Friday, 25 June 2010

ඇහැල මල්














[මාගම් තෙන්නකෝන්, පියසේන කහඳගමගේ, ඇන් ටී කරුණාතිලක හා ඇස් ජී පුංචිහේවා ගැන කෙටි සටහනක්]

උඹ කියවන්න පුරුදු වුනේ කොහොමද ? කෙනෙක් මගෙන් විමසයි.

රුසියානු සාහිත්‍යය ලාබෙට හැම තැනම තිබුණු යුගයක ඉපදුනු මම රුද්‍රිගූ, මානිල්ගම, කුරණගේ හා සිරිල් සී. නිසා කියවීමට පෙළැඹුනා යැයි කිවහොත් ඔවුනට අගෞරවයක් නොවේ යැයි සිතමි. රුද්‍රි
ගූ අපූරුවට පරිවර්තනය කළ 'නපුරු පාලකයො තුන්දෙනා' අම්මා මට රුපියල් විසි දෙකයි පණහකට රඹුක්කනදී අරන් දුන් බවද එය දින දෙකක් ඇතුළත කියවා අවසන් කළ බවද අද මෙන් මතකය.

1980 ඇරඹූ ‘දිවයින’ පුවත් පත අප වෙත අපූරු පුද්ගලයින් සිව් දෙනෙකු කැඳවා ආවේය.

කහඳගමගේ ගුරු සේවයේ රස කතා නමින් ලියූ ලිපි පෙළ අදීන, නිස්සරණාධ්‍යාශයෙන් පිරිපුන් ගුරුවරු බොහෝ දෙනෙකු ද ඔවුනගෙ අදම්‍ය ක්‍රියාකලාපයන් ද රසවත්ව කියා පෑවේය. කහඳගමගේ හා ඒ බොහෝ දෙනෙකු 1980 ජූලි රැකියා අහිමි වූවන් බවද ඒ හා සමාන කටුක හා අභිමානවත් සත්‍යයකි. ඔහුගේ කතා බොහොමයක කතානායකයා ඇස්. ජී. බව මිතුරෙක් කීය. ඇස්. ජී. හමු වූ මුල් දිනයෙහි ඔහුගේ අත දෝතින් අල්ලා ආචාර කළේ ඉහත නම් සඳහන් සිවු දෙනාටම බව කිව මනාය.

ඇස්. ජී. අදත් නිබයව ඔහුගේ පෑන ලෙළවයි. ඔහුගේ නූස් රූපකාය පොසිල ගත වූවා යැයි සැක කරන දුලබ සත්ත්ව විශේෂයක් මෙන් සිත් අලවයි.

කහඳගමගේ ගේ රැකියාව නැති වීම ලංකා සමාජය ලැබූ දායාදයකි. ඔහු රැකියාවෙහි යෙදී උන් පානම් පත්තුව අත් නොහළේය. සමාජ හා භාෂා පරියෙසන ගණනාවක නිරත වූ ඔහු දිගාමඬුළු ජනවහර, කමත, කෙත, කුඹුර, හේන හා ප්‍රබන්ධ කතා ගණනාවක් නිමා කළේය. අදටත් දෙවර තුන්වර කියැවෙන ඔහුගේ පොත් කියැවීමේ ආස්වාදය මනා කොට ලබා දෙයි.

ඇන්. ටී. ගේ පොත් අතරින් මා වඩාත්ම කියවා ඇත්තේ 'ගාඩි වංශය' [රොඩී] ගැන ඔහු කල කුඩා පොත් පිංචයි. නමුත් ඇන්. ටී. පසුව මා වෙත සමීප වන්නේ ඔහුගේ ජීවිත කතාව වන 'දිගු ගමනක කෙටි සටහන්' කියැවීමෙනි. 'දම් පිටි වැවේ විත්ති' නම් ළමා පොත පාසැල් පෙළ පොතකට සුදුසුය. 'ගුරුවරයා නම් උත්තම පුරුෂයෙකි' නම් එහි දෙවන උල්ලාසය නිදහස් අධ්‍යාපනය වචනාර්ථයෙන් ගෙන උඩ පනින බොහෝ දෙනෙකුට දෙන 'ඇඹුල්' පිළිතුරකි.

