Saturday, 18 February 2012

ඇගේ වර්ණ ස්වර්ණා වේ [පද්මාවතී 2]


එක සටහනකින් ඉවර වීමට නියමිතව තිබූ පද්මාවතී කතාව දිග්ගැස්සුවේ 'ආගන්තුකයා' ය.

දඹදෙණි යුගය හා රාජ්පුත් වරු අතර ඇති සම්බන්ධය ගැන ඊ ළඟ හෝඩුවාව පැමිණියේ සුජිත් අක්කරවත්ත ගෙනි. 'දළදා වහන්සේ ආවරණය කරන රන් නූල් ආවරණය මසන 'ඨකුරාර්ත දේවාදිත්‍ය' පෙළපතක් ගැන ඔහු කීවේය. සුනේත්‍රා අක්කා රිදී තිරංගනාව හෝ ඉන් පසු කතාවක "ඨකුරාර්ත දේවාදිත්‍ය" වාසගම ලියා ඇත.

1857 ඉපිද 1922 දිවංගත වූ ජෝන් ද සිල්වා සූරිහු ජාති වත්සලතාව ඇති කරනු පිණිස රබින්ද්‍රනාත් ඨාකූර කෙනෙකු මෙන් කටයුතු කළහ. ඔහුගේ ජීවිත කතාව කියන ඇල් ඩී ඒ රත්නායක 1910 දී අංක 4කින් හා ජවනිකා 22කින් යුතුව [ජවනිකා නම් පදය නාට්‍ය විෂයයෙහි මුළින් ම යොදා ගත්තේද සිල්වාණෝය] 'පද්මිණී නාටකය' රචනා කළ බව කියයි. ගීත 34ක් හා වාසගම් [දෙබස්] 275 පමණ තිබූ එම නාටකයට වස්තු වූයේ ක්‍රිව 1305 දී ලංකාවත් ඉන්දියාවත් සම්බන්ධ කථාවක් බව ද ඔහු පැහැදිලි කරයි.

රාජස්ථානයේ චෞහන් ගෝත්‍රික හමීර් සිං නැමැති රාජ්පුත් කුමරෙකු නිසා සරස්වතී නම් කුමරියක ලද පුත් කුමරෙක් ඇතුගල් පුරයෙහි රජ කළ බුවනෙකබා රජු විසින් පුත්‍ර ස්ථානයේ තබා දැඩි මේනි කළ බවත්, ඔහු කල්යල් බලා බලඇණි ගෙනඇවිත් බුවනෙකබා මරා සිංහලය අත්පත් කොට ගෙන විසූ බවත් [සිංහලය, වයඹ දිග ලංකාවට පර්යාය බව මා කොහේ හෝ කියවා ඇත]ඒ කුමරු ගේ දියණි පද්මිණිය රාජ්පුතානයේ චිත්තොර් නගරයේ භීම සිං රජුගේ බිසව වූ බවත් කොඩ්‍රිංටන් මහතා ලියා ඇති බව රත්නායක සඳහන් කරයි. [නීතිඥ ජෝන් ද සිල්වා නාටක ඉතිහාසය - ඇල් ඩී ඒ රත්නායක-1963]

මේ එක් මූලාශ්‍රයකි, අනික් මූලාශ්‍රය 1958 දඹදෙණියේ සිරි විජය සුන්දරාරාම පිරිවෙණෙහි පැවති පැවති සාහිත්‍ය උත්සවයෙහි දී පරනවිතානයන් පැවැත්වූ කතාවයි. ඔවුහු මෙසේ කියති:

"බෝසත් විජයබා රජු මරවා මිත්‍ර සේනාධිපතියා දඹදෙණියේ සිංහාසනාරූඪ වෙලා යුද්ධ හමුදාවට පඩි දුන්නා. යුද්ධ හමුදාවේ ඉඳල තියෙනව කොටස් දෙකක්, සිංහල භටයොයි, ආර්ය්‍ය භටයොයි කියල. සිංහල භටයො පඩි ගත්තලු. පඩි ගත්තයි කියන්නෙ ඒ පැත්තට ගියා කියන එක. සිංහල මිනිසුන් එහෙම කළාට ආර්ය්‍ය භටයො පඩි ගත්තේ නැහැ. ආර්ය්‍යයෝ ආර්ය්‍යකමට වැඩ කරලා තියෙනවා.

රජ්ජුරුවො මරවාපු රාජද්‍රෝහියාගෙන් පඩි ගත්තා ය කීමේ තේරුම ඒ පැත්තට ගියා කියන එක.

ආර්ය්‍යයෝ පඩි ගත්තේ නැහැ. ඒ අයගේ නායකයාගෙ නම ඨකූරක. අපි දැන් ටගෝර් කියන්නේ කියන්නෙ ප්‍රධානියා යන තේරුම ඇති වචනයක්. මේ ආර්ය්‍යයෝ උතුරු ඉන්දියාවෙන් ආපු රාජ්ජුත් ජනයා. ඒ බව දැනගන්ට තවත් සාධකයක් තියෙනවා හින්දි භාෂාවෙන් ම ලියාපු පදුමාවතී කියන මහා කාව්‍යයක් තිබෙනවා බොහොම දෙනා දන්නවා ඇති පද්මිනී කුමාරිකාව ගැන. ඒ කුමාරි ලංකාවෙන් ගියා කියල තියෙනවා රාජ්පුතානාවට. ඒ කාලෙදි ලංකාවත් රාජ්පුත් ප්‍රදේශයත් අතරේ සම්බන්ධය තිබිලා තියෙනවා.

ඉතින් ඒ අතර තුරේදී ආර්ය්‍ය භටයෝ පඩි එපා කිව්වේ මොකදැයි ඇහුවම, කාරණෙ රජ්ජුරුවො ඉස්සරහදි කියන්නම් කීවා. සේනාව රජ්ජුරුවො හැටියට උන් සෙනෙවියා ඉස්සරහට එක්ක ගියහම, සේනාධිපතියට බොහොම යටත් පහත් අන්දමට ඉඳල එක පාරට සෙනෙවියාගේ හිස ගසා දැම්මා.

එතකොට සිංහල සේනාව කලබල වෙලා ඇයි? මොකද? කියා ඇහුව.

