Monday, 5 July 2010

සිංහ නාදය…..!



වෙසක් ඇවිත් ගොසිනි, පොසොන් ද ගෙවී ඇත.

ඊයේ හවස සුරාජ් ගේ තාත්තාගේ අවුරුද්දේ මතක බණ ඇසීමට දෙමටගොඩ ගියෙමු. බොහෝ කලකට පසුව මිතුරු බස්, කවට කතා හා නරුම දෙඩුම් නිසා සතුටුව ගෙදර පැමිණියෙමු. වෙසක් උදා වන විට මට නිතර මතක් වෙන ගීයක් වෙයි, බී වික්ටර් පෙරේරා ගයන ‘සම්මා සම්බුදු තිලොව තිලක හිමි’ ගීය නිතර නෑසෙයි. එම ගීයෙහි සෝකී අග කොටස 'ගහ කොළ මැළැවී මල් පල වියැළී' ආදී වශයෙන් පිරිනිවන් මංගල්ලය විස්තර කරයි. රේඩියෝ නොඅසන නිසා එය ඉබේ හෝ ඇසීමට ද ඉඩක් නැත.

මට අනුව බොදු ගී අනේක අඬවැඩියාවන්ගෙන්, පුහු වර්ණනාවන්ගෙන් හා අතළොස්සක් වූ ගීතයන්ගෙන් ද යුක්ත වෙයි. යළි යළිත් අසන්නට හිතෙන, ගීයෙහි සරළ පදවැල අසත් අසත් නොසිතූ විරූ අරුත් උපදින බොදු ගී සුදුර්ලබය.

බුදුහූ නිසග, අලෞකික කවියාණ කෙනෙක් වූහ. ඔවුහූ කවි සුත්‍රයක් දේශනා කළෝ එහෙයිනි. ‘කවි සූත්‍රය’ කවියෝ වර්ග හතරක් පෙන්වයි. චින්තා කවි [විඥානවාදී කවියා] සුත කවි [පෙර ඇසූ අයුරින් කවි පබඳින්නා] අත්ත කවි [මනසින් බැහැර පවත්නා වස්තූ රසවත් ලෙස දකින කවියා] පටිභාන කවි [ප්‍රතිභාපූර්ණ විෂය ලෝකයෙහි අලෞකික අරුත් දකින කවියා] යනුවෙන් ඔවුන් වර්ග කළහ, බුදුහු.

මේ වැල්වටාරම් එක ගීයක් නිසාය.

ඉස්සර වෙසක් උදා වන විට අපි තොරණ ගැසීමට සූදානම් වෙමු. උදේනි තොරණ ගැහීමටත් පෙර කැසට් දෙකක් පුරා බොදු ගී පටිගත කර ගනී. තොරණ ඉදිකර නිමවනතෙක් හා ප්‍රදර්ශනය කර නිමවන තෙක් ඒ ගී ඇසෙයි. ටී ෂෙල්ටන් පෙරේරා ගේ ගියක් එහි වෙයි. එහි නොවූ එක් ගීයක් සුදුර්ලබ බොදු ගීයක් වෙයි. ෂෙල්ටන් පෙරේරා තනු යොදා ගයන මේ ගීය බොදු ගීයකැයි දන්නා අය කී දෙනෙක් වෙත්ද?

එගොඩහ යන්නෝ - තව කවුරුද ඉන්නේ
මෙගොඩහ යන්නෝ - තව කවුරුද ඉන්නේ

පමා නොවන්නේ - අඳුර වැටෙන්නේ යනවා
නම් එන්නේ
මම මේ ගඟුලේ - අඟුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා
එගොඩහ යන්නෝ - තව කවුරුද ඉන්නේ
මෙගොඩහ යන්නෝ - තව කවුරුද ඉන්නේ

ගඟුල අනෝමයි අද මට - වෙහෙසයි තව කවුදෝ ඉන්නේ
එගොඩහ යන්නෝ - මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ

එහි අරුත් පහදා ගැනීම ඔබට තබා මම මගේ වැල් වටාරම ලියමි.

