Monday, 5 July 2010

සිංහ නාදය…..!



වෙසක් ඇවිත් ගොසිනි, පොසොන් ද ගෙවී ඇත.

ඊයේ හවස සුරාජ් ගේ තාත්තාගේ අවුරුද්දේ මතක බණ ඇසීමට දෙමටගොඩ ගියෙමු. බොහෝ කලකට පසුව මිතුරු බස්, කවට කතා හා නරුම දෙඩුම් නිසා සතුටුව ගෙදර පැමිණියෙමු. වෙසක් උදා වන විට මට නිතර මතක් වෙන ගීයක් වෙයි, බී වික්ටර් පෙරේරා ගයන ‘සම්මා සම්බුදු තිලොව තිලක හිමි’ ගීය නිතර නෑසෙයි. එම ගීයෙහි සෝකී අග කොටස 'ගහ කොළ මැළැවී මල් පල වියැළී' ආදී වශයෙන් පිරිනිවන් මංගල්ලය විස්තර කරයි. රේඩියෝ නොඅසන නිසා එය ඉබේ හෝ ඇසීමට ද ඉඩක් නැත.

මට අනුව බොදු ගී අනේක අඬවැඩියාවන්ගෙන්, පුහු වර්ණනාවන්ගෙන් හා අතළොස්සක් වූ ගීතයන්ගෙන් ද යුක්ත වෙයි. යළි යළිත් අසන්නට හිතෙන, ගීයෙහි සරළ පදවැල අසත් අසත් නොසිතූ විරූ අරුත් උපදින බොදු ගී සුදුර්ලබය.

බුදුහූ නිසග, අලෞකික කවියාණ කෙනෙක් වූහ. ඔවුහූ කවි සුත්‍රයක් දේශනා කළෝ එහෙයිනි. ‘කවි සූත්‍රය’ කවියෝ වර්ග හතරක් පෙන්වයි. චින්තා කවි [විඥානවාදී කවියා] සුත කවි [පෙර ඇසූ අයුරින් කවි පබඳින්නා] අත්ත කවි [මනසින් බැහැර පවත්නා වස්තූ රසවත් ලෙස දකින කවියා] පටිභාන කවි [ප්‍රතිභාපූර්ණ විෂය ලෝකයෙහි අලෞකික අරුත් දකින කවියා] යනුවෙන් ඔවුන් වර්ග කළහ, බුදුහු.

මේ වැල්වටාරම් එක ගීයක් නිසාය.

ඉස්සර වෙසක් උදා වන විට අපි තොරණ ගැසීමට සූදානම් වෙමු. උදේනි තොරණ ගැහීමටත් පෙර කැසට් දෙකක් පුරා බොදු ගී පටිගත කර ගනී. තොරණ ඉදිකර නිමවනතෙක් හා ප්‍රදර්ශනය කර නිමවන තෙක් ඒ ගී ඇසෙයි. ටී ෂෙල්ටන් පෙරේරා ගේ ගියක් එහි වෙයි. එහි නොවූ එක් ගීයක් සුදුර්ලබ බොදු ගීයක් වෙයි. ෂෙල්ටන් පෙරේරා තනු යොදා ගයන මේ ගීය බොදු ගීයකැයි දන්නා අය කී දෙනෙක් වෙත්ද?

එගොඩහ යන්නෝ - තව කවුරුද ඉන්නේ
මෙගොඩහ යන්නෝ - තව කවුරුද ඉන්නේ

පමා නොවන්නේ - අඳුර වැටෙන්නේ යනවා
නම් එන්නේ
මම මේ ගඟුලේ - අඟුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා
එගොඩහ යන්නෝ - තව කවුරුද ඉන්නේ
මෙගොඩහ යන්නෝ - තව කවුරුද ඉන්නේ

ගඟුල අනෝමයි අද මට - වෙහෙසයි තව කවුදෝ ඉන්නේ
එගොඩහ යන්නෝ - මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ

එහි අරුත් පහදා ගැනීම ඔබට තබා මම මගේ වැල් වටාරම ලියමි.