කෙටි සරළ වැකියෙන් ලියැවුන ඔහුගේ පොත් කියැවිමේ රුචිය වඩවයි. එහි වඩා ආකර්ෂණීය ලක්ෂණය වන්නේ කහඳගමගේ රටේ ගිණිකොන පැත්තේ සිට ලියූවා වැනි දේම ඇන්. ටී. වයඹ දිග සිට ලිවිමයි. ඔහුගේ පොත් කියැවීමට ඇවැසිකෙනෙක් ගොඩගේ සාප්පුවේ පරණ පොත් අවුස්සා කවර නැති පොත් බැඳ ගැනීම කළ යුතුය.

මෙකී ධාරාවේ කෙනෙක් කෑගල්ලේ යටියන්තොට වැස අභාවිත විය. ඔහු මාගම් තෙන්නකෝන් වුයේය. මාගම් මුල්වරට පළ වන්නට පටන් ගත් විට දිවයිනේ ඒ පිටුව එකතු කළ බව මතකය. පසුව ඒ ලිපි පෙළ ‘දිවි සයුරෙන් දිය දෝතක්’ යනුවෙන් පළ විය. මාගම් විසින් ලියූ ඒ ලිපි පෙළ බ්ලොග් ලියන කෙනෙකුට නිර්දේශ කළ යුතුය. එහි දැනුම හා ශෛලිය අදීනය විශිෂ්ටය. ලෝකය
කෙරෙහි මෙන්ම තමා කෙරෙහිද විවේචනාත්මකය. මාගම් වමේද ජාතිවාදයේද සරම සිහින් කෝටුවකින් උස්සා පෙන්වයි.

වී ඩී ලැනරෝල් මේ ධාරාවෙහි පුරෝගාමී වූ ලේඛකයා යැයි ඔහුට ප්‍රණාම පිණිස ලියා තබමි.ඇල්. ඩී. මැන්දිස් කලක් විසූ ගම්පහ ජයකොඩි වෙද මහතාගේ සාප්පුව අසල නිවස සොයා යෑමට පහසු නොවන මුත් ඒ කුමක්දැයි අනුමානයෙන් සිතීම ගම්පහ යන සෑම වරෙක ම මා අතින් කෙරෙයි.ඔහුද රසවත් ගුරෙකි, හිතුවක්කාරයෙකි, අපේ අම්මාගේ යෙදුමෙකින් කිවහොත් 'දණ්ඩවාල මිනිහෙකි' සියුම් වදන් සිත්තරෙකි. ඔහු අතිශයෝක්තියට නැඟූ ගමෙහි යථාව පෙන්වීය.

මේ සෑම දෙනාම කිසිදු ගුරුකුලයකට හසු නොවූ ස්වාධීන මිනිස්සු වුහ. ඔවුහු 'උප සංස්කෘති' ගත [sub-altern] වුහ. සමාජයේ මතු මහලෙහි
වූවෝ හෝ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යය නිසා සමාජ ගත වූවෝ නොවුහ. ලිවීම ලිවීම උදෙසා විනා අනෙක් අරමුණු උදෙසා භාවිතා නොකළහ. වාචාල වීමට ඕනෑවටත් වඩා දැනුම සහිත වූ නමුත් කිසි විටෙක එසේ නොකළ හ. ජන මනස ආලෝලනය කර රුවන් විමන් කරා ඉණිමං තනා නොගත් හ.