මේ ගීය ගැන තහවුරු කර ගැනීමට ගයා සොයා ගත යුතු විය. ගයා කාර්යය බහුල විය. ගිය සෙනසුරාදා ගයා අහුවිය. 'මචං මගේ නිගමනය හරි නේද?' ඔහු එය ස්ථිර කළේය. 'ගැඹුරු අගාධ කියන අර්ථයෙන් තමයි අනෝමයි කියන වචනේ යොදලා තියෙන්නේ, එහෙම සංසාරෙක එගොඩ මෙගොඩ දෙගොඩම ගියේ එක්කෙනයි නෙ බං.' මේ ගීයේ චමත්කාරය මහා සිංහනාද සූත්‍රය සිහිකරයි. උස් මනසින් යුතු වූ තැනැත්තේ පමණක් එබඳු සිංහ නාදයකට සමත් වෙයි.

ගයා ගේ පියා ගී රචකයෙකි. ඔහු වටා බොහෝ කතා ගෙතී ඇත. ඒ කතා කාට වත් හිරිහැර කළ කතා නොවූ බව ගයා ගේ පියාට ගෞරව පිණිස ලියා තබමි. ගයා පහත ඡෙදය සිය පියා සමරා කියනු අසා අපි සළිත වීමු. සිය පියා කෙරෙහි වූ අසමාන ආදරය ගයාගේ හඬෙහි විය. '

වැසිබර සැඳෑවක ම පියාණන්ගේ අතැඟිල්ලෙහි එල්ලී කලබල දෙමටගොඩ නගරය මැදින් ඇවිද ගිය හැටි මට සිහිවේ. බුලත් විටට හුණු යෙදූ ඔහුගේ ඇඟිලි තුඩුවල තැවරී තිබූ සුදු වියළි හුණු පැල්ලම්ද දුම්කොළ කහට වල සුවඳ ද සිහිනයෙන් මෙන් මට තවමත් දැනේ. වැස්සෙන් මා රැක ගන්නට මා හිස මත තැබූ ඔහුගේ අල්ලෙහි බර මට දැනෙන්නේ පිය සෙනෙහස පිළිබඳ ගැඹුරු හැඟුමක් ලෙසිනි.
-ගයා- සසර වසන තුරු [ඩෝල්ටන් අල්විස් : නිර්මාණ නින්නාද]

ෂෙල්ටන් පෙරේරා ද ඩෝල්ටන් අල්විස් ද දෙමටගොඩ විසූහ.

ආශ්‍රිත ලිපි: කවියෙහි ප්‍රතිභාවය -ඩෝල්ටන් අල්විස් -

Sunday, 27 June 2010

රුක් අත්තන මල මුදුනේ… උකුසා..!







