Friday, 5 November 2010

පතිනි කාලිය..! [අටුවාව]











මම 'සිංහල දේව පුරාණය' 'මඟදී දුටු දෙමල කතක්' ද නිසා යමක් ලිවීමි. චිරන්ත එය නොතේරෙන බව කියා එවුවේ ය. ඩෝසන් එයට විචාරයක් ලිවුවේය. ලිෂාන් මම චිරන්තට ලියා යැවූ අටුවාව බ්ලොග් එකේ දමන්නැයි කීවේය. තුන්දෙනා ටම පින් දෙමින් එය මෙසේ දමමි.

පතිනි කාලිය..!

කාලිය හා පත්තිනි යනු පරස්පරස්ත්‍රී දෙව සවරූප දෙකකි.

රම්භා සේය වුවනත

[අම්භා රම්භා තිලෝත්තමා යනු රුවින් අගතැන්පත් දේව අප්සරාවන්ය අදත් දෙමල යුවතියන් මේ නම් වලින් නම් කෙරේ]

රතු තිලකයකි නළලත

[රතු තිලකය විසින් කන්‍යා බව, සස්වාමික බව සාම්ප්‍රදායිකව සංකේත වෙනවා සේම සේම ගැහැණියක සතු ශක්ති ස්වරූපය පෙන්වන බව විස්වාස කරමි]

පතිනි සිරිමා වැනිය දෙනුවන

[පත්තිනිය පතිනි සිරිමාවන් යනුවෙන් පත්තිනි හෑල්ලේ හැඳින්වේ]

කාලිය නිදයි හද ගැබ

[කාලිය යනු උමාවගේ පරස්පර විනාශ කාරි දේ ස්වරූපයයි, ඇය මිනී හිසක් හා ලේ පෙරෙන කඩුවක් අත දරා වරදකරුවන් සොයා යයි]

වේදනාවක් දරා අතීතෙක

[වැදූ ගෙයි දුක හා ගර්භනී දුක ස්ත්‍රි සිය ස්වභාවය නිසා උරුම කොට ඇත්තීය, ඉතා ඈත දී මාතෘ දෙවඟන ලෙස ලැබූ මුල්තැන පුරුෂ-මූලික සමාජයක නැතිවි ඇත. ස්ත්‍රි ගේ ඓතිහාසික පරාජය යනු පුරුෂ මූලික සමාජයේ ඇතිවිමයි]

බෝදිලිමාට වුව අමතක

[වැදූ ගෙයි සන්නියෙන් මියගිය කතක් බෝදිලිමා වී ඉපිද පිරිමින් ගේ අංගජාතය කඩා යන බව විස්වාසයකි, බොදිලිමා ගැහැණුන්ට බියැතිය. පිරිමි ශුක්රයෙන් බොදිලිමා ඉවත යැවිය හැකි බව කියවේ. - බෝදිලිමා : මේ ෆ්රොයිඩ් කියන කැස්ට්‍රේෂන් ෆෝබියාවද? ( කේ කේ සමන් කුමාර විසින් කියන ලදී)]

කොයි ගොසින් කොයි යම්ද

සත් සියක් පිරිවරට රැවටුන

[ලංකා ඉතිහාසයේ සමාරම්භක අසාධාරණය ස්ත්‍රියට එරෙහි එකකි. කුවේණිය යන එන මං නැතිව මෙසේ කියූ බව කුවේණි අස්නේ යෙදෙයි. කොයි ගොසින් කොයි යනේ-මේ කුවේණි අස්නේ ආරම්භක පෙළයි]

රත් මල් සුන් බුන්ව විසිරුන

රත් කසී සළු වැතිර වැරහැලිව

[රත් පැහැය ගැහැණිය හා කාමාසාව සංකේතවත් කරයි. රත්මල් විසිර යන්නේ පිරිමින් අතින් තැලුම් කමිනි]

මණ්ඩල මිණි පියුම සුපුල්ලිත

[තන්ත්‍රයානයේ මූලික මන්ත්රයක් වන ඔම් මණි පද්මෙ හුම් විසින් කියැවෙන ස්ත්‍රි නිමිත්ත පිළිබඳ වර්ණනාවයි. එය පිපෙන්නේ අනාගත පරම්පරාවක් ඇති කිරීමටයි]

