Tuesday, 20 October 2009

පරසතුමල් .....!



මගේ ජීවිතය වේයන්ගොඩ නතර වීම දෛවොපගත ය..

ජනේලයෙන් එළිය බලන වි‍ට මට උඩ ගෙදර ඡායාවක් පෙනේ..

ඒ දයානන්ද ගුණවර්දන උපන් ගෙදරයි..

දයානන්ද ගුණවර්දන ට ඇති ඇල්ම කුඩා විය තෙක් ඇදී යයි.. තාත්තා ද පියරත්න මාමා ද සූර් වූ විට නරිබෑනා සින්දු අඩුවක් නැතිව කියති.. නරිබෑණාගෙන් ඔබ්බට ගොස් දයානන්ද ගුණවර්දන හමුවන්නේ බක්මහ දීගේ බලන්න ලැබූ විටය.. නරිබෑණා සංගීතය ලයනල් අල්ගම ගේ ය... බක්මහ දීගේ සංගීතය සෝමදාස ඇල්විටිගලගේය.. ඔහු වේයන්ගොඩ උපන්නෙකි..

පරසතු මල් බලන්න ට අවුරුදු ගණනකට පෙර අම්මා පරසතු මල් ගැන කියා දුන්නා ය.. 'පරවුණු මල් වල සුවඳ අතීතේ' ඇයට හොඳින්ම ගැයීමට හැකි ගී කිහිපයෙන් එකකි. එහි සංගීතය ලයනල් අල්ගමගේ ය.. ලයනල් අල්ගම මෙන්ම සෝමදාස ඇල්විටිගල ද ලංකාවේ හරිහැටි හඳුනා ගත් සංගීත කාරයෝ නොවූහ....සම්මාන හෝ පට්ටම් ලැබීම හඳුනා ගැනීම නොවේ.. හරි හැටි රස වින්දනයට පාත්රංවීම 'හඳුනා ගැනීමයි'..

පකිස්තානුවෙක් සමඟ ගzසල් හෝ කව්වාලි ගැන කතා කරනවිට අපේ අඩුව පැහැදිලිවේ..

පසුගිය දශක ගණනාවේම ලංකාවේ සංගීත විචාරය 'හිත ම්තුරන්' අතරේ පැවති විනෝද ක්‍රීඩාවකි.. එය සින්දු වල වචන යලි ලිවීමෙන් ඔබ්බට යන්නේ දේශපාලනය හෝ සමාජ විද්‍යාව වැනි දුරස්ථ තැනකින් සංගීතය අල්ලා ගැනීමට හා ඒ මත කෙස් පලා ගැනීමට පමණි... සංගීතය ගැන සංගීතාත්මකව ලිවූවෝ අතළොස්සකටත් අඩුය.. තිස්ස අබේසේකර.. මනුබන්ධු.. නිශාන්ත අල්විස් පමණි මා කියවා ඇත්තේ..

ඇල්විටිගල ගේ ගී සංගීතය ඇසීම පිණිස දොරටුවක් සපයයි.. ඒ නිසාම සෝමදාස ඇල්විටිගල ගැන නොකියාම බැරිය..

ඔහුගේ ගී සියල්ලම මා සොළවා දමා ඇත.. අමරදේව ගැයූ ගී අතරින් ඉක්මණින් මතකයට එන ගී සියල්ල ඇල්විටිගල තනු යෙදූ ඒවාය.. පිපුනු කුසුම.. සත් සමුදුර.. ආදර හැඟුම්... මා මළ පසු... වචන හෝ අමරදේව ගේ කටහඬ හෝ නොතකා සංගීතය උදෙසා පමණක් ඇසිය හැකි බව මගේ වයස මට මතක් කරයි....

සංගීත සැළසුම් කිරීමෙහි ද වාද්‍ය භාණ්ඩ තෝරා ගැනීමෙහිද ලා ඇල්විටිගල සූරයෙකි... පිපුණ කුසුම ගීයෙහි 'සරෝද්' වාදනය වෙනම ඇසීමට මට ඇතිවු ආසාව සංගීත ශ්‍රවණයෙහි බොහෝ දුර මා ගෙන ගියේය...ඇල්විටිගල සංගීතයේ පොදු ලකුණ වන්නේ යළි ‍යළිත් ඇසිම රස භංගයක් ඇති නොකිරීමයි.. ඇල්විටිගල ගී එක් එක් වාද්‍ය භාණ්ඩය සඳහා අසා බැලිම සතුට ඇතිකරවයි... සත් සමුදුර එහි පසු පසින් දිවෙන ඒකල වයලීනය..පිපුණු කුසුමේ සරෝදය හා ආදර හැඟුම් ගීතයේ පසුබිමේ වැයෙන ඒකල වයලීනයේ ඇති ශෝකී වේදනාව... ඒවායින් කීපයකි.. වල්මත්වූවෝ හි මලින් මලේ ගීතය සත් සමුදුර සේම සිරසකින් අහවර වන්නේ සමුදුර සේම තරුණවියද පෙරළිකාර නිසා විය යුතුය.. සත් සමුදුරේ ඒකල වයලීනය අසන්නට මට කියාදුන් නිමල් අය්යා අතුරුදන් වී දැන් වසර විස්සකි...

