Monday 25 May 2015

නිරන්තරේ නිලි වැස්සට තෙමියන්..!



















කෙනෙකුට එකවරම තමන් ගේ වයස අඩකින් අඩු කොට, බයිසිකලයක පිටිපස්සේ තබා, ගං ගානේ ඇවිද්දවන කතන්දරයක් හමු වන්නෙ කලාතුරකිනි.
.....................

හතර කෝරළය ට [ගල්බඩ, කිඳිගොඩ, පරණ කූරුව, බෙලිගල] ඉර පායන්නේ හරි අමුතු විදිහකටය. එහි ඇතිළි පල්ලවල් වගේ ගම් ඇත. ඇතිළි ගැට්ටෙන් ඉර උදාවෙන්නේ මීදුම අතරින් රැස් රේඛා විහිදුවමිනි. අලුත දිගැරුණු කිතුල් මලක කහ පාට වැඩි කරමින් පායන ඉර එළිය මීදුම පෙරන්ගාගෙන තණ අග පිණි මැණික් කැට බඳු කරවමින් පොළවේ වැතිරේ. 

දෙමළහිරියේ, දූල්දෙණිය පාරේ [මොනතරම් ලස්සන නමක්ද?]ගලහිටියාවේ ගල්ලිඳ ගාව ට ඉර එළිය ගලන්නෙ උදේ නවයත් පසු වූ පසුවය. හවස තුන වෙන විට එතෙන්ඩ ඉර බහී. ගලහිටියාව හවසට තහනම් අඩවියකි. හරංකහතැන්නේ ඌරාට වැහුණු මහ සෝණා ද, මැලේරියා වසංගත කාලයේ එහි වැලලූ මිනී වලට ඉව කරමින් යන රී රී යකාද සිටිති. පොකුටු කොල්ලා අපේ නෑදෑයෙක් තරම් එදිනෙදා කතාවට කලවම් වෙයි.

හරංකහතැන්නට පතිත වන සියලු වැහිබිඳු ගලහිටියාවේ පල්කඩවල් බඳු වෙල් ලියදි පහු කර ඇළ දිගේ ගලයි. ඇලහබඩ කුඹුර, දොළොල්ලහ, මංදණ්ඩ, පසු කර ගලන ඇළ යටියෝවිට ලියද්ද අයිනෙන් මේනම මංකඩේ දී මාඔය ට හා වෙයි.

එතන එක් කතන්දරයකි.

බෙරවිල ගමට උඩින් ඇති තිස්කුමාර ගලෙන් පැන්න කුමාරිකාවන් ගෙන් බඩදරු කුමාරිකාව ගේ මලකඳ රැඳුනේ ඒ මංකඩේය. පොහොන් කෙලියේ ජයම්පතී අයියලාගේ ඉඩමේ අදටත් තණකොළ නොවැවෙන කොටුවක් ඇත. ඒ දාපුළුසෙන් සිය මවගේ මළකඳෙන් ඉපිද කෙලිමින් සිටිය සොහොනයි. පොහොන් කෙළිය හන්දියට ඔබ රාජගිරි ම[හ]ල්පා රජමහා විහාරය පෙනේ. ලංකාවේ සප්ත නාරි ඝට කැටයම් කළ උළුවහු තුනක් ඇත්තේ ද ඒ පන්සලේ පමණි.
...............................

සියලු රාශ්ඨ්‍ර වියවුල් ගැහැණිය මත බලපාන්නේ විෂමාකාරයෙනි. හමිදුම්මා, සුනේත්‍රා දෙදෙනාම මේ වියවුලේ වැටුනු ගැහැනුන් ය. සයිමන් ගෙ සාපේක්ෂණී හි පූර්ණා ද, සුද්දිලාගේ කතාවේ සුද්දී ද රාශ්ඨ්‍ර වියවුල් විසින් ගොදුරු කරගැනිනි. රම්මැණිකා ගේ යුගය ද එබඳුම විපරීත සමයකි.

මහනුවර රජවුන තුන්වෙනි රජු 'රාජසිංහ' නම් විය. ඔහු සෙනරත් රජුගේ එක් පුත්‍රයෙකි. මහලුව සිටි සෙනරත් රජු කුසපත් ඇද ඌව කුමාරසිංහට ද, මාතලේ විජයපාලට ද කන්ද උඩරට රාජසිංහට ද ලැබෙන පරිදි නියම කර මිය ගියේය. කුමාර සිංහ අකාලයේ මිය ගියේය.

1635 අවුරුද්දේ දෙවැනි රාජසිංහ [පලමු රාජසිංහ -කෝට්ටේ ටිකිරි කුමාරයා ය] ජකර්තා හිටි ලන්දේසින් හා මිතුරුවුනේ සතුරාගේ සතුරා මිතුරා ය යන පුරාණ නුවණ අනුව යමිනි.

