Tuesday, 29 October 2013

කෝ මාගේ සේපාලිකා?






රුක්මණී යනු පුරාවෘත්තයකි. ඇය ශ්‍රී ක්‍රිෂ්ණ ගේ බිරියයි.

රුක්මණී සත්‍ය වශයෙන් පුරාණයකි.
 
1930 ගණන් වල රුක්මණී දේවී තරුණ නෝනා අපේ තැටි වලට පමණක් ගී ගයන්නීය යනුවෙන් වූ [එච් එම් වී විය යුතුය] වෙළඳ දැන්වීමක් එවක දිණමිනේ පලවී තිබී හමුවිය. මිනර්වා යනු රෝමක සරස්වතියයි, ඇයගේ නමින් වූ නාට්‍ය කණ්ඩායමේ රඟපෑ, ගායිකාවක වූ රුක්මණිය හොලිවුඩ් හි ප්‍රකට ජුලී ගාලන්ඩ් [විසර්ඩ් ඔෆ් ඕස්] සිහිකරයි. ඇයගේ නෙත් ගසාලා නම් මුවෙකුගේ බඳු ය, ලබන භවයක උර්දු කවියෙකුවැ ඉපිද ඇය වෙනුවෙන් ගසාල් ගීයක් ලියන්නට ඇත්නම් යැයි සිතේ.


රුක්මණිය ගේ මරණයද පුරාවෘත්තයකට ගැලපෙන එකකි. ජරාවට පත් නොවී මියගිය ඇය එලෙසම අමරණීය වී ඇත.
 
අපේ තාත්තා පැටි වියේදී දිප්පිටිය හා දෙමළහිරිය අතර වූ සංගිලිපාලම අසල 'කැලෑහඳ' රූගත කරනු කරන විට 'කැලෑහඳ' බැලීමට පාසැලෙන් කට්ටි පැන්න බවද, අත්තා පැමිණ දෙකක් දී ගෙදර ඇදගෙන ගිය බවද ඔහු තවමත් අභිරුචියෙන් විස්තර කරයි. දිප්පිටියේ මහකඩෙන් ගෙනා රබර් රොටී මිටි දෙකක් මාලනී වෙනුවට මා ඔයට පැන්න බව අපේ ගමේ වැඩිහිටියෝ පවසති. රුක්මණි ඇහින් දැකීම ඔවුන් හට සරස්වතී දැක්කා වැනි සතුටක් බව වියපත් මුහුණු වලින් මතුවෙන මන්දස්මිතයෙන් පලට වෙයි.[ආරියවංශ රණවීර මහකඩේ පල්ලමේ නාන මංකඩ ගැන ඔයබඩ වවුල්ලු හි ලියා ඇත]. 
 
ළමහාමි ද [හිඟන කොල්ලා] , මාලනී ද [කැලෑහඳ] මා ඔයේ දෙමළහිරිය පැත්තේ පූජාගොඩ ඉඩමේ කුඩා පැලක විසූ බව හිතා ගැනීමට මම තවමත් කැමැත්තෙමි. 
 
රුක්මණියට පෙම් බැඳිම වරදක් නොවේ, එසේ නොවන්නේ නම් වරදක් වේ.
 
'මාගේ පෙම්වතා' චිත්‍රපටියේ රූගත කිරීම් වලට මදුරාසි ගිය කණ්ඩායම නතර වී හුන් හෝටල් උයනේ තැනෙක පාරිජාත [පරසතු, සේපාලිකා, පාරිජාද [දෙ.], ශේෆාලි/ශියුලි(බෙං.), හර්සින්ඝර් (හින්.)] රුකක් විය.
 
සේපාලිකා උපත ගැන කතා දෙකකි. එකක් නම් කිරිසයුරු මත්ගැසුමෙන් උපන් පරසතු රුක එය බවයි. ගෝවින්දයා එය සිය නිවෙසට ගෙන ගිය බවත්, සත්‍යභාමාව හා රුක්මිණිය අතර එය කාගේ නිවසේ පැල කළ යුතුද යන්න ගැන තරඟයක් වූ බවත්. කපටි ක්‍රිෂ්ණා එය සත්‍යභාමාවගේ මිදුලේ පැළ කළේ මල් රුක්මිණියගේ මිදුල පුරා වැගිරෙන අන්දමින් බවත් එය කියයි.

