Monday, 14 October 2013

මම අජන්තාට බය ඇත්තෙමි.

artiest1.jpg (15800 bytes)

වෙන ගී පද රචකයෙකු ගැන යමක් ලිවීමට මැලි නොවෙන මම අජන්තා ගැන මෙතෙක් ලියා ඇත්තේ එක පේලියක් පමණකි. ඒ මෑතකදී ලියූ 'අජන්තා, දන්නා මැටි වලින් නොදන්නා රූප මවන කෙනෙක්' යන පේලිය පමණකි. 


මම අජන්තාට බයද? මම මගෙන්ම අසමි. අජන්තාට බය වීමට හේතු සොයමි. අජන්තා ට බයවීමට ඇති ආසන්නතම හේතුව ඔහුගේ පදමාලා වලින් වෑහෙන ප්‍රමෝදය යැයි මට සිතේ. ඒ සඳහා පදමාලා තුනක් ගෙනහැර පාමි.


1. පොකුරු පොකුරු මල් සැණකෙළි..

තරුණියකගේ හිතේ මෝදු වෙන ප්‍රේමණීය ප්‍රමෝදය මේතරම් ආවේගයකින්, ප්‍රචණ්ඩව ග්‍රහණය කරගත් වෙන ගීයක් අසා නැත්තෙමි. නුහුරු හැඟුම් ගැන සවිස්තර ව ස්පර්ශ කරන අජන්තා පුළුල් සංකේත ගොන්නකට ගින්නක් මෙන් ඒ හැඟීම් ලවා ගිනි තබවයි. මිටියාවත සුදු මීදුම්.. පාවි පාවි යන යුවතියක්.. ආදරයද මේ දැනෙන්නේ? ප්‍රශ්නය අජන්තා අතින් වචන කැන්වසයක චිත්‍රණය වෙන්නේ ස්ටිල් ලයිෆ් ලෙස නොවේ, ඉතා වේගයෙන් සංක්‍රාන්ති වෙන ඇනිමේට් කළ රූප සමූහයක් ලෙසිනි.

2. මංගල මල්දම..

සිංහල ගී සාහිත්‍යයේ පිරිමි දෙන්නෙක් කියන ශෘංගාරය උතුරන ලොකුම වහසි බස් [පොර ටෝක්] සමූහය වෙන මංගල මල්දම ගීය උහුලා ගන්න අමාරු සංකේත සමූහයකි. එකෙකුට එකෙක් පරාජය නොවෙන අන්දමට දෙදෙනා අතටම උපමා ප්‍රදානය කරන අජන්තා; කිඳුරු විමානේ කිඳුරු ලියන්, සුරංගනාවන්, වන දෙව් ලියන් කැඳවන්නේ අති ශූර ඉන්ද්‍රජාලිකයෙකු පරිද්දෙනි. සද්දන්ත ඇතුන්, රන්පාවඩ, කසී සලු, ගාන්ධාරයේ විලවුන් මැවීමට ඔහු කලබල නොවී සමත් වන්නේ ඒවායේ වගතුග දන්නා යාත්‍රිකයෙකු/සංචාරකයෙකු ලෙසිනි.

3. විල්ලුද පුංචි දෙපා.. 

ඔහු මේ ජනප්‍රිය ගීයට පණ දෙන්නේ කව් ලැකියට හා ලෙව් ලැකියට එකසේ පණ දෙමිනි. සදාචාර වහන්තරාවක රිංගා සාහිත්‍ය රස විඳීම නොකළ යුතු බව කියාදෙන අජන්තා පිරිමියාගේ අප්‍රකාශිත විඥානය එලියට ඇද දමන්නේ 'හිත වාවන්නේ නැතී.. දිවි නහ ගන්න හිතේ' යනුවෙන් ගුප්ත, ගූඪ පිරිමි සන්තානය එළිමහනට කැඳවමිනි.

අජන්තා ගේ පදමාලා ගැන ලීවීමට වචන ගොනුකළ යුත්තේ සීරුවෙනි. පසුගිය ජාත්‍යන්තර ගැහැණු දරුවාගේ දිනයේදී ගෝතමී විද්‍යාලයයේ කෙල්ලන් රංචුවක් බෝධියේ විහාරයේ ගීය ගයනවා අසා සිටි මට සුනිල් සරත් පෙරේරා ඒ ගීය ගැන සිය දියණියන් හා කියූ[වාලු] කියන කතාවක් සිහිවිය. 'අජන්තා ඕක ලිව්වට පස්සෙ ආයේ ඒ ගැන ලියන්න දෙයක් නෑ' ..

ගිය සිකුරාදා සිට ඔලුවේ කැරකුණු හිතිවිලි එවැනිය.. ගැලවීමට ඇති එකම මග ඒවා එළියට දැමීමය.. 

මේ ලියා ඇත්තේ එක මුහුණතක් ගැන පමණි. දියමන්තියකට බොහෝ මුහුණත් ඇත..

6 comments:

කතන්දර කාරයා said...

ඔව් ඇයි වින්කල් බාස්?

සාතන් said...

මේව අහනකොට අද ලියවෙන ඒවා ගැන කළකිරෙනව..

පුළුවන් නම් හෂිත අයියෙ ලිපියෙ අකුරු පාට වෙනස් කරන්න.. කළු පසුබිමේ දිස්නෙ දෙන පොඩි අකුරු කියවන්න අමාරුයි..

Lishan kasun sri said...

මේවා එතෙන ලියවෙන්න මොහොතකට කලින් මෙතන ලියන්න හැකිනම් වටිනවා..,
මේවා රැකෙන්න ඕන වචන..!
කොමෙන්ට් නෙවෙයි.., මේ ලිපි ගැන මම කියන්නේ

Sujeewa Kokawala said...

මම අජන්තාගේ ගීතවල දකින්නේ අම්බානක ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් එකක්. හෂිත අයියා දියමන්තියකින් ඒක වඩාත් කලාත්මකව සංකේත කර ඇත.

Neranji Ekanayake said...

අතු හළ හැකි එකඳු වචනයක් වත් නොලියූ මිනිසෙක්.

තරුරසී said...

ඒ ගී මිහිර ගැන කවර නම් කතා ද?