Tuesday, 31 December 2013

සුචරිත සිරිත..!



අභාවිත මහැදුරු ගම්ලත්හු මට දෙවිදියකින් ඇදුරු වෙති. ඒ ඔවුන් සෙවණේ තුන් මසක් ඉන්ගිරිසිය උගත් කෙටි කාලයත්, දිවි හිම් කොට රක්නා ගම්ලත් රචනා මාලාව යළි යළිත් කියවමින් උගන්නා දැයත් දෙකක් කොට සලකමිනි.

දිනක් ඔවුහු මා හා කෙටි වාදයක පැටළුනහ. බොරිස් පස්තෙර්නාහ් ගේ දොස්තර ෂිවාගෝ හි දේශපාලනය ගැන උරණ බසින් යමක් කියූ එතුමෝ සැණෙකින්, 'ඒත් මිනිහගේ කවි ඒවා හරිම ලස්සනයි' ද යනුවෙන් කීහ. මේ ඔවුන් සාහිත්‍යය සේවනය ගැන මට කියා දුන් කෙටි නමුත් විශිෂ්ට ම පාඩමයි. සාහිත්‍යය යනු එහි යෙදෙන්නා විසින් විභාව, අනුභාව, ව්‍යභිචාරභාව රස දැනෙන අයුරින් සංයෝග කිරීම යැයි සිතීමට හා ඒ අනුව සියුම් රසයන් අනුභව කිරීමටද කියා දුන් කෙනෙකි එතුමෝ. ඒ 1994 අගයි. ගම්ලතුන් ගෙන් යමක් නූගත් 80-90 පරම්පරාවෙහි යමෙක්  වී නම් ඒ ධවල කාකයෙක්මැ විය යුතුය.            
   
මම පසු ගිය දින කිහිපය ඔවුන් විසින් සිංහලයට පෙරැළුනු 'නාට්‍යශාස්ත්‍රයේ රසවාදය' ඇසුරෙහි ගත කළෙමි. 1994 රුපියල් 35කට මිළදී ගත් ඒ පොත් පිංච අදටත් අල් පචිනෝ, රොබර්ට් ඩි නීරෝ, ගැරී ඔල්ඩ්මන්, කොලින් ෆර්ත්, බෙන් කම්බර්බැච් ආදී ජීවමාන නලුවන්ගේ රංගන විශිෂ්ටත්වය මැන බැලීමේ මෙවලම ලෙස උපකාරී වෙයි. කථක්, කථකලි, භරත, ඔඩ්ඩිසි ආදී ඉන්දීය නර්තනයන්ගේ සියුම් ඉසියුම් ගුණ විනිවිදීමට ද සංගීතයෙහි මියුරුතම ප්‍රකාශනයන් ස්වීකරණයටද ආධාරක වෙයි. සාහිත්‍ය සේවනයටද න්‍යායක් ඇති බව මෙ ලක ස්ථාපිත කළ දෙවැනියා එතුමෝ වෙති. පළමුවැනියා සරච්චන්ද්‍රයෝය.

සාහිත්‍ය විචාරය විෂයයෙහි මාක්ස්වාදී න්‍යාය සම්ප්‍රදාය යොදාගත හැකි අයුරු සෙවිම ඔහුගේ ජීවිත ව්‍යාපෘතිය වූ සෙයකි. නූතන න්‍යාය ඔවුහු පිළිකෙව් කළහ. සරච්චන්ද්‍රයන් කල්පනාලෝකයෙහි සිරවූ අයුරින් ම අපෝහක භෞතිකයෙහි ම සිරවූ ගම්ලතුන් සරච්චන්ද්‍රයන්ගේ ඊඩිපල් පුතණුවෝය. ඔවුහු අප්පා කළ දේම කළ හ. [අප්පා ද පුතා ද පඬුවස්දෙව් හා සූනියම් ගම්භාර දෙව් මෙන් හෝ ධාතුසේන හා කාශ්‍යප මෙන් ඉතිහාසයේ දෙයාකාරයකින් වැජඹෙති.] භගවතයෙහි එන ක්‍රිෂ්ණ-අර්ජුන උපමාව ගම්ලතුන් අතින් නිතර යෙදෙන්නේ මේ ගැටුම ඔවුහු සංජානනය කළ නිසා හා ඒයට සවිඥානක වූ නිසා බව මට නිතර සිතෙයි.

