Saturday, 18 February 2012

ඇගේ වර්ණ ස්වර්ණා වේ [පද්මාවතී 2]


එක සටහනකින් ඉවර වීමට නියමිතව තිබූ පද්මාවතී කතාව දිග්ගැස්සුවේ 'ආගන්තුකයා' ය.

දඹදෙණි යුගය හා රාජ්පුත් වරු අතර ඇති සම්බන්ධය ගැන ඊ ළඟ හෝඩුවාව පැමිණියේ සුජිත් අක්කරවත්ත ගෙනි. 'දළදා වහන්සේ ආවරණය කරන රන් නූල් ආවරණය මසන 'ඨකුරාර්ත දේවාදිත්‍ය' පෙළපතක් ගැන ඔහු කීවේය. සුනේත්‍රා අක්කා රිදී තිරංගනාව හෝ ඉන් පසු කතාවක "ඨකුරාර්ත දේවාදිත්‍ය" වාසගම ලියා ඇත.

1857 ඉපිද 1922 දිවංගත වූ ජෝන් ද සිල්වා සූරිහු ජාති වත්සලතාව ඇති කරනු පිණිස රබින්ද්‍රනාත් ඨාකූර කෙනෙකු මෙන් කටයුතු කළහ. ඔහුගේ ජීවිත කතාව කියන ඇල් ඩී ඒ රත්නායක 1910 දී අංක 4කින් හා ජවනිකා 22කින් යුතුව [ජවනිකා නම් පදය නාට්‍ය විෂයයෙහි මුළින් ම යොදා ගත්තේද සිල්වාණෝය] 'පද්මිණී නාටකය' රචනා කළ බව කියයි. ගීත 34ක් හා වාසගම් [දෙබස්] 275 පමණ තිබූ එම නාටකයට වස්තු වූයේ ක්‍රිව 1305 දී ලංකාවත් ඉන්දියාවත් සම්බන්ධ කථාවක් බව ද ඔහු පැහැදිලි කරයි.

රාජස්ථානයේ චෞහන් ගෝත්‍රික හමීර් සිං නැමැති රාජ්පුත් කුමරෙකු නිසා සරස්වතී නම් කුමරියක ලද පුත් කුමරෙක් ඇතුගල් පුරයෙහි රජ කළ බුවනෙකබා රජු විසින් පුත්‍ර ස්ථානයේ තබා දැඩි මේනි කළ බවත්, ඔහු කල්යල් බලා බලඇණි ගෙනඇවිත් බුවනෙකබා මරා සිංහලය අත්පත් කොට ගෙන විසූ බවත් [සිංහලය, වයඹ දිග ලංකාවට පර්යාය බව මා කොහේ හෝ කියවා ඇත]ඒ කුමරු ගේ දියණි පද්මිණිය රාජ්පුතානයේ චිත්තොර් නගරයේ භීම සිං රජුගේ බිසව වූ බවත් කොඩ්‍රිංටන් මහතා ලියා ඇති බව රත්නායක සඳහන් කරයි. [නීතිඥ ජෝන් ද සිල්වා නාටක ඉතිහාසය - ඇල් ඩී ඒ රත්නායක-1963]

මේ එක් මූලාශ්‍රයකි, අනික් මූලාශ්‍රය 1958 දඹදෙණියේ සිරි විජය සුන්දරාරාම පිරිවෙණෙහි පැවති පැවති සාහිත්‍ය උත්සවයෙහි දී පරනවිතානයන් පැවැත්වූ කතාවයි. ඔවුහු මෙසේ කියති:

"බෝසත් විජයබා රජු මරවා මිත්‍ර සේනාධිපතියා දඹදෙණියේ සිංහාසනාරූඪ වෙලා යුද්ධ හමුදාවට පඩි දුන්නා. යුද්ධ හමුදාවේ ඉඳල තියෙනව කොටස් දෙකක්, සිංහල භටයොයි, ආර්ය්‍ය භටයොයි කියල. සිංහල භටයො පඩි ගත්තලු. පඩි ගත්තයි කියන්නෙ ඒ පැත්තට ගියා කියන එක. සිංහල මිනිසුන් එහෙම කළාට ආර්ය්‍ය භටයො පඩි ගත්තේ නැහැ. ආර්ය්‍යයෝ ආර්ය්‍යකමට වැඩ කරලා තියෙනවා.

රජ්ජුරුවො මරවාපු රාජද්‍රෝහියාගෙන් පඩි ගත්තා ය කීමේ තේරුම ඒ පැත්තට ගියා කියන එක.