ඉස්සර ළමා රංග පීඨයත් සැන්දෑ ප්‍රවෘත්තිත් අතර විනාඩි 15ක කාල ඉඩවරයක් තිබුණි. ඒ ඉඩවරය පුරවන අනිවාර්යය ගීයක වේ නම් ඒ 'රුක් අත්තන මල මුදුනේ' වෙයි.
රුක් අත්තන මල මගේ ජීවිතය හා බැඳී ඇත.
තාත්තා 1974-77 කාලයේ හසළක දුෂ්කර සේවයේ යෙදී සිටියේ ය. හැම ඉරිදාකම ගෙදර මහ 'පොයියංගමක්' ඇතිවෙයි. තාත්තාට නුවරින් හසළක බලා පිටත් වන බසය අල්ලා ගැනීමට බැරි වන තරමට පොයියංගම දුර දිග යයි. මට උණ හැදේ. 'මෙයාට සාංකා උණ' ඕක හරියයි' සැවොම පවසති. මගේ උණ හොඳ වෙන්නේ ඊළඟ සිකුරාදා තාත්තා ආ පසු පැමිණියාට පසු බව දන්නේ මා පමණි.
මට රුක් අත්තන මල මුදුනේ අසන විට (අවුරුදු 35ක් ගත වී) අදටත් ඇසට කඳුලු නැගේ.
ඒ තාත්තා ඈත යාම නිසා දුකින් ඇඬූ දරුවා මිය ගොස් නැති නිසාද? නැතොත් නුවරින් හසළක බසය වරද්දාගෙන ආපසු ආ තාත්තා සඳුදා නිවාඩු දමා [රෑ බසයේ යනු පිණිස] විවිධ වර හදා දුන් සරළ මුත් විස්කම් බඳු වූ කෙළි උපකරණ නිසාද? ගොයම් බට නළා, ගොක් නළා, ගොක් බඹරු, ගංසූරිය කොළ නළා ආදියෙන් ඇරඹි කෙළි බඩු ඇළේ වතුරෙන් කැරකුණු පෙති බඹරා හා 'සෙන්' තානය ට අදත් මනසෙහි ඈතින් දෝංකාර දෙන 'දිය හොල්මන' දක්වා වර්ධනය විය.
'අම්මේ තාත්තා ගෙදර එයිද?'
රුක් අත්තන මල ඇසෙන විටක අම්මා සිටියොත් මේ අතීත වාක්‍යය මතක් කරන්නීය. මේ 'නොස්ටැල්ජියාව' මා සිතේ ඇති කළේ නන්දා ද, ඇගේ තනුව ද, මහින්ද අල්ගම ගේ පද වැල ද? මනෝ විශ්ලේෂකයෙකුට හොඳ විෂයයකි.
නන්දා ගේ තනුවේ මූලය උකුසා වන්නමයි, උකුසා වන්නමේ සියලු තාන හා තාල ලක්ෂණ අඩු නැතුව යොදා ගන්නා නන්දා‍, සිංහල සංගීතයක් ගැන 'පාරම් බාන' ජන කවියෙන් ඔබ්බට ගීතය ගෙන යෑමට කියා ගීතය ජන කවියෙහි ම ඔබා ලා මෙන්න, සිංහල සංගිතය යැයි කියන අයට ඉදිරියෙන් සූ සැට රියනක් උසට නැඟී සිටියි.
තානා... තනෙන තනම්
තානත් තනෙනත් තම්දෙන තානත්
ආදී වශයෙන් එන උකුසා තානමේ චමත්කාරය ගී තනුවෙහි නොනැසී යළි යළිත් පිළිබිඹු වෙයි.
ගීයේ අන්තරා වාද්‍ය ඛණ්ඩයෙහි එන රබාන හා ගැට බෙරය අතර වන සීරු මාරුව හා ගැට බෙර වාදනය ගීතයෙහි 'සංදර්භය' නොනැසී පවත්වා ගන්නේ වැඩි වෙහෙසක් නොගනිමිනි.