'මාගේ ශරීරාංගයෝ ලිහිල්ව යෙත්, උගුර කටද වියළෙයි, මගේ සිරුර වෙවුලයි, ලොමුදහ ගනී, මගේ සම දැවේ, සිත භ්‍රමණය වෙයි, මට කෙළින් සිටිය නොහැකිය"-120 සාහිත්‍ය විචාර හා මාක්ස්වාදී විකට රූප- 

යළි ශ්‍රී කෘෂ්ණයන් උපුටා දක්වන ගම්ලත්හු මෙසේ කියවන්නට සළස්වති, - මාගේ යුතුකම ඉටු නොකළහොත් මම සත් පුරුෂයන්ගේ මනස් අවුල් වීමට ඉඩ හරිමින් ලෝකය විනාශ කරනෙක්මි-එම-  
 
ගම්ලත් දිවි විතර වීර කාව්‍යයකි. එය ලියනු පිණිස කවියකු විනා අන් කිසිවෙක් සමත් නොවෙති. සරච්චන්දයෝද, මාක්ස් හුද, ලෙනිනයෝද, ට්‍රොට්ස්කීන් ද, ශේක්ස්පියරයන්ද, ප්ලෙහානොව් හා භරතමුනි ආදිහුද, ශාස්ත්‍රකාමීන්ද, කම්කරුවන්ද, විප්ලවකරුවන්ද, සූත්‍ර පිටකයෝද විටින්විට මුහුණ ඔසවමින් ඔහුගේ මුවින් අප ඇමතූහ. මේ විචිත්‍රත්වය ගෙන හැර පෑම අසීරු කාර්යයකි. සරච්චන්ද්‍රයන් ගේ ගුරු ගුණ සමර [පිය සමර?] ලියූ ගම්ලතුන් මුහුණ පෑ අබග්ගයටම ගම්ලත් ගුණ සමර ලියන තැනැත්තේ මුහුණ පායි. ඉහත අර්ජුන කියූ දේ නැවත මෙනෙහි කළොත්; එය අපස්මාර තත්වයකි. [අපස්මාරය: .. ඇඟ ගැසීම, සුසුම් ලෑම, වෙවුලීම, දිවීම, වැටීම, දාඩිය දැමීම, ගල් ගැසීම, කටින් පෙණ දැමීම, තොල කට ලෙවකෑම ආදී අනුභාවයන්ගෙන් අභිනය කට යුතුයි-28-රසවාදය-ගම්ලත්]

කවියක් පිළිසිඳගත් කවියා අපස්මාර ග්‍රස්ථියකින් පෙළෙයි, ඔහු මාරාන්තික අවසාන චේතනාවකින්, පතුලේ කුමක් වේදැයි හෝ එහි ළඟා වන්නේ කෙසේදැයි නොදැන රචනා ආගාධයට පනී. අපුද්ගලභාවය [සයිකෝසියාව] හා ගුප්ත-අනියතබව [හිස්ටීරියාව] විසින් මායිම් කෙරුණු ආගාධයෙහි පතුලෙහි පතිත වන විට කවියා මිය යයි. ඔහුට මහත් වෙහෙසකින්, ග්‍රස්ථියකින් සොයා ආ ‘පියා ගේ නම ’ ද ‘තමාගේ නම’ ද හමු නොවෙයි. ඒවා කවියේ ඇති ප්‍රමෝදය විසින් අවශෝෂණය කරගනී. එය කවියේ අතිරික්ත වේ. ඔහු විසින් දැරූ 'නිශ්ඵල ප්‍රයත්නය'[waste of effort- හිම බිම-කවබත ‍යසුනරි] කවියක් වී එහි රුව ගුණ වී, එහි රසය වී අපට හමු වෙයි. 

ගම්ලතුනට කළ හැකි ඉහළම ගුරු පූජාව වන්නේ එබඳු කවියක් ලිවීමයි. එරික් ඉලයප්ආරච්චි සුචරිත සිරිත ලියමින් කරන්නේ ඒ ගුරු පූජාවයි. ඔහුට අර්ජුනට මෙන් පෙනෙන්නේ ගිරවා ගේ ඇස පමණකි. අනිත් වට පිටාව ඔහුට අදාළ නොවේ. ඔහුගේ කවිය සංදර්භය හා ප්‍රබන්ධාත්මකව ගැටෙන මුත් එය පුද්ගල වර්ණනාවකින් ඔබ්බට යන්නේ  ද එහි ඇති ප්‍රබන්ධමය ගුණය නිසාය. එරික් ගේ කාව්‍ය ප්‍රබන්ධය කෙබඳුද කිව හොත් එය වීර කාව්‍යයකි. එහි එපික් ගුණය ඔහු ව්‍යූහයේද අන්තර්ගතයේද භාවයේද බහා ලයි. එමගින් ඇති කරන්නේ කරුණ රසයකි. ගම්ලතුන් ගැන අපි දනිමු. ඔහුව හමුව ඇත්තෙමු. ඔහු හා සම්මුති කතාවෙහිද වාදයෙහිද පැටලී ඇත්තෙමු. ඔහු ගැන ඕපාදුප ඒ කණින් අසා මේ කණින් පිට කර ඇත්තෙමු. නමුත් සුචරිත සිරිතෙහි එන සුචරිත යනු ප්‍රබන්ධාත්මක චරිතයකි. එරික් ගේ පරිකල්පන ක්‍රමලේඛයෙහි සටහන් වූ සුචරිත කෙනෙකි. ඔහු සපුරා ප්‍රබන්ධමය නොවන්නේ අපි දැන සිටි සුචරිත ගේ භාව ශේෂයන් ප්‍රබන්ධමය සුචරිත කෙරෙන් අප වෙත ප්‍රක්ෂේපණය කෙරෙන හෙයිනි. 
 
