Sunday, 27 June 2010

රුක් අත්තන මල මුදුනේ… උකුසා..!








ඉස්සර ළමා රංග පීඨයත් සැන්දෑ ප්‍රවෘත්තිත් අතර විනාඩි 15ක කාල ඉඩවරයක් තිබුණි. ඒ ඉඩවරය පුරවන අනිවාර්යය ගීයක වේ නම් ඒ 'රුක් අත්තන මල මුදුනේ' වෙයි.

රුක් අත්තන මල මගේ ජීවිතය හා බැඳී ඇත.

තාත්තා 1974-77 කාලයේ හසළක දුෂ්කර සේවයේ යෙදී සිටියේ ය. හැම ඉරිදාකම ගෙදර මහ 'පොයියංගමක්' ඇතිවෙයි. තාත්තාට නුවරින් හසළක බලා පිටත් වන බසය අල්ලා ගැනීමට බැරි වන තරමට පොයියංගම දුර දිග යයි. මට උණ හැදේ. 'මෙයාට සාංකා උණ' ඕක හරියයි' සැවොම පවසති. මගේ උණ හොඳ වෙන්නේ ඊළඟ සිකුරාදා තාත්තා ආ පසු පැමිණියාට පසු බව දන්නේ මා පමණි.

මට රුක් අත්තන මල මුදුනේ අසන විට (අවුරුදු 35ක් ගත වී) අදටත් ඇසට කඳුලු නැගේ.

ඒ තාත්තා ඈත යාම නිසා දුකින් ඇඬූ දරුවා මිය ගොස් නැති නිසාද? නැතොත් නුවරින් හසළක බසය වරද්දාගෙන ආපසු ආ තාත්තා සඳුදා නිවාඩු දමා [රෑ බසයේ යනු පිණිස] විවිධ වර හදා දුන් සරළ මුත් විස්කම් බඳු වූ කෙළි උපකරණ නිසාද? ගොයම් බට නළා, ගොක් නළා, ගොක් බඹරු, ගංසූරිය කොළ නළා ආදියෙන් ඇරඹි කෙළි බඩු ඇළේ වතුරෙන් කැරකුණු පෙති බඹරා හා 'සෙන්' තානය ට අදත් මනසෙහි ඈතින් දෝංකාර දෙන 'දිය හොල්මන' දක්වා වර්ධනය විය.

'අම්මේ තාත්තා ගෙදර එයිද?'

රුක් අත්තන මල ඇසෙන විටක අම්මා සිටියොත් මේ අතීත වාක්‍යය මතක් කරන්නීය. මේ 'නොස්ටැල්ජියාව' මා සිතේ ඇති කළේ නන්දා ද, ඇගේ තනුව ද, මහින්ද අල්ගම [ලොකු මාස්ටර්] ගේ පද වැල ද? මනෝ විශ්ලේෂකයෙකුට හොඳ විෂයයකි.

නන්දා ගේ තනුවේ මූලය උකුසා වන්නමයි, උකුසා වන්නමේ සියලු තාන හා තාල ලක්ෂණ අඩු නැතුව යොදා ගන්නා නන්දා‍, සිංහල සංගීතයක් ගැන 'පාරම් බාන' ජන කවියෙන් ඔබ්බට ගීතය ගෙන යෑමට කියා ගීතය ජන කවියෙහි ම ඔබා ලා මෙන්න, සිංහල සංගිතය යැයි කියන අයට ඉදිරියෙන් සූ සැට රියනක් උසට නැඟී සිටියි.

තානා... තනෙන තනම්
තානත් තනෙනත් තම්දෙන තානත්
ආදී වශයෙන් එන උකුසා තානමේ චමත්කාරය ගී තනුවෙහි නොනැසී යළි යළිත් පිළිබිඹු වෙයි.

ගීයේ අන්තරා වාද්‍ය ඛණ්ඩයෙහි එන රබාන හා ගැට බෙරය අතර වන සීරු මාරුව හා ගැට බෙර වාදනය ගීතයෙහි 'සංදර්භය' නොනැසී පවත්වා ගන්නේ වැඩි වෙහෙසක් නොගනිමිනි.

1953 අවුරුදු 16ක ගැටයෙකුව සිටියදී 'හේවුඩ්' ගිය තාත්තා අවුරුදු හතක් පණිභාරත, ගුණයා, කිරිගණිතා ආදී ගුරුන්නාන්සේලා අතින් උදේ 8ත් හවස 6ත් අතර නොකඩවා අභ්‍යාසයට ලක් විය. 1960 විශිෂ්ට ශ්‍රේණි සාමාර්ථයක් (කණ්ඩායමේ එක ම) ලබා රජයේ ගුරු සේවයට එකතු විය. ගෙදරින් එක කොළ කෑල්ලක් වත් ගෙන නොයන ඔහු 1991 44/90න් ඉතා අඩු විශ්‍රාම වැටුපක ට හිමිව ගුරු සේවයෙන් සමු ගන්නා තෙක් 100% සාමාර්ථ ප්‍රතිශතයක් නොකඩවා තබා ගත්තේය. ඔහු සමස්ත ලංකා තරඟ සඳහා නිර්මාණය කළ 'උඩරට මැණිකේ දුම්රිය' හා 'පෙරහර' තාල [බෙර] නාද කවි දෙක දැනට ඇත්තේ මගේ මතකයේ පමණි.

