Tuesday, 22 November 2011

ප්‍රේම වෛරය හා ආලය විඥානය



සයිමන් කියවූ පසුව ලෝකය වෙනස් වේ. කුඩා දූපතක ජීවත් වන කෙනෙකුට සයිමන් බඳු ලේඛකයෙකු බිහිවීම රාජ්‍යයක් පහළ වීම හා සමානය. සයිමන් අපේ ජීවිත හා බැඳි ඇත්තේ දුරිනි, ළඟින් නොවේ. දුරින් නොවේ ළඟිනි. අප පෙමින් බැඳුනු කාලයේ සයිමන් ඉතා කුඩා පිරිසක් අතර සැරිසැරූ දඩයක්කාරයෙක් විය. ඔහු තෙරුම් ගැනීම ගුප්ත විද්‍යාවක් විය. සයිමන් ගේ කතා මුද්‍රණ යන්ත‍්‍ර වල හිර වි තිබිණ. සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කවරයක් වත් දකින්න ඉඩක් නොතිබිණි.

සයිමන් මිල දී ගැනීම ද විශාල දුෂ්කර කාර්යයක් විය. අමතර පංති සඳහා ලැබුණු මුදල් සයිමානු සාහිත්‍යය මිල දී ගැනිමට යෙදවුනි. 89 කලබැගෑනියෙන් පසුව ඉදිවූ සාංදෘෂ්ඨික කථාන්තර අතර සාපේක්ෂනී අගතැන් පත් විය. වැඩිහිටියන්ට අහු නොවන ලෙස දේශපාලන පත්‍රිකා තබාගත් ආකාරයටම සාපේක්ෂනී තබා ගැනීමට සිදු විය.

සයිමන් කියවීම කළ යුතු විදිය හිතමින් සිටි පසුගිය අවුරුදු ගණන පුරා ඒ පිළිබඳ නිශ්චිත චිත්ත රූපයක් නොවිනි. ඊයේ කෝච්චියේ යමින් මේ ගැන සිතු මට සමන් ගේ සිංහල ජාතියේ වංශ කතාව සංසාරාරණ්‍යය සහ සයිමන් නවගත්තේගමපොත මතක් විය. එනයින් සයිමන් එක වර මහා ආඛ්‍යානයද, චූල ආඛ්‍යානයද, සයිමනීය ආඛ්‍යානයද, වාක්‍යයක, ඡේදයක, පරිච්ඡේදයක, කෘතියක යොදන අන්දම රූපයක ආකාරයෙන් මැවුනි. සයිමන් එක් කතාංශුවක් සැමවිටම එකී ත‍්‍රිකය මත තුලනය කරයි. ඔහු ගේ උපමා රූපක අලංකාරික මේ ත‍්‍රිකය විසින් පොහොසත් කරවයි. සයිමන් කියවීම ආස්වාදනීය වෙන්නේ මේ ත‍්‍රිකෝණය මැද මමකියවීමේ ක‍්‍රියාවලියෙහි නිරත වන විටය.

සයිමන් ගේ පොත් ලබා ගැනීම, කියවීම, රැක ගැනීම ඒවා ගැන කතා කිරීම නිසා දැනුමක් උපදියි. අපේ ගෙදර උන්දෑ ද මම ද මේ මොනවා හරි කියවා මොනවා හරි කියවමු. සයිමන් අපි දෙදෙනාම ප‍්‍රිය කරන විෂයයකි. පසුගිය වසර විසි එක පුරා සයිමන් එකතු කරමින්, කියවමින්, ඒ ගැන කියවමින් ගත කළ යුගය ආස්වාදනීය එකක් වන්නේ මක් නිසාද? පේරාදෙණියේ, සයිමන් කියූ මල් නොවරන කහ රොබරෝසියා ගස සොයමින් මාස් කන්ද පාමුල ඇවිද්දේ කිසියම් ආස්වාදනීය උමතුවක් නිසා නොවේද?

මහායානයේ ලංකාවතාර සූත‍්‍රය රාවණා ගැන විසි අට වතාවක් සඳහන් කරයි. එහි හරයාත්මක තේමාව වන ආලය විඥානය සත්ත්වයා විසින් රැස් කරන ලද කර්ම බීජ රැඳී පවත්නා ස්ථානයලෙස හැඳින්වේ. ආලය නොනැසී පවතින බවද ආලය විඥානය හා විඥාන සංස්කාරයන් එහි ප‍්‍රක්ෂේපණය බවද එය තව දුරටත් පැහැදිලි කරයි. ආලය විඥානය හොඳ හා නරක පදාර්ථ කොට ඒවා මුහුව පවතින ස්ථානයයි.

