Monday, 1 November 2010

ගිරි දේවී ............!
















බාලගිරි ළමා බයකර
නින්ද නොදී අද අද එන
උරාබොන ලපටි තොල් වල
තහංචියක හීන හෙලන

දළ-ගිරි ගිරි ගිගිරි සලන
සිහබා සීවලී අතර
නඟා මැරු අල පැලකළ
'පූනලුවා' පවුල් සිරිත
සංසාරෙට උරුම කෙරුව

හංසවතී නුවර ඉපිද
විළියෙන් මියගිය කරුමය
අහස උඩබැලූ දවසක
ගිරුවා වැවු තාවුල්ලක
නිලිවස්තර වී ඉඳින්ට

අමතක වූ ඉති-හාසෙක
හෙවනැල්ලක් වී ඉඳින්ට

13-10-2010

Tuesday, 12 October 2010

පතිනි කාලිය..!















රම්භා සේය වුවනත
රතු තිලකයකි නළලත
පතිනි සිරිමා වැනිය දෙනුවන
කාලිය නිදයි හද ගැබ

වේදනාවක් දරා අතීතෙක
බෝදිලිමාට වුව අමතක
කොයි ගොසින් කොයි යම්ද
සත් සියක් පිරිවරට රැවටුන

රත් මල් සුන් බුන්ව විසිරුන
රත් කසී සළු වැතිර වැරහැලිව
මණ්ඩල මිණි පියුම සුපුල්ලිත
ඇතුලත් පිටත් ගැටයුත් න්‍යාසය

මහා පොදු සාධකය
කැටි කළ අන්තරීක්ෂය
ක්වාසාර ස්ඵන්දනය වන
තාරකා දොරටුවයි
පතිනි කාලිය දෝලනය වන



12-10-2010

Wednesday, 29 September 2010

කම්පනය : 28/09/1990




කම්පනය : 28/09/1990

නුඹව මම දුටුවා..
නුඹ සිනහ මුවේ රුව දුටුවා...
සිත පතුළ කිතියකින් වෙලුණා.....

නුඹ පසෙක රැඳුණු සඳ...
කොහොමදෝ...නුඹ ඉවත හැරුණා......
යළිත්..හිත හඬන්නට හැදුවා.....

සුනිල නෙත් දිය විලේ..
පතුළ කොතැනද....
බලනු හිතුණා....
හොර ඇහින්..ඒ දිහා බැලුවා...
නෙත දිලෙන..තෙතමනය පෙනුණා....
ස්නේහයෙන් පිරී....සිත සැලුණා.....

පුර පසට පෑයු සඳ දුටුවා...
සඳ අසල..තරු කැටක්...දිලුණා....
රාත්රිය සුන්දරයි...දැනුණා....
සිහිනයක..කවි කැකුළු පිපුණා...

මාලතී කැකුළු ..යළි පිපුණා....
සුදු පැහැය..පිණි අතර රැඳුණා....
'කම්පනය'...සියොළඟට දැනුණා....
සෙවණැල්ල සිටියදිත්...
තනිකමක් දැනුණා......!

Monday, 27 September 2010

ටන්කා, තාරා හා මම


















ඕම් මනි පද්මෙ හුම්..!

ආදි මාතාවක, පියුම් මැණිකක කෙරෙහි ගැයෙන මන්ත්‍රය වරක් ඇසුණොත් එය සදාකාලිකව සවනෙහි රැව් දෙයි.

මුල්ම වතාවේ නේපාලයේ ගොස් දැනට දස වසරකි. කිසිදාක විදේසයක පය නොතැබූ මම 2000 දී ත්‍රිභුවන් ගුවන් තොටෙන් 'පර්දේසී' ව නේපාලයට පය තැබිමී.

මේ සිදුහතුන් උපන් බිමයි..!
මේ සිදුහතුන් බිහාරය වෙත නිෂ්ක්‍රමනය සඳහා අත්හළ බිමයි. ..!

