![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxJTOPs_VOZDDo5ML4Aeoyv-CMqtRAT5iHKAYADG2HBtQGnqZdE5cyCNJIHPbsqkWv3s04aaqLF88mMl0lsozVqKl-qP9CaraCi-5RwMEJy3elaEEY-d64dEl6Wo4NjGwo6iimsK1YNnG8/s320/346279bb1d8504de_landing-ras.jpg)
ඉස්සර ළමා රංග පීඨයත් සැන්දෑ ප්‍රවෘත්තිත් අතර විනාඩි 15ක කාල ඉඩවරයක් තිබුණි. ඒ ඉඩවරය පුරවන අනිවාර්යය ගීයක වේ නම් ඒ 'රුක් අත්තන මල මුදුනේ' වෙයි.
රුක් අත්තන මල මගේ ජීවිතය හා බැඳී ඇත.
තාත්තා 1974-77 කාලයේ හසළක දුෂ්කර සේවයේ යෙදී සිටියේ ය. හැම ඉරිදාකම ගෙදර මහ 'පොයියංගමක්' ඇතිවෙයි. තාත්තාට නුවරින් හසළක බලා පිටත් වන බසය අල්ලා ගැනීමට බැරි වන තරමට ‘පොයියංගම’ දුර දිග යයි. මට උණ හැදේ. 'මෙයාට සාංකා උණ' ඕක හරියයි' සැවොම පවසති. මගේ ‘උණ’ හොඳ වෙන්නේ ඊළඟ සිකුරාදා තාත්තා ආ පසු පැමිණියාට පසු බව දන්නේ මා පමණි.
මට රුක් අත්තන මල මුදුනේ අසන විට (අවුරුදු 35ක් ගත වී) අදටත් ඇසට කඳුලු නැගේ.
ඒ තාත්තා ඈත යාම නිසා දුකින් ඇඬූ දරුවා මිය ගොස් නැති නිසාද? නැතොත් නුවරින් හසළක බසය වරද්දාගෙන ආපසු ආ තාත්තා සඳුදා නිවාඩු දමා [රෑ බසයේ යනු පිණිස] විවිධ වර හදා දුන් සරළ මුත් විස්කම් බඳු වූ කෙළි උපකරණ නිසාද? ගොයම් බට නළා, ගොක් නළා, ගොක් බඹරු, ගංසූරිය කොළ නළා ආදියෙන් ඇරඹි කෙළි බඩු ඇළේ වතුරෙන් කැරකුණු පෙති බඹරා හා 'සෙන්' තානය ට අදත් මනසෙහි ඈතින් දෝංකාර දෙන 'දිය හොල්මන' දක්වා වර්ධනය විය.
'අම්මේ තාත්තා ගෙදර එයිද?'
රුක් අත්තන මල ඇසෙන විටක අම්මා සිටියොත් මේ අතීත වාක්‍යය මතක් කරන්නීය. මේ 'නොස්ටැල්ජියාව' මා සිතේ ඇති කළේ නන්දා ද, ඇගේ තනුව ද, මහින්ද අල්ගම ගේ පද වැල ද? මනෝ විශ්ලේෂකයෙකුට හොඳ විෂයයකි.
නන්දා ගේ තනුවේ මූලය උකුසා වන්නමයි, උකුසා වන්නමේ සියලු තාන හා තාල ලක්ෂණ අඩු නැතුව යොදා ගන්නා නන්දා, සිංහල සංගීතයක් ගැන 'පාරම් බාන' ජන කවියෙන් ඔබ්බට ගීතය ගෙන යෑමට කියා ගීතය ජන කවියෙහි ම ඔබා ලා මෙන්න, සිංහල සංගිතය යැයි කියන අයට ඉදිරියෙන් සූ සැට රියනක් උසට නැඟී සිටියි.
තානා... තනෙන තනම්
තානත් තනෙනත් තම්දෙන තානත්
ආදී වශයෙන් එන උකුසා තානමේ චමත්කාරය ගී තනුවෙහි නොනැසී යළි යළිත් පිළිබිඹු වෙයි.
තානත් තනෙනත් තම්දෙන තානත්
ආදී වශයෙන් එන උකුසා තානමේ චමත්කාරය ගී තනුවෙහි නොනැසී යළි යළිත් පිළිබිඹු වෙයි.