සභ්‍යත්ව සතක් යටට යන සයිමන් සොයා පාදා ගන්නා පොරව මෙන් ආලය විඥානය මළ නොබැඳි අලුත් වෙමින් පවති. බුද්ධෝත්පාද මුහුර්තයේදී සිදුහත් තාපසයා වජ්‍රාසනය මත හිඳ භූමි ස්පර්ශයෙන් මාරයාට පිළිතුරු පිණිස මහි කාන්තාව යනුවෙන් කැඳවන්නේ ආලය විඥානයයි.

පල්ලෙහා අත්තා දෙහි ගෙඩියක් ගිරයට හිර කර ' පොළව මහි කාන්තාවෝ සාක්කි' යනුවෙන් කැඳවූයේ ද ආලය විඥානයයි.

පොළවේ දුවිලි කැටයක් පාසා ආලය විඥානය නිධානව ඇත්තේ ක්වොන්ටම් දුහුවිල්ලක් පරිද්දෙනි. එහි මෙතෙක් ඇතිවී නැති වූ සියළු ජීවීන්ගේ ක්‍රියා ස්කන්ධය ගර්භ [ආලය] ගත ව ඇත.

සයිමන් සිය සංසාර ආරණ්‍යය අසබඩ ඉතිහාසයකින් ප‍්‍රවාදයකින් මිථ්‍යාවකින් චිත‍්‍රණය කරන්නේ කාය, වස්තු, ආල සත්‍යය වශයෙන් ගන්නා ස්වභාවයයි. ඔහු එහි අග ඒවං (මෙසේ) නමින් සූත‍්‍රයක් බහාලමින් සිය කතාන්දරය විසින් හරය කොට ගන්නා ආලය විඥානය ගැන ඉඟි කරයි.

වසර විසි එකක් පුරා පෙම් කෙලිමින්-දබර කර ගනිමින්, ආල වඩමින්-වෛර කරමින් එකිනෙකා හා දැපනේ වැටුනු සර්ප යුවලක් මෙන් වෙලෙමින් සිටින්නේ ආලය විඥානය නිසා නොවේද? මතු භවයකදී ප‍්‍රතිසන්ධිය ලබන විට මනන විඥානය [id] බවට පත් වෙන ආලය විඥානය යනු සසර පුරා අප එකට බැඳ පවත්නා මහා තණ්හාව නොවේ යැයි කෙසේ නොසිතන්නද? වසර දෙකකට පෙර නොවැම්බර විසිතුන්වෙනිදා ගෙට කඩා වැටුනු කැන්ද ගහෙන් වහලය හිල්වී නිදන කාමරය පුරා වතුර දොරේ ගලද්දී කවි ලියන්න ශක්තිය දුන්නේ ආලය විඥානය විසින් නොවේ යැයි කෙසේ කියන්නද?

සයිමන් වැදගත් වෙන්නේ මේ තණ්හාව, ආලය විඥානය, චේතනාව [will] පිළිබඳ 20 වෙනි සියවසේ දී නිර්දය ආලෝකයක් එල්ල කළ පිස්සි වැටිච්චිදාර්ශනිකයා නිසාය. මට සයිමන් නිතර සිහිවෙයි, ඒ ඔහු කිසිදා නෙතින් නුදුටු නිසා විය යුතුය. සයිමන් ගේ කතාංශූ අපේ ජීවිත හරහා ගලන්නේ එක්ස් කිරණ ධාරාවක් පරිද්දෙනි. ආලය විඥානය ශූන්‍යය වන තෙක් ඔහු අප ලුහු බඳිනු ඇත.

විසි එක් වසරක ශේෂ පත‍්‍රයේ සයිමන් ගිණුම පොළී වෙමින් පවතී....

Saturday, 5 November 2011

අමල් බිසෝ…!