නේපාලය ඉතා දුෂ්කරය ඉතා සොඳුරුය. එහි පිළිම බඳු ගැහැණු හා මිනිස්සු වෙසෙති. කත්මණ්ඩු නිම්නය දස වසරක් ඇතුළත බොහෝ වෙනස් වී ඇත. එහි වූ ආරක්ෂක කපොළු අත්හැර දමා ඇත. විදුලිය නිතර මුත් පෙරට වඩා අඩුවෙන් ඇණහිටී.
නේපාලයේ ගමේ කම්මලක හදන අත් පිස්තෝලය ‘කටුවා’ වෙයි, එය ඉන්දියාවේ නැක්සල්වාදීන් අතර ‘කට්ටා’ වී ලංකාවේදී ‘ගල්කටස්’ වීම සංස්කෘතියේ, ජනස්‍රැතියේ හා භාෂාවේ කලාපීය භූගෝලීය ගලනය පිළිබඳ නූතන හා දේශපාලනික නිදසුනකි.

පීටර් එහි නිතර ආගිය කාලයක මම ගෙයක් තනමින් සිටියෙමි. මගේ හීන මම පීටර් හා කීවෙමි. ‘මෙතන බිත්තියේ ගිල්ලුම 'කුවන් යින්' හරි 'තාරා' පිළිමයකට හරි. ‘කුවන් යින්’ නම් වඩා හොඳයි මම ආසයි 'මහා කරුණා දෙවඟන' මගේ ගෙට ගොඩවෙන තැන බලා ඉන්නවා නම්. මේ බිත්තිය ටන්කා [Tangka] චිත්‍රයකට. 'අවලෝකිතේශ්වර' වුනොත් හොඳයි. කුවන් යින් ගේ පිරිමි ස්වරූපය නිසා ඒක මෙතනට ගැලපෙනවා.’

පීටර්, අවසන් වතාවට නේපාලයේ ගොස් පැමිණ මා වෙත බම්බුවක් දිගුකළේය. ‘මේකට ආසද බලන්න... ගෙට ගෙවදින්න කලින් මගෙන් තෑග්ගක්... අපි ඒ කාලේ වෙනකොට එකට වැඩ කරන එකක් නෑ...’

මම එය දිගහැර බැලීමි. එහි වූයේ චෙන්රසී [Chenrazig] හෙවත් අවලෝකිතේශ්වර ගේ තවත් 'මහා කරුණා' ස්වරූපයක ටන්කා සිතුවමකි. පීටර් දුන් ටන්කාව මම ඔහුට පෙන්වූ බිත්තියේ එල්ලීමි.

මගේ මහායාන කතා ඇරඹෙන්නේ කුඩා කල නැරඹූ 'වානර' ටෙලිකතාවෙනි. පසුව එය 'වානරයා' [දෙවන මුද්‍රණය] යනුවෙන් ඒ පී ගුණරත්න කළ, ඔහුටම පමණක් කළ හැකි පරිවර්තනයෙන් හා වු-චෙන්-එන් ගේ එම කතාවේ ආතර් වේල් පරිවර්තනය දක්වා පැමිණියේය. මහගමසේකර 'ප්‍රබුද්ධ' හි තිබ්බතීය මළපොතෙන් කොටසක් බහාලීය. ජයසිරිමින් සුබසිංහ 'තෙවන ඇස' නමින් ස්වබස් කළ 'ලොබ්සාං රම්පාගේ තෙවන ඇස' එම මගෙහි තවත් සටහනකි. සහස් අත් ඇති ‘කුවන් යින්’ අපට හමු වන්නේ ගුණදාස ලියනගේ පරිවර්තනය කළ දැනට මුද්‍රණයේද අප සන්තකයේද නැති මම ඇයට උපන් දිනයකට තෑගි කළ 'මකර රජුගේ දුව' කතා සංග්‍රහයේය.

