Tuesday, 19 November 2013

පත් සිඳුනු වසන්තය [autumn in spring]: 1


පත් සිඳුනු වසන්තය [autumn in spring]

බා ජින් - 1932

1995 මැද හරියේ විශ්වවිද්‍යාල වසා දැමිනි. මම නම් ශිෂ්‍යයා ඒ කාලයේ කෙටි නවකතාවක් පරිවර්තනය කළේය. දැන් මා සතුව ඉන්ගිරිසි පොත නැති නිසා මෙහි හරි වැරදි බැලීමට නොහැකිය. අපේ ගෙදර උන්දෑ පසුගිය දිනෙක මේ කොළ මිටිය රාක්කයක් තිබී සොයා ගත්තාය.


1.

නංගි ගෙදරින් ටෙලිග්‍රෑමක් එවල තිබුණා. අයියාගේ මරණෙ දන්නලා.

මට කිසිම දෙයක් දැනුනේ නෑ එයාගේ මරණෙ ගැන. මම දන්න තරමින් මිනිහා හොඳ සනීපෙන් හිටියේ. ළඟදි විවාහ ගිවිස ගන්නත් අදහසක් තිබුණා. 

මේක හීනයක් වෙන්න ඇති! මිනිහෙක් මේ තරං ඉක්මණට මැරෙන්නේ කොහොමද? විසේසයෙන්ම කසාද ගිවිසුමට ඔන්න මෙන්න තියලා? මට පුදුම හිතුණා.

මම ඒක ගැන හිතන එක නැවැත්තුවා. මගේ මොකුත් වෙනස් වුනේ නැති හින්දා. ඒ මරණෙ ගැන හිතන්න තරං මොකුත් වෙලා තිබුණේ නෑ.

පහුවෙනිදා තවත් ටෙලිග්‍රෑමක් ආවා, වචන තිස් හතරක් එක්ක. වැඩිපුර විස්තර ඒකේ තිබුණා. අයියා එයාගෙම ගිරිය කපාගෙන දිවි නහගෙන.

මගේ යාලුව සූ අත් වෙවුල වෙවුල ඒක කියෙව්වා.

'ඉතිං මක්කැයි කරන්නේ', මිනිහා ඇහුවා. 'මොකක් කියන්නද? මට තේරෙන්නෑ'. මගේ අතක් මිරිකගෙනම මටම කියා ගත්තා. 'හොඳා! එහෙනං ඒක හිනයක් නෙවෙයි.'

සූ මගේ දිහා බැලුවේ විභ්‍රාන්ත වෙලා. එයාට මාව පේන්න ඇත්තේ ලෝකේ ඉන්න අවාසනාවන්තම මිනිහා හැටියට.

'මොකද මගේ දිහා ඔහොම බලන්නේ?' කියලා අහන්න කලින්ම මිනිහා කාමරෙන් එළියට ලිස්සුවා.

මං සෝපාවේ ඉඳගෙනම බිත්තියේ එල්ලි එල්ලී තිබුණ ජැනට් ගේනර් ගේ පින්තූරේ දිහා බැලුවා. එයා මගේ දිහා හිනා වේගන ඉන්නවා. මේ මෝඩ කෙල්ල ගොඩ කාලයක් තිස්සේ හිනා වුනේ නැතුවයි හිටියේ. මොකැයි අද මේ හදිස්සියේම හිනා වෙන්න තියෙන කාරණේ. මගේ අවාසනාවට හිනා වෙනවද?

එයා සුව සම්මන්න ඡවි කළ්‍යාණයක් තියෙන තඹල කේශියක්. ලා ම ලා නිල් පාට හැට්ටයක් ඇඳගෙන ! ඉතිං මට මෙව්වෑයෙං ඇති පලේ මොකක්ද? එයා නිකම්ම නිරූපිකාවක් විතරයි.

ඒ මදිවට දැං අයියා මැරිලා. 

ජැනට් ගේනර් ගෙන් මගේ ඇස් ගියේ හොඳට සුදු පිරිමැදපු බිත්තිය  දිහාවට, ඒකේ තිතක් වත් නෑ. ඒත් ඒකෙන් අමනාපෙන් කළු වුන මූණක් ටිකෙන් ටික මතු වුනා. ඒ මූණේ විසේසයක් තිබුණේ නෑ. ඒක කාගෙත් වගේ මූණක්. නමුත් ඒක අයියාගේ මූණුවර ගත්තා.

හැබෑටම ඒ අයියාගේ මුණ. එයාගේ සාමාන්‍ය ජීවිතේ කොයි වගේද පෙන්නුම් කරන සාමාන්‍ය තරුණයෙක්ගේ මූණ.

'මම මැරුණා' එයා හදිසියේම කට ඇරියා. 'මම මගේම අත් වලින් බෙල්ල කපා ගත්තා.'

'ඔයාට එහෙම කර නොගන්න තිබුණා.' මම විරුද්ධ වුනා, 'ඒක ඇත්ත වෙන්න බෑ, එහෙමනං ඔයා දැන් මගෙත් එක්ක කතා කරන්නේ?'

'ඒ පිහිය ඒ වේදනාව, අන්තිමට මරණ දුක! කවුරුවත් මයෙ හිතිවිලි දැනං උන්නේ නෑ. කවුරුවත් මගේ ගැන දුක් වුනේ නෑ. එහෙමයි මගෙ පණ කෙළවර වුනේ.' එයා දුකෙන් කිව්වා.

ලොකු කඳුලු ගුළි එයාගෙ ගිලිච්ච ඇස් වලින් ගලා හැලුනා.

'මැරිච්ච කෙනෙකුට කතා කරන්නයි, කඳුලු හලන්නයි පුලුවන්නම් මරණෙත් ඒ තරම් භයානක නෑ. කවුරුත් මැරෙනවා නෙව!' මම දෙගිඩියාවෙන් මටම කියා ගත්තා. කාටවත් ඇහෙන්නෙ නැති තරම් හෙමිහිට.

'මට මැරෙන්න ඕන වුනේ නෑ' එයා තොල් කැටි කර ගත්තා. එයාගේ මූණ අබ පුපුරවන්න පුලුවන්. කට ඉරක් වගේ පියවිලා. ඇස් පුංචියට ඇකිලිලා.

එයාගේ මූණ අවඥාවෙන් බනිසක් වගේ වෙනකම් මමත් ඇස් ලොකු කරගෙන බලං උන්නා.

බිත්තිය ආපහු සුදු පාටයි. ඒකේ අයියාගේ මූණේ කිසිම සළකුණක් තිබුණේ නෑ.

'මොන කෙහෙම්මලක් ද?' මං කියා ගත්තා. 'උඹ දවල් හීන බලනවයි?'

ටෙලිග්‍රෑම තාමත් මේසේ උඩ. වචන තිස් හතරක් තියෙන ටෙලිග්‍රෑම.   


Actress Janet Gaynor was the first winner of the Academy Award for lead actress and the youngest ever to win the award (until Marlee Matlin in 1986). She was born Laura Gainer on October 6, 1906 in Philadelphia. Gaynor had a long career in show business with over sixty film, theater, and television credits from 1924 until 1981.

Tuesday, 29 October 2013

කෝ මාගේ සේපාලිකා?






රුක්මණී යනු පුරාවෘත්තයකි. ඇය ශ්‍රී ක්‍රිෂ්ණ ගේ බිරියයි.

රුක්මණී සත්‍ය වශයෙන් පුරාණයකි.
 
1930 ගණන් වල රුක්මණී දේවී තරුණ නෝනා අපේ තැටි වලට පමණක් ගී ගයන්නීය යනුවෙන් වූ [එච් එම් වී විය යුතුය] වෙළඳ දැන්වීමක් එවක දිණමිනේ පලවී තිබී හමුවිය. මිනර්වා යනු රෝමක සරස්වතියයි, ඇයගේ නමින් වූ නාට්‍ය කණ්ඩායමේ රඟපෑ, ගායිකාවක වූ රුක්මණිය හොලිවුඩ් හි ප්‍රකට ජුලී ගාලන්ඩ් [විසර්ඩ් ඔෆ් ඕස්] සිහිකරයි. ඇයගේ නෙත් ගසාලා නම් මුවෙකුගේ බඳු ය, ලබන භවයක උර්දු කවියෙකුවැ ඉපිද ඇය වෙනුවෙන් ගසාල් ගීයක් ලියන්නට ඇත්නම් යැයි සිතේ.


රුක්මණිය ගේ මරණයද පුරාවෘත්තයකට ගැලපෙන එකකි. ජරාවට පත් නොවී මියගිය ඇය එලෙසම අමරණීය වී ඇත.
 
