Tuesday, 22 November 2011

ප්‍රේම වෛරය හා ආලය විඥානය



සයිමන් කියවූ පසුව ලෝකය වෙනස් වේ. කුඩා දූපතක ජීවත් වන කෙනෙකුට සයිමන් බඳු ලේඛකයෙකු බිහිවීම රාජ්‍යයක් පහළ වීම හා සමානය. සයිමන් අපේ ජීවිත හා බැඳි ඇත්තේ දුරිනි, ළඟින් නොවේ. දුරින් නොවේ ළඟිනි. අප පෙමින් බැඳුනු කාලයේ සයිමන් ඉතා කුඩා පිරිසක් අතර සැරිසැරූ දඩයක්කාරයෙක් විය. ඔහු තෙරුම් ගැනීම ගුප්ත විද්‍යාවක් විය. සයිමන් ගේ කතා මුද්‍රණ යන්ත‍්‍ර වල හිර වි තිබිණ. සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කවරයක් වත් දකින්න ඉඩක් නොතිබිණි.

සයිමන් මිල දී ගැනීම ද විශාල දුෂ්කර කාර්යයක් විය. අමතර පංති සඳහා ලැබුණු මුදල් සයිමානු සාහිත්‍යය මිල දී ගැනිමට යෙදවුනි. 89 කලබැගෑනියෙන් පසුව ඉදිවූ සාංදෘෂ්ඨික කථාන්තර අතර සාපේක්ෂනී අගතැන් පත් විය. වැඩිහිටියන්ට අහු නොවන ලෙස දේශපාලන පත්‍රිකා තබාගත් ආකාරයටම සාපේක්ෂනී තබා ගැනීමට සිදු විය.

සයිමන් කියවීම කළ යුතු විදිය හිතමින් සිටි පසුගිය අවුරුදු ගණන පුරා ඒ පිළිබඳ නිශ්චිත චිත්ත රූපයක් නොවිනි. ඊයේ කෝච්චියේ යමින් මේ ගැන සිතු මට සමන් ගේ සිංහල ජාතියේ වංශ කතාව සංසාරාරණ්‍යය සහ සයිමන් නවගත්තේගමපොත මතක් විය. එනයින් සයිමන් එක වර මහා ආඛ්‍යානයද, චූල ආඛ්‍යානයද, සයිමනීය ආඛ්‍යානයද, වාක්‍යයක, ඡේදයක, පරිච්ඡේදයක, කෘතියක යොදන අන්දම රූපයක ආකාරයෙන් මැවුනි. සයිමන් එක් කතාංශුවක් සැමවිටම එකී ත‍්‍රිකය මත තුලනය කරයි. ඔහු ගේ උපමා රූපක අලංකාරික මේ ත‍්‍රිකය විසින් පොහොසත් කරවයි. සයිමන් කියවීම ආස්වාදනීය වෙන්නේ මේ ත‍්‍රිකෝණය මැද මමකියවීමේ ක‍්‍රියාවලියෙහි නිරත වන විටය.

සයිමන් ගේ පොත් ලබා ගැනීම, කියවීම, රැක ගැනීම ඒවා ගැන කතා කිරීම නිසා දැනුමක් උපදියි. අපේ ගෙදර උන්දෑ ද මම ද මේ මොනවා හරි කියවා මොනවා හරි කියවමු. සයිමන් අපි දෙදෙනාම ප‍්‍රිය කරන විෂයයකි. පසුගිය වසර විසි එක පුරා සයිමන් එකතු කරමින්, කියවමින්, ඒ ගැන කියවමින් ගත කළ යුගය ආස්වාදනීය එකක් වන්නේ මක් නිසාද? පේරාදෙණියේ, සයිමන් කියූ මල් නොවරන කහ රොබරෝසියා ගස සොයමින් මාස් කන්ද පාමුල ඇවිද්දේ කිසියම් ආස්වාදනීය උමතුවක් නිසා නොවේද?

මහායානයේ ලංකාවතාර සූත‍්‍රය රාවණා ගැන විසි අට වතාවක් සඳහන් කරයි. එහි හරයාත්මක තේමාව වන ආලය විඥානය සත්ත්වයා විසින් රැස් කරන ලද කර්ම බීජ රැඳී පවත්නා ස්ථානයලෙස හැඳින්වේ. ආලය නොනැසී පවතින බවද ආලය විඥානය හා විඥාන සංස්කාරයන් එහි ප‍්‍රක්ෂේපණය බවද එය තව දුරටත් පැහැදිලි කරයි. ආලය විඥානය හොඳ හා නරක පදාර්ථ කොට ඒවා මුහුව පවතින ස්ථානයයි.