විජයපාල රජ්ජුරුවන් හා දෙවිරාජසිංහ රජ්ජුරුවෝ උඩරට රජකරන කොට නැවතත් ප්‍රතිකාල් ජනරජ හා කප්පිත්තාවරු හා සතර දිසාව කරවන ප්‍රතිකාල් සතරදෙනා හා නොයෙක් ප්‍රතිකාල් සෙනගත් පාත රට සිංහල සේනාව සමඟ   නවදහසක් සේනාව උඩරටට ගොසින් කන්ද උඩ නුවර ගිනිලා දේවාල වල ගෙරිමස් කපා තිබා ආපසු එනවිට ගංඔරුවේදී රජ දෙකට්ටුව වටලා ගෙන යුධ කර ඒ ජනයන් අල්ලා මරාදමා ප්‍රතිකානුන් ඔක්කොම ඉස් කපා ගං ඔරුවේ ගොඩ කළාය. [රාජාවලිය : සූරවීර 250] 1638 අවුරුද්දේ දි ය.

පසුව විජයපාල පෘතුගීසීන් හා එකතු විය.

මේ යුගයේ ඕලන්දක්කාර කපිතාන් ලීවන්ස් හොරෙන් හොරෙන් උඩරට පදින්ඩ ඇත.
.................................

එක්තරා අතීතයක දුංහේනේ සාලිරත්න ලියූ 'හතරකෝරළේ විත්ති' පොත සොයා යෑමේ ආසාව නිසා 'අරණායක ලංකාදීප මාණ්ඩලික වාර්තාකරු; අම්බලකන්දේ නිමල් ජී හතුරුසිංහ' ගේ මෙට් 50 බයිසිකලයේ පිටුපස නැගී ඔලුවෙන් රූරා වැටෙන හිස් ආරක්ෂක වැසුම අතකින් අල්ලාගෙන දෙවනගල, ඒදඬුවාව, බැමිණිවත්ත, පොල්ගස්දෙණිය, අලුත්නුවර, උයන්වත්ත පාරක් පාරක් ගානේ ගිය හැටි මතක් වෙයි.

ඒ ගමනේදී ඒදඬුවාවේ ගෑණු දිසාවගේ ගෙයි පාදමත්, වී බිස්සේ බිහිගලත්, මැටි කැට යොදා වටකළ කැට ළිඳත් බලාගෙන සාලිරත්න මහත්තයා ගාව තිබූ 'හතර කෝරළේ විත්ති' පොතත් ඉල්ලාගෙන ගෙදර ආවේ රිවිකුල දේවිය හා ගිරුවා දේවිය බඳු කාන්තාවන් ගැන කතා ලියන්ඩ ඇත්තම් හොඳ යැයි සිතමිනි.

දුංහේන ඇත්තේ කොළඹ-නුවර මහ පාරේ මිල්ලන්ගොඩින් උඩට යන පාරේ තේ වත්තට කලිනි. තේවත්ත හා දුංහේන අතර ඇති වෙලේ වැඩ කරන ලොකු අත්තා කමතේ ඇති කටුමැටි පැලේ තේ හදයි. දුංහේනේ කඩෙන් විස්කිරිඤ්ඤා නාරං බික් ආදිය මටත් ලැබෙයි.

ඔය ළමයා කොහෙද ? සාලිරත්න මහතා මගෙන් ඇසුවේය.

'දිප්පිටියේ. අපේ අම්මා නං දුංහේන පැත්තේ තමා. '

'ඒ කොහෙද?',

'උඩුමුල්ලේ, දෙණියෙ ගෙදර', අංකුරු මුදියංසේ කියන්නේ මගෙ ලොකු අත්තට'

ඔහුගේ මූණ දන්නා අඳුනන බවකින් ආලෝකමත් විය.

'ඔය ළමයා දෙණියෙ ගෙදර කාගේ ද?'
                              
සාලිරත්න මහතා ලොකු අම්මලාගේ නම් කියයි. 'ඥානවතී මැණිකේ, නන්දාවතී  මැණිකේ, දයාවතී  මැණිකේ..' මරඟනන් බඳු රූ සිරියෙන් යුතු ලොකු අම්මලා ඔහුගේ වර්ණනාවට හසු වෙයි.

දෙණියෙ ගෙදර 'රම්මැණිකේ' ලොකු අම්මලා තරුණ වියේ හිටි තරම් අලංකාරයකින්, රූප සෝබාවකින්, ලීලාවකින් මට මවා ගත හැකිය.

කැගල්ලේ [හතර කෝරළේ] හැටි එහෙමය, හොයාගෙන ගියොත් හැම ගල්ලැන්දකටම, වෙල් ලියැද්දකටම, පීල්ලක ට ම කතාවක් ඇත.
...........................