අපේ තාත්තා පැටි වියේදී දිප්පිටිය හා දෙමළහිරිය අතර වූ සංගිලිපාලම අසල 'කැලෑහඳ' රූගත කරනු කරන විට 'කැලෑහඳ' බැලීමට පාසැලෙන් කට්ටි පැන්න බවද, අත්තා පැමිණ දෙකක් දී ගෙදර ඇදගෙන ගිය බවද ඔහු තවමත් අභිරුචියෙන් විස්තර කරයි. දිප්පිටියේ මහකඩෙන් ගෙනා රබර් රොටී මිටි දෙකක් මාලනී වෙනුවට මා ඔයට පැන්න බව අපේ ගමේ වැඩිහිටියෝ පවසති. රුක්මණි ඇහින් දැකීම ඔවුන් හට සරස්වතී දැක්කා වැනි සතුටක් බව වියපත් මුහුණු වලින් මතුවෙන මන්දස්මිතයෙන් පලට වෙයි.[ආරියවංශ රණවීර මහකඩේ පල්ලමේ නාන මංකඩ ගැන ඔයබඩ වවුල්ලු හි ලියා ඇත]. 
 
ළමහාමි ද [හිඟන කොල්ලා] , මාලනී ද [කැලෑහඳ] මා ඔයේ දෙමළහිරිය පැත්තේ පූජාගොඩ ඉඩමේ කුඩා පැලක විසූ බව හිතා ගැනීමට මම තවමත් කැමැත්තෙමි. 
 
රුක්මණියට පෙම් බැඳිම වරදක් නොවේ, එසේ නොවන්නේ නම් වරදක් වේ.
 
'මාගේ පෙම්වතා' චිත්‍රපටියේ රූගත කිරීම් වලට මදුරාසි ගිය කණ්ඩායම නතර වී හුන් හෝටල් උයනේ තැනෙක පාරිජාත [පරසතු, සේපාලිකා, පාරිජාද [දෙ.], ශේෆාලි/ශියුලි(බෙං.), හර්සින්ඝර් (හින්.)] රුකක් විය.
 
සේපාලිකා උපත ගැන කතා දෙකකි. එකක් නම් කිරිසයුරු මත්ගැසුමෙන් උපන් පරසතු රුක එය බවයි. ගෝවින්දයා එය සිය නිවෙසට ගෙන ගිය බවත්, සත්‍යභාමාව හා රුක්මිණිය අතර එය කාගේ නිවසේ පැල කළ යුතුද යන්න ගැන තරඟයක් වූ බවත්. කපටි ක්‍රිෂ්ණා එය සත්‍යභාමාවගේ මිදුලේ පැළ කළේ මල් රුක්මිණියගේ මිදුල පුරා වැගිරෙන අන්දමින් බවත් එය කියයි.

අනික පාරිජාතා කුමාරිකාවගේ කතාවයි. ඇය ඉරට පෙම් බැන්දාය. හිරුහු ඇය විවා කරගත්තේ කිසිදා ඉවත නොබැලිය යුතු බවට වන ගිවිසුමක් සමඟයි. ගිම්හානයේ හිරු දුටු එක් මොහොතක පාරිජාතාවගේ නෙත් පිය හැකිලින. හිරු ඇය ඉවත දැම්මේය. ඇය සියදිවි නසා ගත්තා ය. ඇයගේ සොහොනෙන් සේපාලිකා ගස මතුවිය. හිරු ඇය රැයෙහි හමුවීමට වරම් ලබා ගත්තේය. හිරු රැයෙහි සිපගත් සේපාලිකා ඉමහත් සුවඳ විහිදුවමින් උදයේ පොළවට පතිත වෙයි.  
 
සිනමා කණඩායමේ වූ හර්බි රුකමණී ට පෙම් බැඳි කෙනෙකි. ඔහු සේපාලිකා රුක යට ඇති උයන් අසුනෙහි හමුවන බවට රුක්මණිය ගිවිස්වා ගත්තේය. ඔහු සපථ කළ වේලාවට එහි ගිය නමුත් රුක්මණිය ට එහි පැමිණීමට නොහැකි විය. ඔහු සඳපහන් රැයෙහි බොහෝ වෙලාවක් පොරොත්තුවෙන් පසුව යන්නට ගියේය. පසු වී එහි පැමිණි රුක්මණියට හමු වූයේ උයන් අසුන මත සේපාලිකා මලින් තනා තිබූ වැකියකි.
 
'කෝ මාගේ සේපාලිකා?'

එස් එස් වෙදා ගේ සංගීතයට රුක්මණී හා වේදා ගයන මේ ගීයේ පදමාලාව හර්බට් එම් සෙනෙවිරත්න විසින් රචනා කරන ලද්දකි.

