Monday, 11 July 2011

පේරාදෙණියේ මල් ...!



පේරාදෙණිය ඉතා අපූරු බිම් කඩකි. එහි වැවෙන ගහකොළට අපූරු අනන්‍යතාවයක් තිබේ. ලොජ් එක ළඟ ඇති කිරිපළු ගස අරුණු ඉරුරැසින් ළෙලෙනු දැක එතැනින් හිස නොඋස්වා යයි නම් ඒ හැබෑ අවාසනාවන්තයෙකු මිස අනෙකෙකු නොවේ.


එක් එක් ගසක් යට එක් එක් බංකුවක එක් එක් ආපන ශාලාවක එක් එක් අඳුරු මුල්ලක ඇති වී නැති වූ කතා සත් මහල් පේරාදෙණිය පුස්තකාලයේ දුලබ පොත් අතර හෝ හොයා ගත නොහැකි තරම් අපූරු එවා වෙන්නට ඇත. සංඝමිත්තා කන්ද නැගී පොකුරු කාමර අසළ පෙම්වතිය එන තෙක් රැඳෙමින් 'හරි ප්රසාද් චෞරාසියා' අසමින් සිටීම චමත්කාර ජනක ක්රියාවකි.


මහපොළ ලැබී ටික දිනකින් ජීවිතයේ චමත්කාරය තුරන් වෙයි. ඉදිරි දින ගෙවීම බියජනක හීනයක් වෙයි. දේශන ශාලා එපා වී යයි. එවන් කළෙක ශේෂ පත්රයේ ඉතිරි එකම දෙය ප්රේමය පමණක් වෙයි. නමුත්, පෙබරවාරි මාසයේ ළිං-ගෙය අසලින් ගලන දියත්ත තරම් තුනී ආර්ථිකය 'ප්රේමයෙන් මන රංජිත' වීමට සුදුසු අවකාශ සීමිත කරයි.


පේරාදෙණියේ අපූරු සංස්කෘතියක් ඇතත් එය අන් අයුරකින් සංස්කෘතික කතරක් වන්නේ පිට ලෝකය හා ඇති සීමිත සම්බන්ධතාවය නිසාය.


ජූලි මාසය එළැඹෙන්නේ අභියෝගයක් සමගිනි. අපේ උන්දෑගේ උපන්දිනයට ඇය එතෙක් නොකියවූ හා කියවීමට ප්‍රිය කරන පොතක් හොයා ගැනීම අභියෝගයයි. පසුව මතවාදී ගැටුම් නිසා ප්‍රිය සංවාද වාද විවාද බවට පත් නොකරන පොතක් සොයා ගැනීමයි.


නුවර ටවුමේ සීවලී පොත් හලේ රැවුළ් අයියා අප හා මිතුරු වන්නේ මේ නිසා . ඔහුට පොත් හලේ ගබඩා කාමරවල අහු මුළු වල සැඟවී ඇති සමහර පොත් සොයා රැවුළේ මකුළු දැල් දවටා ගැනීමට සිදු වේ. ඒවායේ මහ ලාබයක් නැතත් ඔහු සමහර පොත් අප උදෙසා සොයා තබයි. හරියට කෝවිල ළඟ ශෛව අවන්හලේ අයකැමියා මෙනි. ඔහු ද්‍රවිඩ රසවතියේ ඉසව් අපට කියා දෙයි. තෝසේ ඉඩ්ලි උප්මා ගැන කරුණු පහදයි.


1997 අපේ උන්දෑගේ උපන්දිනයට දෙන්න තෑගගක් සොයමින් වෙහෙසෙන විට මට 'අපූරු' අදහසක් පහළ විය. පේරාදෙණියට පැමිණි බොහෝ තරුණයින් තම පෙම්වතියන් උදෙසා 'පෙර නුවූ විරූ' යමක් කිරීමට උත්සාහ නොකළේ යැයිකෙසේ සිතන්නද? මම කෘෂි පීඨයෙන් පිටව සෙමින් සෙමින් ඇවිද ගියෙමි. උඩ බැලූ කල මල් නැති ජූලි මාසයේ බිම මල් පිපී ඇත [සයිමා ගේ කහ රොබරෝසියා ගස පමණක් මල් නොවරයි].


අපාය කැන්ටිම පසු කර යන විට මොණර පිල් වැනි තෘණ මලින් පොළව හැසී ගැවසී ගොසිනි. තව ටිකක් දුර වුස්ක් වල පැත්තට යනවිට බුරුසු වැනි තණකොළ මලක් හමු වෙයි. තවත් දුර යනවිට වීරසූරිය ස්මාරකයෙන් ඔබ්බෙහි හිල්ඩා උද්යානය අසල දම් පැහැති පිහාටු වන් තණ මලකි. 'වල' පසෙක ඊතණ පඳුරකි. හා පිට්ටනියෙන් කඩා ගත් නම නොදන්නා අපූරු හැඩයකින් යුත් වල් මල් කිහිපයද එක්කර මගේ අපූරු 'වල් පොකුර' නිම කළෙමි.