ආර්ය්‍යයෝ පඩි ගත්තේ නැහැ. ඒ අයගේ නායකයාගෙ නම ඨකූරක. අපි දැන් ටගෝර් කියන්නේ කියන්නෙ ප්‍රධානියා යන තේරුම ඇති වචනයක්. මේ ආර්ය්‍යයෝ උතුරු ඉන්දියාවෙන් ආපු රාජ්ජුත් ජනයා. ඒ බව දැනගන්ට තවත් සාධකයක් තියෙනවා හින්දි භාෂාවෙන් ම ලියාපු පදුමාවතී කියන මහා කාව්‍යයක් තිබෙනවා බොහොම දෙනා දන්නවා ඇති පද්මිනී කුමාරිකාව ගැන. ඒ කුමාරි ලංකාවෙන් ගියා කියල තියෙනවා රාජ්පුතානාවට. ඒ කාලෙදි ලංකාවත් රාජ්පුත් ප්‍රදේශයත් අතරේ සම්බන්ධය තිබිලා තියෙනවා.

ඉතින් ඒ අතර තුරේදී ආර්ය්‍ය භටයෝ පඩි එපා කිව්වේ මොකදැයි ඇහුවම, කාරණෙ රජ්ජුරුවො ඉස්සරහදි කියන්නම් කීවා. සේනාව රජ්ජුරුවො හැටියට උන් සෙනෙවියා ඉස්සරහට එක්ක ගියහම, සේනාධිපතියට බොහොම යටත් පහත් අන්දමට ඉඳල එක පාරට සෙනෙවියාගේ හිස ගසා දැම්මා.

එතකොට සිංහල සේනාව කලබල වෙලා ඇයි? මොකද? කියා ඇහුව.

එතෙන් දි කීවා අපි මේ ක්‍රියාව කෙළේ බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ ආඥාවෙන් ය කියල ඉතින් සිංහලයොත් ඒ පැත්තට ගියා. පස්සෙ ඔක්කොම එක්කහුවෙලා යාපහුවට ගිහිල්ලා බුවනෙකබාහු කුමාරයා එක්ක ඇවිත් මෙහි සිංහාසනාරූඪ කළා. රාජ්පුත් සේනාව නොසිටියා නම් දඹදෙණිරාජ වංශය එතැනින් ඉවරයි.” [සාහිත්‍ය තෛ‍්‍රමාසික සඟරාව - උපුටා ගත්තේ සිළුමිණ පුන්කලසෙනි]

අනිත් මූලාශ්‍රය නම් පරනවිතානයන් ගේ ලිපි එකතු කළ ලිපිමාලාවේ 'ලංකාවේ රාජ්පුත් ජනයා' නම් ලිපියයි. එතුමෝ එහිලා මෙසේ පවසති:

සිංහල සේනාවන්ද රාජද්‍රොහියාට පක්ෂව පවතින වෙලාවේ දී තම අතට පත් ලාභය ද ප්‍රතික්ෂේප කොට මිත්‍ර සෙනෙවියාට පක්ෂපාත වූවන්ගෙන් විය හැකි අන්තරාය ද නොසලකා තමන්ගේ ස්වාමියාගේ වංශයෙහි වූ කුමාරයාට රාජ්‍යය ගෙන දීමට ශෞරවීර්යයගති දක්වා ඨකුරක සහ ඔහුගේ ආර්යය භටයෝ ක්‍රියා කළෝය. ...... ...... ස්වකීය රූපලාවණ්‍යයෙන් හා පතිව්‍රතාගුණයෙන් ද ලෝකය විස්මයට පත් කළ පද්මිනී කුමරිය ලංකාවේ සිටි චෞහන් රාජ්පුත්වංශික කුමරෙකුගේ දුවණියක් බව රාජස්ථානයේ ඉතිහාස ප්‍රවෘත්ති වලින් පෙනේ. …..

පද්මිණී කතාව නළු නිළියන් 40 පමණ ඇතිව වේදිකාවට ගෙන එන අදහසින් ජෝන් ද සිල්වා සිරිමතුන් සිටි නමුත් ඒ පිටපත සොරා ගත් නිසා ව්‍යර්ථවී ගිය බව ලියැ වී ඇත. 1914 නීතිඥ චාර්ල්ස් ඩයස් මහතුන් නිපැයූ පද්මාවතී නාටකය 'පද්මිණී' කතාවම බව දැනගත් සිල්වාණෝ, ඩයසුන් හා උරණව දුටු තැනදී පහර දුන් බව රත්නායක 141 පිටුවේ ලියා ඇත.

ඉතිහාස‍යේ පද්මිණියක් උන්බවටද අපි දන්නා ඉතිහාසයේද ඇය උදෙසා සටන් වැදුනු අය උන් බවද මේ සියල්ලෙන් පෙනෙයි. පද්මාවතිය පසුකලෙක නිෂ්පාදනය කළ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධන ජෝන් ද සිල්වා සමරු කලාපයක මෙසේ සඳහන් කරයි.