සභ්‍යත්ව සතක් යටට යන සයිමන් සොයා පාදා ගන්නා පොරව මෙන් ආලය විඥානය මළ නොබැඳි අලුත් වෙමින් පවති. බුද්ධෝත්පාද මුහුර්තයේදී සිදුහත් තාපසයා වජ්‍රාසනය මත හිඳ භූමි ස්පර්ශයෙන් මාරයාට පිළිතුරු පිණිස මහි කාන්තාව යනුවෙන් කැඳවන්නේ ආලය විඥානයයි.

පල්ලෙහා අත්තා දෙහි ගෙඩියක් ගිරයට හිර කර ' පොළව මහි කාන්තාවෝ සාක්කි' යනුවෙන් කැඳවූයේ ද ආලය විඥානයයි.

පොළවේ දුවිලි කැටයක් පාසා ආලය විඥානය නිධානව ඇත්තේ ක්වොන්ටම් දුහුවිල්ලක් පරිද්දෙනි. එහි මෙතෙක් ඇතිවී නැති වූ සියළු ජීවීන්ගේ ක්‍රියා ස්කන්ධය ගර්භ [ආලය] ගත ව ඇත.

සයිමන් සිය සංසාර ආරණ්‍යය අසබඩ ඉතිහාසයකින් ප‍්‍රවාදයකින් මිථ්‍යාවකින් චිත‍්‍රණය කරන්නේ කාය, වස්තු, ආල සත්‍යය වශයෙන් ගන්නා ස්වභාවයයි. ඔහු එහි අග ඒවං (මෙසේ) නමින් සූත‍්‍රයක් බහාලමින් සිය කතාන්දරය විසින් හරය කොට ගන්නා ආලය විඥානය ගැන ඉඟි කරයි.

වසර විසි එකක් පුරා පෙම් කෙලිමින්-දබර කර ගනිමින්, ආල වඩමින්-වෛර කරමින් එකිනෙකා හා දැපනේ වැටුනු සර්ප යුවලක් මෙන් වෙලෙමින් සිටින්නේ ආලය විඥානය නිසා නොවේද? මතු භවයකදී ප‍්‍රතිසන්ධිය ලබන විට මනන විඥානය [id] බවට පත් වෙන ආලය විඥානය යනු සසර පුරා අප එකට බැඳ පවත්නා මහා තණ්හාව නොවේ යැයි කෙසේ නොසිතන්නද? වසර දෙකකට පෙර නොවැම්බර විසිතුන්වෙනිදා ගෙට කඩා වැටුනු කැන්ද ගහෙන් වහලය හිල්වී නිදන කාමරය පුරා වතුර දොරේ ගලද්දී කවි ලියන්න ශක්තිය දුන්නේ ආලය විඥානය විසින් නොවේ යැයි කෙසේ කියන්නද?

සයිමන් වැදගත් වෙන්නේ මේ තණ්හාව, ආලය විඥානය, චේතනාව [will] පිළිබඳ 20 වෙනි සියවසේ දී නිර්දය ආලෝකයක් එල්ල කළ පිස්සි වැටිච්චිදාර්ශනිකයා නිසාය. මට සයිමන් නිතර සිහිවෙයි, ඒ ඔහු කිසිදා නෙතින් නුදුටු නිසා විය යුතුය. සයිමන් ගේ කතාංශූ අපේ ජීවිත හරහා ගලන්නේ එක්ස් කිරණ ධාරාවක් පරිද්දෙනි. ආලය විඥානය ශූන්‍යය වන තෙක් ඔහු අප ලුහු බඳිනු ඇත.

විසි එක් වසරක ශේෂ පත‍්‍රයේ සයිමන් ගිණුම පොළී වෙමින් පවතී....

9 comments:

දුකා said...

සංසාරණ්‍ය හා සයිමන්ගේ පොත් කියවා (ඔහේ කියවන්නාට කියෙව්වා වෙන්න ඇහැකිය ) තිබ්බට සයිමන් කියැවීම කල නොහැකි වූ බව පසක් වන්නේ හෂිත සංසාරණ්‍ය හා ඔහුගේ අනෙක් පොත් සමඟින් සයිමන්වද කියවීම යුතු බව ටොක්කක් ඇන කියා දුන් පසුවය . .

