Saturday, 2 July 2011

චන්ද්‍රමඬුලු යට ....!

අපි වටිනා කමක් වටිනා යමක් සොයමින් යන්නෙමු. සමහර විට හමුවන කුඩා මුතු ඇටයක් තරම් සෝබන දුලබ ගීයක් ජීවිතය හදිසියේ එළිය කරයි.

අපේ ගෙදර උන්දෑ නන්දා මාලිනි රසිකාවකි. මගේ දේශපාලන පඬි කතා නොතකන ඈ එදත් අදත් නන්දාට ආසා කරන්නේ සංගීත ආසාව නිසා පමණකි. නිරෝෂී අපේ උන්දෑගේ ඉතා කිට්ටු පාසැල් මිතුරියකි, පේරාදෙණියේ මගේ 'ජුන්නියක්' වූ නිරෝෂි දැකීම ඥාති වරියක් දැකීම මය.

නිරෝෂී කිවිඳියකි, ගායිකාවකි. 1990 විසාකා කලා උළෙලේ තේමාව නිරෝෂි ලියූ එකකි. දේශපාලනයෙන් ලේ උණු වූ ඒ කාලයේ තරුණ බව ගැන කතා කිරීම තහනම් විය. අයිතිවාසිකම් ගැන කතා කිරීම බයට හේතුවක් විය. නන්දාගේ 'මොංගෝලියානුවනේ' ගීතයෙන් ඇරඹීමට ගිය විසාකා කලා උළෙලේ මුල් අංගය 1990 මාර්තු 19 ට දින දෙකක් තබා තහනමට ලක් විය, නිරෝෂී ඇතුළු කෙල්ලන් කැලත හැඬූ කඳුළින් නිවෙස් බලා ගියහ. පහුවෙනිදා නිරෝෂී කවියක් ලියාගෙන ආවාය. නිරෝෂි ගේ ම තනුවකට ගැයුනු, අපූරු යොවුන් ජවයෙන් 'පණ ගසන' “යෞවනේ කුමුදුනිය පුබුදවන “ ගීයකින් කළා උළෙල ඇරඹෙනු හතරවන හෝ පස් වෙන පෙළේ හිඳ උන් මට තාමත් මතකය.

අපේ උන්දෑ නන්දා ගැන පටන් ගන්නා කතාවක් හැම වතාවකම අවසන් කරන්නේ නිරෝෂි ගෙනි. පොළොං විසෙන් මරණාසන්නව උන් අපේ උන්දෑ බැලීමට ආ නිරෝෂි ‘මහ-ඉලුප්පල්ලමේ’ නොයා පේරාදෙණිය දැඩි සත්කාර අංශයේ උන් බව, ඇඳ පෝච්චිය පවා සෝදමින් සුව වන තුරු අපේ උන්දෑ රැක බලාගත් බවද මේ කතාවේ කොටසකි.

අපේ පෙම් කතාව පටං ගත් කාලයේ මම නන්දා ගේ ගීයක් කොළයක ලියා දුන්නෙමි.

වළාකුළු කන්දට මුවා වෙන
ඉන්ද්‍රචාපය ලෙසින් මනහර
නුවන් බඳවා සිතුම් අවුලා
නොයන් මා හැර දා

උදා ගිර හිරු මඬල විලසින්
සදා පාළුව අඳුර පලවා
සිහින ඇල්ලේ අරුත් රඳවා
රැඳෙන්නේ සැමදා

කල්ප ගණනින් මිණුම් නිම නැති
භවෙන් භවයට මෙවන් කතරේ
ඔබේ නෙත් යුග වාසනාවන්
නැගෙන හිරු ලෙසිනේ

මහින්ද අල්ගම [ලොකු මාස්ටර්] ගේ ඉසියුම් ගීත රචනාවක් වන, නන්දා විසින් තනු දමා ගායනා කරන [නිරෝෂි ගේ හඬින් පමණක් අසා තිබුණු] මේ ගීය වසර දහනවයක් තිස්සේ අපේ උන්දෑට නන්දාගේ හඬින් අසන්නට සළස්වන අරමුණ මීට පැයකට පෙර ඉටු විය. [ඉස්සර පසුම්බි වල ඇති මුදල් ගණිමින් 'සීමා සහිතව' වඩේ කෑ ශාන්ති විහාරයෙන් [දැං ශ්‍රී විහාර්] පිටවී බුලර්ස් පාර දිගේ ඇවිද ආවේ දෛවෝපගත ගමනකි.]

