Monday, 25 May 2015

නිරන්තරේ නිලි වැස්සට තෙමියන්..!



















කෙනෙකුට එකවරම තමන් ගේ වයස අඩකින් අඩු කොට, බයිසිකලයක පිටිපස්සේ තබා, ගං ගානේ ඇවිද්දවන කතන්දරයක් හමු වන්නෙ කලාතුරකිනි.
.....................

හතර කෝරළය ට [ගල්බඩ, කිඳිගොඩ, පරණ කූරුව, බෙලිගල] ඉර පායන්නේ හරි අමුතු විදිහකටය. එහි ඇතිළි පල්ලවල් වගේ ගම් ඇත. ඇතිළි ගැට්ටෙන් ඉර උදාවෙන්නේ මීදුම අතරින් රැස් රේඛා විහිදුවමිනි. අලුත දිගැරුණු කිතුල් මලක කහ පාට වැඩි කරමින් පායන ඉර එළිය මීදුම පෙරන්ගාගෙන තණ අග පිණි මැණික් කැට බඳු කරවමින් පොළවේ වැතිරේ. 

දෙමළහිරියේ, දූල්දෙණිය පාරේ [මොනතරම් ලස්සන නමක්ද?]ගලහිටියාවේ ගල්ලිඳ ගාව ට ඉර එළිය ගලන්නෙ උදේ නවයත් පසු වූ පසුවය. හවස තුන වෙන විට එතෙන්ඩ ඉර බහී. ගලහිටියාව හවසට තහනම් අඩවියකි. හරංකහතැන්නේ ඌරාට වැහුණු මහ සෝණා ද, මැලේරියා වසංගත කාලයේ එහි වැලලූ මිනී වලට ඉව කරමින් යන රී රී යකාද සිටිති. පොකුටු කොල්ලා අපේ නෑදෑයෙක් තරම් එදිනෙදා කතාවට කලවම් වෙයි.

හරංකහතැන්නට පතිත වන සියලු වැහිබිඳු ගලහිටියාවේ පල්කඩවල් බඳු වෙල් ලියදි පහු කර ඇළ දිගේ ගලයි. ඇලහබඩ කුඹුර, දොළොල්ලහ, මංදණ්ඩ, පසු කර ගලන ඇළ යටියෝවිට ලියද්ද අයිනෙන් මේනම මංකඩේ දී මාඔය ට හා වෙයි.

එතන එක් කතන්දරයකි.

බෙරවිල ගමට උඩින් ඇති තිස්කුමාර ගලෙන් පැන්න කුමාරිකාවන් ගෙන් බඩදරු කුමාරිකාව ගේ මලකඳ රැඳුනේ ඒ මංකඩේය. පොහොන් කෙලියේ ජයම්පතී අයියලාගේ ඉඩමේ අදටත් තණකොළ නොවැවෙන කොටුවක් ඇත. ඒ දාපුළුසෙන් සිය මවගේ මළකඳෙන් ඉපිද කෙලිමින් සිටිය සොහොනයි. පොහොන් කෙළිය හන්දියට ඔබ රාජගිරි ම[හ]ල්පා රජමහා විහාරය පෙනේ. ලංකාවේ සප්ත නාරි ඝට කැටයම් කළ උළුවහු තුනක් ඇත්තේ ද ඒ පන්සලේ පමණි.
...............................

සියලු රාශ්ඨ්‍ර වියවුල් ගැහැණිය මත බලපාන්නේ විෂමාකාරයෙනි. හමිදුම්මා, සුනේත්‍රා දෙදෙනාම මේ වියවුලේ වැටුනු ගැහැනුන් ය. සයිමන් ගෙ සාපේක්ෂණී හි පූර්ණා ද, සුද්දිලාගේ කතාවේ සුද්දී ද රාශ්ඨ්‍ර වියවුල් විසින් ගොදුරු කරගැනිනි. රම්මැණිකා ගේ යුගය ද එබඳුම විපරීත සමයකි.

මහනුවර රජවුන තුන්වෙනි රජු 'රාජසිංහ' නම් විය. ඔහු සෙනරත් රජුගේ එක් පුත්‍රයෙකි. මහලුව සිටි සෙනරත් රජු කුසපත් ඇද ඌව කුමාරසිංහට ද, මාතලේ විජයපාලට ද කන්ද උඩරට රාජසිංහට ද ලැබෙන පරිදි නියම කර මිය ගියේය. කුමාර සිංහ අකාලයේ මිය ගියේය.

