1983 වෙසක් මාසයෙහි මම එගොඩවත්තට පැමිණියෙමි.
එගොඩවත්ත විජේරාම හන්දියේ සිට රත්තණපිටිය පාරේ හැතැක්ම එක හමාරක් ගියපසු හමුවන නොතාරිස් හන්දියෙන් දකුණට වන්නට පිහිටි ගම්මැද්දයි. එගොඩවත්ත අපූරු ගමකි. 1980 ගණන් වල අග භාගයෙහි ද එහි අමුඩ ගැසු ගැමියනුත්, පාර පුරා ඇවිදයන කාල වර්ණ මී ගව රංචුත් දකින්නට ලැබිණි. ලංසි පවුල් කිහිපයකුත්, මැලේ පවුලකුත්, ගල්හේන පරම්පරාවේ බහුතරයකුත් විසූ එ ගම, රබර වත්තකුත්, ගඳපාන, දං, කොහුකිරිල්ල පිරුණු ලඳුත් මිශ්‍රව පැවතුණි.
මම එ ගමට පිටගම්කාරයෙක් වීමි. ලොකුඅම්මාත්, ගුණදාස ලොකුතාත්තාත් එහි පිටගම්කාරයෝ වූහ. තිස්ස ද එහි පිටගම්කාරයෙකි. තිස්ස විසූ ගෙය පසුව 'සොමි ස්පොට්' විය. ජ'පුර සිසුන්ගේ කමිස, කලිසම්, සරං, යට ඇඳුම් වැනූ රෙදි වැල් ගණනාවකින් අලංකෘත 'සොමි ස්පොට්' මිදුල පසු කර යන මට එහි විසුවේ කවුරුන්දැයි සිතා ගත නොහැකි විය.
මම කුමාරතිස්ස අය්යා ඇමතුවෙමි..
‘අය්යේ, තිස්ස හිටියේ එගොඩවත්තේ මොන ගෙදරද?’
ඔහු මට වතුර ටැංකියත්, ඉන් ඉදිරිපස වූ අපිරිසිදු චමරියත් සිහිපත් කළේය.
තිස්ස අවුරුදු දහයේදී පිටගම්කාරයෙක් වූ ගමෙහිම අවුරුදු 12 ක් වූ මම පිටගම්කාරයෙක් විමි. තිස්සගේ කෙළි මිතුරු මිතුරියන්ගේ දරු දැරියන් හා මිතුරුවීමි. මම උන්ට නම් පට බැන්දෙමි උන් මට නම් පටබැන්දහ. තිස්ස 1982 එගොඩවත්තෙන් යන්න ගියේය, මම 1989 එගොඩවත්තෙන් ගියෙමි.
මම එගොඩවත්තේදී ‘මෙලෝ බෝලයක්’ නොලිවූ මුත්; කුමාරතිස්ස අය්යාගේ කුඩා පොත් රාක්කය එතෙක් මා හඳුනා නොසිටි බොහෝ ගත් කරුවන් හඳුන්වා දුනි. (වැවදෙනියේ ඇල් ඩී මැන්දිස් එයින් ප්‍රමුඛය.). 1992 දී ටෙලි නාට්‍ය හැදීමේ පිස්සුවෙන් උන් අපි හිතිච්ච හිතිච්ච අතේ පිටපත් රචනා කළෙමු. මෙලෝ රහකට නැති 'කහකඩ' බඳු ඒ කතා 'රායි' ගේ චිත්‍රපටි හා සමයැයි සිතමින් වාද කළෙමු. 'නෙළුමක් මියෙන මොහොතේ - කුමරියක් උපන්නාය - මායා' උදේනියා ට මයික් එකක් හමුවුනොත් ඌ තිස්ස අනුකරණය කරයි. මායා විජේරාම හන්දියෙන් පාසල් බසයට නැගි රූමත් ආඩම්බර දැරියකි.
