Saturday, 6 March 2010

ආදරෙන් ලියන්නෙමි


ඔබ

ලියුම් එවන තුරු උන්නා

ඇස් රිදෙන කම්

පාර දිහාවේ බැලුවා


ඔබ ලියා එවනවා කියු දෑ

හීනෙනුත් දැක්කා

කසිකබල් චිත්‍රපටියක් වගේ

දුෂ්ඨයෙක්

ඒ වචන බුර බුරා කෑවා

අපේ ආදරෙත් ඒ වගේමද

මට හිතුණා


මමත් තනියෙම්ම

ලොකු දැල් රටා විව්වා


ආදරෙන් ලියන්නෙමි,

මගේ ආදර දැලේ

ඇස් ලොකුයි

ඔබ එයින්

ලිස්සලා

වැටුණා


-1996-


රූපය: අපර්ණා සෙන්: සිනමා නිළිය හා අධ්‍යක්ෂිකාව.
කොන්කොනා සෙන් ශර්මා ගේ මව.
අපර්ණා, රායි ගේ 'තීන් කන්‍යා' හි අවසන් කන්‍යා ව වූ 'සමාප්ති' හි 'ම්රින්මයි' රඟමින් සිනමාවට එක් වූවා ය.

Saturday, 2 January 2010

බත්තලංගුණ්ඩුව... අවසාන බෝල්කන් ටැංගෝ ව සහ මම....



බොරිස් කොවැක් 'අවසාන බෝල්කන් ටැන්ගෝව' නමින් අපූරු සංගීත සංග්‍රහයක් කළේය. එය හමු වූ දා සිට මා සිතේ නටන්න වූ ආසාව දළු ලා වැඩෙයි. 'කර්ලොස් සවුරා' ගේ 'ටැංගෝ' චිත්‍රපටියේ එන අති ප්‍රබල ටැංගෝ නැටුම් කිහිපය මගින් අවසාන බෝල්කන් ටැන්ගෝව මනස් රූපණය කිරීමට උත්සාහ ගතිමි. බොරිස් අතින් 'ශෝකී නම් ඇස්ටරොයිඩය පතිත වීමට පෙර' කෙරෙන ටැංගෝ ආරාධනාව පැහැර හැරිය නොහැකිය.

ටැංගෝවක් මා මුලින්ම දුටුවේ 'ස්ත්‍රියකගේ පුසුඹ' නම් අපූරු චිත්‍රපටියෙනි. එහි 'අල් පචිනෝ' නම් අන්ධ කල්නල් ලපැටි සොඳුරු යුවතියක හා මිනිත්තු එක හමාරක ටැංගෝ නර්තනයක යෙදේ.

මංජුල; බොරිස් කොවැක් මෙන්ම හා ඊට වඩා වෙනස් ව වචන හා රූපක අතර අපූරු සීරු මාරුවක යෙදෙයි. ටෙනර් (උච්ච ) සැක්සපෝන දෙකකුත්, වයලීනයකුත්, ඇකොර්ඩියනයකුත් අතර පැයකට වඩා සීරු මාරු අල්ලයි. බැඳුණු ඇඟිලි, අඩි උස පාවහන්, වේගයෙන් හා ඉතා සෙමින් එහා මෙහා වන ශක්තිමත් ජංඝා යුග්මයන් මනසෙහි ඇතිවී වෙනස් වී නැතිවී යයි.

බත්තලංගුණ්ඩුවේ මුල් කොටස 'ජුලියා සඳහා විලම්බය' නම් සංගීත ඛණ්ඩය මෙනි. සෙමෙන් හා ස්ථිරව කොදෙව්වක වෙසෙන විප්‍රවාසී පියෙකු හා පුතෙකු අතර තානමක් ගොඩ නඟයි. මංජුල ඒ සඳහා අලංකාරික බහුල ප්‍රබල බසක් යොදා ගනී. (මංජුල මට මෙහිදී සිහි කරන්නේ 'ග්‍රෙගරි ඩේවිඩ් රොබට්' ගේ ශාන්තාරාම් හි දෙවනි පරිච්ඡෙදයයි )

මංජුල සූදානම් වන්නේ 'අසීරු' වාදනයක යෙදීමට හෝ 'අසීරුවක්' නැටීමට හෝ බව මම සිහිනෙනුදු නොසිතීම්. නමුත් ඔහු 'පිය පුතු සබඳතා, ප්‍රෙමාලිංගන, සංකීර්ණ ලාලසාවන්, පුද්ගල දෘෂ්ඨින්' පාවිච්චි කොට ටැප් නැටුම් අලංකාරයක් එකතු කරයි. (මංජුල චිකාගෝ හි 'රිචර්ඩ් ජිය' නටන ටැප් නැටුම සිහි කරයි ). නැතහොත් 'ස්ට්‍රික්ට්ලි බෝල් රූම්' හි එක තැනෙක බෝල් රූම් අතර නැටවෙන 'ෆ්ලැමෙන්කෝ' අඩි කිහිපය සිහි කරවයි.