අමල් බිසෝ දොර නාරින්

බාබායිගා යකින්න එයි

වළලු අරන් අම්මා ලෙස

වළලු අරන් අප්පා ලෙස


අමල් බිසෝ දොර නාරින්


කුඩම්මා ගේ දූ දෙන්නත්

කේන්ති ගිය බිළාලයත්

ලුචින කෝටු ගින්න නිවයි

යක් නිවසට උඹව යවයි


අමල් බිසෝ දොර නාරින්

වසිලිස්සා දොර නාරින්

වළලු අරං එන්ට කියා

රාජාලියො ඈත ගියා

ලිපේ ගින්න නිවා තියා

බිළාලයා පැනලා ගියා


ගිනි අඟුරක් ගේන නියා…

ඉරු කුමාරි දුරට ගියා

රාස්ස ගෙට යන්ට ගියා

වසිලිස්සා කැලේ ගියා

අමල් බිසෝ හිමේ ගියා


අමල් බිසෝ දොර නාරින්

වසිලිස්සා දොර නාරින්

සූර්ය බායි දොර නාරින්


බර වැඩ කෙරුමටයි නියම

රළු වැඩ කෙරුමටයි නියම

අසීරුවට දුක් විඳගෙන

පතුල් කසන්නටයි නියම


අම්මත් නෑ අප්පත් නෑ

වළලු අරං ආවෙත් නෑ

විස නියපොතු ගෙයි දොරකඩ

සුව කරන්ට බේතුත් නෑ


බිරියෝසා මුරුංගා

දොර හතකින් වටලළා

පූසෝ බල්ලො

ගිරව් මයිනො

ආරස්සා කළ තැනා


අමල් බිසෝ දොර නාරින්

වසිලිස්සා දොර නාරින්

සූර්ය බායි දොර නාරින්



අමල් බිසෝ[ලංකාව], ලස්සන වසිලිස්සා[රුසියාව], සූර්ය බායි[ඉන්දියාව] යනු එකම කතාවයි.


මේ තුනම එකම කතාව, කෝකසස් ඉඳලා ආර්යයො ඉන්දියාවට ආවා හරි වෙළෙන්දො මේ පැත්තෙ ඉඳන් මේ කතාව එහෙට අරන් ගියා හරි වෙන්න පුළුවන්. කතාවේ මූලික සිද්දිය වෙන්නේ පූසා/කුඩම්මාගේ දුවලා දෙන්නා ගින්දර නිවපු එක. මේ ප්‍රොමිතියස් කතාවෙ විකල්පයද? ගින්දර සොයා ගිය දුකට පත් නොවුන ස්ත්‍රිය? මේක ග්‍රීක කතාව වගේ ප්‍රචණ්ඩ ත් නෑ.
මේ දවස් වල ගමකතා කියවමිනුයි ඉන්නෙ. 'රන් කැකිර' කියන්නෙ අලොනුශ්කා අක්කා හා ඉවානුශ්කා මල්ල්ලි ගේ කතාව. නිල් මානෙල් මලක කතාවක් තියෙනවා ඒක අර නෙත්තා, දෙනෙත්තා, තිනෙත්තා ඉන්න රත්තරන් ඇපල් ගහේ කතාව.

Village Folk Tales of Ceylon - Vol 1,2 3, by Henry Parker.[900 rs a volume, thisara prakashakayo] - published in 1910
Old Deccan Days- M Frere http://www.sacred-texts.com/hin/odd/index.htm [full text] - published in 1881

Monday, 11 July 2011

පේරාදෙණියේ මල් ...!



පේරාදෙණිය ඉතා අපූරු බිම් කඩකි. එහි වැවෙන ගහකොළට අපූරු අනන්‍යතාවයක් තිබේ. ලොජ් එක ළඟ ඇති කිරිපළු ගස අරුණු ඉරුරැසින් ළෙලෙනු දැක එතැනින් හිස නොඋස්වා යයි නම් ඒ හැබෑ අවාසනාවන්තයෙකු මිස අනෙකෙකු නොවේ.


එක් එක් ගසක් යට එක් එක් බංකුවක එක් එක් ආපන ශාලාවක එක් එක් අඳුරු මුල්ලක ඇති වී නැති වූ කතා සත් මහල් පේරාදෙණිය පුස්තකාලයේ දුලබ පොත් අතර හෝ හොයා ගත නොහැකි තරම් අපූරු එවා වෙන්නට ඇත. සංඝමිත්තා කන්ද නැගී පොකුරු කාමර අසළ පෙම්වතිය එන තෙක් රැඳෙමින් 'හරි ප්රසාද් චෞරාසියා' අසමින් සිටීම චමත්කාර ජනක ක්රියාවකි.


මහපොළ ලැබී ටික දිනකින් ජීවිතයේ චමත්කාරය තුරන් වෙයි. ඉදිරි දින ගෙවීම බියජනක හීනයක් වෙයි. දේශන ශාලා එපා වී යයි. එවන් කළෙක ශේෂ පත්රයේ ඉතිරි එකම දෙය ප්රේමය පමණක් වෙයි. නමුත්, පෙබරවාරි මාසයේ ළිං-ගෙය අසලින් ගලන දියත්ත තරම් තුනී ආර්ථිකය 'ප්රේමයෙන් මන රංජිත' වීමට සුදුසු අවකාශ සීමිත කරයි.