පියරත්න මාමාගෙන් පොත් ඉස්සීම මා ඉස්සර සිටම ප්‍රගුණ කළ කලාවකි. ඒ සෑම පොතක්ම හම් බැම්මෙන් බැඳ සුරැකිව මා සතුව ඇත. මාමාගේ කාර්යාලයයේ පොත් රාක්කයේ තිබූ ටයිප් පිටු සහිත තඩි පොත මට එසේ හමුවිය. එහි කතුවරයෙක් ගැන සටහනක් නොතිබිණි. එහි මුල් පිටුව කියවු මට පිස්සු හැදිණි. එගොඩවත්තේ පාරක් පාරක් ගානේ ගෙයක් ගෙයක් ගානේ තිස්ස මා කැඳවා ගියේය. රබර්වත්ත මුල ලැවනිස් කඩේද ගබෝ සියාගේ රාක්ක හිස් කඩේ ද කරෝලිස් ආතාගේ 'සාත්තර ගෙදර' ද තිස්ස මවා කපා පෙන්වීය. රබර්වත්ත කොටස් කර විකුණූ පසු එහි තැනූ ලාල් පියසේන නිවසේ දී මට 'තිස්ස' මුල් වරට හමු විය.
තිස්ස අපූරු ලේඛකයෙකි. ඔහු ඉතා සාර්ථක ලේඛකයෙකි. ඔහු ලියු සෑම ලියවිල්ලක්ම එක හා සමාන ආතතියකින් යුතු විය. එය ඉතා අසීරු කාරියකි. තිස්ස ඒ අතින් ශුරයෙකි. ඔහුගේ සියලු පොත් සතු කර ගැනිමේ තණ්හාව පසුගිය සතියේ සැපිරිණ. පිටගම්කාරයෝ චිත්‍ර ඇඳි, විරාගය නිර්මාණ සැළසුම් කළ, තිස්ස විසින් ම ‘කැන්ඩියන් බැරොක්’ නමින් බෞතිස්ම කළ රේඛා චිත්‍රයෙහි විශිෂ්ටයෙකු වන පියරත්න මාමා තිස්සගේ කිට්ටු මිතුරෙකි.
තිස්ස ලංකාවේ දුර්ලබ ලේඛක ගුණයක් වන 'විචාර වර්ණනා' රචනයෙහි සමතෙකි. ඔහුගේ විචාරය හාරා, පාරා, සමහන් කරන එකකි. ඔහුගේ 'අයාලේ ගිය සිතක සටහන්' හි මට දැනෙන ඒ ගුණය නිසා මේ වන විට එය හත් අට වතාවක් කියවා ඇත්තෙමි. ඔහු ලියූ 'රූප ස්වරූප' සිනමා අධ්‍යයනයේ අත් පොතකි. ගිය සතියේ එය අතැතිව රායි ගේ 'තීන් කන්‍යා' නැරඹුවෙමි. ඒ කවර නම් ආස්වාදයක්ද..!
තිස්ස අවසන් වරට මාමාගේ කාර්යාලයයේදී දුටු විට ඔහු හඳුනා ගන්නට අපේ උන්දෑ ට උවමනා විය. බරපතල කතාවක මැදට පැන අප පටන් ගත් කතාබහ කෙළවර වූයේ තිස්ස ඔහුගේ අවසාන (විය හැකි)රංගනය අපි වෙත ඉදිරිපත් කරමිනි. ඔහු කොල්වින් ආර් ද සිල්වා හා විජය කුමාරතුංග සම්බන්ධ සිදුවීමක් අපවෙත රඟපා පෙන්විය.
තිස්සගේ ගැඹුරු ලාලිත්‍යවත් කටහඬ අප වෙලා ගති.
“දවසක අපේ ගෙදර එන්න, අයාලේ ගිය සිතක සටහන් තවත් දිගට ලියන්න..”
අපි ඔහුට ඇරයුම් කළෙමු. මාමාත්, දයා මාමාත් (අල්විස්), තිස්ස අබේසේකරත් හා දවසක් දොඩන්නත්, මාලිනී නිධානයේ එම්බ්‍රොයිඩර් ගැටය කටින් කඩන්නේ ඔහුගේ පිටපතට අනුවමදැයි අසන්නත් ඉඩ නොතබා ඔහු යන්න ගොසිනි.
‘මාමා තිස්ස ගේ මරණින් පස්සේ සෑහෙන්න කල්පනා කරනවා' නංගී කීවා ය.
තිස්ස ගේ පොත් සියල්ල මා සතුය.
1983 වෙසක් මාසයේ මම එගොඩවත්තට පැමිණියෙමි.
11-03-2010