මතු නොව එරික් සුචරිත සිරිතේ ව්‍යූහය සකස් කරන්නේ එපික් රාමුව අනුගමනය කරමිනි. ඔහු පෙරකතාවක්, ආසිරි පැතුමක්, මධ්‍යම කතාවක්, සවිස්තරයක් හා පසුකතාවක් සහිතව සුචරිත කවිය ලියයි. එරික් ගේ කවියේ සර්ගිකා 51කින් යුතු කවිය නූතන කොළඹින් ඇරඹී නූතන කොළඹින් අවසන් වන්නේ කොලඹ ආකාශ රේඛාවේ වෙනස් වීම ගම්ලත් සිරිතේ වෙනස් වීම හා සමපාත කරමිනි. එරික් අපව කැඳවා ගෙන යන සංචාරය 'මහා සංචාරක පචයක්' නොවේ. එය ප්‍රබන්ධගත සංචාරයකි, පේරාදෙණිය, ලන්ඩනය, යාපනය, මරදානේ විකොස කාර්යාලයය ඈ මග සළකුණු ඔස්සේ අප ජීවිතයේ අඩකට වඩා කාලයක් දැන සිටි මහා පුරුෂයෙකු ගැන තමාගේ පෑනෙන් ගිලිහිය හැකි අති රමණීය වදන් සංයෝජන කරන එරික් ගුනසිංහ හා ගුණසිංහ අතර තැනෙක සිය කවි ලකුණ තබයි. ඔහු ආස්වාදය ලබන කාව්‍ය පරිමණ්ඩලයේ සියලු තාක්ෂණය කැටි කරන සමර්ථ කාව්‍යයක් [potent] එරික් අතින් රචනා වන්නේ එහි නිමිත්ත වෙන ගම්ලතුන් ගේ දිවි පෙවෙතේ සමර්ථ භාවය [potent] නිසා බව සතුටින් ලියා තැබිය හැකිය.   

ගම්ලතුනට වැළකිය නොහැකි වූ ධනපති අර්ථක්‍රමය එරික් අතින් වර්ණනා වෙන්නේ කඩදහි අඟුලකිනි,

කඩදහි අඟුලම ඇවිළෙයි ගිනිගෙන-
කෝටි ගණන් පද පාවෙයි දිය මත... යනු කී හෙයින් ද

කව්ද ඒ ඔබ කියූ ජෙමිස් ජොයිස්
පැන්ස තුන ඉල්ලලා ලියුමක් ලියූ ... යනු කී හෙයින් ද

ගුණදස් අප කිවිඳු දුටුව
අව්ව තපින බුදු පිළිමය
පිළිකුලකින් බලා සිටී
පේරාදෙණි කුණපය දෙස  ... යනු කී හෙයින් ද 

කිවිඳු එලියට් ලෙසින
අඳුරු පියගැට නගිමි
රැඳී දොරකඩ මඳක්
අසන්නට ලිය තෙපුල .... යනු කී හෙයින් ද

චාරිං ක්‍රොස් හි පරණ පොත් කඩ පිරුණු මාවත කෙළවර ඇති
ට්‍රැෆල්ගාර් කවි කොළයක
ලියැවිය යුතු කවියක් විය .... යනු කී හෙයින් ද
 
එක බසක් ගෙන දිනූ දේශය
තවත් බසකට උරණ වී ඇත
පැසුණු හිස්වල වුවද සිතුවිලි
කැපී ඉපනැලි ඉතුරු වී ඇත .... යනු කී හෙයින් ද

පැටිපෙළ සමග ඇවිදින්
උක්ගස් බිඳින් ඌරන්
එළවා දැමූ තරුණෝ
තවමත් ඔබට හිතවත් .... යනු කී හෙයින් ද

එයින් නොදැවෙන සිනාවක් විය
නොමළ ලෙස මා ඇදුරු මුව කොණ.... යනු කී හෙයින් ද

එරික් ඉලයප් ආරච්චි අතින් ලියවෙන්නේ ගම්ලතුනට හොබින සිංහ නාදයකි. පින් නැති තැනැත්තවුන්ට [වාසනා ගුණය] එරික්ගේ කවියේ සිංහ නාදය නොඇසේ. 