ගුවන්විදුලියේ අලෙවි කුටිය විවෘතය.

‘සල්ලි නැති වුනාට කමක් නෑ බලලා යමු.’ මම යෝජනා කළෙමි.
‘අර චන්ද්‍රමඬුලු යට සී ඩී එක පොඩ්ඩක් බලන්න පුළුවන් ද?’

එහි පස් වෙනි ගීතය 'වලාකුළු කන්දට ' විය.
‘ගම්මු ගම්මු’ මටත් වඩා ඉක්මන් වන්නේ අපේ උන්දෑය.

ගීතය වරක් නොව තෙවරක් ඇසුවෙමු. මුල් වතාවේ ම දෙවන අන්තරා කොටසේ අවසාන පද දෙක නන්දා සමඟ ගැයූ අපේ උන්දෑ; 'නිරෝෂි ඔය විදිහටම කිව්වා නේ...!' ආදී වශයෙන් නිරෝෂී ගැන කතා කියන්නට පටන් ගත්තාය.

අපි වටිනා කමක්, වටිනා යමක් සොයමින් යන්නෙමු. සමහර විට හමුවන කුඩා මුතු ඇටයක් තරම් සෝබන දුලබ ගීයක් ජීවිතය හදිසියේ එළිය කරයි.

සින්දුව මෙතැනින් අහන්න http://youtu.be/9nf_PmA6Wa0

20 comments:

  1. සු.න්.ද.ර.යි............. !!!

    ReplyDelete
  2. නැතිවෙලාවට පිහිටට එන එක තමා නියම මනුස්සකම.., ඒ වගේම ඒ මනුස්සකම මතක තියෙන එක තමා මිනිහෙක්ව ජීවත් කරවන්නේ..,
    මුල මතක තියෙන කෙනාට කවදාවත් වරදින්නේ නෑ..!
    ඔය මනුස්සකමට ජයවේවා..!!

    ReplyDelete
  3. හෂිත උඹේ වචනයක් වචනයක් ගානේ කාන්දු වෙන මේ හැඟීම මොකද්ද කියන්න මට තේරෙන්නේ නෑ.

    ReplyDelete
  4. අවුරුදු දහනවයකට පස්සෙ හරි අරමුණක් ඉෂ්ඨ වුන එක ගැන සතුටුයි හෂිත අයිය... මම නම් මෙහෙම සින්දුවක් තියෙනව කියල දැනගත්තෙත් මේ ලිපියෙන්..

    ReplyDelete
  5. ඩෝසන් අයියා කිව්වා ඇත්තමයි. එව්වනං උපරිමයි! ඇහැට නොදැකපු ගෑනු මණුස්සයෙක්, ලඟම කෙනෙක් කෙරෙව්වා!

    ReplyDelete
  6. තව කොච්චර දේවල් ඇත්ද ඔය ඔලුවෙ හංගගෙන...

    ReplyDelete
  7. නන්දා ගෙ ගීතය තරමට ම මිහිරි මේ කතාවටත්, ලෝබ කමක් නැතිව එය බෙදා හදා ගත්තටත්, අද උදේ පාන්දර ඔබේ facebook යොමුවෙන් මතකයෙ දූවිල්ලෙන් වැසී මටම අමතකව ගිහින් තිබුණු මගේ ප්‍රියතම ගීයක් දහ පහළොස් වතාවක් අහන්න ඉඩක් හදා දුන්නටත්, එය මා මිතුරු මිතුරියන් හා නැවත බෙදා ගෙන සතුටු වන්නට මට ඉඩ ලබා දුන්නටත්, එය ලබා ගන්න ඔත්තුවක් දී නැවත කොළඹ එන මුල් දවසෙම මේ ගීය හොයා ගෙන ගුවන් විදුලියට යන්න නො ඉවසිල්ලක් ඇති කලාටත් ඔබට නොවක් තුති. තව තවත් මෙවන් දුලබ මුතු කැට ඔබ යනෙ'න මඟ දෙපස රැඳේවා!