1635 අවුරුද්දේ දෙවැනි රාජසිංහ [පලමු රාජසිංහ -කෝට්ටේ ටිකිරි කුමාරයා ය] ජකර්තා හිටි ලන්දේසින් හා මිතුරුවුනේ සතුරාගේ සතුරා මිතුරා ය යන පුරාණ නුවණ අනුව යමිනි.

විජයපාල රජ්ජුරුවන් හා දෙවිරාජසිංහ රජ්ජුරුවෝ උඩරට රජකරන කොට නැවතත් ප්‍රතිකාල් ජනරජ හා කප්පිත්තාවරු හා සතර දිසාව කරවන ප්‍රතිකාල් සතරදෙනා හා නොයෙක් ප්‍රතිකාල් සෙනගත් පාත රට සිංහල සේනාව සමඟ   නවදහසක් සේනාව උඩරටට ගොසින් කන්ද උඩ නුවර ගිනිලා දේවාල වල ගෙරිමස් කපා තිබා ආපසු එනවිට ගංඔරුවේදී රජ දෙකට්ටුව වටලා ගෙන යුධ කර ඒ ජනයන් අල්ලා මරාදමා ප්‍රතිකානුන් ඔක්කොම ඉස් කපා ගං ඔරුවේ ගොඩ කළාය. [රාජාවලිය : සූරවීර 250] 1638 අවුරුද්දේ දි ය.

පසුව විජයපාල පෘතුගීසීන් හා එකතු විය.

මේ යුගයේ ඕලන්දක්කාර කපිතාන් ලීවන්ස් හොරෙන් හොරෙන් උඩරට පදින්ඩ ඇත.
.................................

එක්තරා අතීතයක දුංහේනේ සාලිරත්න ලියූ 'හතරකෝරළේ විත්ති' පොත සොයා යෑමේ ආසාව නිසා 'අරණායක ලංකාදීප මාණ්ඩලික වාර්තාකරු; අම්බලකන්දේ නිමල් ජී හතුරුසිංහ' ගේ මෙට් 50 බයිසිකලයේ පිටුපස නැගී ඔලුවෙන් රූරා වැටෙන හිස් ආරක්ෂක වැසුම අතකින් අල්ලාගෙන දෙවනගල, ඒදඬුවාව, බැමිණිවත්ත, පොල්ගස්දෙණිය, අලුත්නුවර, උයන්වත්ත පාරක් පාරක් ගානේ ගිය හැටි මතක් වෙයි.

ඒ ගමනේදී ඒදඬුවාවේ ගෑණු දිසාවගේ ගෙයි පාදමත්, වී බිස්සේ බිහිගලත්, මැටි කැට යොදා වටකළ කැට ළිඳත් බලාගෙන සාලිරත්න මහත්තයා ගාව තිබූ 'හතර කෝරළේ විත්ති' පොතත් ඉල්ලාගෙන ගෙදර ආවේ රිවිකුල දේවිය හා ගිරුවා දේවිය බඳු කාන්තාවන් ගැන කතා ලියන්ඩ ඇත්තම් හොඳ යැයි සිතමිනි.

දුංහේන ඇත්තේ කොළඹ-නුවර මහ පාරේ මිල්ලන්ගොඩින් උඩට යන පාරේ තේ වත්තට කලිනි. තේවත්ත හා දුංහේන අතර ඇති වෙලේ වැඩ කරන ලොකු අත්තා කමතේ ඇති කටුමැටි පැලේ තේ හදයි. දුංහේනේ කඩෙන් විස්කිරිඤ්ඤා නාරං බික් ආදිය මටත් ලැබෙයි.

ඔය ළමයා කොහෙද ? සාලිරත්න මහතා මගෙන් ඇසුවේය.

'දිප්පිටියේ. අපේ අම්මා නං දුංහේන පැත්තේ තමා. '

'ඒ කොහෙද?',

'උඩුමුල්ලේ, දෙණියෙ ගෙදර', අංකුරු මුදියංසේ කියන්නේ මගෙ ලොකු අත්තට'

ඔහුගේ මූණ දන්නා අඳුනන බවකින් ආලෝකමත් විය.

'ඔය ළමයා දෙණියෙ ගෙදර කාගේ ද?'
                              
සාලිරත්න මහතා ලොකු අම්මලාගේ නම් කියයි. 'ඥානවතී මැණිකේ, නන්දාවතී  මැණිකේ, දයාවතී  මැණිකේ..' මරඟනන් බඳු රූ සිරියෙන් යුතු ලොකු අම්මලා ඔහුගේ වර්ණනාවට හසු වෙයි.

දෙණියෙ ගෙදර 'රම්මැණිකේ' ලොකු අම්මලා තරුණ වියේ හිටි තරම් අලංකාරයකින්, රූප සෝබාවකින්, ලීලාවකින් මට මවා ගත හැකිය.