'ඔය මිනිහා ගමට වෙලා නාස්ති වුනා; පුදුම දක්ෂ මිනිහෙක්' පියරත්න මාමා නිතර කියයි.

මා විසින් සැළසුම් කරගත් මගේ මඟුල් පෝරුව තාත්තා මට දුන් දායාදයේ කොටසකැයි මට සිතේ. දුව නැටුම් පංතියේ ගුරුතුමියගෙන් පැසසුම් ලබන විට හා මෙතෙක් උගත් සියල්ල කොළකෑල්ලක් වත් නැතිව මතකයෙන් නටන විට හේවුඩ් ඇත්තන් 'වෑල්ඩින් ගුණේ' ගැන කියන කතා ඇත්ත බව දැනෙයි. 'කොල්ලෝ උඹ ද ගුණේ ගේ පුතා' යනුවෙන් නන්දා රත්නතුංග [ලෙංචිනා] පසුගිය දිනක ඇසූ විට හිතට මහත් සතුටක් දැනුනි.

[පුංචි රාළ බාස් -අත්තා- අලින්ට සපත්තු ඇන්දූ බව ද අලින් ලවා අදින කරත්ත තැනූ බව පොල්ගස්දෙණිය වලව්වේ සැට රියන් වී-අටුව තැනූ බව ද අසීරු නිසා බොහෝ වඩුවන් පිරිද්දීමට අසමත් වු පේරාදෙණියේ අක්බාර් ශාලාවේ මහ උළුවහු තිතට පිරිද්දූ බවද මා පිළිගන්නේ එහෙයිනි]

උකුසා, නෛඅඩි, අසදෘශ ආදී ගීත ගුණයෙන් අනුන වන්නම්, ගී කාපාලුවන්ට [ගජගා වන්නම කා දැමුවන්ට] අසු නොවී මිය ගියත් කමක් නැතැයි මට විටෙක සිතේ.

නන්දා ගේ ගායිකාව විසින් ගී තනු නිර්මාණ ශිල්පිනිය මරා දැමූනු බව මට මහත් දුකකින් සිහිපත් වෙයි. නන්දා ගේ තනු නිර්මාණ ශක්තියට දෙස්දෙන සැඳෑ කළුවර හා හදවිල කළඹන ගීත යුග්මය හා ඇය ළමා පිටියට කළ තනු නිර්මාණ රැස මතක් කරමි.

ඉස්සර ළමා රංග පීඨයත් සැන්දෑ ප්‍රවෘත්තිත් අතර විනාඩි 15ක කාල ඉඩවරයක් තිබුණි. ඒ ඉඩවරය පුරවන අනිවාර්යය ගීයක වේ නම් ඒ 'රුක් අත්තන මල මුදුනේ' වෙයි.

රුක් අත්තන මල මගේ ජීවිතය හා බැඳී ඇත.

22 comments:

  1. හප්පා... කාලෙකින් හිත පුරා බ්ලොග් එකක් කියෙව්වා... රුක් අත්තන මල මුදුනේ මට සවිවෙන්නේ මා එනතුරු බලා හිටින පුතුන් මතක් වී කඳුලු උනන දෑස් හරහාය...

    ReplyDelete
  2. මහා වංශෙ මොන ඉතිහාසයක්ද?

    ReplyDelete
  3. සෙන්ටිග්‍රේඩ්ස් ලව මරාගෙන කන්න හිතුනා.

    ලබන සතියේ සෙනසුරාදා සිරසෙන් රෑ 9ට සින්දු කියන්න ඉන්න නන්දා ව ඇත්තටම දකින්න ආසා හිතුනා.

    මෙහෙව් ලියපු උඹට පිං දෙන්න හිතුනා! අයියේ

    ReplyDelete
  4. සෙන්ටිග්‍රේඩ් ලත් පාං ගන්න සල්ලි හොයන්න එපායැ බං. හිත නරක් කර ගන්න එපා. ..

    ReplyDelete
  5. රුක් අත්තන මල මුදුනේ .. mei sinduwa mokadda ??? share karaganne puluwanda e sng eke ??

    ReplyDelete
  6. http://www.infolanka.com/miyuru_gee/con/c630.ram

    ReplyDelete
  7. නිතරම බ්ලොග් එක පැත්තෙ ආවත් කමෙන්ටු දාලම නැද්ද මන්දා.
    ඔන්න මේක ගැන නම් වචනයක් කියන්නම හිතුණා.
    අපූරු සටහනක්..

    ReplyDelete
  8. තාත්තා දුර යෑම නිසා ඇඬූ දරුවා තාමත් ජීවත් වීම කොයි තරම් අපූරුද . . . ඒ අපූර්වත්වය කොයි තරම්ද යත් මේ අපූරු සටහන අපේ හදවත් කඳුලින් තෙත් කල බව හා ලාංකීය නැටුමට ජන ගීතයට ජන නැටුමට පෙම ඇති සහෘද හිත් අවදි කල බවම ඒ අපූර්වත්වයට දෙස් නොදෙයිද . . ?

