බොහෝ කලක්
Tuesday, 23 November 2010
14/12/1990
බොහෝ කලක්
1990/11/25
මහජන පුස්තකාලයේ ග්‍රීන් පාත් පැත්තේ ඇති ගම්මාලු ගහ යට අදත් ඉඳගෙන ඉන්නා කෙල්ලගේ හා කොල්ලාගේ කතාවේ දෙවනි දවස.. ................ .................. .....................................
රෑ වට වැස්සෙන්
අහස වසා සිටි
අඳුරු පහැය
සේදී බිම වැටිලා ...
ඉද්ද කැකුළු මත
හීතල පිණි බිඳු
සිනහ නගයි
මොහොතක් රැඳිලා .....
රෑ තුන් යම
නිදි වරන හිතට
යළි
කාංසියක් නැහැ
ඔබ පැමිණිය පසු
කාංසියට සමු දෙමි හැමදාටම
හිස්තැන් නැත
හිත අහලක මින් මතු ....
නිම් වළල්ලටත්
එපිටින් ලෝකෙක
හීන මාළිගා තැනුනු රැයේ
නිම් වළල්ල
හිත යටින් පනින්නේ
ඔබගේ ලෝකෙට
දුරක් තියේ ......
ඉරහඳ තරු නැති
එළිය බිඳක් නැති
කළුවර තුන් යම
එකලු වුනාවේ ......
සිතිජ ඉමේ රත් වළා අතර හිඳ
අපේ හිනහ හඬ හිනා වුනාවේ
Saturday, 13 November 2010
11/13
Thursday, 11 November 2010
තිස්ස අබේසේකරගේ සුනිල් ආරියරත්න
අයාලේ ගිය සිතක සටහන් යනු යළි යළිත් කියවිය හැකි පොතකි. තිස්ස අබේසේකර සතුව තිබූ වදන් සපුව එහි පුරා වැතිරී ඇත. ඔහු එහි ලිපි පහක්ම වෙන් කරන්නේ 'උබබස්ලකර' නම් වූ සිංහල කාව්‍ය උපක්‍රමය සඳහායි. උබබස් ලකර යනු උභය භාෂා අලංකාරයයි. සිදතෙහි 'උබබස්ලකර' පහදා ඇති අයුරු මෙසේය.
'උතුරු පසුතුරු දෙන-දෙදෙනෙකු වදන් පිරියතැ
උත්තර ප්‍රත්‍යුත්තර දෙමින් සංවාදයෙහි යෙදෙන දෙදෙනෙකු එහි අවසන යම් අරුතක් මතු කිරීමේ කාව්‍ය සිරිත වූ කල එය 'උබබස්ලකර' නොහොත් ‘උභයභාෂාලංකාරය' වන්නේය [අයාලේ ගිය සිතක සටහන් - 182]
නූතන ගීත සාහිත්‍යය [අමරසේකර පිළිකෙවු කරන] උබබස් ලකරෙහි තෝතැන්නකි [තෝතැන්න යනු ජල සම්පාදනය හා ජලය රඳවා ගැනීම සඳහා ගසක් වටා තැනූරවුම් බිම්කඩයි]. තිස්ස සිය ලිපි මාලාව පුරාම ආනන්ද සමරකෝන් ගීතයෙහි ලා යොදාගන්නා ලද උබබස්ලකර පිළිබඳ මහත් අභිරුචියකින් ලියා දක්වයි. ‘පෑදි දිය’ වන් ගීත අතීතයක් තිබූ සුනිල් ආරියරත්නගේ එක ගීයක් අජන්තා රණසිංහ, කුලරත්න ආරියවංශ වැනි සමකාලීනයින් අතරින් කැපී පෙනෙන්නේ ඇයි?
අඹ ගස් යට මල් හැලිලා - සුවඳේ බැරුවා ඉඳින්ට
ඒ අඹ මල් සුවඳ දිගේ - වන බඹරෝ රොනට එන්න
මගෙ බඹරිය කැලේ දමා- එන්නට බෑ අඹ වනයට
මුසා බසින් මා නොතලා - එන්න සුවඳ මල් හෙවනට
බඹරු නැද්ද අඹ වනයේ - ඔබේ හිතට ගතට ඔබින
අන් බඹරුන් ඕනෑ නෑ - ඔබයි මගේ පැතුම් විමන
1980 හරියේ දිනෙක ගුවන් විදුලියේ 'හඳමාමා' වැඩසටහනට සහභාගී වූ සිඟිති දැරියක මේ ගීය ගයනු මුල් වරට ඇසීමි. හඳ නැන්දා 'දුව කැමතිම සින්දුවක් කියන්න' කී විට දැරිය මේ ගීය ගැයුවාය. ඇගේ සිඟිති කටහඬ අද ද මේ ගීය අසන විට මතකයේ ඇසේ. වැඩිහිටි ගීයක් වූ මෙහි දරුවