Thursday, 5 May 2011

මා ඔය

















'සිල්වා' උන්නැහේ

'කැලෑහඳ' ලියන කාලේ

'මාලනී' සොයා ආගිය


'රණවීර'

පස්සෙ කාලෙක

'ඔයබඩ වවුල්ලු'ත් එක්කම

මා ඔයට බැසි තැනට


මහකඩේ මංකඩට

පාතින්


ගඟ ගලයි

නැමී පහළට


පොහොන්කෙළියේ මංකඩේ

ගැබ්බර බිසෝ කෙනෙකුන්

පාව විත් රැඳුන තැන

කතන්දර අසයි

ඇස් විසල් කර

කුඩා දිය කිඳුරියක්

දාපුළුසෙන් කුමරු ගැන


එගොඩ

කුරු නා ගස

අලුත් දළු සලමින් අසයි

එනවද වෙසක් එකටත්

පන්සලේ නව නාරි ඝට

පරණ විදිහට තියෙන්නැති වෙයි

වැඩිකල්


පින්තුරය - රජරට රාළ බ්ලොග් අඩවියෙන්

Saturday, 25 December 2010

මේ නත්තලයි..


බොහෝ කලකට පෙර පරිවර්තනය කළ 'පැරණි ඕක් රුක' ෆයිල් කවරය පිටින් නැතිවිය. ඕක් ගසක සියක් අවුරුදු වයසත් හිච්චි බත්කූරෙකුගෙ එක් දිනක දිවියත් එහි කතාව වෙයි. නත්තල 'හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්' සිහිකරයි.


ගිනිකූරු විකුණන අනාථ දැරියකගේ මුවමත සීතලේ ගල්වුනු සිනහවක් මෙන් නත්තල උදාවෙයි. දුම් කවුලු පිරිසිදුකරන්නා හා ගොපළු දැරිය සීතලේ වෙන රටකට පැනයන්න කල්පනා කරති. හිම යුවතිය සිය ආලයේ සීතලෙන් මිදී නිසල වෙයි. කොතැනක හෝ කිවියර සොහොනක සෙව්වන්දියක් පිපී පවතිනවා ඇත. අනාගත කවියන් මරා අහසින් හෙලූ රාමසර ගිනි රෝස පුබුදති. මායාකරු ගේ දුෂ්ට කණ්නාඩිය බිඳි 'කේ' ගේ ඇසේ පතිතවූ වීදුරු කටුව 'ගර්ඩා' කොතෙක් හැඬුවත් සේදී නොගොස් පවතියි. බැලූ බැලූ දේ ඇදවී පෙනෙයි.අහෝ..! දුප්පත් දැරිය, ගිනි කූරු එළියෙන් දැනුනු අත්තම්මාගේ උණුසුම ඉතා කෙටි විය.


ඩිකන්ස්, ඊයේ අද හා හෙට නත්තල් අවතාර, 'මියගිය දොර ඇණ' හඬවමින් ඇවිද යන්නේ පා සටහනක්වත් නොතබා ය. තැම්බූ අර්තාපල්[පොඩි], උදුනේ පැලැහූ කළුකුම් [මස් කඩේ උන් පොඩිම එකා], රතු මදිරා [බාල එක]..........


මේ නත්තලයි.. සියලු දෙන කා බී ප්‍රීතියෙන් පසු වෙත්වා...!


අර උපන් දරුවා?

කවුද බ්‍රයන් ද?*


නෑ නෑ අපි ආවේ පෙරදිග ඉඳන් තෑගිත් අරන්.

තෑගි ගෙනාවානම් දීලා ආපු අතක යන්ඩලා.


එතකොට වල්ගා තරුව?

ඒක ඉලපතකට ගන්න දුම්මැස්ස අතුගාන්න..!


* Life of Brian [A Monty Python Movie] http://www.imdb.com/title/tt0079470/

Tuesday, 23 November 2010

14/12/1990


බොහෝ කලක්
මා බලා සිටිය
වසන්තය
උදා වී ඇත.....................
මේ ..................
ඔබ ......................
පසෙක හිඳුවාගෙන
උදාන ගී
ගැයිය යුතු
කාලයයි .................!

14/12/1990

අවුරුදු 19ක ගැටයෙක් අවුරුදු 18ක ළමිස්සියකට පොතක් පුරා පෙම් ලිපි ලියා යැව්වා. තාමත් ළමිස්සි ගාව ඒ පොත ප්‍රවේසමෙන් තියෙනවා. අවුරුදු විස්සක කාලය නිසා ඇතිවුනු දුඹුරු පැහැය ඇරුනාම වෙනත් වෙනසක් නැති ඒ පොතේ පිටුවක්.

1990/11/25


මහජන පුස්තකාලයේ ග්‍රීන් පාත් පැත්තේ ඇති ගම්මාලු ගහ යට අදත් ඉඳගෙන ඉන්නා කෙල්ලගේ හා කොල්ලාගේ කතාවේ දෙවනි දවස.. ................ .................. .....................................


රෑ වට වැස්සෙන්

අහස වසා සිටි

අඳුරු පහැය

සේදී බිම වැටිලා ...


ඉද්ද කැකුළු මත

හීතල පිණි බිඳු

සිනහ නගයි

මොහොතක් රැඳිලා .....


රෑ තුන් යම

නිදි වරන හිතට

යළි

කාංසියක් නැහැ

ඔබ පැමිණිය පසු

කාංසියට සමු දෙමි හැමදාටම

හිස්තැන් නැත

හිත අහලක මින් මතු ....


නිම් වළල්ලටත්

එපිටින් ලෝකෙක

හීන මාළිගා තැනුනු රැයේ

නිම් වළල්ල

හිත යටින් පනින්නේ

ඔබගේ ලෝකෙට

දුරක් තියේ ......


ඉරහඳ තරු නැති

එළිය බිඳක් නැති

කළුවර තුන් යම

එකලු වුනාවේ ......


සිතිජ ඉමේ රත් වළා අතර හිඳ

අපේ හිනහ හඬ හිනා වුනාවේ




Saturday, 13 November 2010

11/13



කුඩා ඉටිපන්දමක්
හොරෙන් දල්වා තබමි
රැහැයියන් ගොළු ව ගිය
රාත්‍රිය
නිදිනැතිව ගෙවි ගිය
අයුරු
යළි
සිහි කරමි

13/11