එතෙන් දි කීවා අපි මේ ක්‍රියාව කෙළේ බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ ආඥාවෙන් ය කියල ඉතින් සිංහලයොත් ඒ පැත්තට ගියා. පස්සෙ ඔක්කොම එක්කහුවෙලා යාපහුවට ගිහිල්ලා බුවනෙකබාහු කුමාරයා එක්ක ඇවිත් මෙහි සිංහාසනාරූඪ කළා. රාජ්පුත් සේනාව නොසිටියා නම් දඹදෙණිරාජ වංශය එතැනින් ඉවරයි.” [සාහිත්‍ය තෛ‍්‍රමාසික සඟරාව - උපුටා ගත්තේ සිළුමිණ පුන්කලසෙනි]

අනිත් මූලාශ්‍රය නම් පරනවිතානයන් ගේ ලිපි එකතු කළ ලිපිමාලාවේ 'ලංකාවේ රාජ්පුත් ජනයා' නම් ලිපියයි. එතුමෝ එහිලා මෙසේ පවසති:

සිංහල සේනාවන්ද රාජද්‍රොහියාට පක්ෂව පවතින වෙලාවේ දී තම අතට පත් ලාභය ද ප්‍රතික්ෂේප කොට මිත්‍ර සෙනෙවියාට පක්ෂපාත වූවන්ගෙන් විය හැකි අන්තරාය ද නොසලකා තමන්ගේ ස්වාමියාගේ වංශයෙහි වූ කුමාරයාට රාජ්‍යය ගෙන දීමට ශෞරවීර්යයගති දක්වා ඨකුරක සහ ඔහුගේ ආර්යය භටයෝ ක්‍රියා කළෝය. ...... ...... ස්වකීය රූපලාවණ්‍යයෙන් හා පතිව්‍රතාගුණයෙන් ද ලෝකය විස්මයට පත් කළ පද්මිනී කුමරිය ලංකාවේ සිටි චෞහන් රාජ්පුත්වංශික කුමරෙකුගේ දුවණියක් බව රාජස්ථානයේ ඉතිහාස ප්‍රවෘත්ති වලින් පෙනේ. …..

පද්මිණී කතාව නළු නිළියන් 40 පමණ ඇතිව වේදිකාවට ගෙන එන අදහසින් ජෝන් ද සිල්වා සිරිමතුන් සිටි නමුත් ඒ පිටපත සොරා ගත් නිසා ව්‍යර්ථවී ගිය බව ලියැ වී ඇත. 1914 නීතිඥ චාර්ල්ස් ඩයස් මහතුන් නිපැයූ පද්මාවතී නාටකය 'පද්මිණී' කතාවම බව දැනගත් සිල්වාණෝ, ඩයසුන් හා උරණව දුටු තැනදී පහර දුන් බව රත්නායක 141 පිටුවේ ලියා ඇත.

ඉතිහාස‍යේ පද්මිණියක් උන්බවටද අපි දන්නා ඉතිහාසයේද ඇය උදෙසා සටන් වැදුනු අය උන් බවද මේ සියල්ලෙන් පෙනෙයි. පද්මාවතිය පසුකලෙක නිෂ්පාදනය කළ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධන ජෝන් ද සිල්වා සමරු කලාපයක මෙසේ සඳහන් කරයි.

බටහිර ඔපෙරාව ප්‍රිය කළ මම ඊට සම්බන්ධකම් ඇති නුර්තිය කෙරෙහි ද ඇල්මක් දක්වන්නෙක් විමි. නුර්තිය එකල දේශපාලන හා සාමාජික තත්වය පසුබිම් කොට ගෙන ගොඩ නැඟුණු නාට්‍ය ව්‍යාපාරයකි. කොටින් කියතොත් එය අධිරාජ්‍යවාදි පාලකයින්ගෙන් බලය අල්ලා ගැනිමට මෙරට කොම්ප්‍රදෝරු ධනපති ‍කොටස් ගෙන ගිය සටනේ අංගයකි. ඊට පෙර බිහි වු කෝලම් නාට්‍ය කලාවේ ඇතැම් අංග පන්තියට එරෙහි ව ප්‍රවේණිදාසයන් ගෙන් ගිය සටනේ ලක්ෂණයක් විය....දේශිය නායකයන් රටේ බලය ලබා ගැනිමට පොදු ජනතාව මෙහෙයවිම සඳහා යොදා ගත් එක උපක්‍රමයක් වශයෙන් නුර්තිය සඳහන් කිරිම නිවැරදි යයි සිතමි. මෙවැනි කටයුතු බවින් යුක්ත ව තිබිම සාධාරණ ය. රටේ ජාතිය හා ආගමේ සෞභාග්‍යමත් අතිතය’ ගැන කතා පුවත් අත්‍යලංකාරයෙන් ඉදිරිපත් කොට ජනතාව අවදි කිරිම නුර්තියේ මුල් අදහස විය. රාපස්ථානයේ රත්නසේන රජුගේ පද්මිණි නම් සිංහල බිසව දිල්ලි සුල්තාන් අතට පත් නොවි සිය හිමියා වෙනුවෙන් දිවි පිදු කතාව චාල්ස් ඩයස් මහත් ප්‍රයෝජනයට ගත්තේ මේ අදහස මුල් කොට ගෙනැයි මම සිතමි....

පද්මාවතිය ආලය නොකර බැරි තැනැත්තියක් බව මේ කතා කියවන විට හැඟෙයි. ඇය මුතුවන් දත් ඇත්තිය, ඡවියෙන් කනකලතාවකි, මේඝයකට බඳු කේශකල්‍යාණයෙන් සජ්ජිතය, සංඛයකට බඳු ග්‍රීවා ඇත්තීය. ලංකාවේ මුතු හමු වන්නේ ද සංඛයන් හමු වන්නේද වයඹ දිගිනි. මුතු හලාවත හා බෙල්ලන් මන්නාරම ආශ්‍රිතව නෙලා ගැනේ.

පද්මාවතියගේ වජ්‍රමය හෘදය සියල්ලට වඩා වටනේය. එය කුවේණියකගේ හෘදය මෙන් යුග පරයා දිදුලයි. කුවේණියද ඒ පැත්තේ කෙල්ලකි..

පද්මාවතී ඇත්තෙන්ම කුරුණෑගල කෙල්ලකි.

[ඉන්දියාවේ විෂ්ණු භක්තික මහා සන්‍යාසිනිය වන 'මිරා බායි' පද්මාවතියට සියවස් දෙකකට (16 සියවස)පසුව චිත්තෞර් වල උපන් බව දැනගැනීම මේ සෙවීමේ අතුරු ඵලයකි.]

ප ලි: අපේ ගෙදර උන්දෑ කරීනා කපූර් හා පද්මිණිය අතර ඇති පරතරය පියවන්නේ කෙසේදැයි මුසුප්පුවෙන් පසුවෙනදෑ ය.