ලොකු අත්තා දවසක් මා ලඟට කතා කරගත්තේය. අත්තා අතේ නැඩ කඩුවකි. ගෑවුනත් කැපෙන පෙනුමක් තිබුණු ඒ කඩුව මගේ සිත් ගත්තේ නැත, කඩුවක් නම් කැටයං තිබිය යුතුය, මිට නැවී තිබිය යුතුය,

'බොලං, මේ තමා ලංදේසි කඩුව'

අත්තා කඩු මුණ මගේ මූණට පෑවේය.

'මේ පේනවද ලංදේසියාගේ කුකුලා, රත්තරනෙන් කොටලා තියෙන්නේ'.

දිලිසෙන පැල්ලමක් විනා මට පෙනුනු කුකුලෙක් නැත.

දැං ඒ කුකුලාට තෙරුමක් ඇත, කුකුලා ගාල්ලේ ඇඬලූ බව ලියා ඇති නිසා මේ කඩුව කපිතාන් ලීවන්ස් ගේ කඩුව ට සමාන බව මට හිතා ගත හැකිය.
........................

අරණායක මැදිලියේ බණ්ඩාර මහතා මට ශේක්ස්පියර් ඉගැන්වීය. ඔහු ට මැක්බත් එක පිටුවක් කිරීමට සති කීපයක් ගතවෙයි. 'වෙරිඤ්ඤ ඌස්ට් ඉන්ඩිස්චෙ කොම්පඤ්ඤෙ'  [VoC] ගැන දිනයක ඔහු ශේක්ස්පියර් අමතක කර කියාදුන්නේය.

"ඒ කාලේ කොළඹ [කෝට්ටේ] නුවර පාර වැටිලා තිබුණේ අලපලාවල, දනගිරිගල පැත්තෙන්, අට්ටාපිටියෙන් මාඔයෙන් එගොඩ වෙලා යන්ඩ තිබුණේ. තාමත් තොටි පවුල් ඉන්නවා නේද?"

ලැයිසා නැන්දාගේ තාත්තා කොටි පිංචා යැයි සුනිල් මට කියා දී තිබුණි.

"අපි කොටි පැටවු."

සුනිල් ගේ කළු පැහැය ඉක්මවා ගිය සුදු සිනහව මතු විය.

"කොටි නෙවෙයි තොටි, මා ඔයේ සංගිලිපාලම දාන්ඩ කලින් ඔරුවක් තිබුණලු, ඒක පැද්දෙ සුනිල්ගෙ අත්තා".

පල්ලේහා ආච්චි කීවේ එහෙම කතාවකි.
................................

පී ඇම් අභයසිංහ 'කන්ද උඩරට විත්ති' පොතේ රාසිං දෙයියන් ගැන කතා ලියන්නේ 1815 තවමත්  ගෙවී නැති ලෙසිනි.  1982 හරියේ රිවිසඳ පුස්තකාලෙන් ගෙනා වික්‍රමසිංහ මහතාගේ 'මග දිගට ජනකතා' පොත කලක් මා සතුව පැවතිනි. පුස්තකාලාධි පතිනිය වූ ගුණතිලක මහත්මිය තාත්තාට කියා තිබුණේ,

'ගුණේ ගෙ පුතා කියවනව නෙ, ප්‍රවේසම් කරලා ගෙනත් දෙන්න'.

කවරය අහිමිව සිටි ඒ පොතට කවරයක් දමා මිහිර පත්තරෙ පලවූ  රාජාධිරාජසිංහ-ස්පිල්බර්ජන් හමුව පින්තූරෙන් ස්පිල්බර්ජන් කපාදමා රාසිං දෙයියන් අලවා අලංකාර කොට බොහෝ වතාවක් කියවා අකමැත්තෙන් ආපසු දුන්නෙමි.

එහි එක කතාවක ප්‍රධාන චරිතය වෙන දෙවනි රාජසිංහ ගේ ලොකුතාත්තා වූ විමල්ධර්මසූරිය වාසලේ අට ඉස්බක් කරණම් ගැසූ ඒදඬුවාවේ ගෑණු දිසාව [මරුවල්ලියේ කුමාරිහාමි] ගෑණුන් ගැන දෘෂ්ඨිය වෙනස් කරවන ගැහැණියකි. රම්මැණිකේ ඇයගේ ගමේ ගෑනියකි. ඇයට බය වීමට ඇත්තේ තමාට පමණකි. මොල්ලිගොඩට දිසාවෙට හා ශ්‍රී වික්‍රමට දොර පෙන් වූ ඇහැළේපොල කුමාරිහාමි බිය නොහඳුනන බව අදටත් නුවර මාකට් එක හරියේ පෙනෙනවා යැයි කියන ඇගේ අවතාරය මුණ ගැසී අසා ගත හැකිය.