අල්ගම එක චිත්‍රපටියකට ශෘංගාරය, විප්‍රලම්භය හා කරුණාව අපූරුවට පෙන්වන ගී තුනක් සංයෝජනය කළේය...

සඳකත් පිණිදිය විප්‍රලම්භය 'උදාර' ව ප්‍රකාශනය කරන ගීයකි..එහි නිහඬ ශෝකී සංගීතය හා පද 'කවුළු දොරින් එබී' විහඟෙක් මෙන් පියඹා යන්නේ අනන්ත අවකාශයටයි.. 'ලියනවා අයිසෙ හිමාලය කඳු ගැන' යනුවෙන් 'බොනී මහත්තයා' ගේ ඇණවුමට ලියැවුන ගීය සිනමා ගත කරන විට ෂෙල්ටන් පෙරෙරා ඇත්තටම ඇඬූ බව '60 දශකයේ පාසල් සිසුවියෝ කියති.. කුඩා කල මා නැලවීමට අම්මා පරසතුමල් ගීය කියද්දී මට ඇඬුම් ආවේ එහි ඇති පාලුව හා බොනී මහත්තයා ගේ තනිකම ස්වර විසින් දැනවීමට අල්ගම සමත් වූ නිසාද.. අවුරුදු 16 දී මුල්ම වරට පරසතු මල් බලද්දී මේ ගීතය එන තැන පපුවේ තිගැස්මක් ඇති වුනේත් ඒ නිසාම ද... අපේ ගෙදර උන්දෑ.. දුව නැළවීමට කිසිදා මේ ගීය නොකීවේ එහි එහි වූ මධුර පාළුවට ඇය නොකැමති වූ නිසාද.. මට පිළිතුරු නැත...ලංකාවේ සංගීතයේ මෙබඳු ප්‍රබල තනු ඇත්තේ අතළොස්සකි.. ඒ බොනී මහත්තයාගේ සේම අපගේද ඛෙදවාචකයයි..

ඔවුන් සංගීත සැලසුම් වල අපූරුවට යොදාගත් ක්ලැරිනට්.. ඔබෝ.. හඬ දැන් ඇසෙන්නේ නැත.. ගී තනු සමතලා කර දමන කාලකණ්නි ඔක්ටපෑඩය නොඇසෙන්නේ එහෙමත් ගීයකය..

ඇල්විටිගල හෝ අල්ගම ගෝලයින් බිහිකර මතවාදී වහන්තරාවක් තනා නොගියේ අපේ වාසනාවටයි... ඔවුන් අමරණීය වන්නේ ඒ නිසාමය..

ඇල්විටිගල හා අල්ගම ඔබට බාරදෙමි.

ඉර මුදුන් වී ගෙන එයි.. පොල්කිච්චන් නිහඬය...

ජනේලයෙන් එළිය බලන වි‍ට මට උඩ ගෙදර ඡායාවක් පෙනේ....
ඒ දයානන්ද ගුණවර්දන උපන් ගෙදරයි..

මගේ ජීවිතය වේයන්ගොඩ නතර වීම දෛවොපගත ය..

අන්තර් ජාලය මගින් නොමිළේ කියවීම සඳහා පමණි..

7 comments:

kasun said...

nice writing !!
:)

හෂිත said...

thanks! :)

Il mondo di una povera pazza said...

MMM kalekata passe sangeethaya gena hondha satahanak kiyevva.. kalathmaka sangeethaye (laankiya) kisima deyak nodanna matath loku uvamanavak unanduvak ethi una me sindu ahala balanna...
thanks...

හෂිත said...

:)

ඩෝසන් said...

සඳකත් පිණි දිය ගීතය ගැන සඳහනින් මගේ කන්පෙති පීරගෙන ඒ නිහඩ ගීතවත් බව මේ වචන අස්සෙන් පෙරී ආවා යැයි මට හැඟුනු බැවිනි මේ තුති කුසුම හෂිත වෙත පුද කරන්නේ...
මලානික හිරු එලිය පැතිරුන දූවිලි සුළඟ හතර අත හමා යන කන්ටේනර් කාමර පෙලක හුදකලාව ඉන්නා මට මේ කියවීම අමා රසයක් ජනිත කරවූ බැවින් ද නැවත තුති පුදමි.

තව බොහෝ දෑ මේ බ්ලොග් තීරුවේ පතිත වනු ඇතැයි සිතමින් කල් බලමි...

ආගන්තුකයා said...

විඳීමට වගේම විඳවන්න සංගීතයට තියෙන බලපුළුවන්කාරකමක මහත.. බෝඩිමේ පාඩුවේ ඇලවෙලා හිමීට සන්නාලියනේ, බුලේගොඩගෙ එක්පෙති මලක් දාගෙන අහලා ආයි බස් එකට නැග්ග ගමන් ටකරමකට තඩි බානගමන් පිරිමියෙන් ගෑණු කටහඬින් කියන සිංදුවක් අහන්නත් වෙනවා.. ඒකත් එක ආකාරයක රසයක් වෙන්න ඇති ඒත් මටනම් ඒක අප්පිරියයි.. අම්මප...

සාතන් said...

රසවතිය ඇස ගැටුනේ අදයි...
*සුනේත්‍රා... බුද්ධදාසිය.. සහ මම* යන ලිපියේ සිට පිළිවලට කියවාගෙන පැමිණ මේ වන විට සිත සොඳුරු හැගුම් පිරී ඇත... :)