එරික් අතින් කෙරෙන ඓතිහාසික කාර්යය වන්නේ ගම්ලත් චරිතය කැනනීකරණය කිරීමයි. කැනනීකරණය නොදන්නා කෙනෙකුට සුචරිත සිරිත නොතේරෙනු ඇත. එවිට ගම්ලතුන්ට සිදුවු ලෙස ම හිඟන කවි අඟුල් වලට යට වී කෝටිගණන් පද පාවෙන දියමත විසිරෙන සිය කවි පද දෙස බලා සිටීමට එරික් ට සිදු වෙනු ඇත. එරික් ගේ නිශ්ඵල ප්‍රයත්නයේ අරමුණ එකී ප්‍රයත්නය ම වන හෙයින් ගම්ලතුන් සේම විස්සෝප නොවි සිටීමට එරික් ට හැකි වනු ඇත.

සිය පැදියෙහි අතිරික්ත වන උමතු සතුට, විචක්ෂණ සතුට හා කරුණ රසය කවියා වන තමන්ට ම ගෝචර වන්නේ නම් ගම්ලතුන්ගේ ගුණකීර්ති කදම්භය එහි ඇතුළත් බව තමන්ටම ස්පර්ශ වන්නේ නම් තම කෘතියෙහි තමා මියයන මොහොතේ ඇති වූ ප්‍රසාද චිත්තය යළිත් පහළ වන්නේ නම් ඒ එසේම විය යුතුය.  

Tuesday, 24 December 2013

රුවන් බන්දුජීවට ද්‍රොහොයි කම් කිරීම.. - Betraying Ruwan Bandujeewa



Three poems by Ruwan Bandujeewa - Translated by Hashitha and Sachie

A handful of pop-rice

I poured
Two and a half of
Three bottles Gin..
Into the Kandy Lake.
Rest is for me..

Lake….!
You must be high 
today.

Then
we can
chat..

Remember…?
The moment
When
She first
Threw a
Handful of pop-rice
On your waves…?



Menaka..!

Leaving beneath
A coffee flower wreath
At the foot stands still
Of mighty Utuwan-kanda hill

Mammale my chum
I hear her silent sobs
Menaka..!

To adorn a lock of hair of yours
Decked with a coffee flower wreath…
With a concealed silver hairpin
From a looted bungalow
To behold your charm, Menaka
Seated by the Hingula rivulet
Another day will never come

Leaving beneath
A coffee flower wreath
At the foot stands still
Of mighty Utuwan-kanda hill

Mammale my chum
I hear her silent sobs
Menaka..!

[On this day of seventh of May 1864, at Bogambara death row]



Menik River pees on banks..!
A politician has thrown a party to celebrate him deflowering a hundred girls.
A News item

Hundred breasts two
Divided by two
Hundred women too
The party goes merry too

Menik River happened to pee
On its own banks too..

Stripped a hundred hip belts-brassieres-bead necklaces-ear studs
Sliced the mango while goddess Pattini is still inside
Manamperi also came and had a look, what a hullabaloo is this
The God’s hill got a facial with peacock egg scum

Hundred sore eyes two
Divided by two
Hundred women too
The party goes merry too

Menik River happened to pee
On its own banks too..

රුවන් ගේ කවි කියවූ විට මීට පෙර නොකළ දෑ කිරීමට හිතෙයි. මේ අපි උගේ කවි ඉන්ගිලිසියෙන් කියවූ හැටියයි. 

හෂිත-සචී
  

Saturday, 14 December 2013

මී ළඟ මීවිත..!

මම හෙට නුවර යමි
රුවන් ගේ පොතත් අරගෙන
වැව් දිය ඉවුරු මත
නගන හඬ අස අසා
ජින් කවිය කියවන්න

අනිද්දා පෝය දවසක්
රන් සඳ පෙරා දෙන
රිදී දිය වතල වැව මත
සිහින් දිය ඉරක් මතු වෙයි..!
උල්පැන් ගෙයට යා වෙන
ඇතොවුර ඉතිරි තන්
දෙසීයක් ගැටී රත් වුන
අත් දෙසීයයි-තන් දෙසීයයි
නුවර වැවටත් බැම්මෙ චූ යයි..!