නවතොටමුණෙන් ගෙන එන මාලුත්, හීත වන්නියෙන් ගෙන එන දඩමසුත් මදි වී දඩයමේ ගිය දෙවනි රාජසිංහ කෑ-ගල උඩ බුලත් කොක්කනය අමතක කර දමා යන්ඩ හේතුව කෑගල්ලේ ටියුෂන් පංති ඉවර වූ විට දැක ගත හැකිය.

දහය පංතියේදී තමන්ට මග හරස් කළ චන්ඩියෙකුට කවකටුව උරුක් කර 'දැන ගං මම අංකුරු මුදියන්සෙගෙ දුව' යයි කියූ අපේ අම්මා, සුදුබණ්ඩාට කණේ පහරක් දෙන රම්මැණිකේ ගෙන් මතුවෙයි. කලිසං අඳින තරුණ පිරිමි නොතකා, රෙද්ද අඳින, තමන්ට අවුරුදු 13ක් වැඩිමල් මිනිහෙකු [අපේ තාත්තා] හා දීග ගිය ඇය, ගාල්ලේ ගිය රම්මැණිකා හා ගාල්ලේ යන්ඩ ඇත.
............................

කාත්‍යානා ගේ 'නිලිවැස්ස' පොත නිසා මා පත් වූ ඇබැද්දිය මෙසේ ලියා තබන්ඩ හිතුවේ, කුඩා කාලේ කෑගල්ලේ විජය ක්‍රීම් හවුස් එකෙන් අයිස් ක්‍රිම් එකක් අරන් නොදී එතනින් අරන් යන්ඩ බැරි වුන ළමයා ට බොහොම දේ ඔලුවේ වැඩ කරවන්ඩ ඇගේ පොත හේතු වූ නිසාය.

එහි පෙරවදනේ සිටම කියවන්නා බැඳ තබාගන්නා සරළ ගුණයක් ඇත. ඇය තාක්ෂණික හරඹ වෙනුවට කතා කීමේ සරළ ගුණය යොදා ගනිමින්, රම්මැණිකා ලවා, ඇය රම්මැණිකාට තේරුම් යන දේ පමණක් කියවයි. ඒ සීමාව කතාව අවසන් වන තෙක් රැක ගැනීම කාත්‍යානා ගේ දක්ෂ කමක් ලෙස සැලැකීමට මම කැමැත්තෙමි. ඒදඬුවාව, පැල්ලම්පිටිය, උඩබද්දා ව නිලමේ ලා අඹන්වල රාළ ගේ මූලිකත්වයෙන් ඇරඹූ අසාර්ථක කැරැල්ල තාක්ෂණිකව හෝ ඉතිහාසයීයව විස්තර නොකර ජන්තු ගේ මරණය ලවා ඉඟි කර නැවැත්වීමේ 'ලේඛක විනය' හිතේ පැහැදීමක් ඇති කරයි.
 ...............................

පොතේ සියලු පරිච්ඡෙද සේ ම පෙරවදන ද දන්නා අඳුනන එකකි. පේරාදෙණියේ සිට ම දන්නා උදානි පහුගිය දාක 'ඉලිෂ' මල්ලිගේ අවසාන කටයුතු අවසන් වෙන තෙක් සැමියා ද දරුවන් ද අරගෙන හැකි සෑම විටකම එහේ පැමිණි නිසා එහි හිතවත් බවක් තිබුණි.බොහෝ කලකට පසු හමුවුනු ඔවුන් හා බෙදා ගන්නට දුකක් තිබුණි. සාමා ද මා ද එක කාර්යාලයයක සේවය කළ යුගයක් තිබුණි.

හතර කෝරළය හරි අපූරු පැත්තකි. එහි හැම ගල්ලැන්දකටම, ඇළකටම, පීල්ලකටම කතා ඇත. ඒවා ලියා තබන්ඩ කෙනෙකු උවමනාය. ගෑණු කෙනෙක් ලියනකොට එකතු වෙන 'සිරා බිරා' නිසා ඒ කතා අමුතු ලකයක් ඇතිව කියවේ.


හතරකෝරළේට ඉර පායන්නේ ඇතිලි අඩියකට ඉර පායන අයුරිනි. අලගල්ල පැත්තෙන් පෑව්වත්, දුම්බුලුවාව පැත්තෙන් පෑව්වත්, තණ අග දිලිසෙන පිණි වියලා දමන්ඩ ඉර රශ්මියට සෑහෙන වෙලාවක් ගතවේ.

Saturday 9 May 2015

පිච්ච කැකුළු...!


ඊයේ අම්මා කතා කළාය.