1953 අවුරුදු 16ක ගැටයෙකුව සිටියදී 'හේවුඩ්' ගිය තාත්තා අවුරුදු හතක් පණිභාරත, ගුණයා, කිරිගණිතා ආදී ගුරුන්නාන්සේලා අතින් උදේ 8ත් හවස 6ත් අතර නොකඩවා අභ්‍යාසයට ලක් විය. 1960 විශිෂ්ට ශ්‍රේණි සාමාර්ථයක් (කණ්ඩායමේ එක ම) ලබා රජයේ ගුරු සේවයට එකතු විය. ගෙදරින් එක කොළ කෑල්ලක් වත් ගෙන නොයන ඔහු 1991 44/90න් ඉතා අඩු විශ්‍රාම වැටුපක ට හිමිව ගුරු සේවයෙන් සමු ගන්නා තෙක් 100% සාමාර්ථ ප්‍රතිශතයක් නොකඩවා තබා ගත්තේය. ඔහු සමස්ත ලංකා තරඟ සඳහා නිර්මාණය කළ 'උඩරට මැණිකේ දුම්රිය' හා 'පෙරහර' තාල [බෙර] නාද කවි දෙක දැනට ඇත්තේ මගේ මතකයේ පමණි.
'ඔය මිනිහා ගමට වෙලා නාස්ති වුනා; පුදුම දක්ෂ මිනිහෙක්' පියරත්න මාමා නිතර කියයි.
මා විසින් සැළසුම් කරගත් මගේ මඟුල් පෝරුව තාත්තා මට දුන් දායාදයේ කොටසකැයි මට සිතේ. දුව නැටුම් පංතියේ ගුරුතුමියගෙන් පැසසුම් ලබන විට හා මෙතෙක් උගත් සියල්ල කොළකෑල්ලක් වත් නැතිව මතකයෙන් නටන විට හේවුඩ් ඇත්තන් 'වෑල්ඩින් ගුණේ' ගැන කියන කතා ඇත්ත බව දැනෙයි. 'කොල්ලෝ උඹ ද ගුණේ ගේ පුතා' යනුවෙන් නන්දා රත්නතුංග [ලෙංචිනා] පසුගිය දිනක ඇසූ විට හිතට මහත් සතුටක් දැනුනි.
[පුංචි රාළ බාස් -අත්තා- අලින්ට සපත්තු ඇන්දූ බව ද අලින් ලවා අදින කරත්ත තැනූ බව පොල්ගස්දෙණිය වලව්වේ සැට රියන් වී-අටුව තැනූ බව ද අසීරු නිසා බොහෝ වඩුවන් පිරිද්දීමට අසමත් වු පේරාදෙණියේ අක්බාර් ශාලාවේ මහ උළුවහු තිතට පිරිද්දූ බවද මා පිළිගන්නේ එහෙයිනි]
උකුසා, නෛඅඩි, අසදෘශ ආදී ගීත ගුණයෙන් අනුන වන්නම්, ගී කාපාලුවන්ට [ගජගා වන්නම කා දැමුවන්ට] අසු නොවී මිය ගියත් කමක් නැතැයි මට විටෙක සිතේ.
නන්දා ගේ ගායිකාව විසින් ගී තනු නිර්මාණ ශිල්පිනිය මරා දැමූනු බව මට මහත් දුකකින් සිහිපත් වෙයි. නන්දා ගේ තනු නිර්මාණ ශක්තියට දෙස්දෙන සැඳෑ කළුවර හා හදවිල කළඹන ගීත යුග්මය හා ඇය ළමා පිටියට කළ තනු නිර්මාණ රැස මතක් කරමි.
ඉස්සර ළමා රංග පීඨයත් සැන්දෑ ප්‍රවෘත්තිත් අතර විනාඩි 15ක කාල ඉඩවරයක් තිබුණි. ඒ ඉඩවරය පුරවන අනිවාර්යය ගීයක වේ නම් ඒ 'රුක් අත්තන මල මුදුනේ' වෙයි.
රුක් අත්තන මල මගේ ජීවිතය හා බැඳී ඇත.