කාටත් හොරෙන් තනා ගත් මගේ වල් පොකුර රැගෙන පහුවෙනිදා උදයේ සංඝමිත්තා පඩිපෙළ අසළ රැක හුන්නෙමි. 'ඇය' මිතුරියන් හා පඩිපෙළ බැස එන්නීය. මගේ හද සැලෙයි. මේ කෙල්ලන් රංචුව ඉදිරියේ වල් පොකුරක් දීම නොහොබනේ යැයි මගේ සිත මට කියයි.


සුබ උපන්දිනයක්.. !


මොකුත් නොදූන්නත් හිනාවෙන අපේ උන්දෑ; වල් පොකුර දෝතින්ම වඩාගෙන ඉස්තුතිය් කීවාය. උන්දෑගේ හැටිය. අවුරුදු විස්සක් තිස්සේ සුබ උපන් දින ගෙවී ගොසිනි. හිසෙහි නර නැගේ. අපි අපේ සිහිනයට ළඟා වෙමින් ඉන්නෙමු.


සුබ උපන් දිනයක්.................!

25 comments:

  1. අපූරු ලිපියක් මල්ලි...අපේ කුඩා දරු දෙදෙනාත් සමඟ ඇය බැහැ දැකීමට ගිය ගමන සිහිවුනි!!
    නැවතත් ඇයට සුබ උපන් දිනයක් පතමි...

    ReplyDelete
  2. මට සිහිවූයේ ඇගේ දුක සැප බැලීමට මෙන්ම සුන්දරත්වය විඳ ගැනීමට නූඩ්ල්ස් පැකට් සමඟ පේරාදෙනි සරසවියට ගිය දිනයය:)

    ReplyDelete
  3. බොහොම ස්තුතියි...! මල් පොකුර ලැබුණේ මේ දැන් වගේ ආපහු දැනුණා. [වෙනසකට තියෙන්නේ, මල් පොකුර දැකලා 'අනේ කාගෙන් ද? අපට නෑනේ ඔහොම දෙන්න අය!' කියලා කියන්න අජන්තා මැඩම් ළඟ නැති වීමයි!]

    ReplyDelete
  4. නියමයි ලොකු අයියෙ නියමයි!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. නියමයි මචං . . .

    ඇහැට කඳුලක් ගෙනාවා . . . .

    උඹලාට හැමදාම සුපුරුදු ආදරෙන් ඉන්න ලැබේවා . . .

    ජය . . !

    ReplyDelete
  7. ඇත්තටම නියම ආදර කතාවක්. දුකා කිව්වා වගේ ඇහැට කඳුලක් ආවා නොදැනුවත්වම. කොහෙදෝ මන්දා සෑහෙන කාලෙකට පෙර මම කලින් කියවපු සත්‍යය කතාවක් මතක් උනා.

    “තම බිරිඳට පණ මෙන් ආදරය කෙරූ සැමියෙක් ඇයගේ හැම උපන්දිනයටම කුමක් හෝ තෑග්ගක් දෙන්න අමතක කලේ නෑ. නමුත් එක අවුරුද්දක, ඔහුට ඔහුගේ රැකියාව අහිමිවී ආර්ථික අතින් අන්ත අසරණ තත්වයට පත්වී තිබුනා. තම බිරිඳගේ උපන්දිනය යෙදූ තිබුනු එදා, තමන් සන්තකයේ තිබුනු හැම සතයක්ම එකතු කර බැළුවත් එයින් මිලදි ගන්න හැකියාව තිබුනේ කුඩා ඇල්පෙනෙති පෙට්ටියක් විතරයි. ඔහු එය ඇය වෙත ඒ උපන්දිනයේදී තිලිණ කලේ ඒ ඇල්පෙනෙති පෙට්ටියයි. ඉතාමත්ම තදින් ආර්ථික වශයෙන් මිරිකෙමින් තිබූ අවදියක, තම ආදර සැමියාගෙන් ලද මේ තෑග්ග දුටු ඇය ඔහුව බදාගෙන හෝරා කීපයක් යනතෙක් ඇඬුවාලු. ජීවිතයට ලද වටිනාම තෑග්ග ලෙස ඒ ඇල්පෙනිති පැකට්ටුව ඇය දිවි හිමියෙන් ආරක්ෂා කලා.”