ගෙදර කොහේ හෝ මුල්ලක් නැති නම් ආයේ අලුතෙන් හෝ අරගෙන සයිමන් කියවන්න හිතා ගතිමි . . .

ස්තූතියි උඹට . .

Il mondo di una povera pazza said...

මට නොතේරෙන බොහෝ දේ තිබුනත් මේ බ්ලොග් එක මෙයිට වඩා නිතර නිතර ලියවෙනවා නම් අගේය.

මේක ඇනිවසරි පෝස්ට් එක නම් මෙන්න සුභක් දෙන්නටම....

Lishan Puwakowita said...

විසීඑක් වසරක් ශේෂ පත තවමත් පොලී වෙමින් පැවතීම වෙනුවෙන් මගේ සුභ පැතුම්!!!

Pathum Punchihewa said...

සයිමන් නවගත්තේගමගේ පොතක් කියැවීම සහ සයිමන් කියැවීම දෙකක් බව නැවතත් මතක් කර දුන්නාට තුති... ආලය විඥානය කියැවීම සිතුවිල්ලකට එකතු කර දුන්නාට නැවතත් තුති. ඒ එක්කම ලොකු අය්යේ එකුන්විසි වසක් ලියැලූ අරුමැසි ආඛ්‍යානයට ආසිරි...

මුචලින්ද said...
This comment has been removed by the author.
මුචලින්ද said...

මගේ ගාවත් නවගත්තේගම පොත් හතරක් ඇත. දෙකක් අලුත්වා වන අතර දෙකක් පරණය. කුඩා කල නවගත්තේගම මහත්තයා මාවත් වඩාගෙන සොයිසාපුර ෆ්ලැට්ස් වල "බී" කොටසේ උඩ තට්ටුවක පැදකුණු කලා යැයි අම්මා කියා ඇත. මට එය මහාර්ඝයකි. මේ ලඟදීද නවගත්තේගම පවුලම හමුවූ අවස්ථාවක නවගත්තේගම අඹුව හිසේ අත ගසා ගත්තේ "මගේ මිනිහා වඩාගත්තේ මූවද?" යන අදහසෙන් විය යුතුය. සයිමන් කියවීම තවමත් මට අපහසුය. නමුත් පොත් හතරම කියවා අවසන්ව ඇත. ලොකු අයියේ, උඹට ඔහු කියවීම අති සාමාන්‍යයක් ලෙස මා සලකමි. මන්දයත් මා කියවන ලෝකයේ සයිමාටත් වඩා "මට තේරුම් යන" උඹ ඉදිරියෙන් ඉන්න බැවිනි.

මුල්වර අමතක විය. "ජය වේවා!" මූල ද්‍රව්‍යය දෙකටයි.. සංයෝජනයටයි..

සහෝධරයා said...

නැවත සයිමන් කියවීමට සිත්විය ... Jayawewa !!

Hermitian said...

සාපේක්ෂණී මුල්වරට කියවද්දී මගේ පොත් පෙට්ටිය ට්‍රැවලිං බෑග් එකක් වෙලා තිබ්බා මට මතකයි. ඒක පුරවලා තිබ්බේ මාක්ස් එංගල්ස් සමග සයිමන්ගෙ පොත් කීපයක් පමණයි. ඒ 1993 කැම්පස් ඉන්න කාලේ.. හෂිත මෙහෙම සයිමන් කියවද්දී මට ඒ දවස් මතක් වෙනවා. සොයිසා ෆ්ලැට් එක අස්සේ සැරිසැරූ ඒ කාලේ කියවපු පොත්වලට වැඩියෙන් නොකියවපු මිනිස්සු තමයි වැඩිපුර හිටියේ...

වීතරාගී said...

අර්ජුන කුමාරයා යැයි සිතා අනාතව අසරණව මුත් රාජකීය තෙද සහිතව සුරඟන සැප සොයා යන මැත කාලීන මානවකයකු දැක "අනේ අපොයි සයිමන් !" කියැවෙන මොහොතක ,දඩයක්කාරයා දඩයම තුලින් ම ආධ්‍යාත්මයේ ශේෂ පත්‍රය ලියා ලූ අරුම සිහි කැඳෙව්වාට තුති!විසි එක් වසක "දඩයමට" ( ;) ) සුබ පැතුම්!