මින් වසර හතරකට පෙර සිටවූ සේපාලිකා ගසේ දැන් මල් පිපෙයි. රුක්මණියද ක්‍රිෂ්ණාද, රුක්මණිය ද හර්බි ද එහි පැමිණ අල්ලාප සල්ලාපයෙන් පසුවනු ඇත.


හෙට උදෑසන ගස වටා දැවටුනු ගැඹුරු සේපාලිකා සුවඳෙහි ඒ පෙම්කතා මුසුව ඇතියැයි හඟිමි.

'කෝ මාගේ සේපාලිකා?'



ස්තුතිය: මෙහි ගීතය හා බැඳුනු පෙම්කතාව කියාදුන් බර්ටි මාමා ට.


Monday, 14 October 2013

මම අජන්තාට බය ඇත්තෙමි.

artiest1.jpg (15800 bytes)

වෙන ගී පද රචකයෙකු ගැන යමක් ලිවීමට මැලි නොවෙන මම අජන්තා ගැන මෙතෙක් ලියා ඇත්තේ එක පේලියක් පමණකි. ඒ මෑතකදී ලියූ 'අජන්තා, දන්නා මැටි වලින් නොදන්නා රූප මවන කෙනෙක්' යන පේලිය පමණකි. 


මම අජන්තාට බයද? මම මගෙන්ම අසමි. අජන්තාට බය වීමට හේතු සොයමි. අජන්තා ට බයවීමට ඇති ආසන්නතම හේතුව ඔහුගේ පදමාලා වලින් වෑහෙන ප්‍රමෝදය යැයි මට සිතේ. ඒ සඳහා පදමාලා තුනක් ගෙනහැර පාමි.


1. පොකුරු පොකුරු මල් සැණකෙළි..

තරුණියකගේ හිතේ මෝදු වෙන ප්‍රේමණීය ප්‍රමෝදය මේතරම් ආවේගයකින්, ප්‍රචණ්ඩව ග්‍රහණය කරගත් වෙන ගීයක් අසා නැත්තෙමි. නුහුරු හැඟුම් ගැන සවිස්තර ව ස්පර්ශ කරන අජන්තා පුළුල් සංකේත ගොන්නකට ගින්නක් මෙන් ඒ හැඟීම් ලවා ගිනි තබවයි. මිටියාවත සුදු මීදුම්.. පාවි පාවි යන යුවතියක්.. ආදරයද මේ දැනෙන්නේ? ප්‍රශ්නය අජන්තා අතින් වචන කැන්වසයක චිත්‍රණය වෙන්නේ ස්ටිල් ලයිෆ් ලෙස නොවේ, ඉතා වේගයෙන් සංක්‍රාන්ති වෙන ඇනිමේට් කළ රූප සමූහයක් ලෙසිනි.

2. මංගල මල්දම..

සිංහල ගී සාහිත්‍යයේ පිරිමි දෙන්නෙක් කියන ශෘංගාරය උතුරන ලොකුම වහසි බස් [පොර ටෝක්] සමූහය වෙන මංගල මල්දම ගීය උහුලා ගන්න අමාරු සංකේත සමූහයකි. එකෙකුට එකෙක් පරාජය නොවෙන අන්දමට දෙදෙනා අතටම උපමා ප්‍රදානය කරන අජන්තා; කිඳුරු විමානේ කිඳුරු ලියන්, සුරංගනාවන්, වන දෙව් ලියන් කැඳවන්නේ අති ශූර ඉන්ද්‍රජාලිකයෙකු පරිද්දෙනි. සද්දන්ත ඇතුන්, රන්පාවඩ, කසී සලු, ගාන්ධාරයේ විලවුන් මැවීමට ඔහු කලබල නොවී සමත් වන්නේ ඒවායේ වගතුග දන්නා යාත්‍රිකයෙකු/සංචාරකයෙකු ලෙසිනි.

3. විල්ලුද පුංචි දෙපා.. 

ඔහු මේ ජනප්‍රිය ගීයට පණ දෙන්නේ කව් ලැකියට හා ලෙව් ලැකියට එකසේ පණ දෙමිනි. සදාචාර වහන්තරාවක රිංගා සාහිත්‍ය රස විඳීම නොකළ යුතු බව කියාදෙන අජන්තා පිරිමියාගේ අප්‍රකාශිත විඥානය එලියට ඇද දමන්නේ 'හිත වාවන්නේ නැතී.. දිවි නහ ගන්න හිතේ' යනුවෙන් ගුප්ත, ගූඪ පිරිමි සන්තානය එළිමහනට කැඳවමිනි.