Friday, 25 June 2010

ඇහැල මල්














[මාගම් තෙන්නකෝන්, පියසේන කහඳගමගේ, ඇන් ටී කරුණාතිලක හා ඇස් ජී පුංචිහේවා ගැන කෙටි සටහනක්]

උඹ කියවන්න පුරුදු වුනේ කොහොමද ? කෙනෙක් මගෙන් විමසයි.

රුසියානු සාහිත්‍යය ලාබෙට හැම තැනම තිබුණු යුගයක ඉපදුනු මම රුද්‍රිගූ, මානිල්ගම, කුරණගේ හා සිරිල් සී. නිසා කියවීමට පෙළැඹුනා යැයි කිවහොත් ඔවුනට අගෞරවයක් නොවේ යැයි සිතමි. රුද්‍රි
ගූ අපූරුවට පරිවර්තනය කළ 'නපුරු පාලකයො තුන්දෙනා' අම්මා මට රුපියල් විසි දෙකයි පණහකට රඹුක්කනදී අරන් දුන් බවද එය දින දෙකක් ඇතුළත කියවා අවසන් කළ බවද අද මෙන් මතකය.

1980 ඇරඹූ ‘දිවයින’ පුවත් පත අප වෙත අපූරු පුද්ගලයින් සිව් දෙනෙකු කැඳවා ආවේය.

කහඳගමගේ ගුරු සේවයේ රස කතා නමින් ලියූ ලිපි පෙළ අදීන, නිස්සරණාධ්‍යාශයෙන් පිරිපුන් ගුරුවරු බොහෝ දෙනෙකු ද ඔවුනගෙ අදම්‍ය ක්‍රියාකලාපයන් ද රසවත්ව කියා පෑවේය. කහඳගමගේ හා ඒ බොහෝ දෙනෙකු 1980 ජූලි රැකියා අහිමි වූවන් බවද ඒ හා සමාන කටුක හා අභිමානවත් සත්‍යයකි. ඔහුගේ කතා බොහොමයක කතානායකයා ඇස්. ජී. බව මිතුරෙක් කීය. ඇස්. ජී. හමු වූ මුල් දිනයෙහි ඔහුගේ අත දෝතින් අල්ලා ආචාර කළේ ඉහත නම් සඳහන් සිවු දෙනාටම බව කිව මනාය.

ඇස්. ජී. අදත් නිබයව ඔහුගේ පෑන ලෙළවයි. ඔහුගේ නූස් රූපකාය පොසිල ගත වූවා යැයි සැක කරන දුලබ සත්ත්ව විශේෂයක් මෙන් සිත් අලවයි.

කහඳගමගේ ගේ රැකියාව නැති වීම ලංකා සමාජය ලැබූ දායාදයකි. ඔහු රැකියාවෙහි යෙදී උන් පානම් පත්තුව අත් නොහළේය. සමාජ හා භාෂා පරියෙසන ගණනාවක නිරත වූ ඔහු දිගාමඬුළු ජනවහර, කමත, කෙත, කුඹුර, හේන හා ප්‍රබන්ධ කතා ගණනාවක් නිමා කළේය. අදටත් දෙවර තුන්වර කියැවෙන ඔහුගේ පොත් කියැවීමේ ආස්වාදය මනා කොට ලබා දෙයි.

ඇන්. ටී. ගේ පොත් අතරින් මා වඩාත්ම කියවා ඇත්තේ 'ගාඩි වංශය' [රොඩී] ගැන ඔහු කල කුඩා පොත් පිංචයි. නමුත් ඇන්. ටී. පසුව මා වෙත සමීප වන්නේ ඔහුගේ ජීවිත කතාව වන 'දිගු ගමනක කෙටි සටහන්' කියැවීමෙනි. 'දම් පිටි වැවේ විත්ති' නම් ළමා පොත පාසැල් පෙළ පොතකට සුදුසුය. 'ගුරුවරයා නම් උත්තම පුරුෂයෙකි' නම් එහි දෙවන උල්ලාසය නිදහස් අධ්‍යාපනය වචනාර්ථයෙන් ගෙන උඩ පනින බොහෝ දෙනෙකුට දෙන 'ඇඹුල්' පිළිතුරකි.

කෙටි සරළ වැකියෙන් ලියැවුන ඔහුගේ පොත් කියැවිමේ රුචිය වඩවයි. එහි වඩා ආකර්ෂණීය ලක්ෂණය වන්නේ කහඳගමගේ රටේ ගිණිකොන පැත්තේ සිට ලියූවා වැනි දේම ඇන්. ටී. වයඹ දිග සිට ලිවිමයි. ඔහුගේ පොත් කියැවීමට ඇවැසිකෙනෙක් ගොඩගේ සාප්පුවේ පරණ පොත් අවුස්සා කවර නැති පොත් බැඳ ගැනීම කළ යුතුය.

