Thursday 11 March 2010

පිටගම්කාරයෝ


1983 වෙසක් මාසයෙහි මම එගොඩවත්තට පැමිණියෙමි.


එගොඩවත්ත විජේරාම හන්දියේ සිට රත්තණපිටිය පාරේ හැතැක්ම එක හමාරක් ගියපසු හමුවන නොතාරිස් හන්දියෙන් දකුණට වන්නට පිහිටි ගම්මැද්දයි. එගොඩවත්ත අපූරු ගමකි. 1980 ගණන් වල අග භාගයෙහි ද එහි අමුඩ ගැසු ගැමියනුත්, පාර පුරා ඇවිදයන කාල වර්ණ මී ගව රංචුත් දකින්නට ලැබිණි. ලංසි පවුල් කිහිපයකුත්, මැලේ පවුලකුත්, ගල්හේන පරම්පරාවේ බහුතරයකුත් විසූ එ ගම, රබර වත්තකුත්, ගඳපාන, දං, කොහුකිරිල්ල පිරුණු ලඳුත් මිශ්‍රව පැවතුණි.


මම එ ගමට පිටගම්කාරයෙක් වීමි. ලොකුඅම්මාත්, ගුණදාස ලොකුතාත්තාත් එහි පිටගම්කාරයෝ වූහ. තිස්ස ද එහි පිටගම්කාරයෙකි. තිස්ස විසූ ගෙය පසුව 'සොමි ස්පොට්' විය. ජ'පුර සිසුන්ගේ කමිස, කලිසම්, සරං, යට ඇඳුම් වැනූ රෙදි වැල් ගණනාවකින් අලංකෘත 'සොමි ස්පොට්' මිදුල පසු කර යන මට එහි විසුවේ කවුරුන්දැයි සිතා ගත නොහැකි විය.


මම කුමාරතිස්ස අය්යා ඇමතුවෙමි..

අය්යේ, තිස්ස හිටියේ එගොඩවත්තේ මොන ගෙදරද?’

ඔහු මට වතුර ටැංකියත්, ඉන් ඉදිරිපස වූ අපිරිසිදු චමරියත් සිහිපත් කළේය.


තිස්ස අවුරුදු දහයේදී පිටගම්කාරයෙක් වූ ගමෙහිම අවුරුදු 12 ක් වූ මම පිටගම්කාරයෙක් විමි. තිස්සගේ කෙළි මිතුරු මිතුරියන්ගේ දරු දැරියන් හා මිතුරුවීමි. මම උන්ට නම් පට බැන්දෙමි උන් මට නම් පටබැන්දහ. තිස්ස 1982 එගොඩවත්තෙන් යන්න ගියේය, මම 1989 එගොඩවත්තෙන් ගියෙමි.


මම එගොඩවත්තේදී මෙලෝ බෝලයක් නොලිවූ මුත්; කුමාරතිස්ස අය්යාගේ කුඩා පොත් රාක්කය එතෙක් මා හඳුනා නොසිටි බොහෝ ගත් කරුවන් හඳුන්වා දුනි. (වැවදෙනියේ ඇල් ඩී මැන්දිස් එයින් ප්‍රමුඛය.). 1992 දී ටෙලි නාට්‍ය හැදීමේ පිස්සුවෙන් උන් අපි හිතිච්ච හිතිච්ච අතේ පිටපත් රචනා කළෙමු. මෙලෝ රහකට නැති 'කහකඩ' බඳු ඒ කතා 'රායි' ගේ චිත්‍රපටි හා සමයැයි සිතමින් වාද කළෙමු. 'නෙළුමක් මියෙන මොහොතේ - කුමරියක් උපන්නාය - මායා' උදේනියා ට මයික් එකක් හමුවුනොත් ඌ තිස්ස අනුකරණය කරයි. මායා විජේරාම හන්දියෙන් පාසල් බසයට නැගි රූමත් ආඩම්බර දැරියකි.


