Sunday, 4 March 2012

රසකතා 1


ළමා කතා යනු අපූර්ව විශ්වයකි. සාමාන්‍ය තාර්කික ලෝකයේ පිළි නො ගන්නා සියල්ල එහි සිදුවේ.

කුමරියන් ගෙම්බන් වනවිට යකින්නන් කුමරියන් බවට පත් වෙති. මිනී කන රකුසා ගෙදර වැඩකාර කෙල්ලගේ කියමනකින් සංසිඳෙයි. එකෝමත් එක කාලයේ ගස්, මිනිස්සු, සත්තු, රකුසෝ හා සුරංගනාවෝ එක සේ කතා කරති. ධනය අත්පත් වන්නේ පයේ දූවිලි තැවරෙනවා මෙනි. මිත්‍යාංශූන් [mythemes- Levi Strauss] කාලය හරහා ගමන් කර තත් කාලය නම් වීදුරුව මත තැන්පත් වෙයි. අපි මේ වීදුරුවෙන් එබී බලා එහි තැන්පත් වු දේ අතරින් එබී අතීතයද අනාගතයද විග‍්‍රහ කිරීමට තැත් කරන්නෙමෝ වෙමු.

1970-80 කාලය ළමා විශ්වය රුසියන් කතා විසින් අරක් ගත් යුගයක් විය. ඉන් පෙර එය අත්පත් කරගෙන හිටියේ දඹදිව කතා වලිනි. සියළු මිත්‍යාංශූන් විවිධ අනුපානයන් ගෙන් මුසු වී නොයෙක් කතා, අන්දර බවට පත් වෙන ජන කතා කාලය හා අවකාශය ජයගනිමින් පවතී. යුරෝපයේදී ග‍්‍රීම් සහෝදරවරු, ඉන්දියාවේදී මේරි ෆ්‍රෙයර් හා තවත් අය, ලංකාවේදී හෙන්රි පාකර් ආදීන් මේ කතා එකතු කර පල කළ නිසා තොරතුරු තාක්ෂණ යුගයේද ඒවා නොනැසී පවතින්නේ නොමේරූ ගැහැණුන් විනෝදයට ලියන තොඳොල් කතා අභියෝගයට ලක් කරමිනි.

අමල් බිසෝ ලංකාවේ චිර ප‍්‍රසිද්ධ කතන්දරයකි. දෙමව්පියන්ගෙන් මඟ හැරුණු දැරියක කොක්කු යුවලක් විසින් හදා ගැනීමත්, ඔවුන් ඇයට අබරණ ගෙන ඒමට ගිය විටෙක ගෙදර බළලා අමනාපයට පත් වී ලිපේ ගිනි නිවා දැමීමත්, ගිනිඅඟුරක් හොයා ඇය රකුස් නිවෙසකට ගොස් බැල මෙහෙ කර, රකුසන්ගෙන් බේරී ගින්දරද ගෙන ආපසු පැමිණීමත්, රකුසා ගෙයි සිටි සුරතල් සතුන් හා මුරුංගා ගස කපා දැමීමත් අමල් බිසෝ රජ කෙනෙක් හා විවාහ වීමත් එහි කතාංශූන් වෙති.

අමල් බිසෝ, මේරි ෆ්‍රෙයර් [Old Deccan Days] කතා එකතුවේ සූර්ය බායිකතාව ලෙසද, ‘ලස්සන වසිලිස්සාකතා එකතුවේ ලස්සන වසිලිස්සා කතාව ලෙසද හමු වෙයි. ඒවායේ කතාංශූන් එකිනෙක හා වෙනස් වෙන්නේ සුළු වශයෙනි. සැතපුම් දහස් ගණනක දුරක් හරහා එකම කතාංශූන් ගමන් කළ අයුරු ආර්යයන්ගේ දක්ෂිණා ගමනය හෝ වෙළෙන්දන් ගේ උතුරු සංචාර නිසා හෝ සිදුවූවා යැයි උපකල්පනය කළ හැකිය.