මේ ගීය ගැන තහවුරු කර ගැනීමට ගයා සොයා ගත යුතු විය. ගයා කාර්යය බහුල විය. ගිය සෙනසුරාදා ගයා අහුවිය. 'මචං මගේ නිගමනය හරි නේද?' ඔහු එය ස්ථිර කළේය. 'ගැඹුරු අගාධ කියන අර්ථයෙන් තමයි අනෝමයි කියන වචනේ යොදලා තියෙන්නේ, එහෙම සංසාරෙක එගොඩ මෙගොඩ දෙගොඩම ගියේ එක්කෙනයි නෙ බං.' මේ ගීයේ චමත්කාරය මහා සිංහනාද සූත්‍රය සිහිකරයි. උස් මනසින් යුතු වූ තැනැත්තේ පමණක් එබඳු සිංහ නාදයකට සමත් වෙයි.

ගයා ගේ පියා ගී රචකයෙකි. ඔහු වටා බොහෝ කතා ගෙතී ඇත. ඒ කතා කාට වත් හිරිහැර කළ කතා නොවූ බව ගයා ගේ පියාට ගෞරව පිණිස ලියා තබමි. ගයා පහත ඡෙදය සිය පියා සමරා කියනු අසා අපි සළිත වීමු. සිය පියා කෙරෙහි වූ අසමාන ආදරය ගයාගේ හඬෙහි විය. '

වැසිබර සැඳෑවක ම පියාණන්ගේ අතැඟිල්ලෙහි එල්ලී කලබල දෙමටගොඩ නගරය මැදින් ඇවිද ගිය හැටි මට සිහිවේ. බුලත් විටට හුණු යෙදූ ඔහුගේ ඇඟිලි තුඩුවල තැවරී තිබූ සුදු වියළි හුණු පැල්ලම්ද දුම්කොළ කහට වල සුවඳ ද සිහිනයෙන් මෙන් මට තවමත් දැනේ. වැස්සෙන් මා රැක ගන්නට මා හිස මත තැබූ ඔහුගේ අල්ලෙහි බර මට දැනෙන්නේ පිය සෙනෙහස පිළිබඳ ගැඹුරු හැඟුමක් ලෙසිනි.
-ගයා- සසර වසන තුරු [ඩෝල්ටන් අල්විස් : නිර්මාණ නින්නාද]

ෂෙල්ටන් පෙරේරා ද ඩෝල්ටන් අල්විස් ද දෙමටගොඩ විසූහ.

ආශ්‍රිත ලිපි: කවියෙහි ප්‍රතිභාවය -ඩෝල්ටන් අල්විස් -

6 comments:

Il mondo di una povera pazza said...

පට්ට ලිවියවිල්ල හසිත. මම උඹව කියවමින් සිටිමි.

Kalith said...

මේ සටහන දුටු නිසාම ගීතය අහන්න හිතුනා. ෂෙල්ටන් පෙරේරා මහතා ගැයූ මුල් ගීතය මා ළඟ තිබුනත් ඒකෙ තිබුනේ ගීතයෙන් බාගයයි. එනිසා ඒ සින්දුවම ඔහුගේ පුත්‍රයා පස්සෙ කාලෙක කියපු එක තිබිල ඇහුව...සෑහෙන්න දුක හිතුන ඇහුවම..
ඔක්ටපෑඩ් එක ගහන්නෙ සින්දුව ලස්සන කරන්න හිතාගෙන වෙන්න ඇති...අද කාලෙට හරියන්න tempo එකත් පොඩ්ඩක් වැඩි කරල...කියන්න තියෙන්නෙ මෙච්චරයි ඒ ගැන..මේ යකා සින්දුව කාලා! ගීතයෙන් කියවෙන්නෙ මොකද්ද කියලවත් නොදැන ඔය වගේ දේවල් කරන එක ඇත්තටම ශෝචනීයයි.

Loku said...

