Saturday, 5 December 2009

ගුනසිංහ.. ගුණසිංහ.. හා මම...













මම ඊයේ හවස ගුනසිංහ දුටිමි.

ගුනසිංහ පණ්ඩිතයෙකි, ගුරුවරයෙකි, කවියෙකි, කතා කරුවෙකි, විචාරකයෙකි, පෙරළිකාරයෙකි. ඔහු සිනමා කරුවෙකි.

ගුණසිංහ ගුරුවරයෙකි, කවියෙකි, කතා කරුවෙකි, විචාරකයෙකි, පෙරළිකාරයෙකි. ඔහු පත්තර කාරයෙකි.

ගුනසිංහ ද ගුණසිංහ ද පේරාදෙණි ගියහ. ගුනසිංහ ගුණසිංහ ට උගන්වන්න ඇතැයි මට සිතේ. ගුනසිංහ පේරාදෙණිකෘත විය. ගුණසිංහ ගුරුකුල වලට හසු නොවීය. රිද්මය රැක්කේය. දෛනික ඇස් රුදාවෙන් තොර විය.

පේරාදෙණියේ 'රැග්' වෙමින් උන් සමයක 'සඳුන්' පැමිණ සඳුන් තවරා ගියේ ය. එදා ද ඔහු පාසල් බස් රියේ දී මෙන් කිහිල්ලේ පොත් කිහිපයක් ගසාගෙන උන්නේ ය. ප්‍රසන්න ජ්‍යෙෂ්ඨ උත්තමයා සොනාලි අක්කා පෙන්නා අර තමයි 'ගුණසිංහ' ගෙ දුව යැයි කීවේ ය.

ගුනසිංහ සරච්චන්ද්‍ර ගේ සීමාවන් ඉක්මවා ගියා දැයි සැක සහිතය. ගුණසිංහ 'ජේ ආර්' ගේ හා 'උපාලි' ගේ සීමාවන් ට යට නොවූ බව පැහැදිලිය.

පේරාදෙණියේදි පිටපත් කරගත් 'රන්තැටියක කඳුලු', අම්මා කුමුදුනී නැන්දා අතේ ගිය පෝයදා එවා තිබුණි.

රන් තැටිය පායා තිබූ දිනෙක අඳුරු හේඩාවෙන් හෙවන නොවී තිබුණු 'සනාතන මන්දිරය' පසෙක බංකුවක් මත රන්තැටියක කඳුලු මතුවිය. දෙ හද එකම රිද්මයකට හඬනු මට දැනින. මහවැලියට මල් විසුරන ලිය ගොමු පවා සුවඳ විරහිත විය. බිනර අහසේ මෝදු වූ පුරහඳ රැස්වැද රන්තැටියක කඳුලු දිලිසුනි. අදත් රන්තැටියක කඳුලු නොවි‍යැලී තියෙයි.

ගුණසිංහ පඩිපෙලක් විය. එහි නැඟී විදුලි සෝපාන ගත වූ බොහෝ දෙනෙකු වෙති. ගුණසිංහ අනුදත් නිර්භය, සිලිටි, තියුණු රචනා ශෛලිය නැති නිසා ඉරිදා පත්තර නොකියවමි. රයිගම් රාළ ලියූ ගුණසිංහ මහත්තයා 'කොලම්' කෝළම් නොකළේය.

කොහිද ඇල්මක්

වැළඳ සමු ගැනුමට

නොදනිමිද

මුහුණු වසාලූ

මිතුරු සිරියෙන්

නොදනිමිද

හඬන හඬ කිඹුලන්

යැයි ඔහු ලිවුවේ විදුලි සෝපාන ගත වූවන් ගැන විය යුතුය.

උමතුවට ඉඩ හලෙන් මොහොතකට

මළවුන්ට යහන් වු බිම් කඩෙක

නිදන දියණියන් ළඟ උන් රැයෙක

කණමැදිරි දුරු කළා මගෙ තනිය. මට කට පාඩම් ය.

මෙන්දක ගේ රාක්කයේ හිඳ මට බොහෝ අමුත්තන් මුණ ගැසී ඇත. මට ගුණසිංහ හමුවුයේ ද එතැනිනි. 'මම තාමත් ගුණසිංහ මහත්තයා කියවනවා' මෙන්දක මූණු පොතේ ලියා තිබිණ.

ගුනසිංහ ද ගුණසිංහ ද ඇවිද ගිය පේරාදෙණි පෙත් මං හි ඇවිදීම ආඩම්බරයක් විය. නිසොල්මන් හන්තාන කඳු සිඛර විනිසුරන් මෙන කල් බලන නිම්නයෙහි අවාරයේ වී මුත් අදත් කහ රොබරෝසියා පිපෙයි. රන්තැටියක කඳුලු පිපුන හිල්ඩා උයනෙහි සුවඳ අමතක නොවන නිසා වැවූ කුඩා රෑ සුරඟනා පැලය අතු බෙදි බෙදී වැවෙයි.

ගුණසිංහ මහත්තයා මගේ රිද්මයේ කවියායි. අන් කවියන්ගේ රිද්මය මට ස්පර්ශවන්නේ ගුණසිංහ මහත්තයා ගෙනි.

නොනිඳයි පහන් තරු ඇස.

මම ඊයේ හවස ගුනසිංහ දුටිමි.

2009 දෙසැ 05


9 comments:

  1. මට මේක බ්ලොග් කියවද්දි මොනාද දන්නවද හිතට ආපු මුල්ම සිතුවිල්ල?
    උඹව අපි අඳුනගන්න තිබ්බේ මේ අද ඊයේ නෙමෙයි.

    හරියට එකේ පන්තියෙ ඉඳන් ඉස්කෝලෙ ගියා වගේ උඹව කියවද්දි.

    ReplyDelete
  2. ube liyana krame maarai ban. bokkatama wadinna uba liyanawaa . .. pissu hadenawaa machan maara s ma siraa . . . !!!

    jaya wewaa. . .

    ReplyDelete
  3. ස්තුතිය් දෙන්නට ම. සහෘද කියන්නෙ මේක වෙන්න ඕන.

    ReplyDelete
  4. niyamayi macho
    apooru satahanak!

    ReplyDelete
  5. කූඹියා එක්ක මමත් එකඟයි

    ReplyDelete
  6. මාරයි මස්සිනේ..දුකයි මෙච්චර කාලයක් නොලියු එක ගැන..............

    මස්සිනා

    ReplyDelete
  7. මේ ලියන එව්වයෙ තැන් තැන් වල මස්සිනත් ඉන්නවා. බොහෝම සීරියස් වට. මස්සිනා

    ReplyDelete
  8. ඔබේ ගුරුවරයා මගේත් පරමාදර්ශයක්ය... ඔහුගේ ජීවිතය බේරාගන්නට මගේ රුහිරුද පූජා කලෙමි.... අප අවාසනාවන්ත විය...
    ඔහුගේ රසයෙන් බිඳක් මමද සටහන් කොට ඇත්තෙමි...
    http://hadageepotha.blogspot.com/2010/02/blog-post_08.html

    ReplyDelete
  9. ඉතා ම ලස්සන ලිවීමක්.

    ReplyDelete