කැගල්ලේ [හතර කෝරළේ] හැටි එහෙමය, හොයාගෙන ගියොත් හැම ගල්ලැන්දකටම, වෙල් ලියැද්දකටම, පීල්ලක ට ම කතාවක් ඇත.
...........................

ලොකු අත්තා දවසක් මා ලඟට කතා කරගත්තේය. අත්තා අතේ නැඩ කඩුවකි. ගෑවුනත් කැපෙන පෙනුමක් තිබුණු ඒ කඩුව මගේ සිත් ගත්තේ නැත, කඩුවක් නම් කැටයං තිබිය යුතුය, මිට නැවී තිබිය යුතුය,

'බොලං, මේ තමා ලංදේසි කඩුව'

අත්තා කඩු මුණ මගේ මූණට පෑවේය.

'මේ පේනවද ලංදේසියාගේ කුකුලා, රත්තරනෙන් කොටලා තියෙන්නේ'.

දිලිසෙන පැල්ලමක් විනා මට පෙනුනු කුකුලෙක් නැත.

දැං ඒ කුකුලාට තෙරුමක් ඇත, කුකුලා ගාල්ලේ ඇඬලූ බව ලියා ඇති නිසා මේ කඩුව කපිතාන් ලීවන්ස් ගේ කඩුව ට සමාන බව මට හිතා ගත හැකිය.
........................

අරණායක මැදිලියේ බණ්ඩාර මහතා මට ශේක්ස්පියර් ඉගැන්වීය. ඔහු ට මැක්බත් එක පිටුවක් කිරීමට සති කීපයක් ගතවෙයි. 'වෙරිඤ්ඤ ඌස්ට් ඉන්ඩිස්චෙ කොම්පඤ්ඤෙ'  [VoC] ගැන දිනයක ඔහු ශේක්ස්පියර් අමතක කර කියාදුන්නේය.

"ඒ කාලේ කොළඹ [කෝට්ටේ] නුවර පාර වැටිලා තිබුණේ අලපලාවල, දනගිරිගල පැත්තෙන්, අට්ටාපිටියෙන් මාඔයෙන් එගොඩ වෙලා යන්ඩ තිබුණේ. තාමත් තොටි පවුල් ඉන්නවා නේද?"

ලැයිසා නැන්දාගේ තාත්තා කොටි පිංචා යැයි සුනිල් මට කියා දී තිබුණි.

"අපි කොටි පැටවු."

සුනිල් ගේ කළු පැහැය ඉක්මවා ගිය සුදු සිනහව මතු විය.

"කොටි නෙවෙයි තොටි, මා ඔයේ සංගිලිපාලම දාන්ඩ කලින් ඔරුවක් තිබුණලු, ඒක පැද්දෙ සුනිල්ගෙ අත්තා".

පල්ලේහා ආච්චි කීවේ එහෙම කතාවකි.
................................

පී ඇම් අභයසිංහ 'කන්ද උඩරට විත්ති' පොතේ රාසිං දෙයියන් ගැන කතා ලියන්නේ 1815 තවමත්  ගෙවී නැති ලෙසිනි.  1982 හරියේ රිවිසඳ පුස්තකාලෙන් ගෙනා වික්‍රමසිංහ මහතාගේ 'මග දිගට ජනකතා' පොත කලක් මා සතුව පැවතිනි. පුස්තකාලාධි පතිනිය වූ ගුණතිලක මහත්මිය තාත්තාට කියා තිබුණේ,

'ගුණේ ගෙ පුතා කියවනව නෙ, ප්‍රවේසම් කරලා ගෙනත් දෙන්න'.

කවරය අහිමිව සිටි ඒ පොතට කවරයක් දමා මිහිර පත්තරෙ පලවූ  රාජාධිරාජසිංහ-ස්පිල්බර්ජන් හමුව පින්තූරෙන් ස්පිල්බර්ජන් කපාදමා රාසිං දෙයියන් අලවා අලංකාර කොට බොහෝ වතාවක් කියවා අකමැත්තෙන් ආපසු දුන්නෙමි.