    සචීට වාසනාවන්ත උපන්දිනයක් වේවා !

    ReplyDelete
  8. මම හැඬුවෙමි. ඒ දුක් කඳුළු සහ සතුටු කඳුළු ය.දුක් කඳුළු වැටුණේ සංඝමිත්තාවේ, ගලහ පාරේ, වූස් එකේ. කිස් බෙන්ඩ් එකේ , ගල් කණු අතර, පොළොන්නරුවේ ගල් ලෑලි මත වැටී, විසිරී, පෑගී, සුවඳත් සදහටම මැකී ගිය මල් පොකුරු සිහිපත් වීමෙනි. සතුටු කඳුළු, චකිතයෙන් යුතුව වල් පොකුරකට මල් නෙළූ තරුණයාත් “ඉස්තූතියි” කියා එය පිළි ගත් තරුණියත් අත දශක දෙකකට පසුත් ඒ මල් පොකුර දින දින සුවඳවත් වෙමින් තිබීම වෙනුවෙනි. අඹු සැමි පෙම ට එහා දෙයක් මේ මිහිපිට කොයින්ද? සුබ උපන් උපන් දිනයක් වේවා!

    ReplyDelete
  9. ‎98 සිට වසර හතක් පමන මම දිනපතා පේරාදෙනිය සරසවි බිම හරහා වැටී ඇති ගලහ පාරේ කොම්පැනියකින් බීර විකුනන්න දුන් ජපන් GS 125 තුරඟා පිට නැගී ගමන් කළෙමි. ඒ යද්දී උජාරුවට මා හෙල්මටය ගලවා අතේ දමා ගන ටයි ගැටය නොපෙනෙන්නට ජර්කිනයෙන් බෙල්ල තද කරගන්නේ මා සරසවි සිසුවෙකු නොවේ යැයි කිසිවෙකු හඳුනා ගනු ඇතැයි සැකයෙනි... ඒ බිමේ හැම මලක්ම මාගේ ඇස් වලට කඳුලු එක් කළේ ගැඹුරු හුස්මකින් පපුව පුරවාලමිනි. සරසවි වරම් නොලද මම ඒ බිමේ ඔබ මොබ යන්නවුන්ට සිතෙන් ඉරිසියා කළාදැයි නොදනිමි

    හශිත අයියාගේ මතක සටහනෙන් ආපසු මම ගලහ පාරේන් ගොස් දෙල්තොට හේවාහැට හරහා මන්දාරම් නුවරටම ගියෙමි.. බයිසිකලය නවතා දෙමල මවකගේ වතුර කලයෙන් කඳුලු සෝදා ගත්තෙමි...

    සචී අක්කාට සුබ උපන් දිනයක්...!

    ReplyDelete
  10. නැත ලොවේ අන් රසඳුනා ආදරය සේ සුවදෙනා......!

    මේ සටහනේ මහත් වූ මෙව්වා එක මගේ ශරීරාභ්‍යන්තරය සංස්පර්ශනය කළේය. අසීමිත සතුටකින් මම නලියයි. එපමණයි. ජය....!

    ReplyDelete
  11. මෙව්වා තමා නියමම තෑගි අයියේ..! හිතට දැනෙන මෙව්වා එක මාරම මාරයි..!

    ReplyDelete
  12. "සෙනෙහස සොම්නස අතිනත ගත්විට ඉමිහිරි සුවය දැනේ..
    ඉඟියෙන් පවසන සේරුන් යුවලක් යති අර ගගන ගැබේ..."

    ReplyDelete
  13. ඕමම යන්! HBD සචී..!!

    ReplyDelete
  14. මටත් මේ වගේ දේවල් සිද්ද වුනා නම් කොච්චර හොඳදැයි සිතුණා. එච්චරයි.

    මගේ මේ වචන අස්සේ ඉරිසියාවේ අතාත්වික මූලය හැංගිලා ඇති... සංකීර්ණයි බං...සෘණ එකේ වර්ගමූලේ ගැන මම කීවේ...

    ReplyDelete
  15. ලස්සන මතක සටහනක්. මගේ නම් රස්සාව පොඩි වයසෙන් ලැබී, කෙල්ල මුණ ගැහුනේ ඊට පස්සේ නිසා, මොනවා හරි දෙයක් මිලට ගන්නට හැකියාවක් තිබුණි. එක අතකට ඔබ විඳි ඒ සුන්දරත්වය රස්සාවක් තිබු නිසා අපට කවදාවත් නොලැබෙන්නට ඇත.