මෙකී ධාරාවේ කෙනෙක් කෑගල්ලේ යටියන්තොට වැස අභාවිත විය. ඔහු මාගම් තෙන්නකෝන් වුයේය. මාගම් මුල්වරට පළ වන්නට පටන් ගත් විට දිවයිනේ ඒ පිටුව එකතු කළ බව මතකය. පසුව ඒ ලිපි පෙළ ‘දිවි සයුරෙන් දිය දෝතක්’ යනුවෙන් පළ විය. මාගම් විසින් ලියූ ඒ ලිපි පෙළ බ්ලොග් ලියන කෙනෙකුට නිර්දේශ කළ යුතුය. එහි දැනුම හා ශෛලිය අදීනය විශිෂ්ටය. ලෝකය
කෙරෙහි මෙන්ම තමා කෙරෙහිද විවේචනාත්මකය. මාගම් වමේද ජාතිවාදයේද සරම සිහින් කෝටුවකින් උස්සා පෙන්වයි.

වී ඩී ලැනරෝල් මේ ධාරාවෙහි පුරෝගාමී වූ ලේඛකයා යැයි ඔහුට ප්‍රණාම පිණිස ලියා තබමි.ඇල්. ඩී. මැන්දිස් කලක් විසූ ගම්පහ ජයකොඩි වෙද මහතාගේ සාප්පුව අසල නිවස සොයා යෑමට පහසු නොවන මුත් ඒ කුමක්දැයි අනුමානයෙන් සිතීම ගම්පහ යන සෑම වරෙක ම මා අතින් කෙරෙයි.ඔහුද රසවත් ගුරෙකි, හිතුවක්කාරයෙකි, අපේ අම්මාගේ යෙදුමෙකින් කිවහොත් 'දණ්ඩවාල මිනිහෙකි' සියුම් වදන් සිත්තරෙකි. ඔහු අතිශයෝක්තියට නැඟූ ගමෙහි යථාව පෙන්වීය.

මේ සෑම දෙනාම කිසිදු ගුරුකුලයකට හසු නොවූ ස්වාධීන මිනිස්සු වුහ. ඔවුහු 'උප සංස්කෘති' ගත [sub-altern] වුහ. සමාජයේ මතු මහලෙහි
වූවෝ හෝ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යය නිසා සමාජ ගත වූවෝ නොවුහ. ලිවීම ලිවීම උදෙසා විනා අනෙක් අරමුණු උදෙසා භාවිතා නොකළහ. වාචාල වීමට ඕනෑවටත් වඩා දැනුම සහිත වූ නමුත් කිසි විටෙක එසේ නොකළ හ. ජන මනස ආලෝලනය කර රුවන් විමන් කරා ඉණිමං තනා නොගත් හ.

මේ සියල්ල ලියැවෙන්නේ ඇන්. ටී. ගේ පොතෙක අවසන් ඡේදය නිසා ය.
ඒ මෙසේය;

“මා කුඩාකල අම්මා මට කීවේ උතුරට හෝ නැගෙනහිරට හිස දමා නිදන හැටියට ය. මා මළ කල මගේ මෘත දේහය මා ඉතා ප්‍රිය කළ තේක්ක ලන්දේ ඇහැල ගහ යට හිස උතුරට සිටින සේ වළ ලන ‍ලෙස මම නියම කරමි. එ කල ඒ අවට ගස්වල කුරුල්ලන් කුඩු තනනු ඇත. කිරිල්ලියන් එහි බිජු දමා පැටවුන් පෝෂණය කරනු ඇත. ඉරි ලේනුන් හාවුන් කලවැද්දන් මුගටින් ඒ අවට දරුවන් සුරතල් කරනු ඇත. ඇහැල ගස කහ පැහැති මලින් ඒ අවට සරසනු ඇත. අනාගතයේ තේක්ක ගස් කපන්නන් විසින් මගේ වළ මතට එම ගස් පෙරළා දමනවා ඇත. ඇහැල ගහ කපන්නන් මගේ වල අවුස්සා මගේ ඇට කටු විසුරුවා හරිනු ඇත.” [දිගු ගමනක කෙටි සටහන්]

ඔවුහු අප ජීවිතය පෝෂණය කළ හ. ලෞකික ව අල්පයක් තරම් පමණක් ලබා නික්ම ගියහ. පුරුෂාර්ථ නිසා තාඩනයට, පීඩනයට ලක් වුහ, ලක් වෙයි. මේ කුඩා මිනිස්සු යෝධයන් මෙන් රාක්කයේ සිට මා දෙස බලා සිටිති. මට බොහෝ දේ උගන්වති.