පියරත්න මාමාගෙන් පොත් ඉස්සීම මා ඉස්සර සිටම ප්‍රගුණ කළ කලාවකි. ඒ සෑම පොතක්ම හම් බැම්මෙන් බැඳ සුරැකිව මා සතුව ඇත. මාමාගේ කාර්යාලයයේ පොත් රාක්කයේ තිබූ ටයිප් පිටු සහිත තඩි පොත මට එසේ හමුවිය. එහි කතුවරයෙක් ගැන සටහනක් නොතිබිණි. එහි මුල් පිටුව කියවු මට පිස්සු හැදිණි. එගොඩවත්තේ පාරක් පාරක් ගානේ ගෙයක් ගෙයක් ගානේ තිස්ස මා කැඳවා ගියේය. රබර්වත්ත මුල ලැවනිස් කඩේද ගබෝ සියාගේ රාක්ක හිස් කඩේ ද කරෝලිස් ආතාගේ 'සාත්තර ගෙදර' ද තිස්ස මවා කපා පෙන්වීය. රබර්වත්ත කොටස් කර විකුණූ පසු එහි තැනූ ලාල් පියසේන නිවසේ දී මට 'තිස්ස' මුල් වරට හමු විය.


තිස්ස අපූරු ලේඛකයෙකි. ඔහු ඉතා සාර්ථක ලේඛකයෙකි. ඔහු ලියු සෑම ලියවිල්ලක්ම එක හා සමාන ආතතියකින් යුතු විය. එය ඉතා අසීරු කාරියකි. තිස්ස ඒ අතින් ශුරයෙකි. ඔහුගේ සියලු පොත් සතු කර ගැනිමේ තණ්හාව පසුගිය සතියේ සැපිරිණ. පිටගම්කාරයෝ චිත්‍ර ඇඳි, විරාගය නිර්මාණ සැළසුම් කළ, තිස්ස විසින් ම කැන්ඩියන් බැරොක් නමින් බෞතිස්ම කළ රේඛා චිත්‍රයෙහි විශිෂ්ටයෙකු වන පියරත්න මාමා තිස්සගේ කිට්ටු මිතුරෙකි.


තිස්ස ලංකාවේ දුර්ලබ ලේඛක ගුණයක් වන 'විචාර වර්ණනා' රචනයෙහි සමතෙකි. ඔහුගේ විචාරය හාරා, පාරා, සමහන් කරන එකකි. ඔහුගේ 'අයාලේ ගිය සිතක සටහන්' හි මට දැනෙන ඒ ගුණය නිසා මේ වන විට එය හත් අට වතාවක් කියවා ඇත්තෙමි. ඔහු ලියූ 'රූප ස්වරූප' සිනමා අධ්‍යයනයේ අත් පොතකි. ගිය සතියේ එය අතැතිව රායි ගේ 'තීන් කන්‍යා' නැරඹුවෙමි. ඒ කවර නම් ආස්වාදයක්ද..!


තිස්ස අවසන් වරට මාමාගේ කාර්යාලයයේදී දුටු විට ඔහු හඳුනා ගන්නට අපේ උන්දෑ ට උවමනා විය. බරපතල කතාවක මැදට පැන අප පටන් ගත් කතාබහ කෙළවර වූයේ තිස්ස ඔහුගේ අවසාන (විය හැකි)රංගනය අපි වෙත ඉදිරිපත් කරමිනි. ඔහු කොල්වින් ආර් ද සිල්වා හා විජය කුමාරතුංග සම්බන්ධ සිදුවීමක් අපවෙත රඟපා පෙන්විය.

තිස්සගේ ගැඹුරු ලාලිත්‍යවත් කටහඬ අප වෙලා ගති.


දවසක අපේ ගෙදර එන්න, අයාලේ ගිය සිතක සටහන් තවත් දිගට ලියන්න..


අපි ඔහුට ඇරයුම් කළෙමු. මාමාත්, දයා මාමාත් (අල්විස්), තිස්ස අබේසේකරත් හා දවසක් දොඩන්නත්, මාලිනී නිධානයේ එම්බ්‍රොයිඩර් ගැටය කටින් කඩන්නේ ඔහුගේ පිටපතට අනුවමදැයි අසන්නත් ඉඩ නොතබා ඔහු යන්න ගොසිනි.


මාමා තිස්ස ගේ මරණින් පස්සේ සෑහෙන්න කල්පනා කරනවා' නංගී කීවා ය.


