Saturday, 7 November 2009

ආදර හැඟුම්...!



අද හවස මට පේමදාස හමු විය...

පේමදාස මනමාලකම නිසාම ජාසොංගේත් පබුලිනාගෙත් ගැට වලට අහුවෙයි.

පබුලිනා එනතෙක් රැයෙහි උයන්තෙර සඳ හෙවනැලි වතල ගස් හේඩාවේ පොරොත්තු වන මුදලිතුමාගේ සිතෙහි ඉවසුම් බිඳෙයි. එහි ආසාවන් ඇතිවෙයි, වැඩෙයි, වැටෙයි, යළි යළිත් ඇතිවෙයි. ඖචිත්‍යය අණවන්නේ ගීතයකි. නාට්‍යමය අවස්ථාවේ ආකූළතාවය දෙබස් කළේ නම් රස භංගයකි. ඔහු මල් නොතලා හෝ තලා හෝ රොන් ගනු දනී. ශෘංගාරය නම් මේය. දයානන්ද ගුණවර්ධන ශෘංගාරය ‘බිත්තිය හා ඩිස්ටෙම්පර්' නොකර මනා ශික්ෂණයකින් යුතුව වචනයට පෙරළයි.

සඳ පහන් අපර සැඳෑවෙක ‘ආදර හැඟුම්' ඇසිය යුතුය. ඇල්විටිගල සංගීතයේ විශිෂ්ටත්වය වන සංගීත ස්ථර මෙහි ද ඇසෙයි. වයලීනය හා සිතාරය අතර දෝලනය වන ‘රෑහි හඬ' "මඟුල් රෑ ඉවසිලි බිඳියි". මන්ද්‍ර මුරලි ආලාපය ‘හැඟුම් කිති කවයි'. ගීතය පුරා නොබිඳී දිවෙන ඒකල වයලීනය විප්‍රලම්භ ශෘංගාර වේදනාව විසංවාදීව මතු කරයි (එහෙම කියන්නේ අපේ උන්දෑ ය). ඒ ඇයිදැයි විමසීම අසන්නා සතූ ය.

අභිමත රසය ශෘංගාරය වුවත් එමගින් ජනනය වන 'විප්‍රලම්භ රසය' මතු කිරීමට 'දිල් සේ' හි 'අජ් නභී' (රහුමාන්) හා 'ශර්මිලී' හි 'ඛිල්තෙ හෙ ගුල් යහාං' (බර්මන්) ට හැකි වීම භිම්පලාසී රාගයේ වර්ණවත් බවයි (පේමතෝ ජායති සෝකො?). ‘මචං ආදර හැඟුම් කියන්නේ සිංහල ගzසල් එකක්’ යැයි නම අමතක මිතුරෙක් කීවේ මන්දැයි මට යන්තමින් දැනෙයි. භීම්පලාසියේ ගාන සමය ‘අපර සන්ධ්‍යාවයි'. එහි රසය උපදින්නේ එ ලෙසිනි.

1988 සිසු අරගල නිසා වරින් වර පාසැල් වසා දමන විට පියරත්න මාමා ළඟ වැඩ කිරීමෙන් මට රුපියල් පන්සියයක් ලැබුණි. එදා මිලට ගත් "ආදර හැඟුම්" කැසට් පටය තාමත් මා සතුව ඇත. ඒ කාලයේ යළි යළිත් ඇසුවා සේ නැවතත් වරින් වර ‘ආදර හැඟුම්' ඇසීමි.

දැන් පේමදාස මුහුකුරා ගිය මිනිසෙකි..

ඔහුගේ මුහුණේ වියපත් රැළි අතර අකුණු විදුලියක් මෙන් දිව ගිය මනමාල හිනාවක් අද හවස දුටිමි..

අද හවස මට පේමදාස හමු විය...

03.11.2009
(පින්තූරය: Sunday Times)

6 comments:

ආගන්තුකයා said...

භිම්පලාෂි රාගයේ ගාන සමය පෙරයම පලමු යාමය කියලා මට මතකයි. ඒ කියන්නේ උදේ පාන්දර හින්දා ඒ වෙලාවේ නම් ආදර හැඟුම් අහනවා බොරු. හෂිත අයියේ මම හිතන විදිහට ඇල්විටිගලගෙ සංගීත භාණ්ඩ හැසිරවීමෙත් තියෙන්නෙ මාර නිරවුල් බවක්. බක්මහ දීගෙම සරල ගීයක් වන "කන්ද උඩින්" මම උදාහරයක් කරලා ගන්නම්. ගායනයට ඇබින්දක්වත් හානි නොවී සංගීතයේ හැසිරීම පිස්සු හැදෙනවා. මම මේක නිසා ආයි ආදර හැඟුම් ඇහුවා.. පට්ටයි...

Sujeewa Kokawala said...

ලස්සනයි. සිංදුව වගේම මේ වර්ණනයත්. සිංදුව මිසක් මුළු කැසට් එක ම අහළා නෑ.

හෂිත said...

ආගන්තුකයා: මමත් නෙට් එකෙන් හොයලා සහ දන්න අයගෙන් අහගෙනයි දැම්මේ. අපර සන්ධ්‍යාව කියන්නෙ 7-9 අතර කාලය වගේ කියලයි මට හිතුණේ. රාග වල ගාන සමය තියෙන චක්‍රයක් හොයාගන්න බලන්නම්. සංගීතය අහන්න උනන්දු කාටත් හොඳයි.සංගීතය අහන එක වෙනම වෙනම අභ්‍යාසයක්. මං වගේ ස්වර අන්ධයෙකුට පුළුවන් නම් ස්වර ඥාණය තියෙන කෙනෙකුට ඒක සුළු වැඩක්. කාලය තමා ප්‍රශ්නෙ. 'කන්ද උඩින්' ආයේ අහන්න ඕනේ.
සුජීව ස්තුතිය්. සී ඩී එක සින්ග්ලංකා එකේ තියෙනවා

ආගන්තුකයා said...

ස්වර අන්ධයා කියන්නේ කාටද... රසවතිය මම දැකපු සංගීත රසවින්දනය ගැන ලියපු හොඳම බ්ලොග් එකක් එහෙව් බ්ලොග් එකේ අයිතිකාරයා ස්වර අන්ධයෙක් කියන එකනම් පට්ට අසාධාරණයි.

ආගන්තුකයා said...

වෙලාව තියෙන්නෙ පස්වරු 2-4 ඒ වෙලාව නම් ආදර හැඟුම් රසවිඳින්න පුළුවන් වෙලාවක් නෙමෙයි.. හෂිත අයියගෙ වෙලාව නම් එල..පහල ලින්ක් එක තියෙනවා.. ජය..
http://www.itcsra.org/sra_others_samay_index.html

හෂිත said...

මම ස්වර අන්ධයෙක් කියන්නෙ ස්වර දෙකක වෙනස නොතේරෙන කෙනාට. මට ඒ වෙනස අඳුනාගන්න බෑ. නමුත් සංයෝජනයක් කණෙන් අල්ල ගන්න පුළුවන්. කීප වතාවක් අහලා විඳින්න පුළුවන්. සංගීතය දන්න කෙනෙක් එක්ක තිබ්බාම මම අන්ධයෙක්.