සේයාරුව: රාජස්ථානයේ ජායිපූර් හි අරුණුවන් මාලිගය- Amber Palace-2008-දෙසැම්බර්

Tuesday, 7 February 2012

හැරි පොටර් ලංකාවේදී කියවීම - මිථ්‍යාව හා යථාර්ථය සම්මුඛ වීම

[ආදරය යනු 1/0 (all or none) වර්ගයේ එකක් පමණක් බව පුන පුනා කියන ඩෝසන් ප්‍රීති සහෝදරයාට තිලිණයකි]

ඉතිහාසය ප‍්‍රවාදය බවටද ප‍්‍රවාදය මිත්‍යාව බවටද පත් විය. -ගලද්‍රියෙල් - ලෝඞ් ඔෆ් ද රිංග්ස්, පෙර කථනය-

යුරෝපය නිතර ඇතිවෙන යුද්ධ, ගැටුම්, අර්බුද නිසා ජීවිත අවුල් වෙන භූගෝලීය පෙදෙසකි. ප‍්‍රංශ සිසු නැගිටීම්, තැචර් පාලනය යටතේ කම්කරු ගැටුම්, බර්ලින් තාප්පය වැටීම, අයර්ලන්ත අර්බුදය, ඉස්ලාමික අන්තවාදය හා ආර්ථික අවපාතය (ණය පපඩම බිඳීම) ආදී වශයෙන් වෙන අන්තරායන්ගෙන් පිරුණු අඩවියකි. හැරි පොටර් රැකියා විරහිත, එක්දරු, ඒකල මවක ගේ ජීවිත ව්‍යාපාරය වන්නේ මෙබඳු සංදර්භයකදී ය.

යුරෝපයේ ජීවිතය අවිනිශ්චිත ය, එය ක්ෂණ භංගුර ය. දෙමාපියන් දික්කසාද වීම එහි අරුමයක් නොවේ. දරුවෝ එයින් පීඩාවට පත් වෙති. ෆ්‍රොයිඩියානු පවුල එංගලන්තයේදී අටානූවක් රෝග, නවානූවක් ව්‍යාධි හා දෙසිය තුනක් ආන්තරාවන්ට මුහුණ දෙයි. මාක්ස් කියූ අවතාරය යුරෝපය පුරා සැරිසරයි. පවුල අර්බුදයට යමින් පවතී. අවිනිශ්චිත අවස්ථාවන් හරහා වොල්ඩෙමොර්ට්වේශයෙන් පැන නගින පවුල අහිමි, අවජාතක, පීතෘ ඝාතක, ටොම්නම් සමාජ ප‍්‍රහෙළිකාව (රිඞ්ල්-Riddle) ත‍්‍රස්ත ස්වරූපයෙන් පවුල් බය කරමින් ඉගිල යයි.

ජොඇන් රෝලිං නූතන මායාකාරියකි. ඇය පොටරියානු මිථ්‍යාව වෙළුම් හතකින් නිමා කරමින් ඉක්බිති සියල්ලෝ සතුටින් ජීවත් වූහයනුවෙන් සමාප්ත කෙරෙන ඇගේ කතාව ගොඩනගා ඇත. ඇය විසින් ලේඛන ලෝකයට බලාපොරොත්තුවක් කැඳවා ගෙන එයි. බහු මාධ්‍ය ලෝකයක තාක්ෂණ විවිධාංගීකරණය අභියෝගයට ලක් කරන ඇය පැරණි මුද්‍රිත මාධ්‍යය කතා කලාවෙන් අලංකාර කළ විට මායා ලෝකයක් මැවීමට සමත් බව ප‍්‍රත්‍යක්ෂ කර ඇත. ලෝකයේ ඇති එකම මායාව සංඥාර්ථවේදය ප‍්‍රගුණ කිරීම බව පෙන්වා ඇත.

රෝලිංග් ගේ එකෝමත් එක රටනූතන එංගලන්තයයි, එහි මෙට්‍රොපොලිටනය අස්සේ සැඟවි ඇති අවිඥානක බිය හැරි පොටර් චරිත බවට පත් වී පොත් පිටු පුරා රඟති. ජේ ආර් ආර් ටොකීන් (රිංග් ත‍්‍රිත්වය) ජෝර්ජ් ලූකස් (ස්ටාර් වෝර්ස්) රොබට් එච් හොවාර්ඞ් (කොනන්) රයිඩර් හැගාර්ඞ් (ෂී) හා වචොව්ස්කි සහෝදරයින් (මෙටි‍්‍රක්ස්) කතා කරුවන් විසින් මිත්‍යා විශ්වයක ගොඩනගන දේශපාලන සංදර්භය හිට්ලර් , ස්ටාලින් ආදි නාගරික නූතන ඉතිහාසයන් විසින් තහවුරු කරයි.

හැරි පොටර් චරිතය ගොණු වන්නේ මේ යුගයේ තරුණ වටිනාකම් පිළිබඳ අත් පොතක් වශයෙනි. දෙමාපියන් අහිමි අනාථ මායාකාර ඔලිවර් ට්විස්ට් කෙනෙකු වන හැරි නායකත්වය, ධීර බව, මිත‍්‍රත්වය, කැපවීම, පේ‍්‍රමය, ගුරු දෙගුරු ගෞරවය සහිත ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් හෙබි, කරුණාවන්ත යෞවනයෙකි. රෝලිංග් මෙහිදී ග‍්‍රීක මිථ්‍යාවන්ගේ සිට ග‍්‍රීම් සහෝදරයින් ගේ කතා දක්වා යුරෝපය පුරා පැතිරුණු මිථ්‍යාංශූන් මුසු කරමින් ඇයගේම මිථ්‍යාවක් තනන්නේ වෙළඳ දැන්වීම් කරුවන් ලැජ්ජාවට පත් කරමිනි.

හැරි පොටර් කතන්දරය පුරා ලිබරල් සුළු ධනේශ්වරය හා ෆැසිස්ට්වාදය අතර දෝලනය වන සමාජ පැවැත්ම ගැන කතාංශූන් හමු වෙයි. හර්මයොනි ග‍්‍රාන්ජර් ගේ ලිබරල් නිදහස, ආන්තික ජීවින් කෙරෙහි ඇති සානුකම්පාව රෝලිංග් විසින් සවිස්තරව කතාව තුල බහා ලන්නේ මේ එක් පක්ෂයක් (ජයග‍්‍රාහී පක්ෂය) අනෙකට වඩා හොඳ බව තහවුරු කිරීමේ අභිලාෂය කුලූ ගන්වමිනි.