තිස්ස ගේ පොත් සියල්ල මා සතුය.


1983 වෙසක් මාසයේ මම එගොඩවත්තට පැමිණියෙමි.

11-03-2010

20 comments:

Rachintha Jayawardhana said...

මෙහෙව් මිනිස්සු ආශ්‍රය කරන්න අයියා හරිම වාසනාවන්තයි.ඒ වගේම ඔය කියන "පියරත්න මාමා", එදා දැක්ක ගමන් බියොන්සේ දැක්කා වගේ අපි බලාන හිටපු චිත්‍ර, ඇඳපු මනුස්සයා වෙන්නැතියි කියලත් හිතෙනවා.අයාලේ ගිය මත සටහන් කියවන්නම ඕන.

හෂිත said...

එයා තමා මාමා..

LishWish said...

මුචා ලියපු දේට මම්ත් 500% කින් එකඟයි. එදා අපි දැකපු ඒ චිත්‍ර මම ආපහු ගෙදර ඇවිල්ලත් ඔලුවෙ හොල්මන් කරන්න ගත්තා. ආතතිය නිවාගත්තේ අතට අහුවෙන හැම කොලේකම මොන මොනා හෝ කුරුටු ගාලයි.

“දවසක අපේ ගෙදර එන්න, අයාලේ ගිය සිතක සටහන් තවත් දිගට ලියන්න..”

අපි ඔහුට ඇරයුම් කළෙමු. මාමාත්, දයා මාමාත් (අල්විස්), තිස්ස අබේසේකරත් හා දවසක් දොඩන්නත්, මාලිනී නිධානයේ එම්බ්‍රොයිඩර් ගැටය කටින් කඩන්නේ ඔහුගේ පිටපතට අනුවමදැයි අසන්නත් ඉඩ නොතබා ඔහු යන්න ගොසිනි.


මේ වගේ මිනිස්සු එක්ක කාලෙ ගෙවන්න වාසනාව තියෙන හෂිත අයියලා සචී අක්කලා මොනතරං වාසනාවන්තද කියලා හිතෙනකොට, අපි ගැන කියාගන්න බැරි තරම් හිස් බවක් දැනෙනවත් එක්ක.

DawsonP said...

මැරෙන්නම ඕන ආයේ ඉපදෙන්න!

මට හිතුනේ මැරිල හරි ඉපදෙන්න ඇත්නම් ආයෙම මට නැති වුනු ඒ පරණ කාලෙට ඩිංගක් ඉදි‍රියෙන්? ඒ කියන්නේ ආයෙම 1983 දී කාලය- දීපය- දේශය- කුලය- මව; මේ ඛණ්ඩාංක වලින් ඇඳිච්ච දෛශිකය දෙබෑ කරගෙන??

එහෙම වුනා නම් මමත් ඉන්නවා ඔය අයිනකට වෙලා උඹට උස්සන්න බැරි වෙච්ච පොත් ටික උස්සන්න...

මට තාමත් ඩොප්ලර් ආචරණයට හසු වෙච්ච තරංගයක් හිසේ දුවනවා අර කිසිම පාලනයක් නැති කුරුමිණියෙකුගේ පියෑඹීමක් වගේ...හතර වටේ හැපි හැපි!

මේ ලියමන නිසා...

said...

'අයාලේ ගිය සිතක සටහන්' මාත් ආසම පොතක්

හෂිත said...

@Dosa : මග හැරුණු දේ බොහොමයි.. හැතැක්ම කණු ගැන හිත හිත ඉඳලා වැඩක් නෑ බං .. දිගටම යං..

@ Ma: If thissa knew that so many people liked his writing..!

හෂිත said...

http://www.groundviews.org/2007/06/22/sparks-from-the-notes-of-a-vagabond-mind/

If you happend to like to read more on Tissa's 'Ayale Giya Sitha' please go to the link above.

හෂිත said...