    පේරා නොගියාට මගේ වයස් මිතුරන් සමග එක වසරක් නිතර හයික් යාම නිසා අක්බාර් එකේ ගජේ ගැසීමත් එක බැච් එකක් මගේම බැච් එකක් වීමත් සිදුවිය. ලංකාවේ කැම්පස් නොගිය මට එය නම් මහඟු අත්දැකීමක්. හැබැයි ගඟෙන අනික්‌ පැත්තේ තැන් ගැන එතරම් හුරුවක් නැහැ.

    සචිට මීට වඩා මොන තෑග්ගක්ද? පැරණි මතක තරම් දෙයක් අද අපට දෙන්න අමාරුයි නේද? "අපේ උන්දෑ" නම් පරණ මතක රන් මංජුසාවක දමා තබා ගන්න කැමතියි. ඔබ දෙන්නත් එහෙම ඇති නේ.

    ReplyDelete
  16. මෙවන් ප්‍රේමයක් ගැන අසන්නට ලැබීමත් වාසනාවක්.හෂිත-සචි දෙපළ හරිම වාසනාවන්ත යුවලක්.
    සුබම සුබ උපන්දිනයක් සචි !

    ReplyDelete
  17. මෙවන් ප්‍රේමයන් ලද්දවුන් නිවුනාහුමය.. වාසනාවන්තයෝමය.... සචී අක්කා.. සුබ උපන්දිනක්....
    හිත බොහෝ සංවේදී කල සටහනක් !!!!

    ReplyDelete
  18. මා අතීතයේ ගත් කුමන තීරණ කුමන ලෙස වෙනස් කලද, කිසි දිනක වෙනස් නොකරන එක් තීරණයක් ඇත. එය නම්, මීට වසර විසි අටකට කලින් විශ්ව විද්‍යාල පිවිසුම සඳහා අයැදුම් කරද්දී, උඩුගම් බලා පීනමින්, පේරාදෙනිය විශ්ව විද්‍යාලය මගේ මුල් තේරීම ලෙස සඳහන් කරන්නට ගත් නිවරද තීරණයයි.

    එදා මා ”ටැක්නිකල් හන්දිය” වෙනුවට ගලහ හන්දිය තෝරා ගත්තෙමි. පිලී ගඳ වෙනුවට මල් සුවඳත් තෝරා ගත්තෙමි. පල් වී ගිය බොල්ගොඩ ජලාශය වෙනුවට සුන්දර මහවැලි නදිය තෝරා ගත්තෙමි. ”ජේම්ස් ජෝර්ජ් ශාලාව” වෙනුවට ”සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨය” තෝරා ගත්තෙමි.

    කාල යන්ත‍්‍රයක නැගී අතීතයට යාමට අවස්ථාවක් ලදහොත් නැවත එලෙස කරන්නට ද කිසිසේත් ම නොපැකිලෙමි.

    ReplyDelete
  19. සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහලට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම්ය.

    හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.

    මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙලෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යලි යලිත් මවන්නට සමත් බව නොකිව මනා ය.

    වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙනිය විශ්ව විද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.

    ඒ මතකය අද අළුත් කළ හෂිතයන්ද, ඔහුගේ බිරින්දෑවන්ද අදරින් සමරමි.

    සැප, සතුට, ජය

    ReplyDelete
  20. මේ කතා සිඟිත්ත ම උපන් දින තිළිණයක් වගේ.
    සචී ට සුබ උපන් දිනයක්!

    ReplyDelete
  21. විටක මෙය කියවන විට වල් මිටිය දුන්නේ මහපොල අහවර නිසාදැයි සිතුනි.. නමුත් ඒ වල් පඳුර බැඳ තිබුනේ ආදරයයි.. බාටා දාගෙන තමන්ව හොයන කොල්ලෙක්ගේ ආදරයයි. මහපොල නැතිවුනත් ඒක නොවටිනා එකෙක් සිටීද? මරු....

    ReplyDelete
  22. 1996 ජූලි යනුවෙන් නිවැරදි විය යුතුයි.
    @සුජීව මේ සිද්ධිය වුනේ 1996 ජූලි. සචී පළමු වසරේ මැද මම පළමු වසරෙ අග.

    සියලු දෙනාට ස්තුතියි..!

    ReplyDelete
  23. මං හිතුවේ ඔය දෙන්නා ඊට ගොඩක් කලින් කැම්පස් හිටිය කියලා. මගේ වයසේ සෙට් එකත් ඔය කාලේ ඔය පන්තිවල ඉන්න ඇති. 96 දී මාත් වෙන තැනක දෙවන වසරක.

    ReplyDelete
  24. හැකිනම් අදහසක් පල කරන්න මේ ගැන.

    ------------

    පාලු කඩේ

    ReplyDelete