මට ඇස් කෙවිල්ලක් හැදෙයි. කතා කරුවෙකු වෙහෙස වී සොයා තනා නිමහම් කළ වචන, වාක්‍යාංශ, වාක්‍ය, ඡේද, පරිච්ඡේද කියවන විට මට ඇස් කෙවිල්ල හැදේ.

11/11/2009 උදේ කෝච්චියේ එනවිට මංජුල කියවමින් ආමි. බොරිස් කොවැක් ගේ Last Balkan Tango පසුබිම් වාදනයට මංජුල කියවීම ඇස් කෙවෙන වැඩකි. බොරිස් එහි සංගීත ඛණ්ඩයෙන් ඛණ්ඩයට සැක්සෆෝන දෙකක් හා ඇකෝර්ඩියනයක් සීරුමාරු කරයි, බත්තලංගුණ්ඩුවේ පිටුවෙන් පිටුව මංජුල සිය ආඛ්යාන ශෛලිය සීරු මාරු කරයි. හැත්තෑවෙනි පිටුවෙන් කෝච්චිය මරදානට සේන්දු විය. මගේ ඇස් කෙවීම පොත කියවා ඉවරවෙන තෙක් ඉවර නොවනු ඇත!

ජීව ගුණයෙන් පිරි ඉතිරී යන මංජුලගේ කතාන්දරය නෙත් කෙවෙණි බොඳ කරයි.

හැත්තෑවෙනි පිටුවෙන් මරදානට ආ කෝච්චිය මට ඇස් වසා ගන්නට බල කළේය. මංජුලගේ කවි ගුණය ඔහුගේ ගද්‍යය අතරින් ද ඉපිලී පැමිණෙයි. ඔහුගේ පාත්‍ර වර්ගයා මුහුදු 'පකුල්' තාලයට රංගනයක නිරත වෙති. ඒ අතරින් මට සොවෙටො තත් චතුර්ථ යේ හඬ ඇසෙයි. මෙකී පසුබිමෙන් පුපුරණ ගිටාරයක තාලයට ඇන්ටනී, ඉතා දැඩිව පුහුණු කළ 'ෆ්ලැමෙන්කෝ' රංගනයක යොදවයි. ඇන්ටනී ගේ පා ගැටෙන ගැටෙන තන්හී වැලි කැට කුඩා රැළි සාදමින් විසිර යයි. මංජුල ප්‍රතිභා කවියෙකි. ඔහු 'අදම' කවියෙකි. දමනය නොවූ මුරණ්ඩු කමක් ඔහුගෙන් පිට ව එයි. ඔහු විෂය ලෝකය ඉක්මවා යන මනුස්ස උදාරත්වය ඇන්ටනී-ඇඩ්ඩින් ද්විත්වය, යුගල බන්ධනිය අතරින් මවයි.

12/11/2009 අද කෝච්චියේ එන විට මංජුල 'රෙගේ' කළෙමි. සොවෙටො තත් චතුර්ථය (Soweto String Quartet) මංජුලට අපූරු පසුබිම් වාදනයක් සැපයීය. රොඩ්නි ජොන්ක්ලාස් ත්‍රාස යාත්රිකයෙකි. 'වාලම්පුරි'ය ට පසු මන්නාරම් බොක්ක පොතකට එන්නේ මංජුලගෙනි. මංජුලගේ පොත ත්‍රාස යාත්රාවකි. මංජුල 'අදම' කවියෙකි. බත්තලංගුණ්ඩුවේ පිටුවෙන් පිටුවට ඔහු එය සනාථ කරයි. එය කෙනෙක් ඊරිසියාවෙන් පිස්සු වැට්ටීමට සමත්ය. අද 144 රාජගිරියට එනවිට බත්තලංගුණ්ඩුව ඇත්තේ නවගත්තේගමට වයඹින් මහ මුහුදේ බව මට සිහි විය!

