Friday, 2 October 2009

පොල්කිච්චෝ.....


මම පොල්කිච්චන්ට ආසා ඇත්තෙමි..

උන්ගේ හඬ හිත කළඹවන සුළුය.. විචිත්‍රය.. සංගීතවත්ය..

අවුරුද්දෙ සමහර මාස වල හවසට කෙටි වැහි අල්ලක් දෙකක් වහී.. ඉන් පසුව අහස පැහැදිලි වෙයි.. පොල්කිච්චා මත් වූවාක් මෙන් ගායනය අරඹයි.. ඉඳ හිට ඇහෙන ගෙරවුම් හඬකට බියවන ඌ ගායනය යළි අරඹයි..

ගෙරවුම් හඬ ඇසෙනවිට හිතට තෙත් බර හැඟීමක් ඇති වේ.. එය හරි ප්‍රසාද් චෞරාසියා තම "ගංගා"(Rivers) නම් නාද කවිය ඇරඹීමට යොදා ගනී.. අපූරුය.. හබරළ කොළ මත බෙර හඬක් මෙන් පතිත වන වැහි බින්දු මෘදංගය හා ෆක්වාජය මගින් උපද්දයි..

කොලෝනියල් කසින්ස් ඉන්දියානු සංගීත කණ්ඩායමකි.. ඔවුන්ගේ ඉන්දියානු වැස්ස (Indian Rain) නම් ගීතය ඇරඹෙන්නේද ගෙරවුම් හඬකිනි.. හරිහරන් ගේ ආලාපය දුලබ සුරාවක් මෙනි.. ඉන්දියානු ශෛලියෙන් මා ඇසූ පළවෙනි ගීතය ලක්ශ්මි ශංකර් විසින් ගැයූවකි.. ලක්ශ්මි ශංකර් රවි ශංකර් ගේ බිරිය බව සෞම්‍ය කීවේය..

රවි ශන්කර් ඉන්දියාවේ අසහාය සිතාර් වාදකයාය.. නමුත් ඔහු ඉගෙන ගන්නා කාලයේ ලයනල් එදිරිසිංහ හා තරඟ කරනු නොහැකිව පන්තියෙන් පැන ගිය බව බොහෝ දෙනා කියති..ලයනල් එදිරිසිංහ ලංකාවට ආවේය.. රවි ශන්කර් ලෝකය වටා ගියේය.. ලයනල් එදිරිසිංහ 'හේවුඩ්' විදුහල්පති විය.. රවි ශන්කර් ලෝක මට්ටමේ සංගීතඥයෙක් විය.. ඒ ඉන්දියාවේ හැටිය..

ඉන්දියාවත් ඉන්දිරාත් වෙන් කළ නොහැකිය.. ඉන්දිරා ලයනල් එදිරිසිංහට පෙම් කළ බව හේවුඩ් ශිෂ්‍ය‍යෝ කියති.. ඉන්දිරා ලංකාවට ආ විගස ලයනල් ගැන විමසන බව අතීත රොන්සුණු පොදකි.. ජීවිතාන්තය දක්වා මල්ඵල නොගැනුන ප්‍රේමයක බීජ සිත්හි දරා සිටි ඔවුන්ගේ සංගීතය සිතාරයක හඬින් පවසා නිම කළ හැකිද?

සිතාරයට වඩා වීණාවේ හඬ අපූරුය.. ගැඹුරුය.. එය කර්ණාටක සංගීත භාණ්ඩයකි.. ඊට වඩා සරළ සැහැල්ලු හඬක් සන්තූරයෙන් නික්මෙයි.. ශිව් කුමාර් ශර්මා සිය හිමාල උදාසන(Himalayn Dawn) නාද කවියෙහි... හිම වතළ ගිරිහිසක තැවරෙන හිරු රැස් කැරැල්ලක් සන්තූරයෙන් සිත්තම් කරයි..

මේ මොනවා තිබුනත් නැතත් සුන්දරත්වය හැමදාම පැවතිනි.. සුන්දරත්වය තිබුණද නොතිබුණද මිනිස් කය මිය යයි.. වැළලූ පසු නැවත එන ධාන්‍යය මෙන් නොව මිනිසා වරක් වැළලූ පසුව අමතක ව යයි.. එසේ නොවන්නෝ අතළොස්සකි...

පොල්කිච්චාගේ හඬ මිහිරිය..

උන් අවාසනාවේ සංකේතයක් යැයි අයෙකු කියති..

මම පොල්කිච්චන්ට ආසා ඇත්තෙමි...

4 comments:

සචී said...

මේකෙ එක දෙයක් ගැන මගේ අදහස නොකියාම බැහැ...ඉන්දිරා සහ ලයනල් එදිරිසිංහ අතර ප්රේමය මල් පල ගැනුණෙ නෑ කියන්නෙ ඇයි? ඒකෙන් අදහස් වෙන්නෙ මොකක්ද? ඒ දෙන්නා කසාද බැන්දෙ නෑ කියන එකද?? කසාදෙකින් ප්රේමයක් මල් පල ගැන්වෙනවා කියන්න බෑනෙ...මම හිතන හැටියට ඉන්දිරා එයාගේ 'සිං' ට (ලයනල් එදිරිසිංහ) ආදරේ කළා නම්, ලයනල් එදිරිසිංහත් ඉන්දිරාට ආදරේ කළා නම්...ඒ ආදරේ මල් පල ගැන්විලා ඉවරයි....ඊට වඩා දෙයක් අවශ්ය වෙන්නෙ නෑනෙ..

දුකා said...

@ සචී !
කසාද බඳින්නම ඕන නෑ තමයි ප්‍රේමයක් මල් පල ගන්න . . . . නමුත් ඒක සමහර විටෙක ඒ ප්‍රේමය ඒකපාර්ශවික ප්‍රේමයක් වෙන්න බැරිද . . . ඒකපාර්ශවිකයි නම් දෙදෙනෙකුගේ ප්‍රේමයක් නෙමෙයි නිසා කොහොමත් මල් පල ගන්නේ නැති වුනා වෙන්න බැරිද . .. ??

සචී said...

@ දුකා..ඒක මෙහෙමයි....ඒ දෙන්නා අතර අප්‍රකාශිත ආදරයක් තිබුණා කියලා තමයි කියන්නේ....[ඉන්දිරාට ලයනල් එදිරිසිංහව වත් ලයනල් එදිරිසිංහට ඉන්දිරාව වත් අයිතිකර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැනේ....(රාජිව් -සෝනියා දෙන්නා නම් ඊට වඩා ඉස්සරහින්!)]....ඉතින් ඒ නිසා (ඒ දෙන්නට දෙන්නා ආදරේ කළ නිසා) ඒ සෙනෙහස මල් පල ගත්ත එකක් කියලායි මම හිතන්නෙ......එකිනෙකා අයිති කර ගන්න බැරි උනා වුණත් සදා කාලික පෙම් යුවළ වන රාධා - ක්‍රිෂ්ණා වගේ....

Pathum Punchihewa said...

අය්යේ උඹේ හැඟීම් වියමන් වල ඇත්තටම මේ තරම් තියෙන මත්ගතිය එන්නේ ඒ වියමන යට තියෙන ස්පර්ෂ කරන්න පුළුවන් කියලා හිතෙන හෑඟීම් නිසා. පිකාසෝ ගේ චිත්‍රයක් වගේ... හරි ප්‍රසාද් චෞරාසියාගේ වාදනයක් වගේ..