Thursday, 15 February 2018

විවිධත්වය නම් ඒකාකාරීත්වය






ඉන්දියාවේ පනස් වන නිදහස් සැමරුමට ඒ ආර් රහුමාන් ‘වන්දේ මාතරම්’ නමින් ඇල්බමයක් කළේය. එහි ඉන්දියාවේ නො-නිල ජාතික ගීය ලෙස සැලකෙන ‘වන්දේ මාතරම්’ ගීය හින්දු නොවෙන ජන කොටස් සඳහා ‘මා තුජේ සලාම්’ ලෙස නම්කර පොදු රසික කේන්ද්‍රයක් තැනීමට රහුමාන් ගත් උත්සාහය සාර්ථක එකකි. ඉන්දියාවේ සංගීත විවිධත්වය නිදසුන් සහිතව ශ්‍රව්‍ය-දෘශ්‍ය සංයෝගය ඇතිව කළ ඉදිරිපත් කිරීම් නරඹන නො-ඉන්දියානුවෙකුට එහි අරුත වටහා දීමට සමත් සංගීත සංයෝජනයන් එහි වෙයි.


අප කුඩා කළ ලංකාවේ සංගීතය පැහැදිලිව බෙදී තිබුණි, එහි අවම වශයෙන් ප්‍රබුද්ධ-පීචං ප්‍රභේදය පැවතුනි. වේග රිද්ම නරකයි අඩුවේග රිද්ම හොඳයි යනුවෙන් ගුවන් විදුලිය ආශ්‍රිතව තැනුණු වෙන්කිරීම ජන මනස වෙත සම්ප්‍රේෂණය වී තිබුණි. ඒ නිසා ‘නරක’ වීමට අවශ්‍ය නම් වේග රිද්ම ඇසීම මගින් දෙමාපිය වැඩිහිටියන් හෝ අසල් වැසියන් අසතුටට පත් කිරීමේ හැකියාව තිබුණි.

මෙහි ජනවර්ග අතර විසල් විවිධත්වයක් පැවතුනි. නිදහස උදා වන විට පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලින් පැමිණ සිටි අය ලංකාවෙන් යන්න ගියහ. සිංහලය රාජ්‍යභාෂාව කළ විට මෙහි සිටි යුරේශියානුවන් බොහොම දෙනෙක් සංක්‍රමණය වූහ. ඉන්පසුව ඇති වූ වර්ග වාදී ගැටුම් නිසා විවිධ ජන කණ්ඩායම් වලට අයත් ජනයා පිටස්තර ව ජීවත් වීමට තීරණය කළහ. සංස්කෘතික ගලනය නිසා මයිකල් ඔන්ඩච්චි, අම්බලවානර් සිවානන්දන් සේම ෂෙල්ටන් ප්‍රේමරත්න ද ලංකාවට අහිමි විය. විචිත්‍ර වර්ණයන්ගෙන් යුතු වූ ශ්‍රී ලංකාව වර්ණ හීන වීම නිසා සාහිත්‍යයට, සංගීතයට, තාක්ෂණයට, නවොත්පාදනයට තිබු විසල් විභවයන් වැසී ගිය බවට ඇති වන සාංකාව හා අරගල කිරීමට කොළඹ වීදි දිගේ ඇවිද යන විටෙක සිදුවේ.

දශක තුනකට පෙර ලංකාවේ විසූ, සරපිනාව හා තබ්ලාව හෝ ඩොලැක්කය සමග හින්දි යයි වරදවා වටහා ගත්, උර්දු බසින් ‘කව්වාලි’ ගායනා කළ ඉස්ලාම් භක්තිකයා කොහි සිටීද? ඔහුට වූයේ පොප් ගීය නිසා පොප් නොවෙන සංගීත ප්‍රවර්ගයන්ට අත් වූ ඉරණම නොවේද? වරෙක නිර්මාණශීලී ලෙස දිස් වන ප්‍රවණතාවක් පසු කලෙක හානිකර අයුරින් ක්‍රියාත්මක විය හැකිය. යටත් විජිත සමයේ අප්‍රිකාවට සංක්‍රමණය වූ ඉන්දියානුවන් මේ වන විට ඉන්දියානු හා අප්‍රිකානු සංගීත විධි මිශ්‍ර කරමින් සංගීතයේ ඇෆ්රෝ-ඉන්දියානු උප-ප්‍රවර්ගයක් නිර්මාණය කර ඇත. බ්‍රිතාන්‍යයේ වෙසෙන ඉන්දියානු සම්භවයක් ඇති තල්වින් සිං ආසියානු සංගීතයේ ඉලෙක්ට්‍රොනික ස්වන මාදිලිය හා පර්යේෂණ කරයි. ඔහු මාලි හි චිරප්‍රසිද්ධ ගිටාර් වාදන කරුවා වන අලි ෆර්කා තුරේ ගේ නාද කාව්‍ය ඉලෙක්ට්‍රොනික මාදිලියෙන් ප්‍රති නිෂ්පාදනය කරයි. බහු ස්වන, බහු මාදිලි සංගීතය ලෝක සංස්කෘතියක් තනමින්, එහි දේශීය ප්‍රක්ෂේපණයන් ගේ මානයන් පුළුල් කරමින් ඇත.

ලංකාවේ කණ්ඩායම් සංගීතයේ අනන්‍යතාවය ක්‍රමයෙන් හීන වෙමින් ඉලෙක්ට්‍රොනික උපකරණ අවභාවිතය දක්වා පල්ලම් බැස යන විට හින්දුස්ථානී සංගීතය මත පදනම් වූ ගීතය ද ‘ඇහින්දාස්’ සංගීත සංයෝජන බවට ඌණනය වී ඇත්තේ ඉල්ලුමට-සැපයුම නම් ඇති සරල තර්කනයට නතු වෙමිනි. උදාහරණයක් ලෙස හයි හැට් හෝ එහි අනුපූරක ඔක්ටපෑඩ් හි පුනර්වාදන නිසා ගීයක් පැතලි බවට පත් වීම පෙන්විය හැකිය. ඔක්ටපෑඩ් විසින් සංගීත භාණ්ඩ විවිධත්වයට දායක වන නමුත් එහි භාවිතය මගින් ඒකාකාරිත්වය ඇති කිරීම නිසා  ‘විවිධත්වය නම් එකාකාරීත්වය’ පවතින ආකාරය හඳුනා ගත හැකිය.

ආහාර සංස්කෘතියේ විවිධත්වය ට වරෙක විස්මිත ලෙස ඇතුළු වූ චයිනීස් ෆ්‍රයිඩ් රයිස් (මේ වන විට එහි නම ‘රයිස්’ දක්වා ඌණනය වී ඇත) මේ වන විට එම විවිධත්වය අතුගා දමන වේගයෙන් ප්‍රචාරණය වන විට ‘විවිධත්වය නම් ඒකාකාරිත්වය’ සංස්කෘතියක විවිධ පාර්ශවයන්ට අතරේ පවතින ආකාරය වටහා ගැනීමට උපකාර වෙයි. ජෛව විවිධත්වයේ දී අශ්වයාට ද ගොළුබෙල්ලාට ද ඇත්තේ සම අයිතියකි. සමාජ ගත සංස්කෘතියේ දී මිනිස් යහ පැවැත්ම තහවුරු කරන ‘සංස්කෘතික විවිධත්වය’ අවිධිමත් අන්දමින් ආරක්ෂා කළ යුතුය..