අනුරාධ ගේ පොඩි බාප්පා 'සේකර අංකල්' පසු ගිය වසරේ අකාලයේ මිය ගිය විට මට මගේ මහායානික මිතුරා අහිමි විය. ඔහු හා මා අතර ඇති වූ 'කිං සච්ච ගවේසී' කතා බහ මා ඩබ් එම් ගුණතිලක හා ගුණපාල ධර්මසිරි කරා යොමු කළේය. ගුණතිලක මහතා බන්සූරිය [බටනලාව] ගෙන වාඩි වූ සෙනසුරාදා දින දෙකක් පේරාදෙණියේ ඔහුගේ විශ්ව විද්‍යාල නිල නිවසෙහි ගතකළ මගේ සංගීත ශ්‍රවණ පරාසය පුළුල් විය. ස්වර හා 'නි ස්වර' අසන හැටි මම එතැනින් උගත්තෙමි. [ගුණතිලක මහතා චින්තා ලක්ෂ්මී සිංහාරච්චි මහත්මියගේ පරිවර්තන සඳහා මහත් සේ උදවු කළ බව ‘මාවතේ ගීතය’ පෙරවදනේ සඳහන් වෙයි]. ගුණතිලක මහතා බිරිඳ රෝහල් ගතකළ පසු නැවැත්වූ තැනින් බටනලාව වැයීම අරඹා පසුදා පහන්වන තුරු ස්වර කිහිපයක් අතර රැඳී සිටියේය. ඔහුගේ බිරිඳ පසුදා මිය ගියාය. ඒ මළ ගෙදරදී කීර්ති අයියාගේ මිතුරෙකු වූ සාහිත්‍ය ඉතිහාස විශාරද මුල්ලපිටියේ කේ එච් ද සිල්වා අභයසිංහ විජයශ්‍රීවර්ධන රාළහාමිගේ පුත් වූ විභාවි විජයශ්‍රීවර්ධන හමුවිය. ඔවුන් දෙදෙනම දැන් අභාවිතය.

ගුණතිලක-ධර්මසිරි පරිවර්තනය කළ ‘තිබ්බතීය මළ පොත’ මගෙන් ඉල්ලා ගෙන ගිය සෙනෙවිරත්න මාමා මිය යන තෙක් ඒ පොත ආපසු නුදුන්නේය. ඔහු සිතාරය හෝ බටනලාව හෝ සමග එක්වූ විට කෑම පවා අමතක කළ මිනිහෙකි. සිද්ධාර්ථ [ගරුසිංහ පෙළ] කියවා ආපසු දුන් ඔහු කිවුවේ නැවත ඒ පොත ඉල්ලා ගැනීමට එන බවය.

මොරටුවේ සාසනරතන, පොල්වත්තේ බුද්ධදත්ත, අත්තුඩාවේ රාහුල, බඹරැන්දේ සිරිසීවලී, බලංගොඩ අනඳමෙත් හිමිවරු ධර්මාභිලාශීව මහායානය පිළිබඳ ලියා තැබූහ. ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට් ගේ 'මකුට මුනිධාරී අවලෝකිතෙශ්වර නාථ ලංකා පුරාණය' පී බී මීගස්කුඹුර විසින් පරිවර්තනය කරන්නට යෙදිනි. ලංකාවක් ගැන සඳහන් වන්නේ ද මහායාන සූත්‍ර අතරෙහි පමණි. සංස්කෘත 'ලංකාවතාර සූත්‍රය' මහා ශූන්‍යතාවය විග්‍රහකරයි.

