින්තනයක් අලෙවි කරයි. ඇය කෝටි පතිනියකි. එයින් ගම්‍ය වන්නේ කුටුම්භ සංරක්ෂණයේ විනෝදජනක බව තවමත් ඉහළ මිලක් ඇති මිථ්‍යා භාණ්ඩයක් බවයි.

7 comments:

කාංචනා අමිලානි said...

කියලා වැඩක් නෑ හෂිත අයියා.මේ ලියවිල්ල නියමයි.

අසංග | Asanga said...

An interesting read .

Sanka Ranganath said...

I like this post....anyway I've never read the books but I really liked the Harry Potter movie series....

Hermitian said...

ස්තුතියි හෂිත!

niroshini said...

Loved the post!

හිරණ්‍ය said...

නියමයි!

Hasitha said...

නියමයි. කදිමට හැරී පෝටර් විග්‍රහ කරලා තියෙනවා