ගීයේ අන්තරා වාද්‍ය ඛණ්ඩයෙහි එන රබාන හා ගැට බෙරය අතර වන සීරු මාරුව හා ගැට බෙර වාදනය ගීතයෙහි 'සංදර්භය' නොනැසී පවත්වා ගන්නේ වැඩි වෙහෙසක් නොගනිමිනි.
1953 අවුරුදු 16ක ගැටයෙකුව සිටියදී 'හේවුඩ්' ගිය තාත්තා අවුරුදු හතක් පණිභාරත, ගුණයා, කිරිගණිතා ආදී ගුරුන්නාන්සේලා අතින් උදේ 8ත් හවස 6ත් අතර නොකඩවා අභ්‍යාසයට ලක් විය. 1960 විශිෂ්ට ශ්‍රේණි සාමාර්ථයක් (කණ්ඩායමේ එක ම) ලබා රජයේ ගුරු සේවයට එකතු විය. ගෙදරින් එක කොළ කෑල්ලක් වත් ගෙන නොයන ඔහු 1991 44/90න් ඉතා අඩු විශ්‍රාම වැටුපක ට හිමිව ගුරු සේවයෙන් සමු ගන්නා තෙක් 100% සාමාර්ථ ප්‍රතිශතයක් නොකඩවා තබා ගත්තේය. ඔහු සමස්ත ලංකා තරඟ සඳහා නිර්මාණය කළ 'උඩරට මැණිකේ දුම්රිය' හා 'පෙරහර' තාල [බෙර] නාද කවි දෙක දැනට ඇත්තේ මගේ මතකයේ පමණි.
'ඔය මිනිහා ගමට වෙලා නාස්ති වුනා; පුදුම දක්ෂ මිනිහෙක්' පියරත්න මාමා නිතර කියයි.
මා විසින් සැළසුම් කරගත් මගේ මඟුල් පෝරුව තාත්තා මට දුන් දායාදයේ කොටසකැයි මට සිතේ. දුව නැටුම් පංතියේ ගුරුතුමියගෙන් පැසසුම් ලබන විට හා මෙතෙක් උගත් සියල්ල කොළකෑල්ලක් වත් නැතිව මතකයෙන් නටන විට හේවුඩ් ඇත්තන් 'වෑල්ඩින් ගුණේ' ගැන කියන කතා ඇත්ත බව දැනෙයි. 'කොල්ලෝ උඹ ද ගුණේ ගේ පුතා' යනුවෙන් නන්දා රත්නතුංග [ලෙංචිනා] පසුගිය දිනක ඇසූ විට හිතට මහත් සතුටක් දැනුනි.
[පුංචි රාළ බාස් -අත්තා- අලින්ට සපත්තු ඇන්දූ බව ද අලින් ලවා අදින කරත්ත තැනූ බව ද පොල්ගස්දෙණිය වලව්වේ සැට රියන් වී-අටුව තැනූ බව ද අසීරු නිසා බොහෝ වඩුවන් පිරිද්දීමට අසමත් වු පේරාදෙණියේ ‘අක්බාර් ශාලාවේ’ මහ උළුවහු තිතට පිරිද්දූ බවද මා පිළිගන්නේ එහෙයිනි]
උකුසා, නෛඅඩි, අසදෘශ ආදී ගීත ගුණයෙන් අනුන වන්නම්, ගී කාපාලුවන්ට [ගජගා වන්නම කා දැමුවන්ට] අසු නොවී මිය ගියත් කමක් නැතැයි මට විටෙක සිතේ.
නන්දා ගේ ගායිකාව විසින් ගී තනු නිර්මාණ ශිල්පිනිය මරා දැමූනු බව මට මහත් දුකකින් සිහිපත් වෙයි. නන්දා ගේ තනු නිර්මාණ ශක්තියට දෙස්දෙන ‘සැඳෑ කළුවර’ හා ‘හදවිල කළඹන’ ගීත යුග්මය හා ඇය ළමා පිටියට කළ තනු නිර්මාණ රැස මතක් කරමි.
ඉස්සර ළමා රංග පීඨයත් සැන්දෑ ප්‍රවෘත්තිත් අතර විනාඩි 15ක කාල ඉඩවරයක් තිබුණි. ඒ ඉඩවරය පුරවන අනිවාර්යය ගීයක වේ නම් ඒ 'රුක් අත්තන මල මුදුනේ' වෙයි.