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මේ ගීය අහන වාරයක් පාසා, හවස පාසැල් බසයේ දී දිග හැරෙන නිරෝෂි ගේ අපූරු සින්දු පොත් කට්ටලයත්, ඇයට ම අනන්‍යවූ සොඳුරු කුඩා අත් අකුරින් ලියැවී, කුඩා සිත්තමකින් හෝ සඟරාවකින් කපාගත් පින්තූරයකින් හැඩවුණු ගීතත් සිහි වන්නේ නිරායාසයෙනි. වජිර පාරෙන් පටන් ගත් මොහොතේ සිට කඩවතට ළඟා වනතුරු බසය කෙසේ ආවේදැයි අපි (නිරෝෂි හෙවත් පොද්දේ, සුභාෂිණී හෙවත් සුබේ සහ මම) නොදැන හුන්නෙමු. ගීතයක් අවසන් වන විට තවත් ගීතයක් වශයෙන් එක දිගට ම ගී ගැයීමෙන්, ගමනේ වෙහෙස අපට නොදැණිනි. බොහෝ ගීතවල වචන නිවැරදිව අදටත් මා මතකයේ රැඳී තිබෙන්නේ මේ හේතුවෙනි.
    නිරෝෂිත් මාත් හයේ පන්තියේ සිට සාමාන්‍ය පෙළ හමාර වනතෙක් සෑම වසරකම එක ම පන්තියකට වැටුණේ දෛවෝපගතව වන්නට ඇත. සවස පාසැල් බසය මෙන් ම, එක ම රුචි අරුචිකම් අප දෙදෙනා වඩාත් ළං කිරීමට හේතු විය. උසස්පෙළ දී වෙන වෙන පන්තිවල උගන්නට සිදු වුව ද, හැකි සෑම මොහොතක ම එකට රංචු ගැසුණු නිසාත්, එක ම අමතර පන්තිවලට සහභාගී වීම නිසාත් අපට කිසිදු වෙනසක් දැනුණේ නැත. එක ම පියාපත් ඇතිව එක ම රෑනේ පියෑඹූ (අදටත් එක්ව පියඹන) කිරිලියන් රංචුවක යාවජීව සාමාජිකයන් දෙදෙනකු වූ අප, පේරාදෙණියේ යාබද පීඨ දෙකක ඉගෙනීම ලැබීමට වරම් ලද්දේ සසර පුරා පතාගෙන ආ බැඳීමක ප්‍රතිඵලයක් ලෙසිනැයි තරයේ අදහමි. මරණාසන්නව පේරාදෙණි රෝහල් ඇඳක වැතිර හිඳිද්දී හිස මෙන් ම හිත ද පිරි මැද්දේ ඒ බැඳීමයි...ඒ සෙනෙහසයි. අද වනවිට සැතපුම් දහස් ගණනක දුරින් සිටිය ද තවමත් මේ දැනෙන්නේ ඒ සෙනෙහසේ සුවඳයි.

    ReplyDelete
  10. ඩෝසන් අයියේ ඒකට කියන්නේ මෙව්වා එක. මේ වචන වල තියෙන මෙව්වා එක.. ඒක වචනයට නගන්න බෑ.. කියවලා මුකුත් නොකියා ගියා නම් ඒක මීට වඩා මේකට සාධාරණයක්. නියමයි..

    ReplyDelete
  11. හෂිත ගේ තවත් හර්දයාංගම සටහනක්. සින්දුව නම් අහලා නැහැ. ඉඩක් ලද විටක අහනවා.