අජන්තා ගේ පදමාලා ගැන ලීවීමට වචන ගොනුකළ යුත්තේ සීරුවෙනි. පසුගිය ජාත්‍යන්තර ගැහැණු දරුවාගේ දිනයේදී ගෝතමී විද්‍යාලයයේ කෙල්ලන් රංචුවක් බෝධියේ විහාරයේ ගීය ගයනවා අසා සිටි මට සුනිල් සරත් පෙරේරා ඒ ගීය ගැන සිය දියණියන් හා කියූ[වාලු] කියන කතාවක් සිහිවිය. 'අජන්තා ඕක ලිව්වට පස්සෙ ආයේ ඒ ගැන ලියන්න දෙයක් නෑ' ..

ගිය සිකුරාදා සිට ඔලුවේ කැරකුණු හිතිවිලි එවැනිය.. ගැලවීමට ඇති එකම මග ඒවා එළියට දැමීමය.. 

මේ ලියා ඇත්තේ එක මුහුණතක් ගැන පමණි. දියමන්තියකට බොහෝ මුහුණත් ඇත..

Saturday, 28 September 2013

කිවියර සොහොන් බිම පිපුණු සෙව්වන්දිය




පෙරදිග සියලු ගීත රෑ කොවුලෙක් රෝස කුසුමකට ආලය කළ අන්දම පවසයි. නිහඬ තරු පහන් රාත්‍රීන් හි දී පියාපත් ඇති ගායක තෙමේ ඔහුගේ සුගන්ධිත කුසුමට පෙම් ගී ගයයි.

උදාරම් බවින් දිගු ගෙල ඔසවාගත් ඔටුවන් පිට බර පටවාගත් වෙණෙඳ කෙනෙකු සුසුදු බිම මතින් ඔවුන් දක්කාගෙන යන, ස්මිර්නාවෙන් වඩා ඈත් නොවෙන තුඟු රඹ යාය යට රෝස වදුලක් දුටිමි මම. උසැති ගස් අතු අතර කැලෑ පරෙවියන් පියා හැඹූහ. ඔවුන්ගේ පියාපත් දිලිසුනේ මුතුයෙන් තැනූ කලක මෙනි.
රෝස වදුල එහි වූ සියළු කුසුමන්ට වඩා සුන්දරතර වූ එක් කුසුමක් දරා සිටියේය. රැ කොවුලා සිය දුක්බර ගීත ගායනා කළේ ඇය උදෙසාය. එහෙත් රෝස කුසුම නිහඬව උන්නාය. ඇගේ පෙති වටය මත දයාවේ කඳුලකට බඳු එකද තුසර බිඳක් හෝ නොවැතිරින. ඇය සෙල් පුවරු කීපයක් වෙත නැමී උන්නාය.  
'මෙහි ලොවෙහි උත්තම වූ කවියා සැතපෙයි. ඔහුගේ සොහොන මත මගේ සුගන්ධය වගුරුවමි. සැඩ කුණාටුව විසින් ඉරා හළ කල්හි ඒ මත මගේ පෙති විසුරුවා ලමි. ඔහු ත්‍රෝජ පුරය මිහිබත් වූ අයුරු ගැයීය. මම ඒ බිමෙන් උපන්නෙමි. හෝමරයන් ගෙ සොහොන් බිමෙහි ජාත රෝස කුසුම මමයි. දුප්පත් රෑ කොවුලෙකු උදෙසා පිපෙනවාට වඩා අගයෙන් යුතු වෙමි.' සෙව්වන්දිය පැවසුවාය.

රැ කොවුලා ගී ගයා එයින්ම මිය ගියේය.

ඔටු සාත්තු නායකයා බර පැටවූ ඔටුවන් හා කාපිරි වහලුන් සමග පැමිණියේය. ඔහුගේ සිඟිති පුතුට මියගිය කෝකිලයා හමු විය. ඔහු කුඩා ගායකයා ව උතුම් හෝමරයන්ගේ සොහොනේම වළලා දැමීය. රෝස කුසුම සුළඟෙහි සැලුනාය. සැඳෑ කල උදා විය. රෝසිය සිය පෙති එකිනෙක හකුළුවා ගෙන මෙබඳු සිහිනයක් දුටුවාය.