සෝමවීර අයියා බේතකට පිච්ච කැකුළු සොයා බොහෝ තැන ගොස්, අන්තිමට අපේ ගෙදර පාර අයිනේ ඇති පිච්ච පඳුර ගැන ආරංචි වී, පිච්ච කැකුළුත් කඩාගෙන මගේ ගැන විස්තරත් අසා ගිය බව ඇය කීවාය. සෝමවීර අයියා අනුරාධ ගේ ලොකු බාප්පා වුවත් ඔහු හා මගේ ඇති දේශපාලන සබඳතාව අනුව ඔහු මට 1988 සිටම සෝමවීර අයියා විය. ඉතිහාසය, දේශපාලනය, සාහිත්‍යය ගැන ඔහු සතු මතකය හා විශ්ලේෂණය නිමල් අයියා සතුව තිබූ දැනුම තරම්ම අනම්‍ය පෘථුල එකකි.

අනුරාධ ගේ පොඩි බාප්පා වෙනස් පුද්ගලයෙකි. ඔහු මෘදු, සෝමවීර අයියා තරම් තියුණු වචන භාවිතා නොකරන, වෙනස් ආකාරයක සියුම් මිනිසෙකි. නමින් ජයසේකර වූ නිසා ඔහු සේකර අංකල් විය.

සමහර දිනෙක හවස සිට රාත්‍රිය තෙක්, දිප්පිටිය ටවුමේ මංගලසෝම වෙදමහතා ගේ නිවෙසත්, සේකර අංකල් ගේ නිවෙසත් වෙන් කළ අරණායක පාර මැද ඉඳගෙන ඔහු හා මා අතර ඇති වූ කතා හා වාද රාශියකි. ඔහු ඒවාට එළඹුණේ 'සයිමන්' කියවීම නිසා සාහිත්‍ය වේගයකට එළඹුනු ගැටයෙකුට පාර පෙන්නන ගුරුවරයෙකු ලෙසිනි. වෘත්තියෙන් ගුරුවරයෙකු වූ සේකර අංකල් සිය ගැටවර වියේ 'කිං සච්ච ගවේසී' වූ ආකාරය ගැන විවිධ කතා කීවා මතු නොව තමා සතුව තිබූ දුර්වර්ණ රෝනියෝ අත් පිටපත් මට දී ඒවා කියවන්නැයි දිරිමත් කළේය.

මේ සංවාද අවසන් වුනේ 1994-95 කාලයේ දිනෙක පේරාදෙණියේ මහාචාර්ය වරයෙක් ගේ නිවසේ තිබූ සංගීත සැසියකට ඔහු මා කැඳවා ගෙන යාමෙනි. මහාචාර්ය ඩබ්. එම්. ගුණතිලක ගේ නිවසේ සෙනසුරාදා දින වූ එම සැසියට නමක් වූ නමුත් එය දැන් මට මතක නැත. ගම්පොළ පාරේ අක්බාර් ශාලාවට ඔබ්බෙන් වූ කුඩා දෙමහල් නිල නිවසේ පෙනුම අපූරු එකකි. කවදාක හෝ එබඳු රූප එල්ලෙන නිවසක් තැනීමේ ආසාව ඇති වූයේ එදා ය. සාලාවේ බිත්තියේ එල්ලා තිබූ සුන්දර වර්ණවත් කුඅන්-යින් රූපය කෙදිනක හෝ 'පෝතලක මුක්තිදායක කුවන් යින්' රූපයක් ද එල්ලා තැබීමේ ආසාව ඇති කළේය.

සේකර අංකල් දුන් අත් පිටපත් වල තවත් මහාචාර්ය වරයෙකු ගේ නම විය, ඔහු 'ගුණපාල ධර්මසිරි' විය.

ලෝකයේ අකාරුණික බව නිසා සේකර අංකල් අභාවිතව වසර ගණනකි. ගුණපාල ධර්මසිරි මහතා අද අභාවප්‍රාප්ත වූ බව නංගී කෙටි පණිවිඩයක ලියා එව්වාය. ධර්මසිරි සූරීන් හමු වීමට පිළිවෙලක් යොදා ගැනීමට, පැතුම් පුංචිහේවා හා කතා වී හරියටම සතියක් ගත වූ තැන ඒ ආරංචිය ලැබුණි. මහායානය ගැන අවබෝධයක් ලබා ගැනීමට ගුණපාල ධර්මසිරි සූරීන් හමුවිය යුතු ම යැයි දැනුනු නිසා ඒ සූදානම ඇති විය.

