Thursday, 11 November 2010

තිස්ස අබේසේකරගේ සුනිල් ආරියරත්න








අයාලේ ගිය සිතක සටහන් යනු යළි යළිත් කියවිය හැකි පොතකි. තිස්ස අබේසේකර සතුව තිබූ වදන් සපුව එහි පුරා වැතිරී ඇත. ඔහු එහි ලිපි පහක්ම වෙන් කරන්නේ 'උබබස්ලකර' නම් වූ සිංහල කාව්‍ය උපක්‍රමය සඳහායි. උබබස් ලකර යනු උභය භාෂා අලංකාරයයි. සිදතෙහි 'උබබස්ලකර' පහදා ඇති අයුරු මෙසේය.

'උතුරු පසුතුරු දෙන-දෙදෙනෙකු වදන් පිරියතැ
වැනි යටි සිරිත් වෙසෙසක්- පළ වතුතුබබස් වේ'

උත්තර ප්‍රත්‍යුත්තර දෙමින් සංවාදයෙහි යෙදෙන දෙදෙනෙකු එහි අවසන යම් අරුතක් මතු කිරීමේ කාව්‍ය සිරිත වූ කල 'උබබස්ලකර' නොහොත් උභයභාෂාලංකාරය' වන්නේය [අයාලේ ගිය සිතක සටහන් - 182]

නූතන ගීත සාහිත්‍ය [අමරසේකර පිළිකෙවු කරන] උබබස් ලකරෙහි තෝතැන්නකි [තෝතැන්න යනු ජල සම්පාදනය හා ජලය රඳවා ගැනීම සඳහා ගසක් වටා තැනූරවුම් බිම්කඩයි]. තිස්ස සිය ලිපි මාලාව පුරාම ආනන්ද සමරකෝන් ගීතයෙහි ලා යොදාගන්නා ලද උබබස්ලකර පිළිබඳ මහත් අභිරුචියකින් ලියා දක්වයි. පෑදි දිය වන් ගීත අතීතයක් තිබූ සුනිල් ආරියරත්නගේ එක ගීයක් අජන්තා රණසිංහ, කුලරත්න ආරියවංශ වැනි සමකාලීනයින් අතරින් කැපී පෙනෙන්නේ ඇයි?

අඹ ගස් යට මල් හැලිලා - සුවඳේ බැරුවා ඉඳින්ට
අඹ මල් සුවඳ දිගේ - වන බඹරෝ රොනට එන්න

මගෙ බඹරිය කැලේ දමා- එන්නට බෑ අඹ වනයට
මුසා බසින් මා නොතලා - එන්න සුවඳ මල් හෙවනට

බඹරු නැද්ද අඹ වනයේ - ඔබේ හිතට ගතට ඔබින
අන් බඹරුන් ඕනෑ නෑ - ඔබයි මගේ පැතුම් විමන

1980 හරියේ දිනෙක ගුවන් විදුලියේ 'හඳමාමා' වැඩසටහනට සහභාගී වූ සිඟිති දැරියක මේ ගීය ගයනු මුල් වරට ඇසීමි. හඳ නැන්දා 'දුව කැමතිම සින්දුවක් කියන්න' කී විට දැරිය මේ ගීය ගැයුවාය. ඇගේ සිඟිති කටහඬ අද මේ ගීය අසන විට මතකයේ ඇසේ. වැඩිහිටි ගීයක් වූ මෙහි දරුවෙකු පවා ඇද බැඳ තබා ගන්නා ගුණය එහි විශිෂ්ට බව පෙන්වයි. ඇය අපේ ගෙදර උන්දෑගේ කිට්ටු මිතුරියකි.

සුනිල් ආරියරත්නට මෙහි දී හසු වන්නේ ඊට දශක දෙකකට පෙර අමතකවූ සරළ, සුගම, මටසිලිටි කවි වහරක මාධූර්යයි. එහිලා ඔහු කිසිවෙකුගෙන් ණයට නොගනී. උපමා රූපක ආදිය හිලවු නොකරයි. කිසිවෙකු බඹරාට හෝ බඹරියට නොහන්දවයි. ආමන්ත්‍රණයන්ගේ විචිත්‍රත්වය විනා වෙනත් වසඟකාරී යෙදුම් නොමැති මේ ගීය අසන මගේ සිතේ ඇතිවෙන්නේ අමන්දානන්දයකි. මෙබඳු තාවකාලික භින්නෝන්මාදයකට පත් වූ රචකයා කෙරෙහි සියුම් ඉරිසියාවක් ඇතිවෙන්නේ නිතැතිනි. වික්ටර් ගේ තනුවත් ඔහු හා නිර්මලා රණතුංග ගේ ප්‍රමෝදයෙන් උතුරා යන ගායනාවනුත් නිසා යළි යළිත් ඇසීමේ ආසාව ඇති කරන 'පෑදි දිය' වන් සෙඳිරියාවකින් පිරි මේ ගීය වික්ටර් ගේ සංගීත ආනුභාවයට දෙස් දෙයි.

'මේ ලේඛකයන් යෙදූ ප්‍රියතම අලංකාරිකයක් නම් සංවාද රූප ගත්තකි. බොහෝ විට එහි ප්‍රශ්නයක් හා පිළිතුරක් ගැබ්වේ. ඒවායින් කවියා විසින් ප්‍රකාශිත වීමට අපේක්ෂා වූ අදහස එළිපිටම හෝ ව්‍යංගයෙන් පැවැසේ. [පරණවිතාන, සීගිරි ගී - වෙළුම 1, 270 පිට]'. සංස්කෘත අලංකාරිකයින්ට නොපෙනුන, අපූරු තැනෙක සිංහල ජනකවිය හා සරළ ගීය රැඳෙන බවට තවත් අපූරු උදාහරණයකි 'වලාකුළු පෙලින් බසින්න' යනුවෙන් ඇරඹෙන උයන්පල්ලා හා සඳ අතර ඇති වෙන සංවාදය. [තවත් බොහෝ කවි හා යුග ගී මේ ඇසුරින් කියැවීමට ඇරියුම් කරමි].