පේරාදෙණියේ අපූරු සංස්කෘතියක් ඇතත් එය අන් අයුරකින් සංස්කෘතික කතරක් වන්නේ පිට ලෝකය හා ඇති සීමිත සම්බන්ධතාවය නිසාය.


ජූලි මාසය එළැඹෙන්නේ අභියෝගයක් සමගිනි. අපේ උන්දෑගේ උපන්දිනයට ඇය එතෙක් නොකියවූ හා කියවීමට ප්‍රිය කරන පොතක් හොයා ගැනීම අභියෝගයයි. පසුව මතවාදී ගැටුම් නිසා ප්‍රිය සංවාද වාද විවාද බවට පත් නොකරන පොතක් සොයා ගැනීමයි.


නුවර ටවුමේ සීවලී පොත් හලේ රැවුළ් අයියා අප හා මිතුරු වන්නේ මේ නිසා . ඔහුට පොත් හලේ ගබඩා කාමරවල අහු මුළු වල සැඟවී ඇති සමහර පොත් සොයා රැවුළේ මකුළු දැල් දවටා ගැනීමට සිදු වේ. ඒවායේ මහ ලාබයක් නැතත් ඔහු සමහර පොත් අප උදෙසා සොයා තබයි. හරියට කෝවිල ළඟ ශෛව අවන්හලේ අයකැමියා මෙනි. ඔහු ද්‍රවිඩ රසවතියේ ඉසව් අපට කියා දෙයි. තෝසේ ඉඩ්ලි උප්මා ගැන කරුණු පහදයි.


1997 අපේ උන්දෑගේ උපන්දිනයට දෙන්න තෑගගක් සොයමින් වෙහෙසෙන විට මට 'අපූරු' අදහසක් පහළ විය. පේරාදෙණියට පැමිණි බොහෝ තරුණයින් තම පෙම්වතියන් උදෙසා 'පෙර නුවූ විරූ' යමක් කිරීමට උත්සාහ නොකළේ යැයිකෙසේ සිතන්නද? මම කෘෂි පීඨයෙන් පිටව සෙමින් සෙමින් ඇවිද ගියෙමි. උඩ බැලූ කල මල් නැති ජූලි මාසයේ බිම මල් පිපී ඇත [සයිමා ගේ කහ රොබරෝසියා ගස පමණක් මල් නොවරයි].


අපාය කැන්ටිම පසු කර යන විට මොණර පිල් වැනි තෘණ මලින් පොළව හැසී ගැවසී ගොසිනි. තව ටිකක් දුර වුස්ක් වල පැත්තට යනවිට බුරුසු වැනි තණකොළ මලක් හමු වෙයි. තවත් දුර යනවිට වීරසූරිය ස්මාරකයෙන් ඔබ්බෙහි හිල්ඩා උද්යානය අසල දම් පැහැති පිහාටු වන් තණ මලකි. 'වල' පසෙක ඊතණ පඳුරකි. හා පිට්ටනියෙන් කඩා ගත් නම නොදන්නා අපූරු හැඩයකින් යුත් වල් මල් කිහිපයද එක්කර මගේ අපූරු 'වල් පොකුර' නිම කළෙමි.


කාටත් හොරෙන් තනා ගත් මගේ වල් පොකුර රැගෙන පහුවෙනිදා උදයේ සංඝමිත්තා පඩිපෙළ අසළ රැක හුන්නෙමි. 'ඇය' මිතුරියන් හා පඩිපෙළ බැස එන්නීය. මගේ හද සැලෙයි. මේ කෙල්ලන් රංචුව ඉදිරියේ වල් පොකුරක් දීම නොහොබනේ යැයි මගේ සිත මට කියයි.


සුබ උපන්දිනයක්.. !


මොකුත් නොදූන්නත් හිනාවෙන අපේ උන්දෑ; වල් පොකුර දෝතින්ම වඩාගෙන ඉස්තුතිය් කීවාය. උන්දෑගේ හැටිය. අවුරුදු විස්සක් තිස්සේ සුබ උපන් දින ගෙවී ගොසිනි. හිසෙහි නර නැගේ. අපි අපේ සිහිනයට ළඟා වෙමින් ඉන්නෙමු.


සුබ උපන් දිනයක්.................!