කුණ්ඩලකේසි ගැන
කියා දෙමි එරන්දතියට
වැව් පිටාරය බල බල
සත්තුක කෙනෙක් වූවොත්
දීපිය මන්න පාර ම....!
පූර්ණකයා වුණත්
දැඩිමුණ්ඩයට හසු නොව.

මේනකා අඬපු තැන අර
සරදියා එල්ලු පෝරකේ
අර මහ බිත්තියෙන් ඔබ..!
මැද ඇළ ගලයි මෙතනින්
නුවරක කුණු එකතු කර
ඇසූහු ද නුවරුනි
බෝතල් දෙක හමාරක්
මෙහි ජින් ගැලූ වග
කවියෙක් මෙහි උපන් බව...?

‘මීළඟ මීවිත’ ම
බිබී මත් වෙමි මම
ඊළඟ මීවිතට ..
මිදි රැස් කරන් හනිකට...!

Saturday, 23 November 2013

පත් සිඳුණු වසන්තය [autumn in spring] 2

'මේ විත්තිය රොං එක්ක කිව්වොත් එයා මාව සනසන්න හදාවිද? ගෑණු ළමයි කොහොමටත් ළාමකයි, හොඳටම විස්වාසයි එයා අඬා වැටෙයි, ඊළඟට මං වෙනුවට දුක් වෙන්න ගනී. ඊට හොඳයි නොකියා ඉන්න එක.' මට හිතුණේම මගේ තීරණේ හරි කියලයි.

ඒත් එතකොට ම එයා කාමරේට ආවා. එතකොටත් සූ මුළු කතාවම එයාගෙත් එක්ක කියලා ඉවරයි.

'ඔයා ආයෙමත් මාව අමනාප කළොත් මං කරන්නෙත් අයියා කරපු දේමයි' එයා මට අනතුරු ඇඟෙව්වා, මදිවට තොල් දෙකත් කැටි කරගත්තා. හොඳා! එහෙනම් එයාටත් පුළුවන් තොල් කැටි කරන්න.!

අයියාගේ පියවගත්තු තොල් මතක් වෙලා මට බය හිතුණා.'විහිලුවටවත් එහෙම කියන්න එපා', මම එයාගේ කට වහන්න යනකොට එයා මගේ අත අල්ලලා නැවැත්තුවා.

'අපි ඇවිදින්න යං' එයා කිව්වා. ඒ ගමන්ම ටෙලිග්‍රෑම අරං ඒකෙන් පවන් සලා ගත්තා.
'ගල් කන්දට එහා තියෙන මල් වත්තට යං' මම කිව්වෙ ටිකක් අකමැත්තෙන්.
'බෑ මම එතනට කැමති නෑ, එතන මැලේ වොචර්ව මට අල්ලන්නෑ' එයා නෝක්කඩුවට වගේ ඔලුව අනිත් පැත්තට හරවන ගමන් ටෙලිග්‍රෑම බිම දැම්මා.
'ඔලුව අවුල් කරගන්න එපා' මම කෙඳිරුවා, ටෙලිග්‍රෑම අරන් මගේ සාක්කුවේ දා ගත්තා. 'පිච්ච මල් නිසා මල් වත්ත පැත්තෙ යන එක වැඩිය හොඳයි', මම ඉස්සරහට ගියා.
'ංහාඑයා හිනා වේවී කිව්වා. 'ඔයා කියන ඕන තැනකට'. මම කඩුල්ල වහලා එයා පස්සෙං ගියා.

අල්ලපු ගේක බල්ලෙක් මගෙ ළඟට බුරාගෙන ආවත් පස්සෙ වලිගේ වන වනා ආපහු ගියා.

අපි දෙන්නා පෙළට ඇවිදගෙන ගියා. එයා මාව අතේ දුරින් තියා ගන්න වග බලා ගත්තා. මට එයාව තේරුම් ගන්න අමාරුයි. මොකාට ඒනවද කියලාවත් හිතා ගන්න අමාරුයි.

ආකාසෙ, ගහ කොළ, ගෙවල්, පාරවල්, ඉර එළිය නාලා. වංගු පාරක් එයාගේ හීන්දැරි සරිරේ කන්ද උඩට ගෙනිච්චා. එයාගේ කොට සාය අතරින් පෙනුන කළු පාදජාලා දාපු දෙපය සිනිඳු තාරපාර උඩ නටමින් හැඩ ගමනක් ගියා. 

අපි කනත්ත ගාවට ආවාම එයා එතන එකපාරට නතර වුනා. ඒ කරලා සද්ද නැතුව වැටට හෙත්තු වෙලා ඈත කුරුස පේලියි ඊටත් එපිටින් පෙනෙන සොහොන් ගලුයි දිහාවේ බලාගෙන හිටියා.