දෙපක්ෂයේම පවුල පිළිබඳ විශ්වාසය, පොදු යහපත නම් ලාලසාව ඇති, පුද්ගල නිදහස නම් ලිබරල් ආශාව ඇති අය නපුරට බිය වෙති. නපුර ජය ගැනීමේ ක‍්‍රියාවලියේ අනියම් කොටස් කරුවන් වීම ඔවුන් අතින් අවිඥානිකව හෝ සිදු වෙයි. වොල්ඩිමෝර්ට් විසින් ඇති කිරීමට යන ශුද්ධ රාජ්‍යය විසින් අහිමි කරවන දේ පිළිබඳව ඉඟියක් මැල්ෆෝයි පවුලේ මන්දිරය ඩෙත් ඊටර්ප‍්‍රවාහයේ මූලස්ථානය වීම නිසා මැල්ෆොයි වරු අහිමි කරගන්නා පුද්ගල නිදහස මගින් නිරූපනය වෙයි. ඉන්ගිරිසි ලිබරල් චින්තාව මුදුන් පමුණුවන රෝලිං, බලය අත් හැරීම විසින් නොහොත් බලය මත ස්වයං විනයක් ඇති කිරීම මගින් යහපත් හෙට දිනක් ඇති වන බවට නිශ්ඨා කොට පොටරියානු මිත්‍යාව අවසන් කරයි. හැරී විසින් මායාකාරී ආධිපත්‍යයේ උපරිමය වන එල්ඩර් යෂ්ඨිය’ [Elder Wand] අතහැරීම මගින් බලය නිසා ඇති වන සංකූලතාවන් ගෙන් ලිබරල් සමාජය ආරක්ෂා කිරීමට පුද්ගල කැපවීමේ ඇති කේන්ද්‍රීය බලපෑම පෙන්වයි.

වෝල්ඩිමොර්ට් ගේ බහු කුණප (හෝර්ක‍්‍රක්ස්- horcrux) පැවැත්මේ එක ආකාරයක් හැරී බවට පත් කරන රෝලිං එනයින් සමාන හා විරුද්ධ අනෙකා හා ඇති දයලෙක්තික සම්බන්ධය ගොඩනගයි. ඉඳි කටු තුඩක පණ තිබූ රාක්සයා නම් මිත්‍යාංශුව හෝක‍්‍රක්ස් නමින් සිය පණ බෙදා කිසියම් වස්තුවක හංගන වොල්ඩිමොර්ට් ගේ කතාංශුව දක්වා වර්ධනය කරන රෝලිං ඉන්ද්‍රජාලික යතාර්ථය තව දුරටත් වර්ධනය කළ හැකි බවට සංඥා කරයි. එකෙක් ජීවත්ව සිටියදී අනෙකා ජීවත්ව සිටිය නොහැකියයන උභතෝකෝටිකයේ ඇති උත්ප‍්‍රාසය මත කතන්දරය පුරා ආතතිය ගොඩ නැගූ ඇගේ කතා උපක‍්‍රමයේ ප‍්‍රබල කම යුරෝපයේ පමණක් නොව ලංකාවේ ද පොත් හල් ඉදිරිපිට පෝලිම් ඇති කළ අයුරු කාල අක්ෂය හරහා දිවෙන ප‍්‍රවෘත්තියකි.

මේ මිථ්‍යා, ඉතිහාස, දේශපාලන, වාණිජ සංදර්භය අහිමි ලංකාවට හැරි පොටර් පොත්තක් ලැබෙයි. විකිණිය හැකි පොත් අනාගතයේ හෝ පරිවර්තනය කර ධනෝපායනය කළ හැකි පොත් වෙළඳපැලැන්තියක් විසින් උණු කැවුම්ලේඛකයන් අත් පත් කර ගැනීමේ නිර්දය තරඟයක් හා පොත් මාලා පරිවර්තනය කරන පරිවර්තක රංචුවක් සහිත රටක, හැරි පොටර් හි ඉන්ගිරිසි බසෙහි සියුම් බව හා ජොආනියානු රචනා ශෛලීයට හානි කරන මධුර ශබ්ද කෝෂයේකොපි පේස්ට් පරිවර්තන කියවීමේ ඔක්කාරය ඇති කරයි. ධාරණී, මන්ත‍්‍ර, ගුප්ත විද්‍යා ශාස්ත‍්‍ර, හදි-හූනියම්, බලි-තොවිල් ඈ විසින් ගහණ චූල ආඛ්‍යානය මුහුකුරා ගිය රටක පරිවර්තකයන් ඕං රාමා හරේ ක‍්‍රිෂ්ණායනුවෙන් රෝලිං සිය බුද්ධිමය ශ‍්‍රමයෙන් නිෂ්පන්න කරන දැහැන්, මන්ත‍්‍ර, සූත‍්‍ර සිද්ධිරහිත වචන පේලි බවට පෙරළීමෙන්, ඒ පී ගුණරත්න, ඊ ආර් එරත්න ආදී විශිෂ්ටයින්ට නිගරු කරන සාහිත්‍ය දූෂණය ඛේදනීයය. රෝලිං මේ හේතුව නිසාම ලංකාවට පැමිණෙන්නේ විකෘත ස්වරුපයකිනි. එ මගින් අපගේ ස්වයංසිද්ධ ප‍්‍රත්‍යක්ෂඥානය [spontaneous perception-Zizek] අර්බුදයට යවයි.

ධනපති ආර්ථික ක‍්‍රමයක මූලික අංගය වන ගෘහස්ථය/කුටුම්භය අර්බුදයට යෑම පද්ධතිය විසින් ඇති කරගන්නා අභ්‍යන්තර අසාත්මික තාවයකි. මේ අර්බුදය ස්ත‍්‍රීවාදී ව්‍යපාර, ලිංගික නිදහස, පවුල් නොතනන පුද්ගලයන් ආදී විවිධ මීයන් විසින් හිල් කිරීම නිසා ඔඩු දුවයි. බුදුන් හා මාක්ස් දෙදෙනම පවුල විනාස කළ යුතුය යන අදහස පිළිවෙලින් ලෝකෝත්තර ව හා ලෞකිකව ප‍්‍රකාශ කළහ. රෝලිං නම් ගැහැණිය මේ අදහසට එරෙහිව පවුල උපයෝගී කොට කුඩා සුර ලෝකයක් ඉදි කරන්නීය. එහි එක් කෙනෙක් සුපිරි වීරයෙක් හෝ වීරවරියක් වෙන විට අනෙකා සාමාන්‍ය කෙනෙකි. මේ ඌන පූරක සුසංයෝගය සුර පුරයක් තනයි. වස්තු සම්පාදනය කරයි. වෙළඳ පොලට නතු වෙයි. පාලකයින් පත් කරයි. පාලකයින් එළවයි.