'හිමාලය' චිත්‍රපටය බටහිර චිත්‍රපට පමණක් බලමින් හුන් මගේ ඇස් වෙනතක හැරවීය. එහි හඬ පථය [sound track] සහිත සංයුක්ත තැටිය භාවනාවකට අඬගසයි. යශෝදරාවගේ ප්‍රශ්නය අසන 'සම්සාර', මෙතෙක් සොයාගත නොහැකි වූ පෝල් පීනා ගේ 'උගුරු කම්පන' ගායනය ගැන වාර්තා වන සම්මානිත 'ජෙන්ගිස් බ්ලුස්' හා, ඊයේ මිළදී ගත් 'මිලාරෙපා' මේ දුෂ්කර කඳුකර සිනමාවේ ප්‍රබල සටහන් වෙති.

මෙහි සයිමා ගැන නොලියා ඉන්නේ කෙසේද. මේ වියමනේ [text] අතරින්, හාත්පසින් හා ඉහළින් සයිමා සිටියි. සංසාර ආරණ්‍යය පුරා උමතු දාර්ශනිකයා වශයෙන්ද, වදනිසුරු ගැදි කවියා වශයෙන්ද, මහායානයික යාත්‍රිකයා වශයෙන්ද සයිමා මගේ සිතුවිලි අතර පිහිනයි. [මට කෙදිනකවත් ඔහු සයිමන් නවගත්තේගම වශයෙන් විධිමත්ව ග්‍රහණය නොවිනි].

පියරත්න මාමා 1992 මහජන බැංකු කැලැන්ඩරයට අනුරාධපුරයේ වෙහෙරගලින් හමුවූ විශිෂ්ට, රාජ ලීලාවෙන් වැඩසිටින අවලෝකිතෙශ්වර රුව යොදා ගත්තේය. පූර්ව දර්ශනයකට ගෙන ආ 4R ප්‍රමාණයේ එක සේයාරුවක් මම ඉල්ලා ගතිමි. අපේ පෙම් සිහිවටන අතර උදාරව මහාකාරුණික අවලෝකිතෙශ්වරයාණෝ වැජඹෙති.

අපේ ගෙදර උන්දෑ ගැබ්බරව උන් සමයෙහි උපදින දරුවාට මහායානික නමක් දීමට මට උවමනා විය. 'මන්ජු ශ්‍රී' හා 'තාරා' නම්දෙක අතර මම මහත් විවාද කළෙමි. අප දෙදෙනාටම බෞද්ධ නමක් උවමනා විය. වාදය නොනැවැත්වින. පේරාදෙණිය රෝහලේ 'පසු සූතික' වාට්ටුවේ ඇඳක් මත මහත් වාද ඇතිවිය. අර්ථ විෂයයෙහි හා ශබ්ද විෂයයෙහි ගැටුම් ඇති විය. කීර්තිභාවශේෂෝපගත පණ්ඩිත කෙනෙකු වූ අපේ උන්දෑ ගේ ‘සීයා’ එහි නොවීම ගැන කඳුලු ඇතිවිය. තර්ක වාද ඉක්මවා හැඟීම් ජය ලැබීය. සුනිල් සරත් පෙරේරා ගේ ගී පද හා අමරදේව-අමිතා හඬ හා මගේ උපන් ගමේ උරුමය ජය ලැබීය.

දියණිය 'තාරා' නොවී විධුර ජාතකය ඇසුරෙන් 'එරන්දතිය' වූවාය. ඉරංදතී නා මෙනෙවිය හා පුර්ණක යක් සෙනෙවියා ගේ පුත් දැඩිමුණ්ඩ, එරන්දතිය ගේ උපන් උරුමය වන 'මොරදන ගෙදර' තිබූ අලුත් කූරු කෝරළය අයිති හතර කෝරළේට අධිපති වෙයි.

මර සෙන්, බෝ මුල්හි බද්ධපර්යංකයෙන් වැඩහුන් සිදුහතුන් වෙත අවි අමෝරා පැමිණි කල්හී සකල දේව මණ්ඩලය හිස්ලූ ලූ අත පැලෑහ. දැඩිමුණ්ඩ තෙමේ සුදු ඇඳුමින් හා රන් දුන්නකින් සැරසී යුදට සුදානම් ව දැඩි ව හුන්හ.