මේ වගේ තරුණ කෙල්ලක් මිනී වලවල් ගැන උනන්දු වෙන එක කොයි තරම් අමුතුයිද?

'දැං යං' මම නොඉවසිල්ලෙන් කිව්වා, 'මොනවා කියලා බලන්නද?' එයා හෙලවුණේ වත් නෑ. 'මෙතන වැතිරිලා ඉන්න එක මොනතරම් සාන්තද?' එයාගේ මිහිරි කටහඬින් එකපාරට කිව්වා.

'ඔයා..... ඔයා හිතන්න.........' මගෙම හිතිවිල්ලෙන් මාවම වෙව්ලලා ගියා. මොකක් හරි අසුබ නිමිත්තක් පෙන්නන කළිං එතනින් යන්නයි මට ඕන වුනේ.
'මට වද දෙන්න එපා' එයා කිව්වේ බැගෑපත්ව මිසක් සැරෙන් නෙවෙයි. මගෙ අත එයාගේ සිනිඳු අතින් තදින් අල්ලා ගත්තා.
මම පුදුමෙන් එයා දිහාවේ බැලුවා.

එයාගේ හිත ඇතුළේ මොනව කැරකෙනවද කියලා මට හිතා ගන්න බැරි වුනා!
අපිට කිට්ටුවෙන්ම, සොහොන් ගල් දෙකක් ළඟ මල් වඩම් තිබුණා. එකක් හොඳටම පරවෙලා, අනික අලුත්.
'මේක ඔයාගේ' අලුත් එක දිහාවට ඇඟිල්ල දික් කරලා එයා කිව්වා. 'අරක මගේ' කියලා පර වෙච්ච එක පෙන්නුවා.
'මට තේරෙන්නේ නෑ' මම කිව්වේ එක හිතින්මයි, මට දැනුනා මොකක්දෝ එයාගේ හිතේ තෙරපෙන බව.
'ඔයාට තේරෙන්නෙ නෑ?' එයා මගේ දිහාවට හැරුණේ මහ පණ නැති මන්දස්මිතයකුත් එක්ක. එයා එහෙම හිනා වෙනවා මම මීට කලින් දැකලා නෑ. ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි, එයාට අසනීප ගතියක් තිබුණේත් නෑ. අනික ඒ හිනාව පිළිගන්න අමාරුයි. ඔයින් මෙයින් මට අඬන්න හිතුණා.
'ඔයා කොලොප්පං කරනවා" එයා ඒපාර කැකිරි පලන්න ගත්තා. 'ඔයා වගේ මොළේ තියෙන මසුස්සයෙක් හොඳටම තේරුං ගන්න ඕන.. මගේ අනාගතේ අප්‍රසන්නයි ඒක හරියට අර පරවුණ මල් වගේ' ආපහු එයා පර මල්වඩම පෙන්නුවා.'
'ඔයා අර අළුත් මල්වඩම වගේ, ඔයාගේ අනාගතේ දීප්තිමත්', මල් වඩම් දෙක ගොඩක් කිට්ටුවෙන් තිබුණාට ඒවා එකට නෑනේ - හරියට අපි වගේමයි

මගෙ ඉස්සරහ දීප්තිමත්, මේක සිය වතාවක් විතර අහලා තියෙන කතාවක්. ඒත් මීට කළින් කවදාවත් ඒ කතාව අහපු වෙලාවක මට අඬන්න හිතිලා නෑ.
'ඒක ගැලපෙන කතාවක් නෙවෙයි., මිනිස්සු කවදාවත් මල් වලට ගලපන්න බෑ' මම අමාරුවෙන් හදාගත්තු හිනා මූණක් එක්ක කිව්වෙ එයාව සතුටු කරන්නම නෙවෙයි, මට ඇඬෙයි කියන බයට.
'ඒත් මම මල් වලට ආසයි' එයාට හැම වෙලාවෙම සූදානම් කරපු උත්තරයක් තිබුණා. මට ඒකට උත්තරයක් නෑ.
එයා මල් වලට ආසයි කියපු එක ඇත්ත. එයාගේ කාමරේට ගිය හැම දවසකම මම දැකලා තියෙනවා නානාප්‍රකාර පාට අලුත් මල් පොකුරක් මල් පෝච්චියක තියෙනවා. එතනම බිත්තියේ එයාගේ අම්මාගේ පින්තූරයක් එල්ලලා තිබුණා. උන්දෑ මැදි වයසේ කෙනෙක්.
'තරුණ ගෑණු ළමයෙක් කනත්තක් ගාව මෙහෙම ඉන්න එක මදිවට එබිලාත බලං ඉන්න එක හොඳ මදි නේද?' හිතේ අමාරුව වහගන්න මම හයියෙන් හිනා වුනා.