එහි එක කතාවක ප්‍රධාන චරිතය වෙන දෙවනි රාජසිංහ ගේ ලොකුතාත්තා වූ විමල්ධර්මසූරිය වාසලේ අට ඉස්බක් කරණම් ගැසූ ඒදඬුවාවේ ගෑණු දිසාව [මරුවල්ලියේ කුමාරිහාමි] ගෑණුන් ගැන දෘෂ්ඨිය වෙනස් කරවන ගැහැණියකි. රම්මැණිකේ ඇයගේ ගමේ ගෑනියකි. ඇයට බය වීමට ඇත්තේ තමාට පමණකි. මොල්ලිගොඩට දිසාවෙට හා ශ්‍රී වික්‍රමට දොර පෙන් වූ ඇහැළේපොල කුමාරිහාමි බිය නොහඳුනන බව අදටත් නුවර මාකට් එක හරියේ පෙනෙනවා යැයි කියන ඇගේ අවතාරය මුණ ගැසී අසා ගත හැකිය.

නවතොටමුණෙන් ගෙන එන මාලුත්, හීත වන්නියෙන් ගෙන එන දඩමසුත් මදි වී දඩයමේ ගිය දෙවනි රාජසිංහ කෑ-ගල උඩ බුලත් කොක්කනය අමතක කර දමා යන්ඩ හේතුව කෑගල්ලේ ටියුෂන් පංති ඉවර වූ විට දැක ගත හැකිය.

දහය පංතියේදී තමන්ට මග හරස් කළ චන්ඩියෙකුට කවකටුව උරුක් කර 'දැන ගං මම අංකුරු මුදියන්සෙගෙ දුව' යයි කියූ අපේ අම්මා, සුදුබණ්ඩාට කණේ පහරක් දෙන රම්මැණිකේ ගෙන් මතුවෙයි. කලිසං අඳින තරුණ පිරිමි නොතකා, රෙද්ද අඳින, තමන්ට අවුරුදු 13ක් වැඩිමල් මිනිහෙකු [අපේ තාත්තා] හා දීග ගිය ඇය, ගාල්ලේ ගිය රම්මැණිකා හා ගාල්ලේ යන්ඩ ඇත.
............................

කාත්‍යානා ගේ 'නිලිවැස්ස' පොත නිසා මා පත් වූ ඇබැද්දිය මෙසේ ලියා තබන්ඩ හිතුවේ, කුඩා කාලේ කෑගල්ලේ විජය ක්‍රීම් හවුස් එකෙන් අයිස් ක්‍රිම් එකක් අරන් නොදී එතනින් අරන් යන්ඩ බැරි වුන ළමයා ට බොහොම දේ ඔලුවේ වැඩ කරවන්ඩ ඇගේ පොත හේතු වූ නිසාය.

එහි පෙරවදනේ සිටම කියවන්නා බැඳ තබාගන්නා සරළ ගුණයක් ඇත. ඇය තාක්ෂණික හරඹ වෙනුවට කතා කීමේ සරළ ගුණය යොදා ගනිමින්, රම්මැණිකා ලවා, ඇය රම්මැණිකාට තේරුම් යන දේ පමණක් කියවයි. ඒ සීමාව කතාව අවසන් වන තෙක් රැක ගැනීම කාත්‍යානා ගේ දක්ෂ කමක් ලෙස සැලැකීමට මම කැමැත්තෙමි. ඒදඬුවාව, පැල්ලම්පිටිය, උඩබද්දා ව නිලමේ ලා අඹන්වල රාළ ගේ මූලිකත්වයෙන් ඇරඹූ අසාර්ථක කැරැල්ල තාක්ෂණිකව හෝ ඉතිහාසයීයව විස්තර නොකර ජන්තු ගේ මරණය ලවා ඉඟි කර නැවැත්වීමේ 'ලේඛක විනය' හිතේ පැහැදීමක් ඇති කරයි.
 ...............................

පොතේ සියලු පරිච්ඡෙද සේ ම පෙරවදන ද දන්නා අඳුනන එකකි. පේරාදෙණියේ සිට ම දන්නා උදානි පහුගිය දාක 'ඉලිෂ' මල්ලිගේ අවසාන කටයුතු අවසන් වෙන තෙක් සැමියා ද දරුවන් ද අරගෙන හැකි සෑම විටකම එහේ පැමිණි නිසා එහි හිතවත් බවක් තිබුණි.බොහෝ කලකට පසු හමුවුනු ඔවුන් හා බෙදා ගන්නට දුකක් තිබුණි. සාමා ද මා ද එක කාර්යාලයයක සේවය කළ යුගයක් තිබුණි.

හතර කෝරළය හරි අපූරු පැත්තකි. එහි හැම ගල්ලැන්දකටම, ඇළකටම, පීල්ලකටම කතා ඇත. ඒවා ලියා තබන්ඩ කෙනෙකු උවමනාය. ගෑණු කෙනෙක් ලියනකොට එකතු වෙන 'සිරා බිරා' නිසා ඒ කතා අමුතු ලකයක් ඇතිව කියවේ.