අනික පාරිජාතා කුමාරිකාවගේ කතාවයි. ඇය ඉරට පෙම් බැන්දාය. හිරුහු ඇය විවා කරගත්තේ කිසිදා ඉවත නොබැලිය යුතු බවට වන ගිවිසුමක් සමඟයි. ගිම්හානයේ හිරු දුටු එක් මොහොතක පාරිජාතාවගේ නෙත් පිය හැකිලින. හිරු ඇය ඉවත දැම්මේය. ඇය සියදිවි නසා ගත්තා ය. ඇයගේ සොහොනෙන් සේපාලිකා ගස මතුවිය. හිරු ඇය රැයෙහි හමුවීමට වරම් ලබා ගත්තේය. හිරු රැයෙහි සිපගත් සේපාලිකා ඉමහත් සුවඳ විහිදුවමින් උදයේ පොළවට පතිත වෙයි.  
 
සිනමා කණඩායමේ වූ හර්බි රුකමණී ට පෙම් බැඳි කෙනෙකි. ඔහු සේපාලිකා රුක යට ඇති උයන් අසුනෙහි හමුවන බවට රුක්මණිය ගිවිස්වා ගත්තේය. ඔහු සපථ කළ වේලාවට එහි ගිය නමුත් රුක්මණිය ට එහි පැමිණීමට නොහැකි විය. ඔහු සඳපහන් රැයෙහි බොහෝ වෙලාවක් පොරොත්තුවෙන් පසුව යන්නට ගියේය. පසු වී එහි පැමිණි රුක්මණියට හමු වූයේ උයන් අසුන මත සේපාලිකා මලින් තනා තිබූ වැකියකි.
 
'කෝ මාගේ සේපාලිකා?'

එස් එස් වෙදා ගේ සංගීතයට රුක්මණී හා වේදා ගයන මේ ගීයේ පදමාලාව හර්බට් එම් සෙනෙවිරත්න විසින් රචනා කරන ලද්දකි.

මින් වසර හතරකට පෙර සිටවූ සේපාලිකා ගසේ දැන් මල් පිපෙයි. රුක්මණියද ක්‍රිෂ්ණාද, රුක්මණිය ද හර්බි ද එහි පැමිණ අල්ලාප සල්ලාපයෙන් පසුවනු ඇත.


හෙට උදෑසන ගස වටා දැවටුනු ගැඹුරු සේපාලිකා සුවඳෙහි ඒ පෙම්කතා මුසුව ඇතියැයි හඟිමි.

'කෝ මාගේ සේපාලිකා?'



ස්තුතිය: මෙහි ගීතය හා බැඳුනු පෙම්කතාව කියාදුන් බර්ටි මාමා ට.


5 comments:

කතන්දර කාරයා said...

ලියවිල්ල සුන්දරයි!

රුක්මනී දේවී මගේ අම්මාගේ ප්‍රිතම ගායිකාව නිසා පොඩි කාලේ ඉඳලාම මේ සින්දු අසා තියෙනවා. ලඟදී සුනිල් ආරියරත්නත් කියා තිබුණා ඔහුගේත් ප්‍රියතම ගායිකාව රුක්මනී දේවි බව.

මට නං රුක්මනී දේවි ගේ කටහඬ මහා විලාපයක් ලෙසයි දැනෙන්නේ. ඩේසි ඩැනියෙල් ගේ නංගී හෙලන් ඊටත් එහා!

Podi Kumarihami said...

ලියවිල්ල ලස්සණයි. අනේ තරහා නැතුව ෆොන්ට් එක වෙනස් කරන්ට. අකුරු කියවන්ට අමාරු ගතියක් තියෙනවා. පාටත් හින්දා වෙන්ට ඇති.

තරුරසී said...

රුක්මණී‍දේවි ගැන ලොකු කැමැත්තක් නැති වුණත් මේ සුන්දර සටහනට නම් කැමැත්තක් ඇති වුණා...

රුක්මණීදේවී අලුත් ඇහැකින් දකින්න ඇරයුම් කරන සටහනක්...

Nadeesha Chandrasena said...

මම එතෙක් මෙතෙක් කියවූ සුන්දරම ලියවිල්ල මේකය.
මීට වඩා හොඳ එකක් මට දකින්නට නොලැබේවා ය.

Nadeesha Chandrasena said...
This comment has been removed by the author.