සදෙවු ලොව බලමින
නාලොව තිලොව බලමින
කෙනෙක් නැත සරිලන
වන්ඩ දැඩි යයි නමක් පවසන
[ගල කැප්පූ සැහැල්ල]

අරනායක නාග හා යක් ගෝත්‍රිකයන්ද පසුව අලුත් කූරුවට කුරු යුදයෙන් පරාජිතව ආ ආර්යයන්ද ද නිසා අරනායක වූ බව ප්‍රවාදගතය. එහි ආ දැඩිමුණ්ඩ යකුන් ලවා වේ රැහැනකින් ගලක් ඉරවා දෙවොලක් තනවා 'අලුත් නුවර' පදිංචි විය.

කෙල්ල ගේ නම ඇසූ සිගේරා ‘මේ වෙනකොට පූර්ණකයෙකුත් ඉපදිලා ඇති’ කීවේය. සිගේරා ඉතිහාස සාද කතාවෙහි බුහුටිය

අහම්බෙන් හමු වූ ජර්මානු මිතුරෙකු වන ක්‍රිස් ගේ මිතුරු [ටිබෙට් හි ස්වයං පිටුවහලෙක් වෙන ] ටීයෙන්සින් මා ටන්කා අඳින ගුරු කෙනෙකු වෙත ගෙන ගියේය. මහායාන භාවනාවේ අනුපූරක අංගයක් වන 'ටන්කා චිත්‍ර' වාණිජ කලාවක් වී ඇති අන්දම 'ඒසියන් පේන්ට්' ටින් අතරින් අඩි තබා ගිය මට පසක් විය. කලාකරුවාගේ ප්‍රභාමණ්ඩලය සුණු විසුණු කරන 'ප්‍රාග්ධන යුගයක්' ගැන කීහ මාක්ස් හු.

එක දසුනක්, වචනයක් හෝ වැකියක් සිතිවිලි මාලාවක් ඇතිකරයි. මේ සිතිවිලි ධාරාව නේපාලයේ 'බෞද්ධනාත්' ස්තුපය අසලින් මිළදී ගත් 'හරිත තාරා' ටන්කාව කැබ් රියක අමතක වූ පසු හිත හදා ගැනීමට, වසර ගණනාවක් මහන්සි වී සොයාගත නොහැකිවුව පසුගිය කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී අහම්බෙන් හමුවූ 'සිංහල දේව පුරාණය' [කේ එන් ඕ ධර්මදාස/ එච් එම් තුන්දෙනිය] කියවන විට ඇරඹිනි. කැබ් රියදුරු 'රාජු' ඊයේ උදේ ‘හරිත තාරා’ ව කැටුව මා ගුවන් තොටට හැරලීය. ගෙදර එනවිට රෑ මද්දහන විය. එරික් ඉලයප්ආරච්චි ලියූ 'ඉන්දියාව - ශූන්‍යය සෙවිම' මේසය මත විය. එහි අවසාන ඡෙද දෙක නේපාල කතා වෙති. එය එක හුස්මට කියවා නින්දට ගිය මට හීනෙන් ටන්කා සිත්තම්, මණ්ඩල හා කාල් යුංග් හීනෙන් පෙනිනි.

සුප්‍රභාතයෙහි තිබ්බත හඳුන් කූරක් දල්වා 'ඔම් මනි පද්මේ හුම්' සජ්ජායනයක් වාදනය කළෙමි. ගෙදර උන්දෑ මේක නම් මාරයි කියමින් රැකියාවට ගියාය.

මෙහි නම් සඳහන් සියලු දෙනාද නම් සඳහන් නොවෙන සියලු දෙනාද විමුක්තිය ලබත්වා ....!
මහා ශූන්‍යතාවයෙහි සැරිසරත්වා...!

ඕම් තාරේ තුරෙ තුත්තාරේ ස්වාහා..!