මේ ප‍්‍රකෘති පවුල; රාජ්‍යය, එහි ප‍්‍රජාතාන්ත‍්‍රික ස්වභාවය විවර්තනය කරන කුඩා සිදුරක් වැනිය. රාජ්‍යය සුජාත වීම, එහි චර්යාව සාධාරණීකරනය වීම, වෙළඳපොල බලවේගයන් සක‍්‍රීය වීම සිදු වන්නේ පවුලෙනි. ලිපිනයක් නැති තනි පුද්ගලයෙක් මේ කිසිවක පූර්ණ ග‍්‍රහණයට හසු නොවේ. එ නිසා පවුල රැකිය යුතු මනාය.

එදිනෙදා ජීවිතයේදී මෙන්ම රෝලිං විශ්වයේ ද හමු වන ඛේදනීය වීරයන්, අවිවාහක, පෙමට කැප වූ, හුදෙකලා පසුතැවෙන්නන් වෙති. මහාචාර්ය ඩම්බල්ඩෝර් [Dumbledore] හා ස්නේප් [Snape] චරිත විසින් අපිට පෙන්වන ඉසා (චරිත තුනක්) හා සුගත් (ගොළු හදවත) ස්වභාවයන් පවුල සම්පූර්ණ කර ගත නොහැකි වූ නිසා ලෝකය සිය පවුල වීම නම් සමාජ මැදිහත් වීම පෙන්නුම් කරයි. මේ බඳු අමුතු ආකර්ෂක [strange attractors] නිසා ලෝකය ගමන් කරන මාවත වෙනස් වන අයුරු රෝලිං කැන්වසයේ විචිත‍්‍රව ඇඳේ.

මුළු කතාව පුරා මාතෲ පසුබිමක් මෙන් පවතින වීස්ලි මහත්මියඅවසාන පොතේ අවසාන පරිච්ඡේදයේ බෙලාටි‍්‍රක්ස් හා ද්වන්ද්ව සටනකට එන්නේ, බෙලාටි‍්‍රක්ස් ව මරා දැමීමට පෙර බැල්ලි, මගේ දරුවො මරන්න උඹ?’ යනුවෙන් මොරදෙමිනි. සිය පවුල වැනසිමට එන සතුරාට සැතිරියට එරෙහිව රෝලිංනැමති මව කතා අවසානයේ සමාන්තර ඉතා ප‍්‍රබල සිද්ධියකින් ඉස්මතු වෙන්නේ රණවිරු කාලියක, ආදි මාතාවක ස්වරූපයකිනි.

රෝලිං දශකයකට වැඩි කාලයක් ඉම්පිරියෝ’ මනෝ බන්ධන අංගම [Imperio Curse] මතුරමින්, ඉංගිරිසි පාඨක සමාජයට ධනාත්මක චින්තනයක් අලෙවි කරයි. ඇය කෝටි පතිනියකි. එයින් ගම්‍ය වන්නේ කුටුම්භ සංරක්ෂණයේ විනෝදජනක බව තවමත් ඉහළ මිලක් ඇති මිථ්‍යා භාණ්ඩයක් බවයි.

Sunday, 29 January 2012

විජය කුවේණි - 4




සමහර අභිචාර විධි ඇති වූ හේතුව එහිම පැවසෙතත් බොහෝ විට සමූහ විඥානය විසින් මෙහෙයවන අප්‍රකාශිත හේතුවක් අභිචාර විධියේ උප්පත්තිය විය හැකිය. කුවේණිය; ලිලී පොටර් [කියවන්න හැරි පොටර් කතා මාලාව] කෙනෙකු, කන්නොන් සාමාවක මෙන් කළ ප්‍රේමණීය ජීවිත පරිත්‍යාගය අප ආරක්ෂා කරමින් අවකාශයේ පවතින බව සිතන්නට මම කැමැත්තෙමි.

ප්‍රේමයේ, නොවෙනස් වන බවේ සංකේතය වන දියමන්තිය දිවක් [දිගු කළ දිව ෆැලික සංකේතයකි] නිසා විජය රෝගී විය. වජ්‍රමය දිවක් ඇති දිවි වෙසකින් කුවේණිය පැමිණ විජය ගේ හෘද ය වෙත දිව දිගු කළ බව කුවේණි අස්න කියයි. ගණ ගෝත්‍ර පොදු තිරණයට එකඟව කුවේණියගෙන් වෙන් වූ විජය ගේ අවිඥානය ඔහුට වද දුන්නේ ඔහුගේ පරිකල්පනීය ලෝකය අවුල් කරමිනි. අනාර්ය කුවේණියගේ අවිය වන්නේ ආර්ය මහ දෙවි ඉන්ද්‍ර [ථෙරවාදයේ ශක්‍ර දේව, මහායාන විස්වාසයේ වජ්‍රපාණි]ගේ වජ්‍රායුධයයි. විජයගේ අවිඥානය ඔහු වේදනාවට පත් කරන්නේ මහදෙවි ස්වරූපයෙනි. සෘග් වේදයට අනුව ඉන්ද්‍ර කුලයෙන් නෙරපූවන් නැවත කුලයේ පිහිටුවයි.

[මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරයේ නගර වැනසූ ආර්යයන්ගේ දෙවි වු නිසා ඉන්ද්‍ර දෙවි පුරන්දරනමින්ද හැඳින්වෙයි.]

විජය පඬි රටින් ගෙන ආ කුමාරිකාව හා පෙමින් නොඇළුනා පමණක් නොව ඇය හා කිසිදු කායික සම්බන්ධතාවයක් නොපැවැත්වූ බව රාජාවලිය සඟවතැයි මට සිතේ. එසේ නම්, 'විජය රජුගේ බිසව බඩ වඳ හෙයින්' යනුවෙන් රාජාවලිය පවසන්නේ විජය හා සහවාසයක් නොවී ඉතිහාසයේ නමක් හෝ නැතිව මැකී ගිය කන්‍යා කුමාරියක් ගැනය.

සවැනි පැරකුම්බාවන් කලක් මලයාවේ ස්වර්ණ පුරයේ ගත කළ බවද, එහි බිසවක්ද පුරන්දර නමින් වූ පුතෙකු ද වු බව ඉසිවර පරණවිතානයන් උපුටා දක්වන මහාචාර්ය මුදියන්සේ දිසානායක කියයි. චෙං හෝ ගෙන් උපකාර ලබන පැරකුම්බාවෝ පන්තිස්වසකට පසු ලක එක් සේසත් කරති. කීරවැල්ලේ රන් මැණිකා ගෙන් ලබන පුරන්දර දරුවා ද මිය යයි. ස්වර්ණපුර බිසවගෙන් වෙන් වූ පුරන්දර දරුවන් දෙදෙනාගේ මරණ නිසා සෝ බර වූ පැරකුම්බාවන් වෙත උතුරුමුළ මහ තෙරිඳු [රාහුල උන්නාන්සේ] කුවේණි අස්න හා සිහබා අස්න ලියූ බව ඔහු තව දුරටත් කියයි.