ගෙත්තමක සෑම නූල් පටක්ම රටාව බිහි කිරීමට වහල් විය යුතු සේ ම, ඉන් බැහැර කිසි දෙයක් ඇතුළු කිරීම රටාව බිඳිමින් ගෙත්තම ලිහිල් කොට අවසාන ප්‍රතිඵලය අභිප්‍රේත අරමුණට අනුචිත කරන්නාක් සේ ම කාව්‍ය රචනාවක ද සෑම අංගයක් ම එහි ව්‍යුහයට දායක විය යුතු අතර අනවශ්‍ය කොටස් ඇතුළු කිරීම ව්‍යුහය දුබල කරයි [පරණවිතාන, සීගිරි ගී - වෙළුම 1, 271 පිට]. මේ ඉහත ගීයේ ඝටනාව අවබෝධ කර ගැනීමට පසුවදනක් සේම කවි ලිවීමට තැත් කරන මට දුන් උපදෙසකි.

ගීය මෙතැනින් අහන්න: http://www.infolanka.com/miyuru_gee/bb/b394.ram

ස්තුතිය: 1980 දී "හඳමාමා" වැඩසටහනට
'අඹ ගස් යට' ගීය ගැයූ සෙව්වන්දි රණතුංග දැරියට

සේයාරුව: රිතුපර්ණො ඝෝෂ් ගේ රේන් කෝට් චිත්‍රපටියෙනි

11 comments:

  1. යමෙකු කාලය සමඟ මතකයද පරිණත වෙන විට, කියැවූ පෙළක් නැවත කියවෙන විට.., ඒ පිළිබඳව සිතන්නට, වාද කරන්නට, සිත තුල වූ ගැට ලෙහන්නට මෙන්ම විවිධාකාර චින්තන පරාසයන් අතර සමානතා, පොදු ගුණාකාරයන් දකින්නට පටන් ගනී..! මේ වියමන මට දැනෙන්නේ එලෙසය..
    පිට කැසීම► සිය පොත් රාක්කයෙන් උපරිම වැඩ ගන්නා අය අතර මේ වියුණ දරන්නා ප්‍රමුඛස්ථානයේ තැබිය හැකිය.

    ReplyDelete
  2. අපගේ රස විඳීමේ වපරිසය පළල් කිරීමේ උඹේ මේ ව්‍යායාමය ට මගෙන් මල් මිටක් . ..

    ReplyDelete
  3. 1988 -99 වසරේ දී පමන පිට කෝට්ටේ අපගේ ගෙදරට පැමින සුදත් ගේ පොත් රාක්කයෙන් පොත් තෝරා ගෙන වරු ගනන් එකතැන වාඩි වී කියවූ හෂිත මලයාව සිහියට නැගේ !!!!!

    ReplyDelete
  4. අකුරු ගොඩක් ලියා පළ කරනවාට වඩා අපේ සිත් වපසරිය පුලුල් කරන මෙවැනි බ්ලොග් තවත් පහළ වේවා..!! ඉන් ඔබේ බ්ලොගය එහි මුදුන් මල් කඩ වේවා..!!

    ReplyDelete
  5. අපූර්වත්වයෙන් සපිරුණු මේ ලිපිය එක හුස්මට කියවීමි...
    බොහෝ අමාරුවෙන් ගීතය සොයාගෙන රසවිඳීමි.....අපගේ වින්දන වපරිසයට මී බිඳු ඉසින සොයුර නුඹට දිරි පතමි...!!

    ReplyDelete
  6. හිතේ පතුළක
    සැඟ ව ගොස් ඇති
    සොඳුරු මිහිරක්
    අවදි කරනා
    මෙවැනි සටහන්
    වාසනාවන්

    ReplyDelete
  7. හෂිත
    මේ ලිපියේ අන්තර්ගතය වගේම එහි ශෛලියත් කොතරම් නම් අපූර්වත්වයකින් පිරී ඇත්දැයි මට සිතේ. අවාරේ පිපුණු මලක් මෙන් ඉඳහිට හෝ ඔබ ලියන රසවතියක් සැබැවින්ම රසවතියක්මැ වේ.

    ReplyDelete
  8. මියුරු පල දරා හිනැහෙන
    සොඳුරු තුරු ඇතේ වන මැද
    සකුන මිතුරු කැල වත් විත්
    ලොවට මේ ඉසව් පවසනු

    ReplyDelete
  9. @ සියළු දෙනාටම ස්තුතියි

    ඉඳහිට දරන පල
    නෑ-මිතුරු සියොතුනි
    තොපට මය
    තුඩින් පාරා ගියත්
    බිම බලා හිනැහෙමි
    බීජ විසිරී
    වැවෙනු දන්නෙමි

    ReplyDelete
  10. බොහොම ස්තුතියි හසිත.....පපුව හීතල වෙනු දැනුණා.....ඇත්තටම මේ ගීයට මමත් පුදුම ආසයි, නමුත් ඒ ඇයි කියා හිතන්න නැඹුරු උණේ නෑ....ඔබ එය අවුල්, ගැට ලෙහා මොනවට විදාරණය කොට තිබෙනවා......

    ReplyDelete
  11. @sithumini.. the little writing above is for you too ..!

    ReplyDelete