Thursday 26 November 2009

වානේ පැහැති ඇස්..... ලාරා... සහ මම....


මම වානේ පැහැති ඇස් වලට ආසා ඇත්තෙමි යි කපිල කුමාර කාලිංග ලිවීය .
ඒත් එබඳු ඇස් දැක ඇත්තේ 'ජුලී ක්‍රිස්ටි' ගේ පමණි. ඒ ඇය ෂිවාගෝ චිත්‍රපටයේ රඟපාද්දී ය. ෂිවාගෝ වූ කලී මහා රුප කාව්‍යය කි. එහි සංගීතය නිර්මාණය කළ මරිස් ශාර ගේ සංගීතය අපූරු නාද කවියක් මෙන් මසිතෙහි රැඳී පවතී. 1992 'ගෝස්ට්' බැලූ විට එහි අපූරු සංගීතය ද මරිස් ශාර ගේ බව දැන ගතිමි.
ෂිවාගෝ විප්ලවයක පංති අවුලේ දී අතර මැදි පංතින් ට අයත් වන ඉරණමෙහි ඛේදජනක සංකේතයක් වැන්න. ෂිවාගෝ මහ වේ මැද ඇද වැටී මිය යන තෙක් ම සාක්ෂාත් කර නොගන්නේ ද එයයි. ඔහුගේ කවි බලධරයින්ට ආත්මවාදී හා සුළු ධනේශ්වර වේ. කලා නිර්මාණයන්ට සීමාවන් නැතැයිද ඒවාට අත තැබිම ට කාටවත් අයිතියක් නැතැයිද 'ට්‍රොට්ස්කි' කීවේ නමුත් ගම්ලත් මහතා ෂිවාගෝ ට කැමති නැත. ෂිවාගෝ හි ට්‍රොට්ස්කි ගේ ඛේදවාචකය ද අපූරුවට නිරුපණය වන්නේ 'පාෂා අන්තිපෝව්' චරිතයෙනි.
ලාරා ගේ තේමාව ඉස්සර 'ගුවන් විදුලියේ' නිතර වාදනය විය. ඒ ප්‍රේම කිර්තිගේ කාලයේය. ප්‍රේම කීර්ති මිය ගොසිනි. ප්‍රේම කිර්ති මිය ගියේ තමා මිය යන්නේ ඇයි දැයි පවා නොදැන ය. එය ෂිවාගෝ ට අත් වූවාක් මෙන් ම වන ඛේදනිය මරණයකි. ප්‍රේමකීර්ති අතින් ලි‍යැවුනු ගීත රාශියකට මම ඇලුම් කරමි. ඒ ඒවායේ සරල මට සිලිටි බස් වහර නිසාය. පාසල් වියේ දී ගුවන් විදුලියේ කොරිඩෝවක දුටු ප්‍රේමකීර්ති මට තාමත් මතකය. ප්‍රේම කීර්ති ගුවන් විදුලියේ මාස්ටර් කණ්ඩායමේ කෙනෙක් බව සමන් අතාවුදහෙට්ටි ලියා තිබිණ. බණ්ඩාර කේ විජේතුංග මේ කණ්ඩායමේ තවත් කෙනෙකි..ඔහු ලීලා ට මියෙන තෙක් ම පෙම් කල බව රෝහණ අංකල් කීය.
දිනෙන් දින ඔබ මා කෙරෙන්
දුරස් වන විට මගේ මනැසට
තවත් ලංවනු පමණෙකිය ඔබ
දිනෙන් දින ඔබ මා කෙරෙන්

කවි ලීවෝද
කවි නොලීවෝද
එකසේ පොලවට
පස් වෙති
වරක් වැළලූවායින් පසුව
නැගිට ආවේ කවුද?....... ඔමර් ඛය්යාම් ලිවිය.
ඔවුන් සියලු දෙනා මිය ගොසිනි.
අහිංසක ව ජීවත්වී අහිංසක ව මිය යාම නිෂ්ඵල බව නීට්ෂෙ කියා ඇත. නීට්ෂෙ ගෙ වන් පත රැවුලක් බුදුන්ට නොවී.
මට වානේ පැහැති ඇස් හීනෙන් මෙන් පෙනෙයි.
1998

4 comments:

සචී said...

විජේතුංග ලීලාට බැඳි සෙනෙහස, ෂෙල්ට්කොව් වේරාට දැක්වූ සෙනෙහස මෙනැයි මට සිතේ...!...එය ලයනල් එදිරිසිංහ ඉන්දිරාට බැඳි පෙමට ද සමාන වූවාට සැක නැත....ලෝකය සුන්දර වන්නේ කොන්දේසි විරහිත, වීතරාගි ආදරයක් සිත්හි දරා සිටිය හැකි මෙවන් මිනිසුන් නිසාය......!

Sujeewa Kokawala said...

Another good one. Keep writing.

DawsonP said...

මට මත් වන්නට ඇවැසි වූ විට රසවතියට එන්නෙමි.

කීමට ඇත්තේ එපමණකි...

හෂිත said...

ගෞරවයක් මිත්‍රයා. ෂිවාගෝ චිත්‍රපටියේ 1.10 හා 1.12 මිනිත්තු අතර මේසය මත ඉටි වැටිය දැවෙයි.