Monday, 5 March 2012

රසකතා -2

අප කැපූ ගොයම් උප්පිඩි ගොඩ තැබුවේ දුන්නීත් කාච්චාත් විසිනි

මේ මගේ මතකයට කේ ජයතිලක සූරීන්ගේ චරිත තුනක් නවකතාවෙන් එකතු වූ වැකියකි. අටේ පංතියේදී මුල් වරට චරිත තුනක් කියවූ මට වෙනත් ලෝකයක් මැවී පෙනිනි. එවකට මහගම සේකර හා රදාවාන අම්මා ගෙන් අසා, තාත්තා ගේ මිතුරෙකු වු සුනිල් ජයවීර ගේ අපූරු සිතුවම් සහිත ළමා කවි කතා පොතක් ද කියවා තිබුණු මට මේ නම් දෙක [දුන්නී හා කාච්චා] මහත් විස්මයක් විය. ගම්පහ [සියනෑ කෝරළය] රුසියාව තරම් ම දුර මහාද්වීපයක් විය. දැනුදු, දුව නැටුම් පංතියට ගෙන ගොස් වරුවක් පමණ ගත කරන්නේ මහගමසේකර දළු කඩා ගත් පොල්පලා ගස් වල මී මී මුනුපුරු පරම්පරා පැළවෙන බිමක බව අදහා ගත නොහැකි ධර්මතාවයකි.

රුසියානු නමක් මට ඊයේ හමු විය.

පුතා, ඔයාගේ නෝනාගේ නම මොකක්ද?’ මම ඇසිමී.

දුල්‍යානා.

රුසියන් නමක් නේද?’

ඔව්, එයාගේ මාමලා රුසියාවේ ඉගෙනගෙන තියෙන්නේ.

මේ දෙබස අතීත ගින්නක් දැල්වීය. රුසියානු කතා වල එන කාත්‍යානා නම අපට හුරු පුරුදු එකකි. කාත්‍යායනාවෝ නම් එක්කෙනෙකි. ඇය නම් බිම්බාවයි. බිම්බා නම් යසෝදරාවයි. පහුගිය දිනවල විජය කුවේණි කතාව ගැන හොයමින් උන් විටෙක අමිතෝදන ශාක්‍යයා ගේ දුහිතෲ භද්‍රකාත්‍යායනාව [පණ්ඩුවාසුදේව ගේ බිසොව වූ] හමු විය.

නංගී මේ දිනවල සතියකට එක පොත හෝ ඊට වඩා වැඩි ගණනක් පේරාදෙණියේ පුස්තකාලයෙන් ඡායා පිටපත් කර එවයි. අවසන් වරට එවූ පොත් තුනෙන් උපනිෂද් හඳුන්වා දෙන පොතෙහි බෘහදාරණ්‍යක උපනිෂදයෙහි එන කාත්‍යායනාව මේ මුතු පොටෙහි තවත් මුතු ඇටයක් එල්වීය.

කත්‍යායනි මහාමයී මහයෝගින්‍යධීශ්වරි

නන්දිගොප්සුතම් දෙවිපතිම් මේ කුරු තේ නම

මේ මන්ත්‍රය කත්‍යායනි මන්ත්‍රය නමි. එය කියන්නේ විවාහය සඵල වීම සඳහායි. කත්‍යායනී නම් දුර්ගායි. දුර්ගා නම් දේවී ය. ඇය ආදි ශක්ති නම් වන්නිය. ස්ත්‍රී ශක්තියේ මූර්තිය වන ඇය රුද්‍රගේ තිසුලවිය, විස්නු ගේ චක්‍රායුධය, ඉන්ද්‍ර ගේ වජ්‍රායුධය, බ්‍රහ්ම ගේ කමණ්ඩලාව [පූනාව], කුවේර ගේ රත්නහාරය ආදිය කැටි කර ගත් ශක්ති කදම්භයක් අවිය කර ඇත්තීය.

දුර්ගා නම් කාලී ය. ඕ තොමෝ අට්ඨහාසිනී ය, මුණ්ඩ මාලිනීය.

කාත්‍යා නම් රුසියානු නම බෞද්ධ, හින්දු ඉතිහාසයේද සියනෑ කෝරළය වෙසෙසා ලියූ කතාවකද හමුවෙයි. එය ලෝ ඉතිහාසයේ සුවිසෙස් යැයි අබිසෙස් ලද කතුන් හැඳින්වෙන නමකි. කැතරින්[ලතින්], යෙක්කැතරිනා [රුසියානු]යන නම් ශුද්ධ වූ, ආසිරි ලත් වැනි අදහසක් ජනනය කරන කාත්‍යා යන්නෙහි නිෂ්පන්න බව අන්තර්ජාලය කියයි.

කාත්‍යායන යන මහා සංස්කෘත වියරණ විශාරදයා පානිනී[ක්‍රි පූ 4 සියවස, ගණිතඥයා] ගේ සමකාලීනයෙක් බවද එය තවදුරටත් සොයාබලා කියා සිටි.

මේ තුන් තේරවිල්ලකි. අපභ්‍රංසයකි. මහගමසේකර දළු කඩාගත් පොල්පලා ගසක මී මුනුපුරු පැලයක් දෙස බලා කාලය මෙනෙහි කිරිම මෙන් ම උමතු භාවනාවකි.

කාච්චා යනු කාත්‍යායනා යන්නද, දුන්නී යනු දූන්‍යා යන්නද හෙල බසට හුරු වූ අයුර යැයි සිතන්නට මම කැමැත්තෙමි. වසිලීස්සා පමණක් නොව කාත්‍යා ද කෝකසස් කඳු අතර වොල්ගාවෙන් ඉන්දු නිම්නය හරහා ඉන්දියාවේ ගංගා නිම්නයටද එතනින් ලංකාවටද ආ හැටි අපූරු කතන්දරයකි.

3 comments:

නෙරංජි සුලක්ඛනා said...

මම මේ ළඟදි දැක්කා නෙරංජී කියන්නෙත් දුර්ගාට කියලා

Deepika Priyadarshani said...

නංගී සමග පොත් සොයන්නට යන අපිට විවිධාකාර වූ චරිත මුණ ගැසේ...ඒවා මරු ය.. පොත් සොයාගැනීමට ගොස් අපට හමු වන වෙන වෙන දේවල් ද එළය :D ඒ පොත් වලින් ඔබ ලියනා දේවල් අගනේය

Hasitha said...

බුද්ධ කාලීනව වැඩ සිටි මහා කච්චායන තෙරුන්ව මහා කාත්‍යායන නමින්ද හඳුන්වා තිබෙනවා