කොහොඹා යක් කංකාරියේ උත්පත්තිය වෙන පඬුවස්දෙව් රජ හට කුවේණියගෙන් පැමිණි දිවිදොස තුරන් කිරීමට මලරජ ඇතුලු තුන් කට්ටුවක් ලංකාවට කැඳවා ගෙන ඒම සඳහන් වෙයි. ඒ මල රජ මොනරයතුරු පැද ගිය බිසව ඇතිකරපු කුමාරයෝ යයි දැනගත යුතුය -රාජාවලිය. සීතාව ගෙ පුත්‍රයා මෙසේ රෝග සුව කිරීම සඳහා කැඳවා එන්නේ ද , ඒ සඳහා රාහු අසුරයා මුල වන්නේ ද වියෝව පිළිබඳ සංකාවෙන් මිදවීම පිණිස ඔවුන් සතු කවර ගුණාංගයක් නිසාද?

යුදයෙන් දිනූ රාම සීතාව රැගෙන ආපසු ගිය බවද, රාවණ රජු කෙබඳු කෙනෙක්දැයි යෙහෙළියක ඇසූ විට කෙහෙල් පතක රාවණ රුව ඇඳි බවද, රාම එනු අසා කෙහෙල් පත ඇඳ යට හෙලූ නමුත් රාවණා බලයෙන් ඇඳ සෙලවුනු බවද, ඒ දුටු රාම සීතාව පිටුවහල් කළ බවද ප්‍රවාද ගතය.

සීතාව පිටුවල් කළ රාම එකී සිත් වේදනාවෙන් උන් බවද, දෙවනුව සීතා හා දරු තිදෙන හමු වූ පසුව සීතාව සිය මව වූ මිහිකත වෙත ගිය බවද රාම සියදිවි නසාගත් බවද තව දුරටත් කියැවේ. වියෝව නම් නුඹටමැ නොව රාම විජය ආදීන්ටද පොදු ධර්මතාවයකැයි කියා පැරකුම්බාවන් සැනසීමට 'භාෂාව' භාවිත කළෝ රාහුළ මහා ස්වාමින්ද්‍රයෝය.

කුවේණියගේ අපූර්ව පෙම් කතාව, ඇයගේ පරිත්‍යාග ශක්තිය කතන්දරයක් බවට පත් වී දනන් තුඩ තුඩ රැව් දෙමින් පරම්පරා අනුයාතව පැමිණ; අභයගිරියට පැමිණි හා අභයගිරියෙන් පිටට ගිය දැනුම හා මුසු වන්නට ඇත. සුවණ්ණ පුරයට, ශ්‍රී විජය පුරයට ගිය භික්ෂූන්, තාපසයින්, වෙණෙඳුන්, දේශාටකයින් විසින් කුවණ්නාවගේ වරුණ ඈත පෙරදිග පැල කරන්නට ඇත.

එනයින් කුවණ්නාව ගුඅන්යින්[චීනය], කුඅන්යින්, කන්නොන්[ජපානය] කුඅන් එයිම්, පරම කුඅන් එයිම් [තායිලන්තය] කුඅන් තෙ ආම්[වියට්නාමය] කුඅන් යුම්[හොං කොං] කබ්යීබ් [යුනාන් කඳුකරය-චීනය] දේවි කුඅන් යිම් [ඉන්දුනීසියාව] හෝ පරම මෛත්‍රිය තාරා [ටිබෙට්] යනුවෙන් මහායානයට කුලවැද්දී සම්භාවනාවට පාත්‍රවූ බව සිතීමටද මම කැමැත්තෙමි. ඇය කුඩා දරුවන්ගේ ද, සමුද්‍රයාත්‍රිකයන්ගේ [විජයගේ] ද ආරක්ෂක දෙවඟනයි. කුවන් යින් සියලු මිනිස්වග නිවන් දකින තෙක් ඔවුන් වෙනුවෙන් සිය නිර්වානය පමා කළ මහා කරුණාවන්තියයි.

ඉතිහාසය ගොඩ නැගෙන්නේ භාෂාව නිසාය. විජය-කුවේණි අමරණීය වන්නේද භාෂාමය විශ්වයක බව මට සිතේ. ඉතිහාසය පුරාවෘත්තය බවටද පුරාවෘත්තය මිථ්‍යාව බවටද පත්වීය යනුවෙන් ජේ ආර් ආර් ටොකීන් 'ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්' හි ලියන්නේ ඒ නිසාය.

කට බොරු කිව්වද දිව බොරු නොකියයි..!

සේයාරුව: වැල්ලෑගල පන්සලේ සූනියම් දේවාලය ඉදිරිපිට 2010 මාර්තු පැවැත්වූ සොකරි නැටුමේ ආඬි ගුරු සොකරි අම්මා සමග ලංකාවට පිටත් වීම. ස්තුතිය ලිෂාන් ට

Sunday, 22 January 2012

විජය කුවේණි - 3

පුරාතන ගණයෝ පුද්ගලයාට වඩා සමූහය වැදගත් කොට සැලකූහ. ලිච්ඡවීන් අනුගමනය කළ අපරිහානීය යැයි හොඳින් පෙනෙන සප්ත ධර්මයන් විසින් ඔවුන් බැඳී සිටියහ. ගණ තීරණයට පිටුපා කැරළි ගැසූ විජය සේනාපති ඇතුලු සේනාංකය පිටුවහල් කරන්නේ ඒ රීතියට අනුවය. එහි අනෙක් අරමුණ වූයේ උත්තරාපථයේ නොවෙන අන් දෙසක හෝ ගණ සංස්ථා පිහිටුවීමයි.

විජය හා කුවේණිය අතර ඇති සම්භෝග ප්‍රේමය ගණයේ අභිලාශයට බාධාවකි. ඔවුන්ගේ අරමුණ සිය ජාන සම්පත්තිය සුරැකීමයි. පැහැපත් සමින්, පැහැපත් නෙතින් හා පඬුපැහැ කෙසින් යුතු අවම වශයෙන් ක්ෂත්‍රිය වර්ණයට හෝ අයත් කුමරියන් සොයා ගොස් සිය ජාන සම්පත වෙනත් පරම්පරාවක් කෙරේ සම්ප්‍රේෂණය කළ යුතුය. කුවේණිය නම් සුපිරි ගැහැණිය ඔවුන් වෙත මහත් බාධකයක් ව සිය රුසිරින්, නුවණින් හා හැකියාවෙන් ආඪ්‍යව ගණ අභිලාශය ඉදිරියේ නැගී සිටියි.