මහායානය ලංකාවේ විවිධ අවස්ථාවල දී පැන නැගී වියැකී ගිය ධාරාවකි. ප්‍රඥාවේද ශ්‍රද්ධාවේද වෙනස්ම සංකලනයක් වන මහායානය, සූත්‍ර හා අභිධර්මයන් කෙරෙහි අනන්‍ය විශිෂ්ට වූ පිවිසුමක් වෙයි. කලින්ද ලියා ඇති පරිදි, අප සතු මගඟු සඟ මිණි වූ පොල්වත්තේ බුද්ධදත්ත, මොරටුවේ සාසනරතන, අත්තුඩාවේ රාහුල ආදී සංඝයා වහන්සේ සතර බ්‍රහ්ම විහරණයෙන් සජ්ජිතව 'මහායානය' වෙත සිය විභාගාක්ෂිය යොමු කළහ. උන් වහන්සේලා පුළුල් ව ද , කාලාවර්තීව ද කියා පෑ මහායාන විස්තරයේ  මහාද්වීපික විස්තරය කියා දීම ධර්මසිරි -ගුණතිලක සංයෝගයෙන් සිදු විය. 1976 මහගමසේකර අතින් විවර වූ කාව්‍ය දොරටුව නවකතාවට අල්ලා ගත් සයිමන් සේම දාර්ශනිකවද, භක්තිවන්තවද, න්‍යායිකවද විපුල මහායානය ගැන ලියා, පරිවර්තනය කර තැබුවෝ ඔවුහු දෙපොළම වෙති. 

'සංස්කෘත (ප්‍රත්‍යසමුත්පන්න ) ධර්මයන්ගේ ශූන්‍යතාව 'පුද්ගලයෙක් ඇත නැත' යන දෙකම ප්‍රතික්ෂේප කරයි. ප්‍රත්‍යයන්ගෙන් හටනොගත් ධර්මයක් කිසිතැනක නැත. එබැවින් එය හැම කල්හි ම වෙනස් වෙයි. පුද්ගලාදිය ප්‍රඥප්තිමාත්‍රයකැයි නාගාර්ජුන තෙරණුවෝ කීහ.' [ථේරවාදී බෞද්ධ දර්ශනය-පිට 40 -පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර]

සියලු ගූඪ ශාස්ත්‍රයන්ට පරිමිත සීමාවන් වෙති. භෞතිකය සදාකාලික අණුව හෝ එහි මැවුම්කරු සොයා යයි. ගණිතය අවසාන පරම සූත්‍රය සොයා යයි, රස විද්‍යාව අමරණීයත්වය උදා කරන ප්‍රඥා පාෂාණය හෝ අමෘතය සොයා යයි, ඖෂධවේදය කය ජරාවට යෑම වැළකීමේ උපක්‍රම තනයි. මාධ්‍යමිකයින්ගේ අග්‍ර වූ නාගාර්ජුනපාදයෝ ප්‍රඥාපාෂාණය සොයා රන් තනා 'ඇල්කෙමි' ශාස්ත්‍රය අවසන් කළ බව ද උන්වහන්සේ ඉහත අදහස ඇතුළත් ධර්මය සංස්කෘතයෙන් සූත්‍රගත කළ බවද, එකවිට සැළකීමෙන් වඩා වැඩ සලසන පෙර අදහස විසින් මහායානය ධර්ම සීමාවන් ඉක්මවා නොයන බව පැහැදිලි වෙතැයි මට සිතේ.

මෙසේ පුළුලැති මහායානය වෙත නැඹුරු වෙමින් එහි විවිධ සූත්‍ර, සුත්‍රාන්ත, අපදාන ආදිය පෙරලීමට පෙර, මහාචාර්ය කේ එන් ජයතිලකයන්ගේ -Early Buddhist Theory of Knowledge - ආස්වාදයෙන් 'දාර්ශනික ප්‍රශ්න' නමින් කෙටි නමුත් මගහැර යා නොහැකි අත් පොතක් රචනා කළ ධර්මසිරි සූරීන් අන් අයුරකින් අප වෙත බලපෑහ. ඒ 1980 දශකයේ තරුණ නැගිටීම් හා ඒවායේ පසු ප්‍රතිඵල කෙරෙහි අනුකම්පාවෙන් 1987 ලියා පළ කළ 'ශෝපන්හවර් හා නිට්ෂේ' නම් කුඩා පොත් පිංචෙනි. ඔහු එහි පෙරවදනෙහි ඉතා සාරවත් කාලාම සූත්‍රානුරූප ඡේදයක් බහාලයි.