මේ සියල්ල ලියැවෙන්නේ ඇන්. ටී. ගේ පොතෙක අවසන් ඡේදය නිසා ය.
ඒ මෙසේය;

“මා කුඩාකල අම්මා මට කීවේ උතුරට හෝ නැගෙනහිරට හිස දමා නිදන හැටියට ය. මා මළ කල මගේ මෘත දේහය මා ඉතා ප්‍රිය කළ තේක්ක ලන්දේ ඇහැල ගහ යට හිස උතුරට සිටින සේ වළ ලන ‍ලෙස මම නියම කරමි. එ කල ඒ අවට ගස්වල කුරුල්ලන් කුඩු තනනු ඇත. කිරිල්ලියන් එහි බිජු දමා පැටවුන් පෝෂණය කරනු ඇත. ඉරි ලේනුන් හාවුන් කලවැද්දන් මුගටින් ඒ අවට දරුවන් සුරතල් කරනු ඇත. ඇහැල ගස කහ පැහැති මලින් ඒ අවට සරසනු ඇත. අනාගතයේ තේක්ක ගස් කපන්නන් විසින් මගේ වළ මතට එම ගස් පෙරළා දමනවා ඇත. ඇහැල ගහ කපන්නන් මගේ වල අවුස්සා මගේ ඇට කටු විසුරුවා හරිනු ඇත.” [දිගු ගමනක කෙටි සටහන්]

ඔවුහු අප ජීවිතය පෝෂණය කළ හ. ලෞකික ව අල්පයක් තරම් පමණක් ලබා නික්ම ගියහ. පුරුෂාර්ථ නිසා තාඩනයට, පීඩනයට ලක් වුහ, ලක් වෙයි. මේ කුඩා මිනිස්සු යෝධයන් මෙන් රාක්කයේ සිට මා දෙස බලා සිටිති. මට බොහෝ දේ උගන්වති.

මගේ මිදුලේ ඇහැල ගස දළුලා වැඩෙයි.

උඹ කියවන්න පුරුදු වුනේ කොහොමද ? කෙනෙක් මගෙන් විමසයි.



[පසු සටහන: මාගම් තෙන්නකෝන්, ඇන්. ටී, කහඳගමගේ හා ඇස් ජී අතරින් ඇස්. ජී. හැර අන් තිදෙන අප හැර ගොසිනි.]

5 comments:

Sujeewa Kokawala said...

Hashitha;

A very close experience. I have read some of the ppl you mentioned. And was a similar fan of reading like you said. Perhaps the times also matched to somewhat. And of course Russian books, notably Soviet Deshaya.

I like to name few more who may or maynot qualify the group of your classification. Sekara, Martin Wick, Wimalarathna Kumaragama. They lived in diff times, but they inspired me a lot, and I had an unchanged ambition of being a writer oneday, which still remains an ambition [:)]

Yes these ppl live in our hearts.

Sujeewa Kokawala said...

Shud have said that I didnot read much of sekara work, but what I read inspired me a lot.

හෂිත said...

සුජීව ස්තුතියි..!

Hermitian said...

හරිම රසවත් හෂිත‍ මේ ලියැවිල්ල කවදත් ලියනව වගේම පණ පිහිටවල වචන පාත්ති දමල කියවල ඉවර වෙද්දි ඒවායේ දළු මුල් දෙපැත්තට ඇදෙද්දී මේ වගේ පිළිතුරක් ලියන්නට හිතෙනව....