ඇය සතු පුරාතන ඥානය විසින් හා විජය සතු කෞශල්‍යය විසින් ඔවුන් දෙදෙන එකිනෙකා හා වජ්‍රමය බන්ධනයකින් බැඳ තබා අහවරය. එකී බන්ධනය විසින් කුවේණිය සිය සංකේතීය ලෝකය විනාස කර දමන තැනට පත් කර තිබුණි. සිය ඥාති වර්ගයා ආගන්තුකයාගේ වසයට පත් කළ කුවේණිය යුග පැරණි සංකේත පද්ධතියක් වනසා ඇත.

විජය ඇතුළු ගණ යෝධ කැල ඔවුන් පුහුණු කළ ගණ සංස්ථා රැස්වීම් පැවැත්වූවා වන්නට ඇත. විජය විෂයයෙහි ඔවුන් මුහුණ දෙමින් උන් උභතෝකෝටිකය සාකච්ඡාවට ගත්තා වන්නට ඇත. ගණ ගෝත්‍රයක පුද්ගලයාට වඩා ගෝත්‍රය, සමූහය මුල් වෙයි. හයසිය අනූනව දෙනෙකු හා විජය යනු අතුල්‍ය බල සැකැස්මකි. විජය මහා ප්‍රජාතාන්ත්‍රිකයෙකු වන්නේ ඒ නිසාය. ඔහු ගණ තීරණයට හිස නමන්නට ඇත. ක්ෂත්‍රිය කුමාරිකාවන් සොයා දූතයන් පඬි රටට යැවූයේ එහෙයිනි.

විජය හා කුවේණිය වෙන් වන්නේ ගණ තන්ත්‍ර තීරණයට හිස නමමිනි. ඔවුන් අනෙකුත් උම්මත්තක ප්‍රේමවන්තයන්ට වඩා වෙනස් අයුරක උම්මත්තකයින් දෙදෙනෙකු වන්නේ පුද්ගලයාට වඩා සමූහයට මුල් තැන දුන් නිසාය.

විජය සේනාපති සිය පරිකල්පනීය ලෝකය මේ නිසා විනාස කර ගත්තේය. ඔහු හා කුවේණිය අතර ඇති අර්චනකාමී බන්ධනය බිඳීම විජයගේ පරිකල්පනීය චිත්තය සුණු විසුණු කළ කොන්ටම් මට්ටමේ පිපිරීමක් වන්නට ඇත.

කුවෙණිය හට සිය 'යථ' හමු වන්නේ ඇයගේ සංකේතීය ලෝකය පුපුරා ගොස් කලක් ගත වූ පසුවය. සිය ගෝත්‍රයට පිටුපා විජය හා බැඳුනු බැම්මෙන් ඇය මවා ගත් සංකේතීය තිරය තව දුරටත් වලංගු නොවෙන බව සෘජු ප්‍රජාතන්ත්‍රය කුටුම්භය වෙත සම්ප්‍රේෂණය කරන පණිවුඩයයි. යථ හමු වීම යනු මරණය හමු වීමයි. කුවේණිය මරණය තෝරාගන්නේ ඇය සතුව අනෙකුත් හැකියාවන් නොතිබූ නිසා නොවේ. විජය හා බැඳුනු වජ්‍රමය සම්බන්ධය බිඳුනු පසු ඇයට සත්තාව අරුත් විරහිත වීම නිසාය.

ඇයගේ සංකේතීය ලෝකය වන යක්ෂ ගෝත්‍රය වෙත ආපසු යෑමට පෙර ඈ නැගූ විලාපය විලාකටුපොත ගල්තලාවක ලියා ඇතැයි ජන ප්‍රවාදය කියයි. විලාපය කටු ගෑ පොත විලාකටුපොත වී යැයි කියැවේ.එම ගලෙහි ලියූ විලාපය කටුගා දමා ඉරි කැබලි පමණක් ඉතිරි වී ඇතැයි ද කියැවේ.

ඇයගේ අවසාන ප්‍රේමණීය ක්‍රියාව සිය දිවි නසා නොගෙන සිය ඥාති වර්ගයා අතින් මරණයට පත් වීමයි. සිය සංකේතීය ලෝකය කිළිටි කළ කුවණ්නාව වෙත දඬුවම් දුන් පසු සංසිඳෙන යක් ගණය නිසා විජය ඇතුළු පිරිසට සැලසෙන ආරක්ෂාව ඇයගේ අරමුණ වූවා වන්නට ඇත. කුවේණිය ඉතිහාසයේ පැනෙන සියළු අක්‍රිය පෙම්වතියන්ට වඩා විශිෂ්ට වන්නේ ඒ නිසාය.

වැල්ලෑගල ගිරිමුදුන ගුප්ත හාස්කම් ඇති තැනක් යැයි එහි පැමිණෙන බොහෝ දෙනෙක් විස්වාස කරති. කුවේණිය එහි පැමිණියා වන්නට බැරිද? ඇයගේ උමතු ප්‍රේම පරිත්‍යාගය දුකට පත් ජනයා ආරක්ෂා කරමින් එහි රැඳී පවතිනවා වන්නට බැරිද?

ගූඪ බව මිනිස් සන්තානයේ ඇති රෝගී සංකාවට එක් ප්‍රතිකාරයකි.

ස්තුතිය - කොළඹ අවන්හලකදී හමු වූ විටෙක අතට අසු වූ කොළ කැබැල්ලක න්‍යායික කරුණු ලියා පැහැදිලි කරන ඩෝසන් ප්‍රීති සහෝදරයාට

සේයාරුව: ජායිපුර් හි මහාරාජා ජය සිං[හ] විසින් ඉදි කළ 'ජන්තර් මන්තර්' අන්තරීක්ෂ දර්ශන-මාන ව්‍යූහයේ මිථුන ලග්නය.

Monday, 16 January 2012

විජය කුවේණි - 2


වාරියපොළ හන්දියෙන් මඳක් ඔබ්බට ගිය විට වැල්ලෑගල විහාරය හමුවෙයි. විහාරය පිහිටා ඇත්තේ ගිරිකුළක මැද හරියේය. විහාරයටත් වඩා ප්‍රසිද්ධ සූනියම් දේවාලයක් එහි වෙයි. ස්කන්ධ [සිංහ?- (සවෙනි ශාක්‍ය කුමාරයා උන් තැන මාගම් නුවර විය-රාජාවලිය)] හා ආරොවට පත් වල්ලීය එහි කලක් විසූ බව පුරාවෘතය පවසයි. දේවාලයත් විහාරගෙයත් අතර පෙත් මගෙහි ගල් නෙරුවක් ඇත. ගල් නෙරුව මතට ඈතින් ඇති කන්දක් පෙනෙයි. උදෑසන ඒ දෙස බලන කෙනෙකුට ගුප්ත සංඥාවක් කරමින් දිග සෙවනැල්ලක් තැනි බිමෙහි ඇඳෙයි.