හතරකෝරළේට ඉර පායන්නේ ඇතිලි අඩියකට ඉර පායන අයුරිනි. අලගල්ල පැත්තෙන් පෑව්වත්, දුම්බුලුවාව පැත්තෙන් පෑව්වත්, තණ අග දිලිසෙන පිණි වියලා දමන්ඩ ඉර රශ්මියට සෑහෙන වෙලාවක් ගතවේ.

8 comments:

තිස්ස දොඩන්ගොඩ said...

කුඩා කල නම් රසැති කෑමක් දුටුවිට කෙළ කට කොණින් වෑස්සීම නවත්වාගන්නට නුවමනාය
ඒත් දැන් ඒ කල හැක්කකි
ඒත් උනන ඛේඨධාතුව නම් එසේමය!

හෂිතගේ ලියැවිලි රූපාන්තරණයක් වී ඇත්ද?
එසේ නැත්නම් මගේ රසවිඳුම රූපාන්තරණය වී ඇතිද? කෙටි වැකි වලට ඇති මගේ ඇති ආසාවද? කවදාවත් උත්තර නොලැබෙන ප්‍රස්නය.

ආසාව ඇතිකලාට තුති!
මිලදී ගෙනම අනුභව කරමි!!

තිස්ස දොඩන්ගොඩ said...

අතුරු කථා 1: මාතෘකාව නාලිනී රණසිංහගේ "වනන්තරේ ගල් අරණේ විමානෙට" මතක් කරවීය...

තරුරසී said...

හෂිත ගේ ලිවිල්ල හරිම අමුතුයි.. සුන්දරයි.. පොතක් ගැන ලිව්වත්, වෙන අන් කුමක් ගැන ලිව්වත්... තේරුම්ගන්න ටිකක් වෙහෙස වෙන්න වෙන අවස්ථා තිබුණත්.. ඒ වෙහෙස කොහෙත්ම අපතේ නොයන බව සහතිකයි.

නිලිවැස්ස මමත් රස විඳි නව කතාවක්...

කතාවක් මතු කරන කතා ගොන්නක්ම මේ සටහනේ තියෙනවා.. ඒ සියල්ලමත් හරිම රසවත්

හෂිත said...

ස්තුතියි දෙන්නාටම,

පරුමුක තිස: වෙනස් වෙන එක තමා නේද ධර්මතාව.! :D

දුකා said...

පිස්සු හැදෙන විචාරේ හශිත අයියා . . .

නිළි වැස්ස කියෝපු දා ඉඳන් මාත් හිත හිතා ඉන්නවා ඒ පොත මට දැනුනු හැටි කියන්න.. ඒත් පහු කර කර හිට්යේ එක සැරයක් කියෝලා හිතට එන දේ ලියන එකෙන් පොතට අසාධාරණයක් වෙයිදෝ කියලා.

දැන් ආපහු පොත කියවන්න උත්තේජයක් ආවා මේ විචාරේ නිසා.

විස්වාස කරහන් අයියේ පොත කියවද්දී ආගන්තුක අසරුවා එක්ක ඌ යන දීපන්කරේක යන්න හිත හදාගත්තු රම්මැනිකා තීරණය කරපු වෙලාවේ මට ඇඬුනා . .

ඒ කඳුළු අම්මලගේ ආඩපාලි තව දුරටත් අහන්න බැරිව ඒ තීරණේ ගත්තු රම්මැනිකා වෙනුවෙන් නෙමේ . . . තාත්තගේ ආඩපාලි අහන්න බැරි කමට ජීවිතේ එකපාරක් හීරුවට පස්සේ අවලංගු වෙන හූරන ලොතරැයියක් කියලා දැන දැන . . පන වගේ ආදරේ කරන නංගියෙකුයි මල්ලියෙකුයි දාලා පිට ආගමක මිනිහෙක් එක්ක ගිය මගේම එකෙක් ගැන හිතලා බන් අයියේ . . ඇත්තමයි

මාත් ලියන්නම් මගේ විචාරේ පස්සේ දාක . . දැනට ආයේ පොත මුල ඉඳන් ආපහු සැරයක් කියවන්න ගන්නම් . .

Manorama said...

මරු අප්පා! කියෙව්වාම බඩ පිරුනා..

Malith said...
This comment has been removed by the author.
Malith said...

'නිරන්තරේ නිලි වැස්සට තෙමීයන්' යනු කවියක පදයක් යැයි අසා තිබේ. ඒ ගැන විස්තර දන්න කෙනෙක් reply කරන්න.
contactmalith@inboxalias.com