"මේ දාර්ශනිකයින් දෙදෙනා කියවීමෙන් අපේ මූලික ප්‍රශ්න වලට ඔවුන්ගෙන් පිළිතුරු හිඟා කෑමට තැත් කිරීම අනුවණ කමකි. ඔවුන්ගේ දර්ශනයන් කියවීමෙන් ප්‍රශ්න පිළිබඳ ඉදිරිපත් කළ හැකි විවිධ දෘෂ්ඨිකෝණයන් පිළිබඳ අවබෝධයක් අපට ලැබෙයි. එම අවබෝධයෙන් ලබා ගත් පාඩම් අනුව අප චින්තනය ස්වාධීනව මෙහෙයවා අපේ ප්‍රශ්න වලට අපෙන්ම පිළිතුරු ලබා ගත යුතුය" -ශෝපන්හවර් හා නිට්ෂේ -පිට13- ගුණපාල ධර්මසිරි-

මේ ඔහු පසුව ගැඹුරු ලෙස යෙදුනු බෞද්ධ විභජ්ජවාදය (විභජ්ජවාදෝ අහං නාහං ඒකංසවාදෝ) විසින් පවරන ලද වගකීම විය හැකිය. ඒ අනුව දාර්ශනික ප්‍රශ්න හි අවසාන පරිච්ඡේදයේ ඔහු බෞද්ධ චතුෂ්කෝටිකය [මේ කේ එන් ජයතිලක, ධර්මසිරි ආදීන්ගේ ධාරාව මිස දිවයින පත්තරේ චින්තන ධාරාව නොවෙන බව මට හැඟේ] මෙසේ දක්වයි,

1. ඒකංස ව්‍යාකරණීය ප්‍රශ්න - කෙලින්ම පිළිතුරු දිය හැකි ප්‍රශ්න : උදා ලෝකයේ දුකක් තිබේද ? ඔව්
2. පටිපුච්ඡා ව්‍යාකරණීය ප්‍රශ්න - කෙලින් පිළිතුරු දිය නොහැකි සාපේක්ෂ ප්‍රශ්න හෙවත් තවත් ප්‍රශ්නයකින් පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න.උදා: ඔහු උසස් කෙනෙක්ද? කාට සාපේක්ෂවද?
3. විභජ්ජ ව්‍යාකරණීය ප්‍රශ්න- විශ්ලේෂණය කළ යුතු ප්‍රශ්න. උදා: සචේතනික කරුණු කිරීමෙන් දුක් විඳීමට සිදු වන්නේ ඇයි? මෙයට පිළිතුරු සැපයිය හැකි වන්නේ විශ්ලේෂණයකින් අනතුරුව පමණි.
4. ඨපනීය ප්‍රශ්න - පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න.: උදා : පහන නිවුන පසු දැල්ල කොහි ගියේද?

මේ ප්‍රශ්න පැනෙන තැන් ගැන ජයතිලකයන් සඳහන් කරන්නේ වසුබන්ධූ ආචාරීන් ගේ අභිධර්මකෝෂය යසෝමිත්‍ර ආචාරීන්ගේ ස්පුඨාර්ථාභිධර්මකෝෂව්‍යාඛ‍යා ආදීයෙනි (ජයතිලක ඉහත කී -පිට 282). පොල්වත්තේ මහා ස්ථවිරයන් වහන්සේ වසුබන්ධු, යසෝමිත්‍රාදී ආචාරීන්ගේ නිකායාදී භෙද නොසළකා එකී ග්‍රන්ථයන්ගේ සුත්‍රගත කරුණු කෙරෙහි අවධානය යොමුකරන්නේ පැසූණු තෙරනමකගේ අධ්‍යාය මේ යැයි විදහා පාමිනි. ජයතිලකයන් ශාස්ත්‍රඥයෙකු සේ ඒ කරුණු දකිද්දී, ධර්මසිරි සූරීහු උරහිස උඩින් නැමී බලා අමාරු දේ සරළව කියාදෙන ගුරුවරයෙකු ලෙස මිතුරු බසකින් කරුණු ගෙනහැර පාති.

*ඩිමොක්‍රිටස් සිට ඩෝල්ටන් ආදීන් වෙන තෙක් විභජ්‍ය නොවෙන පරම අණුවක් ඇතැයි විස්වාස කෙරුණි. රිචර්ඩ් ලැමින් ගේ උප පරමාණුක වාදයන්ගේ සිට කොන්ටම් භෞතිකය දක්වා පරම අණුවක් නොවෙන බව ද පරම අණුව ද හිනාර්ථ වන බව ද බෝම්, ෆ්ලැන්ක් ආදී හු දැනගන්නට යෙදුනහ. හයිසන්බර්ග් ගේ අහඹුතා මූලධර්මය නිසා අනිත්‍ය තාවය ඉතා ක්ෂුද්‍ර මට්ටම් වලටද පොදු ධර්මතාවකැයි පෙන්නුම් කරයි. මහේක්ෂ විශ්වය මතු නොව අවිනාශී යැයි සැළකූ කළු කුහර පවා අනිත්‍ය බව ස්ටීවන් හෝකින්ස් හු 'කළු කුහර පවා එතරම් කළු නොවේ' යන පාඨයෙන් කියා පෑහ. ඇලන් ටියුරින් ශූරීහු ශෝපන්හවර් ගේ 'අධිෂ්ඨානය' [will] කළල විද්‍යාත්මකව [A M Turing - The Chemical Basis of Morphogenesis-1953] ස්වසංවිධානයේ ලා තෘෂ්ණාව යෙදෙන අයුරු හා අංගජනනය  ගැන ගණිතමය ව විශ්ලේෂණය කළ හ. බුදුහු කළල විද්‍යාව අංග ජනනය [Morphogenesis] තෙක් පටිච්ච සමුප්පාදයෙහි ලා විෂයය කර ගන්නේ ඉන්ද්‍රිය පහ, ආයතන සය හා ස්කන්ධ පසේ උප්පාදය නොදැක නොකියා ඒවායේ අනාත්මභාවය කීමට නොහැකි නිසාය. [රේරුකාණේ චන්දවිමල මහනාහිමි - පටිච්ච සමුප්පාද විවරණය]