'ංහා, අපි යමු' එක පාර මගේ අත අතඇරපු එයා කිව්වා.
උයන් දොර ළඟදි අපිට පිච්චමල් සුවඳ හොඳටම දැනුනා.
'හොඳා! ඔයා මගෙත් එක්ක අමනාප නැහැ නේද?' මම බැගෑපත් වුනා.
'මට එහෙම හිතුන්නෑ' එයා හිනා වුනා.

අපි පඩි නැගගෙන මල් වත්තට ගියා. මැලේ වොචර් රතු පැල්ලම් ඒප්‍රන් එකේ අත පිහ දම දම නෙරපු ඇස් ගෙඩි වලින් එයාගේ දිහාවට ඔරවාගෙන හිටියා. මිනිහා තද දුඹුරු පාටයි, රැවුල බරුගහලා දාපු මුඩුම මූණකුත් එක්ක.
'එපා කරපු මිනිහෙක්, මිනිහගේ ඇස් ගෙඩි මගෙ මුණටම නෙරවගෙන ඉන්නහැටි!. අපි මිනිහාව පහු කරගෙන යනකොට එයා කෙඳුරුවා. 'හැමදාම ඔහොම්මයි'.
'ඒ ඔයා ලස්සන හින්දා' මම හිනා වේවී කිව්වා.
'විකාර දොඩවන්න එපා, ඔයත් මාව විහිලුවකට ඇරගෙනද? මට පාඩුවේ ඉන්න දීලා යන්න, ඒක වැඩිය හොඳයි. එයා කේන්ති ගිය බවක් පෙන්නගෙන ඉක්මනට ඇවිදගෙන ගියා.

මං එතන නැවතිලා එයාගේ හීන් සරිරේ දිහාවෙයි යන්තම් බොකුටු වුන කොට කොණ්ඩෙ දිහාවේයි බලාගෙන එයාගේ හැසිරීම ගැන කල්පනා කළා,. මම අසුබ හිතිවිලි වලින් හිත පුරවගන්න ගත්තා.


2 පරිච්ඡෙදය.. ඉතිරි කොටස.

Tuesday, 19 November 2013

පත් සිඳුනු වසන්තය [autumn in spring]: 1


පත් සිඳුනු වසන්තය [autumn in spring]

බා ජින් - 1932

1995 මැද හරියේ විශ්වවිද්‍යාල වසා දැමිනි. මම නම් ශිෂ්‍යයා ඒ කාලයේ කෙටි නවකතාවක් පරිවර්තනය කළේය. දැන් මා සතුව ඉන්ගිරිසි පොත නැති නිසා මෙහි හරි වැරදි බැලීමට නොහැකිය. අපේ ගෙදර උන්දෑ පසුගිය දිනෙක මේ කොළ මිටිය රාක්කයක් තිබී සොයා ගත්තාය.


1.

නංගි ගෙදරින් ටෙලිග්‍රෑමක් එවල තිබුණා. අයියාගේ මරණෙ දන්නලා.

මට කිසිම දෙයක් දැනුනේ නෑ එයාගේ මරණෙ ගැන. මම දන්න තරමින් මිනිහා හොඳ සනීපෙන් හිටියේ. ළඟදි විවාහ ගිවිස ගන්නත් අදහසක් තිබුණා. 

මේක හීනයක් වෙන්න ඇති! මිනිහෙක් මේ තරං ඉක්මණට මැරෙන්නේ කොහොමද? විසේසයෙන්ම කසාද ගිවිසුමට ඔන්න මෙන්න තියලා? මට පුදුම හිතුණා.

මම ඒක ගැන හිතන එක නැවැත්තුවා. මගේ මොකුත් වෙනස් වුනේ නැති හින්දා. ඒ මරණෙ ගැන හිතන්න තරං මොකුත් වෙලා තිබුණේ නෑ.

පහුවෙනිදා තවත් ටෙලිග්‍රෑමක් ආවා, වචන තිස් හතරක් එක්ක. වැඩිපුර විස්තර ඒකේ තිබුණා. අයියා එයාගෙම ගිරිය කපාගෙන දිවි නහගෙන.

මගේ යාලුව සූ අත් වෙවුල වෙවුල ඒක කියෙව්වා.

'ඉතිං මක්කැයි කරන්නේ', මිනිහා ඇහුවා. 'මොකක් කියන්නද? මට තේරෙන්නෑ'. මගේ අතක් මිරිකගෙනම මටම කියා ගත්තා. 'හොඳා! එහෙනං ඒක හිනයක් නෙවෙයි.'