පසු සටහන: ගේ හදාගෙන යන කාලයේ අපේ උන්දෑට තායිවානයට යනු පිණිස අවස්ථාවක් සැලසිනි. 'මොනවද ගේන්නේ?' "මොකුත් එපා 'කුවන් යින්' පිළිමයක් ගේන්න. කීයක් ගියත් කමක් නෑ." බස නොදන්නා භූමියක අතරමං නොවී සැරිසරා ආපසු ආ ඇය පිටමල්ල [backpack] දිගහැරියේ ඉතා ප්‍රවේසමිනි. සීඩර් ලීයෙන් කැපූ පෝතලක මුක්තිදායක කුවන් යින්ගේ අමෘතවාහීනී පිළිමයක් එහි විය. ගෙට ගෙවදින්නට පෙරදින එය මුල් දොර කෙලින් වූ ගිල්ලුමෙහි තැන්පත් කළෙමු. ඕතොමෝ අපේ නිවසේ පදිංචි උන්, එන යන අය හා සතා සීපාවා දෙස මහා කරුණාවෙන් බලා සිටිති.

Monday, 5 July 2010

සිංහ නාදය…..!



වෙසක් ඇවිත් ගොසිනි, පොසොන් ද ගෙවී ඇත.

ඊයේ හවස සුරාජ් ගේ තාත්තාගේ අවුරුද්දේ මතක බණ ඇසීමට දෙමටගොඩ ගියෙමු. බොහෝ කලකට පසුව මිතුරු බස්, කවට කතා හා නරුම දෙඩුම් නිසා සතුටුව ගෙදර පැමිණියෙමු. වෙසක් උදා වන විට මට නිතර මතක් වෙන ගීයක් වෙයි, බී වික්ටර් පෙරේරා ගයන ‘සම්මා සම්බුදු තිලොව තිලක හිමි’ ගීය නිතර නෑසෙයි. එම ගීයෙහි සෝකී අග කොටස 'ගහ කොළ මැළැවී මල් පල වියැළී' ආදී වශයෙන් පිරිනිවන් මංගල්ලය විස්තර කරයි. රේඩියෝ නොඅසන නිසා එය ඉබේ හෝ ඇසීමට ද ඉඩක් නැත.

මට අනුව බොදු ගී අනේක අඬවැඩියාවන්ගෙන්, පුහු වර්ණනාවන්ගෙන් හා අතළොස්සක් වූ ගීතයන්ගෙන් ද යුක්ත වෙයි. යළි යළිත් අසන්නට හිතෙන, ගීයෙහි සරළ පදවැල අසත් අසත් නොසිතූ විරූ අරුත් උපදින බොදු ගී සුදුර්ලබය.

බුදුහූ නිසග, අලෞකික කවියාණ කෙනෙක් වූහ. ඔවුහූ කවි සුත්‍රයක් දේශනා කළෝ එහෙයිනි. ‘කවි සූත්‍රය’ කවියෝ වර්ග හතරක් පෙන්වයි. චින්තා කවි [විඥානවාදී කවියා] සුත කවි [පෙර ඇසූ අයුරින් කවි පබඳින්නා] අත්ත කවි [මනසින් බැහැර පවත්නා වස්තූ රසවත් ලෙස දකින කවියා] පටිභාන කවි [ප්‍රතිභාපූර්ණ විෂය ලෝකයෙහි අලෞකික අරුත් දකින කවියා] යනුවෙන් ඔවුන් වර්ග කළහ, බුදුහු.

මේ වැල්වටාරම් එක ගීයක් නිසාය.