මින් වසර දහයකට පෙර මේ කතා සඳහා මූලාශ‍්‍ර සොයා ගැනීම පුස්තකාල ගණනාවක් සිසාරා කරන දුෂ්කර ගවේෂණයක් (ගව+ඊෂණය= හරකුන් සොයා යාම- එඬේර යුගයේ ඉතුරුවකි) විය. අන්තර්ජාල සබඳතාවක් සහිත කෙනෙකුට අද පැයක් ඇතුළත මේ සියල්ල කියවා කෙටි සටහනක් ලිවීමේ හැකියාව ඇත. කතාංශූන් දත්ත මුල් [packet] ලෙස අවකාශයේද රැහැන් දිගේද ගමන් කර තිරයක් මත තත් කාලීනව පතිත වන අයුරු අපුරුය.

අකුරු හඳුනා ගැනීමේ හැකියාව සහිත මෘදුකාංග තැනූ අය හා මේ කතා ස්කෑන් කර අන්තර්ජාලයේ ගබඩා කරන අයගේ ශ‍්‍රමය ගැන ඇති වන්නේ මහත් ගෞරවයකි.

5 comments:

niroshini said...

රස කතා කියූ විට මට මතක් වෙන්නේ මම පොඩි කාලේ කියවූ, තවමත් ගෙදර ප්‍රවේසමට තිබෙන සුදු පාට කවරයක් තියෙන රුසියන් සුරංගනා කතා පොතක්. ලස්සන වසිලීස්සා පොත ගාවින්ම තවමත් ඒක පොත් රාක්කේ. මුලින් ම තිබුණු කතාව beauty and the beast කතාවේ වර්ෂන් එකක්. ඊට පස්සේ, පාතාල ලෝකේ සොල්දාදුවොයි ආලෝෂා කියල ළමයෙක් ගැනයි කතාවක්... අර පුෂ්කින් ගේ කවියක් එහෙම තමා මට මතක විදිහට මුලින්ම තියෙන්නේ ( අර පාලු වෙලා ඇත රන් මුතු වෙරළ - අරුණෝදයේ රැල්ල සිපගති වෙරළ - ඔන්න ඔහොම තියෙන කවිය...මතක නැහැ දැන් ඔක්කොම පද)
මොකක් හරි හේතුවක් නිසා ඔය රස කතා පොතේ යි, වසිලීස්ස පොතෙයි තියෙන කතා වලින් මම කැමතිම 'නුවණැති රාජාලියා' කියන කතාවට.

ඔව් මේ ගොඩක් කතා වල මුලාශ්‍රේ සමාන වෙන්න පුළුවන්. දැන් අපේ උන්මාද චිත්‍රා කතාවේ රිපන්සල් කතාවේ කෑලි වගේම ක්‍රිෂ්ණ ගේ පොඩි කාලේ කතාවේ කෑලිත් තියෙනවා නේද?

Loku said...

මම හිතන්නේ නවසිය හැට හයේ හෝ හතේ විතර නුවර මාර්කට් එකේ පොත් වෙළඳසාලාවකදී කැමති පොතක් ගන්න කියලා තාත්තා කිව්වාම මම තෝරගත්ත "මාළුවගෙ අණ" පොත තමයි මතකම රුසියන් ළමා කතා පොත. ගෙදර එන්න කලින් කියවලත් ඉවර වුනත් පින්තූරත් පොතත් තාම මතකයි.

අද මතක් කළාම හිතෙන්නේ අපි කී දෙනෙක් තවමත් මාළුවා හමුවෙනකන් බලා ඉන්නවාද කියලයි....

තුති හෂිත.

Buratheno said...

ඉන්දියානුවන් 'අසුරයන්' ගැන කතා ගොතන විට පුරාණ නෝර්ඩික් ජනකතාවල 'ඕසර්' නමින් යුතු දෙවියන් කොටසක් ගැන කතාකරන්නේද මේ සම්බන්ධතාවම නිසා විය හැකි නේද..?? මේ කාලයේ වැලි තලාවෙන් වැසී ගිය සම්බන්ධතා සොයායන්නට ඇත්නම්....!!!!

හෂිත said...

ස්තුතියි..!

Hasitha said...

ලස්සන වසිලිස්සා කතාව මුලින්ම දැනගත්තේ 6 වසරේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගිය අලුත free periodsවලදී පන්තියට ආපු ශිෂ්‍ය නායක අයියා කෙනෙක්ගෙන්. ඊට පස්සේ ඒ පොත හොයාගෙන කියෙව්වාත් මතකයි :)