    හෂිත ගේ "ගෙදර උන්දෑ" මේකත් නිරෝෂිගෙන් ම ඉවර කරලා. :) නිරෝෂි කියෙව්වේ නැද්ද මේ සටහන?

    හෂිත ගේ සටහන් භාවාත්මකයි. රසයෙන් පිරිපුන්.

    ReplyDelete
  12. සමහර ලිපි තියෙනවා මචෝ අදහස් විදිහට මොකක් කියන්නද කියලා හිතා ගන්න බැරි . . මේක ඒ වගේ එකක් . . .
    දැනෙන හැඟෙන දේවල් බොහොමයි . . . ඒත් ඒ හැඟීම පරස්පරයි . . ඒ නිසා වෙන වෙනම රසවිඳිනවා මිසක් ඔක්කෝම එකතු කරලා එක මතයකට නොගෙන ඉන්න එක හොඳාවගේ . . .
    අපූරු ලියවිල්ල . . .

    අහම්බෙන් හම්බුවෙන සමහර ගීත ජීවිතය එලියකරනවා කියන එක නම් හැබෑවටම සත්‍යක් . .

    ReplyDelete
  13. මේක දුටුවාට පසු නිරෝෂි ලියා එවා තිබුණා....

    "....කල්පයකින් කල්පයකට
    නොමැරී නොමැකී හද තුල...
    ගිලී ගැලී සිත් පතුලත
    වෙලී වෙලී කිමිදී හුන්....
    සු..න්..ද..ර..ත..ම... මතක සුවඳ....,
    හෙමින් හෙමින් පෙති හැර පිබිදී....
    නි..වී.... නි...වී.... හද යළි සැ..නැ..හේ......."
    -නිරෝෂි-

    ReplyDelete
  14. නන්දා මාලිනී ගේ හේමන්තයේ දී කැසට් එක මගේත් ජීවිතයට සම්බන්ධයි.
    මේ කාලකණ්ණි දේශපාලනයක් හින්දා අපිට සින්දු එපා වුණු හැටි!

    ReplyDelete
  15. කවුද බොලේ මේ නිරෝශී???

    ReplyDelete
  16. ජීවිතය හැමදාමත් ආලෝකයෙන් පිරී තිබුනත්.....ඵ් එළියට අපේ ඇස් අන්ධ වී නම්....උදාගිර හිරැ එළිය නොදකින්නට....අපේ නෙත් අඳ වෙලා නම් ...............

    ReplyDelete
  17. @KK: ඔන්න ඔය මැල්බෝන් පැත්තෙ ඉන්න කෙනෙක්. පින්තූරේ ඉන්නෙ නිරෝෂි යි චම්පික යි.

    සියලු දෙනාට ස්තුතියි.

    ReplyDelete
  18. හෂිත අයියා ඉදල,ඉදලා ලියනවා සෑහෙන්න වෙලාවක් කල්පනා කරන්න හිතෙන පෝස්ට් එකක්.මේ රචනා ශෛලියට මම හරිම කැමතියි.ඒක හරි සමීප හැඟීමක් ඇති කරන්නේ.සචීගේ උපන්දිනයක් දා කැලෑ මල් පොකුරක් දීපු කතාව තාම මගේ හිතේ හොල්මන් කරනවා.මේ කතාවත් ඒ වගේ මගේ හිත ඇතුළෙ ‍රැළි නංවනවා.
    ජය වේවා !!

    ReplyDelete
  19. නන්දා මාලිනි මම පුද්ගලිකව හඳුනනවා. ඇයට තියෙන්නේ කවදාවත් මහළු නොවන පපුව හාරා ගෙන යන කට හඬක්. ඇය විසින් ගයා ඇති දේශාභිමාණී ගී , ප්‍රේමාලාප , ශෝකාලාප මෙන්ම විරෝදාලාප වලටද මම බෙහෙවින් ප්‍රිය කරනවා.
    ඔබේ ලිපියද සිත් ගන්නා සුළුයි. ජය වේවා

    ReplyDelete