Friday, 1 January 2010

සෘතුමතිය



ඉඳුවර පැහැය
තණ'ග පිණි බිඳෙක

අමුතුවෙන් රැඳුනෙද....
කල්බලා නිදන කලලෙක ..
කළල සියපත ඉඳුනෙ නැතිවද
පුරහඳක ගබ’තුර
අමාවක පිළිසිඳුනෙද
රජස් නොරඳා කෙමියක
රොන් ගෙන ගියෙද මුවරද
යළි යළිදු සිස් වන
සියපත පිපෙන දින නොදනිත
හඬා වැටුනි ද ගැබ
වේදනාවක් පෙනේ වුවන

1998

Saturday, 19 December 2009

වික්ටර් ප්‍රාතිහාර්යය














භාගේශ්‍රී සරල සැහැල්ලු සන්ධ්‍යා රාගයකි. එය මහත් වූ ආහ්ලාදයකින් සවන් මන පිනවයි. භාගේශ්‍රී ගැන මට කියා දුන්නේ නිමල් අය්යාය. ඔහුගේ ටේලර් සාප්පුවේ දී එකතු වූ සැන්දෑවක භාගේශ්‍රී මූලික ස්වර සංගතිය වාදනය කර පෙන්වා 'හෝ පළු වනපෙත' එච්චර ලස්සන භාගේශ්‍රී නිසා යැයි කීවේය.

හෝපළු වනපෙත පමණක් නොව වික්ටර් ගේ මුළු සංගීතයම මනාව සුසර කළ වයලීනයකි. ඔහුගේ හඬ වයලීන තතකින් කරන හරඹයකි, සිරුමාරුවකි, කස්තිරමකි, අඩව්වකි, සුරලකි.. ට්‍රෙමලෝවකි.. ජලාවකි.. ඇඩ්ලීපයකි. 1975 දිනෙක කෑගල්ලේ නගරශාලාවෙහි '' අසන විට ඇතිවු චමත්කාරය කවර අයුරකින් නම් මඟහැර යා හැකිද...තොටුපළ අයිනේ.. මීනා.. බිංදුමතී අදටත් රූප වශයෙන් මතකයෙහි රැඳී පවතින්නේ මැකිය නොහැකි අන්දමිනි.

අද 'පණ්ඩිත් ජස්රාජ්' භාගේශ්‍රි මුල් කර තැනූ පෙරදිග සංධ්වනියක් අසද්දී හෝපළු වනපෙත ද යළි නොඅසා බැරි විය.ලංකාවේ සංගීතයෙහි හින්දුස්ථානි රාග ඇසුරු වුවද අර්ධ ශාස්ත්‍රීය ගී නිර්මාණය වී ඇත්තේ අතළොස්සකි. පී.වී නන්දසිරි, බී වික්ටර් පෙරේරා ආදීන් අනුදත් ගීත ආරේ, වික්ටර් අතින් බිහිවු ගීය අනූපම වෙයි. එහි ආලාප කොටස කෙටි සරු එකකි. තානාලංකාරය පරිපූර්ණය. තදියමක් හෝ මැලි කමක් නොදක්වන වික්ටර් ගීතයට ප්‍රවේශ වන ලයෙන් ම ආවේගයෙන් ම තානාලංකාරයට ප්‍රවිශ්ඨ වෙයි. එහි නැඟි යාත්‍රා කරයි.. ඉපිලෙයි.. කිමිදෙයි. හෝ පළු වනපෙත අරක් ගත් රාධාව චක්‍ර ගණනකින් අලංකෘත කරයි, රංජනය කරයි. අවසන අනේ ! මේ සින්දුව තව ඩිංගක් දිග වුනා නම් යැයි සිතවමින් නිමා කරයි.

' වික්ටර් නේ හලෝ!' අපේ ගෙදර උන්දෑ මැදට පනී.

වික්ටර් ගේ හඬ අප නොසිතන නොවිමසන තන්හී සියුම් ඉසියුම් හැඟුම් ප්‍රකාශනයක යෙදෙයි. සරා සොඳුරු ගීයෙහි කුණාටු මැදපාදයේ ආරම්භය එවන් එක් තැනකි. ආදර පූජාසනේ හි '‍යෞවන මල් සමයේ' යනුවෙන් ගයන තැනත් එසේම ය. ඔහුගේ අනෙක් අර්ධ රාගධාරී ගියක් වන 'නුඹේ නමින්' හි 'මා හැර ගිය දුකින් තැවී' පාදයෙහි තැවී යනුවෙන් ලෙලෙන කොටස මගේ සංගීත ප්‍රේමයෙකි.

වික්ටර් විශිෂ්ටයෙකි. මගේ ආලවට්ටම් නැතද වික්ටර් විශිෂ්ටයෙකි. ඔහු ප්‍රාතිහාර්යයකි.

Saturday, 5 December 2009

ගුනසිංහ.. ගුණසිංහ.. හා මම...













මම ඊයේ හවස ගුනසිංහ දුටිමි.

ගුනසිංහ පණ්ඩිතයෙකි, ගුරුවරයෙකි, කවියෙකි, කතා කරුවෙකි, විචාරකයෙකි, පෙරළිකාරයෙකි. ඔහු සිනමා කරුවෙකි.

ගුණසිංහ ගුරුවරයෙකි, කවියෙකි, කතා කරුවෙකි, විචාරකයෙකි, පෙරළිකාරයෙකි. ඔහු පත්තර කාරයෙකි.