බටහිර ඔපෙරාව ප්‍රිය කළ මම ඊට සම්බන්ධකම් ඇති නුර්තිය කෙරෙහි ද ඇල්මක් දක්වන්නෙක් විමි. නුර්තිය එකල දේශපාලන හා සාමාජික තත්වය පසුබිම් කොට ගෙන ගොඩ නැඟුණු නාට්‍ය ව්‍යාපාරයකි. කොටින් කියතොත් එය අධිරාජ්‍යවාදි පාලකයින්ගෙන් බලය අල්ලා ගැනිමට මෙරට කොම්ප්‍රදෝරු ධනපති ‍කොටස් ගෙන ගිය සටනේ අංගයකි. ඊට පෙර බිහි වු කෝලම් නාට්‍ය කලාවේ ඇතැම් අංග පන්තියට එරෙහි ව ප්‍රවේණිදාසයන් ගෙන් ගිය සටනේ ලක්ෂණයක් විය....දේශිය නායකයන් රටේ බලය ලබා ගැනිමට පොදු ජනතාව මෙහෙයවිම සඳහා යොදා ගත් එක උපක්‍රමයක් වශයෙන් නුර්තිය සඳහන් කිරිම නිවැරදි යයි සිතමි. මෙවැනි කටයුතු බවින් යුක්ත ව තිබිම සාධාරණ ය. රටේ ජාතිය හා ආගමේ සෞභාග්‍යමත් අතිතය’ ගැන කතා පුවත් අත්‍යලංකාරයෙන් ඉදිරිපත් කොට ජනතාව අවදි කිරිම නුර්තියේ මුල් අදහස විය. රාපස්ථානයේ රත්නසේන රජුගේ පද්මිණි නම් සිංහල බිසව දිල්ලි සුල්තාන් අතට පත් නොවි සිය හිමියා වෙනුවෙන් දිවි පිදු කතාව චාල්ස් ඩයස් මහත් ප්‍රයෝජනයට ගත්තේ මේ අදහස මුල් කොට ගෙනැයි මම සිතමි....

පද්මාවතිය ආලය නොකර බැරි තැනැත්තියක් බව මේ කතා කියවන විට හැඟෙයි. ඇය මුතුවන් දත් ඇත්තිය, ඡවියෙන් කනකලතාවකි, මේඝයකට බඳු කේශකල්‍යාණයෙන් සජ්ජිතය, සංඛයකට බඳු ග්‍රීවා ඇත්තීය. ලංකාවේ මුතු හමු වන්නේ ද සංඛයන් හමු වන්නේද වයඹ දිගිනි. මුතු හලාවත හා බෙල්ලන් මන්නාරම ආශ්‍රිතව නෙලා ගැනේ.

පද්මාවතියගේ වජ්‍රමය හෘදය සියල්ලට වඩා වටනේය. එය කුවේණියකගේ හෘදය මෙන් යුග පරයා දිදුලයි. කුවේණියද ඒ පැත්තේ කෙල්ලකි..

පද්මාවතී ඇත්තෙන්ම කුරුණෑගල කෙල්ලකි.

[ඉන්දියාවේ විෂ්ණු භක්තික මහා සන්‍යාසිනිය වන 'මිරා බායි' පද්මාවතියට සියවස් දෙකකට (16 සියවස)පසුව චිත්තෞර් වල උපන් බව දැනගැනීම මේ සෙවීමේ අතුරු ඵලයකි.]

ප ලි: අපේ ගෙදර උන්දෑ කරීනා කපූර් හා පද්මිණිය අතර ඇති පරතරය පියවන්නේ කෙසේදැයි මුසුප්පුවෙන් පසුවෙනදෑ ය.

සේයාරුව: රාජස්ථානයේ ජායිපූර් හි අරුණුවන් මාලිගය- Amber Palace-2008-දෙසැම්බර්

5 comments:

පුංචි කුමාරිහාමි said...

ඇත්තටම පද්මාවති කුරුනෑගලද..? එහෙනම් අපේ ලඟ නෑ‍යෝ වෙන්න ඕනෙ..

Praveena Palipana said...

පද්මිනී කුමරිය ගැන මේ වගේ ලස්සන විස්තරයක් ඇහුවාමයි. ඇත්තටම එයා කුරුණෑගල කෙනෙක්ද? :D

Praveena Palipana said...

මම මේ කීවේ ඔය සිංදුවේ එන 'පද්මාවතී'.....:D:D:D

jagath said...

මේක කියවල දැන් අපේ හාමිනේ යන්නෙ අඩියක් විතර උඩින්

හෂිත said...

@ ජගත්: අප්පච්චියේ මම කරපු හදියක මහත, මේ දවස් වල උඩින් යන්ඩ හොඳ නෑ නේද? කරන දෙයක් ප්‍රවේසමෙන් කරන්ඩ කියන්ඩ.