"ස්වභාවික වරණය පිළිබඳ ඩාවිනියානු 'නියති වාදය' හුදෙකලා ජානයන් ගේ 'අහඹු' විකෘති මත රඳා පවතී. රසායනයේ නියතිවාදය විග්‍රහ කරන රාමුව හුදෙකලා අණුවල චලිතයේ 'අහඹුතාවය' මත පරායත්ත වේ. මධ්‍යස්ථ සීමා න්‍යාය [Central Limit Theorem] ඉතා සාමාන්‍ය අපිළිවෙල මධ්‍යයෙහි ම පිළිවෙල පැන නගින බවට උදාහරණයකි" [Andrew Hodges- Alan Turing, the Enigma].

කෙතරම් මහේක්ෂ තලයකට ගිය ත්, කෙතරම් ක්ෂුද්‍ර තලයකට ගියත්, සමාජ තල සිට ජෛව තල දක්වා ගියත් 'අනිත්‍ය: දුක්ඛ: අනාත්ම' ත්‍රි ලක්ෂණ ධර්මතාව සාධාරණව 'උප්පාද: තිථි: භංග' වශයෙන් හමුවෙන බව එයද අහඹු බව [නිරීක්ෂකයා ට රිසි පරිදි නොපවතින බව] 'ශූන්‍යතාවාදී ප්‍රඥාවට' හසු වේ.** 

අඟුරු, වතුර, හුණු හා අල්පමාත්‍ර වූ අනෙකුත් රසායනද්‍රව්‍ය 'ස්වයං සංවිධානය' ව කර්ම රැස් කරන, සසර සැරි සරන ධර්මයද, ආශ්‍රවක්ෂය කිරීමෙන් නිර්වාණය නම් පරමාර්ථය සාධනය කිරීමේ ධර්මයද, බඹයක් වූ මේ කලේබරය මත පැන වූ මහා සන්‍යාසියා ගේ මාර්ගය අනෙක් අයුරකින් තේරුම් ගැනීමේ මග සැළසීම සිය ජීවිත ව්‍යාපෘතිය කරගත් ධර්මසිරි සූරීන් ගේ අභාවය 'අප්‍රමාද වීම ට' අපට අණ කරයි.

හෙට අම්මා ට කතා කළ යුතුය.

"අම්මේ ප්‍රොෆෙස ගුණපාල ධර්මසිරි අන්තරා වෙලා." මට එසේ කිව හැකිය.

පිළිතුර අතීතය සම්බන්ධ එකකි. "අර ඉස්සර ඔයා අනුරාධ ගේ බාප්පා එක්ක මියුසික් අහන්න ගියේ එහේ නේද?"

" ඒ එහෙ නෙවෙයි, ඒ ගියේ ගුණතිලක සර් ගේ ගෙදර."

" අර සෙනෙවිරත්න අයියා අරන් ගිය තිබ්බත මළපොත පරිවර්තනේ කරලා තිබුණේ එයාලා නේද?"

 මේ ආදී සංවාදයක, ඒ පී ගුණරත්න සූරින් සිය මහත් වූ භාෂා කෞෂල්‍යයෙන් පරිවර්තනය කළ වානරයා පොත වෙත මා යොමුකළේ තමන් බව ඇයට අමතක වී යනු ඇත. ඒ අමරදේව කියන මඩවල එස් රත්නායකගේ 'නිල්මානෙල්' ගීයේ මුල් කතාව පඤ්චසිඛ හා බුදුන් අතර ඇති වූ සංවාදයක නිමිත්ත වූ පඤ්චසිඛ ගේ ගීයක් විය හැකි බව මට කියූ අපේ ගෙදර උන්දෑට එහි මුලාශ්‍රය (කියවූ තැන) අමතක වූ වා සේ ම ය.


අමතක වී යාම මිනිස් ස්වභාවයකි. ..!

* ..... ** 
අතර කොටස ලොකූ ගේ කමෙන්ට් එකෙන් පසුව ලියන ලදී