ඩෝල්ටන් ගේ ගී පද මුලින්ම ඇහුණෙ මට නන්දා මාලිනීගෙ හඬින්. ජීවිතේ හා හපුරා කියල දැක්කෙ නන්දගෙ ශ්‍රවණාරාධනා. එතකොට උසස් පෙළ ලියල රස්තියාදු වෙන කාලෙ. පංතියෙ කොල්ලෙක්, නිමල් එක්ක මාදම්පෙ සෙන්ට්‍රල් එකේ ශාලාවෙ ඉස්සරහම පේලිවලයි අපි පැන ගෙන පැන ගෙන ගිහින් වාඩි උනේ. ෆෝ ඒස් පැකට් එකකුත් තිබුණ සාක්කුවක. ඒක එහෙමම ගෙදර ආව. මේව සීගි‍රියෙ සිතුවම්, අජන්තාවෙ කැටයම් වාගෙ හිත්වල සිත්තම් වෙලා කැටයම් වෙලා තියෙන දේවල්. ආපහු රිවයින්ඩ් කර කර බලන්න පුළුවන් හීන එව්ව.

හැත්තැ හතේ අටේ කොළඹ සරසවියෙ අපේ යාළුවෙක් මොති ගොනු කරපු වෙසක් බැති ගී කාණ්ඩයක් අරන් වටේ ගියා අපි. අපේ බැච් එකේ කර්ණිකා, සුමනා ජයතිලකගෙ, කේ. ජයතිලකගෙ දුව, රේඩියෝ වැඩසටහනකට වෙලාව අරන් දුන්න. නිවේදක මම වෙච්චි, ලියාගෙන ගිය කොලේ බලල සුමන කියනව “අයියො තව ටිකක් හොඳට කියන්න පුළුවන් නම් හොඳයි ... ඩෝල්ටන්... අනේ මේක බලල හරිගස්සල දෙන්න” කියල. ඩෝල්ටන් පැන්සල අරන් පොත් පිටු පිරෙන්න ලිව්ව මතකයි. මොතිය ඔළුව දාල ‍කැපුව බාගයක්.

දෙදාස් හයේ ලංකාවට ගිය වෙලේ හොයාගෙන හොය‍ාගෙන අනෝමලගෙ ගෙදර ගියා. ෆෝන් කරලයි ගියෙ. පුටුවෙ වාඩිවුන ගමන් පුතා ඇවිත‍් රේඩියෝ එකේ බොත්තම් ඔබනව. අර රේඩියෝ සටහනේ කැසට් එක. ඒක පටන් ගන්නෙත් “අනෝම ගුණ ඥාණ සම්ප්‍රයුක්ත ...”

තුති හෂිත.

හෂිත said...

මේ ලිපියේ යමක් ඇත්තම් එහි ගෞරවය ඩෝල්ටන් හා ගයා පිය පුතුන්ට හිමිවිය යුතුය.

රන්ගි, කලිත්, ලොකූ ස්තුතියි

ඩෝසන් said...

හෂිත

අපි දෙන්න ඩෝල්ටන් ගැන ඊයේ පෙරේදා කතා කරේ මොකද කියල මට නිනව්වක් නැහැ.
නමුත් මේ සටහන් කියවද්දි අල්ලියා ගැනයි මට මතක් වුනේ. මට අල්ලියා හමු වුනේ අන්තිම‍ටම ‍ගිය දෙසැම්බරයේ ද කොහෙද...මතක නැහැ හරියට. මම දැනං හිටියා අල්ලියා ඇතුළු පවුලේ කට්ටිය එයාලයි තාත්තා ගැන පොතක් කළ බව. මගේ ගාව ඒ පොත ඒ වෙද්දි තිබ්බා.

"සසර වසනතුරු-ඩෝල්ටන් අල්විස් නිර්මාණ නින්නාද"

Chirantha said...

මට ඔබට දෙන්න ලස්සන කමෙන්ට් නැහැ සහෝදරයා..මේක ඇතුලෙ තියෙන ඒවා ගන්න ගියාම ඔව්වට වෙලාවක් නැහැ..Chirantha