සූ මගේ දිහා බැලුවේ විභ්‍රාන්ත වෙලා. එයාට මාව පේන්න ඇත්තේ ලෝකේ ඉන්න අවාසනාවන්තම මිනිහා හැටියට.

'මොකද මගේ දිහා ඔහොම බලන්නේ?' කියලා අහන්න කලින්ම මිනිහා කාමරෙන් එළියට ලිස්සුවා.

මං සෝපාවේ ඉඳගෙනම බිත්තියේ එල්ලි එල්ලී තිබුණ ජැනට් ගේනර් ගේ පින්තූරේ දිහා බැලුවා. එයා මගේ දිහා හිනා වේගන ඉන්නවා. මේ මෝඩ කෙල්ල ගොඩ කාලයක් තිස්සේ හිනා වුනේ නැතුවයි හිටියේ. මොකැයි අද මේ හදිස්සියේම හිනා වෙන්න තියෙන කාරණේ. මගේ අවාසනාවට හිනා වෙනවද?

එයා සුව සම්මන්න ඡවි කළ්‍යාණයක් තියෙන තඹල කේශියක්. ලා ම ලා නිල් පාට හැට්ටයක් ඇඳගෙන ! ඉතිං මට මෙව්වෑයෙං ඇති පලේ මොකක්ද? එයා නිකම්ම නිරූපිකාවක් විතරයි.

ඒ මදිවට දැං අයියා මැරිලා. 

ජැනට් ගේනර් ගෙන් මගේ ඇස් ගියේ හොඳට සුදු පිරිමැදපු බිත්තිය  දිහාවට, ඒකේ තිතක් වත් නෑ. ඒත් ඒකෙන් අමනාපෙන් කළු වුන මූණක් ටිකෙන් ටික මතු වුනා. ඒ මූණේ විසේසයක් තිබුණේ නෑ. ඒක කාගෙත් වගේ මූණක්. නමුත් ඒක අයියාගේ මූණුවර ගත්තා.

හැබෑටම ඒ අයියාගේ මුණ. එයාගේ සාමාන්‍ය ජීවිතේ කොයි වගේද පෙන්නුම් කරන සාමාන්‍ය තරුණයෙක්ගේ මූණ.

'මම මැරුණා' එයා හදිසියේම කට ඇරියා. 'මම මගේම අත් වලින් බෙල්ල කපා ගත්තා.'

'ඔයාට එහෙම කර නොගන්න තිබුණා.' මම විරුද්ධ වුනා, 'ඒක ඇත්ත වෙන්න බෑ, එහෙමනං ඔයා දැන් මගෙත් එක්ක කතා කරන්නේ?'

'ඒ පිහිය ඒ වේදනාව, අන්තිමට මරණ දුක! කවුරුවත් මයෙ හිතිවිලි දැනං උන්නේ නෑ. කවුරුවත් මගේ ගැන දුක් වුනේ නෑ. එහෙමයි මගෙ පණ කෙළවර වුනේ.' එයා දුකෙන් කිව්වා.

ලොකු කඳුලු ගුළි එයාගෙ ගිලිච්ච ඇස් වලින් ගලා හැලුනා.

'මැරිච්ච කෙනෙකුට කතා කරන්නයි, කඳුලු හලන්නයි පුලුවන්නම් මරණෙත් ඒ තරම් භයානක නෑ. කවුරුත් මැරෙනවා නෙව!' මම දෙගිඩියාවෙන් මටම කියා ගත්තා. කාටවත් ඇහෙන්නෙ නැති තරම් හෙමිහිට.

'මට මැරෙන්න ඕන වුනේ නෑ' එයා තොල් කැටි කර ගත්තා. එයාගේ මූණ අබ පුපුරවන්න පුලුවන්. කට ඉරක් වගේ පියවිලා. ඇස් පුංචියට ඇකිලිලා.

එයාගේ මූණ අවඥාවෙන් බනිසක් වගේ වෙනකම් මමත් ඇස් ලොකු කරගෙන බලං උන්නා.

බිත්තිය ආපහු සුදු පාටයි. ඒකේ අයියාගේ මූණේ කිසිම සළකුණක් තිබුණේ නෑ.

'මොන කෙහෙම්මලක් ද?' මං කියා ගත්තා. 'උඹ දවල් හීන බලනවයි?'

ටෙලිග්‍රෑම තාමත් මේසේ උඩ. වචන තිස් හතරක් තියෙන ටෙලිග්‍රෑම.   


Actress Janet Gaynor was the first winner of the Academy Award for lead actress and the youngest ever to win the award (until Marlee Matlin in 1986). She was born Laura Gainer on October 6, 1906 in Philadelphia. Gaynor had a long career in show business with over sixty film, theater, and television credits from 1924 until 1981.