ඇතුලත් පිටත් ගැට යුත් න්‍යාසය

[න්‍යාසය යනු මැට්‍රික්ස් සේ හැඳින්වෙන ඉතා සංකීර්ණ ගණිත ක්‍රමයයි. එහි ඇතුළතත්, පිටතත් ගැට ඇති විට කෙසේ වත් ලෙහා ගත නොහැකිය, ගර්භාෂය වැවෙන සාරවත් කොටස මැට්‍රිසයකි, එය මාස්ශුද්ධියෙදී ඇද හැලේ. සකල මිනිස්වර්ගයා මැට්‍රිසයෙන් උපදිති. - සනීපාරක්ෂක තුවා වලට නිල්පාට තීන්ත හලන්නේ ඇයි? මුලු ලොවම එය කුණු රතු පැහැයෙන් පෙඟීමට නියමිත බව දන්නා විට-]

මහා පොදු සාධකය

[ස්ත්‍රිය පිරිමි මනසෙහි හා ස්ත්‍රි මනසෙහි මහා පොදු සාධකයයි]

කැටි කළ අන්තරීක්ෂය

[අන්තරීක්ෂ විකිරණය යනු විශ්වයේ අතීතයෙන් පැමිණෙන්නෙකි, එය කැටි වූ තැන් පදාර්ථය ලෙස පවතින බව එක විස්වාසයකි]

ක්වාසාර ස්ඵන්දනය වන

[ක්වාසාර යනු පුපුරා ගිය තාරකාවන් . ඒවා මහා විද්‍යුත් චුම්භක ස්ඵන්ද අජටාකාශයට මුදාහරී. හරියට ස්ත්‍රි සුරතාන්තයක් මෙනි. ක්වාසාරයක් කළු කුහරයක් බවට පත් විය හැකිය]

තාරකා දොරටුවයි

[කාලය හා අවකාශය හරහා යෑමට තාරකා දොරටු සමත්ය. කළුකුහරයක් එබඳු තාරකා දොරටුවක් විය හැකිය]

පතිනි කාලිය දෝලනය වන

[ස්ත්‍රී ස්වරූපය උමා[පත්තිනි] සිට කාලිය දක්වා සැනෙකින් දෝලනය විය හැකිය, එය තාරකා දොරටුවකින් වනවා වැනි විග්‍ර කල නොහැකි, සැබවින් සිදුවන දෙයකි.]

සේයාරුව: ශෝභනා නම් අසාමාන්‍ය භරත නාට්‍ය ශිල්පිනිය විසින් අධ්‍යක්ෂණය කළ මායාරාවන් මුද්‍රානාට්‍යයෙනි. නිරූපණය 'ශෝභනා'

Monday, 1 November 2010

ගිරි දේවී ............!
















බාලගිරි ළමා බයකර
නින්ද නොදී අද අද එන
උරාබොන ලපටි තොල් වල
තහංචියක හීන හෙලන

දළ-ගිරි ගිරි ගිගිරි සලන
සිහබා සීවලී අතර
නඟා මැරු අල පැලකළ
'පූනලුවා' පවුල් සිරිත
සංසාරෙට උරුම කෙරුව

හංසවතී නුවර ඉපිද
විළියෙන් මියගිය කරුමය
අහස උඩබැලූ දවසක
ගිරුවා වැවු තාවුල්ලක
නිලිවස්තර වී ඉඳින්ට

අමතක වූ ඉති-හාසෙක
හෙවනැල්ලක් වී ඉඳින්ට

13-10-2010

Tuesday, 12 October 2010

පතිනි කාලිය..!















රම්භා සේය වුවනත
රතු තිලකයකි නළලත
පතිනි සිරිමා වැනිය දෙනුවන
කාලිය නිදයි හද ගැබ

වේදනාවක් දරා අතීතෙක
බෝදිලිමාට වුව අමතක
කොයි ගොසින් කොයි යම්ද
සත් සියක් පිරිවරට රැවටුන

රත් මල් සුන් බුන්ව විසිරුන
රත් කසී සළු වැතිර වැරහැලිව
මණ්ඩල මිණි පියුම සුපුල්ලිත
ඇතුලත් පිටත් ගැටයුත් න්‍යාසය

මහා පොදු සාධකය
කැටි කළ අන්තරීක්ෂය
ක්වාසාර ස්ඵන්දනය වන
තාරකා දොරටුවයි
පතිනි කාලිය දෝලනය වන



12-10-2010