එය පැහැපත් ඉර එළියෙන් දීප්තිමත් දිනයක් විය. අමුත්තන් රැසක් ඇය අසලට පැමිණියහ. ඔවුන් හෝමරයන්ගේ සොහොන් බිම වෙත වන්දනා ගමනක පැමිණ සිටියහ. අමුත්තන් අතර වලාවන්ගේ හා උත්තරාලෝකය නිවහන වන උතුරෙන් පැමිණි කවියෙක් විය. ඔහු රෝස කුසුම නෙලා ගත්තේය. එය පොතක පිටු අතර තබා ලොව අන් තැනකට ගෙන ගියේය. දුරින් වු ඔහුගේ පීතෲ භූමියට ගෙන ගියේය. රෝස කුසුම දුකින් වියැකී යමින් කුඩා පොතෙහි පිටු අතර සැතපී සිටියාය. කවියා ඔහුගේ නිවසේදී එය විවෘත කර මෙසේ කිවේය "මේ හෝමරයන්ගේ සොහොනෙන් ගෙනා රෝස මල"
මේ රෝසිය දුටු සිහිනයයි.

ඇය නින්දෙන් අවදිව සුළඟේ සැලුනා ය. ඇගේ පෙති අතරින් ගිළිහුණු තුසර බිඳක් කිවියර සොහොන මත රැඳිනි. ඉර නැගිනි. රෝස කුසුම පෙරටත් වඩා සොඳුරු බවින් ආඪ්‍යවුවාය. ඇය ඇයගේ ආසියාවෙහිම සිටියා ය. පිය ගැටෙන හඬ ඇසිනි. ප්‍රංශ අමුත්තන් පැමිණියහ. ඒ සැබවින්ම රෝස කුසුම සිහිනයෙන් දුටුවා මෙන් විය. සංචාරක අමුත්තන් අතර උතුරෙන් පැමිණි කවියෙක් විය. ඔහු රෝස කුසුම නෙලා ගත්තේය. එහි නැවුම් මුව මත හාද්දක් තැවරීය. ඇය වලාවන්ගේ හා උත්තරාලෝකයේ නිවහන වන ඔහුගේ දේශයට ගෙන ගියේය.

කල් සුරැකි සිරුරක් සේ රෝසිය ඔහුගේ ඉලියඩ් හි පිටු අතර වැතිරී සිටියාය. සිහිනයේ සේම ඇය, ඔහු පොත විවර කරන අතර මෙසේ පවසනු ඇසුවාය.

'මේ හෝමරයන්ගේ සොහොනින් ගෙනා රෝස මල'.

හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්


හෂිත/ 19-11-1995

Tuesday, 20 August 2013

ඒක්ලා චලෝ


සියළු ඇත්ත සෑම විටම අවධි තුනක් පසු කරයි. මුලින් එය අවමානයට ලක් කෙරේ, දෙවනුව එය ප්‍රචණ්ඩ එදිරිවාදී කමකට ලක්වෙයි, තෙවනුව එය ස්වයං ප්‍රත්‍යක්ෂ දෙයක් ලෙස පිළිගැනේ- ආතර් ශෝපෙන්හවර්

එකලාව යන්න...
එකලාව යන්න..

කිසිකෙනෙක් නොඅසයි ද
ඔබේ ඇමතුම..

එකලාව යන්න..

බියෙන් ඇඹරෙයි
කෙනෙක්
මුහුණ සඟවා ඔබෙන්..

හා..! අනිටු තැනැත්ත..

ඇර මනස
එකලාව පවසන්න..
ඔවුන් හැරුණත් ඉවත
හැර ගියත් ඔබව
වන-කතර මැද..

හා..! අනිටු තැනැත්ත..

කටු කොහොල් මඬිනු යුතු
පතුල් යට
රුහිරු වැගිරෙන මගෙහි
එකලාව පිය නඟනු..

කෙනෙක්..
එළියක් නොදෙන මුත්
ගෝළු ගත් විට රැයෙහි
කුණාටුව..

හා..! අනිටු තැනැත්ත..

අකුණු එළියක් සදිසි
හද රිදුම
එකලාව ඇවිලෙන්න
ඉඩ දෙන්න..
 
-තාගෝර්-

සුචිත්‍රා මිත්‍ර ගේ හඬින් මේ ගීය.. http://www.youtube.com/watch?v=GB2VfyYIs2U
අමිතාභ් භච්චන් ගේ හඬින්..http://www.youtube.com/watch?v=bR8WLwipB8c

Photo:http://www.sos-arsenic.net/english/tagore.html