මගේ මිදුලේ ඇහැල ගස දළුලා වැඩෙයි.

උඹ කියවන්න පුරුදු වුනේ කොහොමද ? කෙනෙක් මගෙන් විමසයි.



[පසු සටහන: මාගම් තෙන්නකෝන්, ඇන්. ටී, කහඳගමගේ හා ඇස් ජී අතරින් ඇස්. ජී. හැර අන් තිදෙන අප හැර ගොසිනි.]

Tuesday, 22 June 2010

එන්න බැරි වුනත්..



පියන්කාරගේ බන්දුල ජයවීර ගේ 'තෝරාගත් කෘති' අද හවස 2.30 ට පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එළි දැක්වේ


කාල මේ කුළු ගසාගිය පසු
ඉතිරිවුන තිරිවාන කැටයට




පහු ගිය විසි වසර
වරින් වර
විවිධ තැන දැකි මුත්
කතා නොකලෙමි ඔබට
කවි පිටුවක හමුව
මගහැර නොගිය
බව මතකය

බන්ධුල,
ඔබට අහුවුනිද
යුධ ගැල් පන්සියය
එක කෙලින් පිහිටන තැන

Tuesday, 6 April 2010

෴ මැදින් කහ මල් ෴











රජ කැලෙන් පැන
ධවල තුරඟුට
එකම හුස්මෙන්
පැමිණ ඔරුවට

සුබ්බම්මා
ඔබ පැලට
ආයෙමි
කන්නසාමිගෙ
තම්පලා මැද

හරිත පල්ලුව
ගෙතුණ ඔසරිය
තෙමා වැටෙනු ද
වියෝ දුක මැද
මදුර පුරයෙන්
ගෙනත් තනි කළ
දුකට ගැටඹෙන්
ගඟත් ඇදවිය

මැදින් මහ හැම
පිපෙන කහමල්
හරිත පල්ලුව
වැළඳ වැතිරෙත

සඳ දිදුල
තුරු හිස
රැඳෙන මෙන
දුරුතු මරණෙන්
නැඟී එන්නෙමි


෴ ඒ වගත් මෙසේම෴
෴ කීර්ති෴.

සුබ්බම්මා යනු ශ්‍රී වික්‍රම රාජසිංහ කන්ද උඩරට රජුගේ මවයි. ඇය කීර්ති ශ්‍රී රාජසිංහට, රාජාධිරාජසිංහට හා පිළිමතලව්වේ අධිකාරමට යකඩ දෝළියක වූ  බව ප්‍රවාද ගතයි. රජුන් හා නිළමේලා ගැන කතා ලියා තබා ඇති නමුත්, සුබ්බම්මා ගැන කතා ඇත්තේ ජනප්‍රවාදයේ පමණකි. කීර්ති ශ්‍රී රාජසිංහ හා ඇය අතර තුබුණා යැයි කියැවෙන ප්‍රේමය මේ ප්‍රබන්ධයට නිමිත්ත විය. මාර්තු මස[මැදින්] අග සතිය වෙන විට ඇය විසුවා යැයි කියැවෙන ඉඩම ඇති පේරාදෙණිය මල්වත්තේද ඉන් මොබ ඇති විශ්වවිද්‍යාල භූමියේද  තුරුහිස් 'යථා පුෂ්පිත' කහ පැහැති මල් අගින් හැසී ගැවසී ගනී. එකී උයන් බිම් වටකර මහවැලි නදිය ගැටඹෙන් අක්වක් වී ගලයි