ගුනසිංහ ද ගුණසිංහ ද පේරාදෙණි ගියහ. ගුනසිංහ ගුණසිංහ ට උගන්වන්න ඇතැයි මට සිතේ. ගුනසිංහ පේරාදෙණිකෘත විය. ගුණසිංහ ගුරුකුල වලට හසු නොවීය. රිද්මය රැක්කේය. දෛනික ඇස් රුදාවෙන් තොර විය.

පේරාදෙණියේ 'රැග්' වෙමින් උන් සමයක 'සඳුන්' පැමිණ සඳුන් තවරා ගියේ ය. එදා ද ඔහු පාසල් බස් රියේ දී මෙන් කිහිල්ලේ පොත් කිහිපයක් ගසාගෙන උන්නේ ය. ප්‍රසන්න ජ්‍යෙෂ්ඨ උත්තමයා සොනාලි අක්කා පෙන්නා අර තමයි 'ගුණසිංහ' ගෙ දුව යැයි කීවේ ය.

ගුනසිංහ සරච්චන්ද්‍ර ගේ සීමාවන් ඉක්මවා ගියා දැයි සැක සහිතය. ගුණසිංහ 'ජේ ආර්' ගේ හා 'උපාලි' ගේ සීමාවන් ට යට නොවූ බව පැහැදිලිය.

පේරාදෙණියේදි පිටපත් කරගත් 'රන්තැටියක කඳුලු', අම්මා කුමුදුනී නැන්දා අතේ ගිය පෝයදා එවා තිබුණි.

රන් තැටිය පායා තිබූ දිනෙක අඳුරු හේඩාවෙන් හෙවන නොවී තිබුණු 'සනාතන මන්දිරය' පසෙක බංකුවක් මත රන්තැටියක කඳුලු මතුවිය. දෙ හද එකම රිද්මයකට හඬනු මට දැනින. මහවැලියට මල් විසුරන ලිය ගොමු පවා සුවඳ විරහිත විය. බිනර අහසේ මෝදු වූ පුරහඳ රැස්වැද රන්තැටියක කඳුලු දිලිසුනි. අදත් රන්තැටියක කඳුලු නොවි‍යැලී තියෙයි.

ගුණසිංහ පඩිපෙලක් විය. එහි නැඟී විදුලි සෝපාන ගත වූ බොහෝ දෙනෙකු වෙති. ගුණසිංහ අනුදත් නිර්භය, සිලිටි, තියුණු රචනා ශෛලිය නැති නිසා ඉරිදා පත්තර නොකියවමි. රයිගම් රාළ ලියූ ගුණසිංහ මහත්තයා 'කොලම්' කෝළම් නොකළේය.

කොහිද ඇල්මක්

වැළඳ සමු ගැනුමට

නොදනිමිද

මුහුණු වසාලූ

මිතුරු සිරියෙන්

නොදනිමිද

හඬන හඬ කිඹුලන්

යැයි ඔහු ලිවුවේ විදුලි සෝපාන ගත වූවන් ගැන විය යුතුය.

උමතුවට ඉඩ හලෙන් මොහොතකට

මළවුන්ට යහන් වු බිම් කඩෙක

නිදන දියණියන් ළඟ උන් රැයෙක

කණමැදිරි දුරු කළා මගෙ තනිය. මට කට පාඩම් ය.

මෙන්දක ගේ රාක්කයේ හිඳ මට බොහෝ අමුත්තන් මුණ ගැසී ඇත. මට ගුණසිංහ හමුවුයේ ද එතැනිනි. 'මම තාමත් ගුණසිංහ මහත්තයා කියවනවා' මෙන්දක මූණු පොතේ ලියා තිබිණ.

ගුනසිංහ ද ගුණසිංහ ද ඇවිද ගිය පේරාදෙණි පෙත් මං හි ඇවිදීම ආඩම්බරයක් විය. නිසොල්මන් හන්තාන කඳු සිඛර විනිසුරන් මෙන කල් බලන නිම්නයෙහි අවාරයේ වී මුත් අදත් කහ රොබරෝසියා පිපෙයි. රන්තැටියක කඳුලු පිපුන හිල්ඩා උයනෙහි සුවඳ අමතක නොවන නිසා වැවූ කුඩා රෑ සුරඟනා පැලය අතු බෙදි බෙදී වැවෙයි.

ගුණසිංහ මහත්තයා මගේ රිද්මයේ කවියායි. අන් කවියන්ගේ රිද්මය මට ස්පර්ශවන්නේ ගුණසිංහ මහත්තයා ගෙනි.

නොනිඳයි පහන් තරු ඇස.

මම ඊයේ හවස ගුනසිංහ දුටිමි.

2009 දෙසැ 05