ඉස්සර වෙසක් උදා වන විට අපි තොරණ ගැසීමට සූදානම් වෙමු. උදේනි තොරණ ගැහීමටත් පෙර කැසට් දෙකක් පුරා බොදු ගී පටිගත කර ගනී. තොරණ ඉදිකර නිමවනතෙක් හා ප්‍රදර්ශනය කර නිමවන තෙක් ඒ ගී ඇසෙයි. ටී ෂෙල්ටන් පෙරේරා ගේ ගියක් එහි වෙයි. එහි නොවූ එක් ගීයක් සුදුර්ලබ බොදු ගීයක් වෙයි. ෂෙල්ටන් පෙරේරා තනු යොදා ගයන මේ ගීය බොදු ගීයකැයි දන්නා අය කී දෙනෙක් වෙත්ද?

එගොඩහ යන්නෝ - තව කවුරුද ඉන්නේ
මෙගොඩහ යන්නෝ - තව කවුරුද ඉන්නේ

පමා නොවන්නේ - අඳුර වැටෙන්නේ යනවා
නම් එන්නේ
මම මේ ගඟුලේ - අඟුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා
එගොඩහ යන්නෝ - තව කවුරුද ඉන්නේ
මෙගොඩහ යන්නෝ - තව කවුරුද ඉන්නේ

ගඟුල අනෝමයි අද මට - වෙහෙසයි තව කවුදෝ ඉන්නේ
එගොඩහ යන්නෝ - මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ

එහි අරුත් පහදා ගැනීම ඔබට තබා මම මගේ වැල් වටාරම ලියමි.

මේ ගීය ගැන තහවුරු කර ගැනීමට ගයා සොයා ගත යුතු විය. ගයා කාර්යය බහුල විය. ගිය සෙනසුරාදා ගයා අහුවිය. 'මචං මගේ නිගමනය හරි නේද?' ඔහු එය ස්ථිර කළේය. 'ගැඹුරු අගාධ කියන අර්ථයෙන් තමයි අනෝමයි කියන වචනේ යොදලා තියෙන්නේ, එහෙම සංසාරෙක එගොඩ මෙගොඩ දෙගොඩම ගියේ එක්කෙනයි නෙ බං.' මේ ගීයේ චමත්කාරය මහා සිංහනාද සූත්‍රය සිහිකරයි. උස් මනසින් යුතු වූ තැනැත්තේ පමණක් එබඳු සිංහ නාදයකට සමත් වෙයි.

ගයා ගේ පියා ගී රචකයෙකි. ඔහු වටා බොහෝ කතා ගෙතී ඇත. ඒ කතා කාට වත් හිරිහැර කළ කතා නොවූ බව ගයා ගේ පියාට ගෞරව පිණිස ලියා තබමි. ගයා පහත ඡෙදය සිය පියා සමරා කියනු අසා අපි සළිත වීමු. සිය පියා කෙරෙහි වූ අසමාන ආදරය ගයාගේ හඬෙහි විය. '

වැසිබර සැඳෑවක ම පියාණන්ගේ අතැඟිල්ලෙහි එල්ලී කලබල දෙමටගොඩ නගරය මැදින් ඇවිද ගිය හැටි මට සිහිවේ. බුලත් විටට හුණු යෙදූ ඔහුගේ ඇඟිලි තුඩුවල තැවරී තිබූ සුදු වියළි හුණු පැල්ලම්ද දුම්කොළ කහට වල සුවඳ ද සිහිනයෙන් මෙන් මට තවමත් දැනේ. වැස්සෙන් මා රැක ගන්නට මා හිස මත තැබූ ඔහුගේ අල්ලෙහි බර මට දැනෙන්නේ පිය සෙනෙහස පිළිබඳ ගැඹුරු හැඟුමක් ලෙසිනි.
-ගයා- සසර වසන තුරු [ඩෝල්ටන් අල්විස් : නිර්මාණ නින්නාද]

ෂෙල්ටන් පෙරේරා ද ඩෝල්ටන් අල්විස් ද දෙමටගොඩ විසූහ.

ආශ්‍රිත ලිපි: කවියෙහි ප්‍රතිභාවය -ඩෝල්ටන් අල්විස් -