Oh my God! So beautiful, so nostalgic.
I became tearful for a moment. If nenda sees this, she will kill me for your 'book smuggling'.
When we were at 'Priyankara' at Thissa this January, Mama was telling how he stayed there with Tissa Abeysekara singing all night long; it was their final night out. He was telling everything they did on that day ... See morepointing to the room they had stayed. We were sitting alone outside in the night and he began to show me how the shadows have fallen on the ground and how they could be wonderfully depicted in a painting. To me, those were the shadows that have fallen on him after the departure from Thissa. He was saying how Thissa left the office room, came back and kept his arms on the table and how he kept looking at Mama for a few seconds silently. After a few days, he passed away.
-Nangi-

Kasun said...

අපූරුයි හෂිත අයියෙ,
ලියන ශෛලිය වගේම ලියන දෑත් එක වගේම.

යෝගී... said...

දැනං උන්නෙ නෑ‍නේ ඔයා මෙහෙව් කෙනෙක් කියලා.. ඒ ශෛලිය බොහොම සිත්ගන්නාසුළුයි.
දැං ඉතිං හැමදාම එන්නං මේ පැත්තේ..
-ජය

ආගන්තුකයා | Stranger said...

මම කසුන් කියපු කතාවට බොක්ක කියලත් වචනයක් කොමාවක් දාලා එකතු කරන්නම්.. සිරාම සිරා..

කතන්දර Kathandara said...

තිස්ස ගේ 'ටෝනි' පොත විතරයි තාම බලන්න බැරිවුනේ. (අපිට කොයින්ද පොත් උස්සන්න මාම ලා).

ඉන් මයි කින්ඩම් පොතේ තියෙන කතා තුනත් සිරාම සිරා.

පිටගම්කාරයෝ එක ගැන හොඳ කතාවක් මතක් වුනා. පස්සෙ ලියන්නං.

-කතන්දරකාරයා

හෂිත said...

@ යොගී : දැන් නිතර හම්බ වෙයි නේ. ස්තුතියි මේ පැත්තෙ ආවාට.
@ආගන්තුක: ස්තුතිය්..!
@කතන්දර සාදු :-) මම දැනට උස්සලා තියෙන්නේ පොත් 4-5 විතරයි. ඒ වෙළඳපොලේ නැති රුසියන් පරිවර්තන. අන්තිම පොත ඉස්සුවේ 1994 විතර. සති දෙකකට කලින් මාමා ගේ කන්තෝරුවේදි එයාගේ මිත්‍රයෙක් පිට්ගම්කාරයෝ පොත් දෙක (ඒක මකර කටට තමා) කියවන්න ඉල්ලගන්නවා දැකලා තමා මම හිතුවෙ මේ පොත් ඔක්කෝම අරන් තියාගන්නවා කියලා. පහුවෙනිදාම වැඩේ කළා. මමත් මේ දවස් වල ටෝනි කියවනවා. අර කතන්දරේ කියවන්න බලාගෙන ඉන්නවා.

හෂිත said...

@Kasun: Thanks malli

හෂිත said...

@ Lish: thanks malli

Satya said...

ඔබේ ලිපිය ඉතාම රසවත්. එය ලියා ඇති සරල මටසිළුටු බස තිස්සගේම ලිපියක් සිහි ගන්වයි.

හෂිත said...

Thanks Sathya.

Amila Chathuranga said...

ඒ පොත මාද මිලදී ගතහොත් මනායැයි මටද සිතුනි..

Dayal Bathee said...

තිස්ස නැතුව අපේ සිනමාව ගැන කතා කරන්න බෑ. තිර කතා රචනය, අධ්‍යක්ශණය, ඒ වගේමයි ලේඛනය, ගුවන් විදුලි වෙළඳ දැන්වීම්, තව ඔහුගේ තිබුනු දස්කම් කෙතෙක්දැයි නොදනිමි, ඉහල තලයේ ද්විභාශා භාවිතය...
ඉඩ ලැබෙන පරිදි තිස්සගේ දස්කම් වත්මන් හා අනාගත පරපුරට අභාශයක්inspiration වීමට තව ලියා තබන්න.
ස්තූතියි!

Tharurasi Fernando said...

තිස්සගේ පොත් කියවා නොතිබීම බරපතල අඩුවක් වගේ් දැනෙනවා....

කොහොම හරි හොයාගන්න ඕන....

ලිපිය හරිම රසවත් හෂිත...