දිවයින පත්තරේ මම හරිහරියට කියවන්න ගත්තේ විජය පත්තරේ සහ මිහිර පත්තරේ මට බර අඩුවෙන්න පටන් ගත්ත කාලේ. ඒකත් මහ පුදුම ලිපියකින් කියල කීවොත් නිවැරදියි. නලින් ද සිල්වා ඒ දවස්වල මට මතකයි පොසොන් පෝයක් අල්ලලා ලියල තිබ්බා ගණිතමය ලිපියක් මිහිඳු හාමුදුරුවන්ගේ සුප්‍රකට අඹ ප්‍රශ්නය ගැන. ‍මම ඒ ලිපියෙන් තමයි ගණිතය සහ භෞතික ලෝකය අතර පළමු වතාවට සම්බන්ධයක් දැක්කේ... මම ඉස්සේල්ලම ඇදිල යන්නේ සාහිත්‍යයට නොවෙයි කියලයි මට මේකෙන් මතක් වෙන්නේ...නමුත් විජය හරි මිහිර හරි පත්තර කියවන්නට මා පෙළඹෙන්නේ චිත්‍රකතා කියවීමට තිබුන පෙර ආශාව නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි. ඒ කාලේ සිත්තර පත්තරේ සෙනසුරාදාට තාත්තා මිළදී ගත්ත නිසා අකුරු බැරි කාලෙත් අක්කා ලව්වා ඒක කියවගන්න එකෙන් කියවීම ගැන මහත් බලාපොරොත්තුවක් උපදින්න ඇති. මම අකුරු කියවන්න බොහොම ඉක්මනින් ඉගෙන ගත්තේ මේ චිත්‍රකතා තනියම කියවා රස විඳීමේ බලවත් වුවමනාව නිසා...මම මොන්ටිසෝරි යද්දිම යු‍නිකො ටෝගා ගජමෑන් කියවන්න ගත්තා. දැං නම් පුදුමත් හිතෙනවා මතක් වෙද්දි. මට මතකයි ඒ චිත්‍රකතා චරිත මම පැන්සලෙන් ඒ විදියටම කොපි කරන්න ගත්තා. ඒකෙන් මට චිත්‍ර හැකියාවක් තිබ්බ බව අනෙක් අයට එළිදරව් වුනා. මම ලස්සනටම ඇන්දේ මස්ගොබ පුප්ප ගත් යුනිකො තමයි. ඒ කාලේ බෘස්ලී ගොඩක් ජනප්‍රියයි. ගොඩක් පෝස්ටර් චිත්‍රපට පත්තරවල අතිරේක විදියට ඡායාරූප නිකුත් කළ බව මට මතකයි. මම බෘස්ලිවාදියෙක් ඒ කාලේ. මම කොණ්ඩ‍ය පවා කැපුවේ බෘස්ලි විදියට. මම කරණවෑමියට කීවේ බෘස්ලි විදියට කොණ්ඩේ කපන්න කියලයි. ඒ ඉතිං ගොඩක් පොඩි කාලේ මතකයන්....

බෘස්ලිගේ ජීවිත කතාව චිත්‍රකතාවක් විදියට පළ වුනා මතකයි ඒ කාලේ. මම ඒක පස්සේ කාලෙක දැක්කා එකට එකතු කරල පොතක් හදල තිබ්බා කවුරුහරි. මම ආසාවෙන් කියවපු පොතක් ලෙස එය මට හොඳට මතකයි. දෙසැම්බර් මාසේ ගුණසේන පොත් සමාගම පැවැත්වූ පොත් සල්පිලෙන් ලිහිණි පොත් අක්කයි මමයි අරන් එනවා ඒ කාලේ. මාතර ගුණසේන සාප්පුව තිබ්බේ බ්‍රෝඩ්වේ සිනමා ශාලාව තිබ්බ ගොඩනැගිල්ලෙමයි. ඒ සාප්පුවට ගියාම මට පුදුම ආසයි පොත් ගන්න. නමුත් මට සිද්ද වෙන්නේ අක්ක ගන්න පොත් බලන්න විතරයි. මොකද මට පොත් ගන්න තරම් වයසක් නැති නිසා...මම රාක්ක දිහා බලාගෙන ඔහේ ඉන්නවා අක්ක පොත් තෝරනකම්. මට එක ලිහිණි පොතක් මතකයි සරසවි සිරිත කියලා...ඒකේ තිබ්බේ විශ්ව විද්‍යාලයේ නවක වදයට පත්වෙන ශිෂ්‍යාවක් ගැන.

මම අදටත් චිත්‍රකතා වලට ගොඩක් කැමතියි.

හෂිත said...

මේ නම් බොහෝ දුර ගෙන යා හැකි කතාවකි. ස්තුතියි..!