‘ඔය තමයි දොළුකන්ද’ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ පවසති.

කුවේණිය මේ බිමෙහි සැරිසැරුවා වන්නට ඇත. ආර්යවර්තයේ නැගෙනහිර කොණේ සිට මුහුදු යතුරා පැමිණි රන්වන් ඡවි, කේශ, නේත්‍රායෙන් හෙබි ගෝත්‍ර නායකයා ඇයගේ ප්‍රේමයට බඳුන්වූවා විය හැකිය. ගණ සංඝයේ විවිධාකාර ශිල්පීය දස්කමින් යුක්ත ඔහු ඇයගේ විරුවා වන්නට ඇත.

කුවණ්නාව ඉතිහාසයේ හමු වන අපූර්වතම ස්ත්‍රියකි. ඇයගේ උපත්තියේ සිට පියොවුරු තුනක් සහිතව උන්නාය, සිය ඉරණම්කරු හමු වු විට ඉන් එකක් මැකී යන බවට අනාගත වාක්‍යයක් විය. පච්ඡිම රාජනිය නම් ජගන් මාතාවක විස්වාස කළ ඇයගේ ගෝත්‍රය මානව වංශ සන්තතියේ පෙර අවධියක පසු විය. පියොවුරු තුනක් සහිතව උන් අනිත් කාන්තාව නම් ‘පත්තිනි’ය උපන් මදුරා පුරයේ ම උපන් ‘මිනාක්ෂි’යයි. ඇයගේ උපතේදී ද කුවණ්නාවට ට ම බඳු අනාවැකියක් පළ වූ බව 'ස්ථල පුරාණය' පවසයි.

බොහෝ මිථ්‍යා රූපික කාන්තාවන්ට මෙන් කුවේණියට ගුප්ත හැකියාවන් ආරුඪ කිරීමට කතා කරුවෝ උත්සුක වි ඇත්තා හ. විවිධ රූප ගැනීමට, එයිනුත් වෙළඹ රූපයක් ගෙන යක් සෙනඟ නැසීමට විදෑවන්ට උදව් කළ යක්ෂණියක් ඒ අනුව රූපණය වි ඇත. දිවි දෙනකට බඳු නම්‍යශීලී සිරුරකින් හා වෙළඹකට බඳු ජවයකින් උන්නා යැයි පරිකල්පනය කළ හැකි කුවේණිය විජය ගේ නාරි අර්ධය වීම ප්‍රශස්තය. රන් සිරුරින් යුතු ඔහු උපුල්වන් සිරුරකින් යුතු ඇය හා සම්භෝග වීම තාන්ත්‍රික යෝගයකි. වජ්‍රමය එකීයත්වයකි. දියමන්ති හෝ ඊට සමාන අවිනාශීය දැඩි බවකින් යුතු වජ්‍රය, විටෙක හෙණපහරක් සේ ඉන්ද්‍ර අතෙහි ලෙළ දෙයි. මහායානයෙහි වජ්‍රය මාර්ගය සංකේතවත් කරයි.

කුවේණිය රූපත් බවට හා ඇය විජය සේනාපති හා දැඩි පෙමින් කල් යැවූ බව පැවසෙන කතා, කතා අන්තර පඬුවස්නුවර, වාරියපොළ ආදි ප්‍රාන්තයන්ගෙන් සොයා ගත හැකි බව මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දෙගම 1990/2000 පියවර සඟරාවට ලියා ඇත.

ඉහත කී වැල්ලෑගල පන්සල ඉදිරියෙන් ගනේවත්ත පාරේ කුවේණිගල වෙත යා හැකිය. එක් කලෙක විජය සේනාපති දරුණු කුෂ්ට රෝගයකින් පෙළෙමින් සිටි බැවින්, තම්මැන්නා නුවර උණුසුම් වැඩි හෙයින් සිංහ පුරයට සමාන දේශගුණයක් සහිත තැනෙක විසිය යුතු මනා බව තීරණය කෙරිනි. රෝගියා වෙන්කර තැබිය යුතු වීම අනෙක් උවමනාව විය. දොළුකන්දේ පර්වත ගුහාවක විජය සේනාපති නවත්වා පිළියම් කෙරිනි. විජය කුවේණි ප්‍රේමය කෙතරම්ද යත් උනුන් නොදැක සිටිනු නොහැකි වීම අන්‍යතර රෝගයක් විය. කුවේණිය දිනපතා කුවේණිගල මත විදෑවන්ට පෙනෙන සේ හිඳ ඉතා දිගු සිය වරලස ගලෙන් පහළට වැටෙන සේ මුදා හැර කෙස්වැටියේ අවුල් හරිමින් එය පීරමින් සිය පෙම්වතා දෙස බැලුම් හෙළමින් හුන් බව ජනශ්‍රැති ගත ව ඇත.

ප්‍රේමය සතු එක් ගුණාංගයක් නම් ප්‍රේම වස්තුවක් හෙවත් අර්චනකාමී වස්තුවක් සිය ප්‍රියයා- ප්‍රියාව ඇසුරෙන් තනා ගැනීමයි. ප්‍රේම වස්තුව හෝ අර්චනකාමි ෆැන්ටසිය [phantasy], අහිමි විමේ සංකාවෙන් කෙනෙක් මුදන තිරයක් තනා දෙයි [එස්තර් සැන්චෙස් පාර්දො-මෙලනි ක්ලයින් හා නූතන විෂාදි]. එකී තිරය දෙස බලන පෘතග්ජනයා පරිපූර්ණ බවට පත් වීමේ මායාවෙන් සතුටට පත් වෙයි. අර්චනකාමී ෆැන්ටසිය අවසන් විය හැකි වන්නේ මරණයෙන් විය යුතුය.

කෙනෙකු සිය ගෝත්‍රයට ද්‍රෝහි වීම, ප්‍රේම වස්තුව අතහැර දැමීමට සිදුවීම, දාරක දුහිතෘ අහිමි වීම විෂාදිජනක විය හැකිය. ඇතුළත හා පිටත ගැට නොලෙහෙන ලෙස තදින් ලෞකික ප්‍රේමයකින් බැඳුනු විදෑවන් හා කුවණ්නාව ඉතිහාසයේ ඈත ලක්ෂ්‍යයක සිට කාල චක්‍රය හරහා අප වෙත එවන්නේ ඔවුන්ගේ අනුල්ලංඝනීය ප්‍රේම සංඥාවයි.

අහිමි විමේ සාංකාව මිනිස් වර්ගයා සදා පෙලන රෝගයයි.

සේයාරුව: යක්ෂනී- පැට්නා කෞතුකාගාරය- විකිපීඩියා