    ReplyDelete
  9. ආසාවෙන් කියවූ සටහනක්.... ඊයෙ හවස රුක් අත්තන ගහක් දිහා බලන් ඉන්න වෙලාවෙ මේ ගීතය මතක් උනා ඒත් ලියුවෙ කවුද කියල නම් දැනගෙන හිටියෙ නැහැ. අපි රුක් අත්තන කියන ගස් වර්ගයේ මල් පිපුනට ගෙඩි හැදෙන්නෙ නැහැ. ගෙඩි හැදෙන්නෙ ඊරිය කියන ගහේ.

    ReplyDelete
  10. දුකා ස්තුතියි මචන්,
    අන්ශ්, ගීතික ස්තුතිය්.

    රුක් අත්තන ගහ ගැන වෙනම ලියන්න පුලුවන්, ඒක වැවෙන වවෙන තැනේ හැටියට වෙන් වෙනම පේනවා හැඩ ගැහෙනවා. මරදානේ දුම් රිය බිංගේ කොටුව පැත්තට යනකොට දකුණට තියෙන උස ගහ, රාගම හරියේ තව ගහක් තියෙනවා.. කුඹුරු මැද්දේ වැවෙන ගස් වෙනස්, ඔය වගේ කියාගෙන යන්න පුලුවන්.

    ReplyDelete
  11. තිස්ස: ආයෙත් දවසක හමු වෙමු. ස්තුතිය්
    ලොකු: ලොකු ස්තුතියක්..

    ReplyDelete
  12. සිඩ්නි නුවර වෙසෙන නිශිති ගේ උඩරට නැටුම් ගුරුවරිය වන මාලා අබේවික්‍රම මහත්මිය ද ගුණතිලක බාප්පා ගැන දරන්නේ සමාන අදහසකි!!
    අපේ එකන් පලමු පෙළ සාමාර්ථයක් තිබුන එකම එක්කෙනා... පුදුම දක්ෂයෙක්....නමුත් තිබුන හැකියාවෙන් කිසිම ප්‍රයෝජනයක් ගත්තෙ නැහැ...

    රූපිකා අක්කා...

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. නුඹේ ලිපිය ප්‍රශත්ථයි . . . . ! නුඹට ජය !!

    ReplyDelete
  15. හුඟක් සoවේදී , කියවන්න ආසා හිතෙන සටහනක්, ගේ ලඟ දොළ පාර, වෙල් යාය මතක් වෙනවා. පාවහන් නැති නිරුවත් දෙපාවලින් වත්තෙ පිටියෙ ඇවිදින සිහිනය අලුත් උනා,, කොටින්ම කියනවා නම් ලoකාවට යන දිනය ඉක්මන් කර ගන්න හිතුනා,,,,
    ඔබට ජය !!!!!!!!!!!

    ReplyDelete
  16. Rupika akka, Dumii, Hari,
    Thanks.!

    ReplyDelete
  17. කීප විටක්ම අදහස් ලියා ඒවායේ ඌණ ප්‍රශස්ත බව නිසා බ්ලොගේ වටිනාකම අඩුවෙතැයි බියෙන් මකා දැමීමී. අකුරු අතුරින් නන්දාගේ ගීය හරහා තාත්තාව ප්‍රතිනිර්මාණය කරන ආකාරය බලන්ට ලස්සන ය. මේ වැනි දෙයක් ලියන්නට මගේ හිත නොනැමෙන්නේ ඇයි යන ගැටලුවට මා තුලින් ම උත්තර හොයන ගමන් හෂිත අයියාට ජයෙන් ජය පතමි.

    ReplyDelete
  18. ප්‍රශස්ත කියලා දෙයක් නෑ ලිශ් අදහස් තමා වැදගත්...! බය නැතුව ලියන්න..

    ReplyDelete
  19. hashitha methek maa kiyavuu obe hondama satahana.

    anikva naraka bavak nove kiwwe.

    ReplyDelete
  20. ආයිත් පාරක් කණ පුරොල අහ ගත්ත මේකෙන්.

    http://www.srisongs.com/nanda-malini/ruk-aththana-mala-mudune-video_7b2233645.html

    නන්දගෙ හැම සින්දුවකට ම වගෙ මං මේකටත් ආසයි, ඒත් මං මේකෙන් ටිකක් ඈත් වෙල උන්නෙ, අවු: 11ට පස්සෙ, එයා ආයිත් ආවෙ නැති නිසා කවදාවත් ම.

    පොඩිත්තිගෙන් මං ආයිත් මේ රසයට ළං වෙනවා. මෙහි රස විඳීම දෙපැත්තෙන් ම පුළුවන්.

    ReplyDelete
  21. මේ ගීතයට කැමැත්තක් තිබුණත් මෙච්චර දෙයක් මට හිතිලා තිබුනේ නැහැ. ඒක නිසා මේ පෝස්ට් එක කියෙව්ව ගමන් සිංදුව ආයි ඇහුවා. උපරිමයි :)

    ReplyDelete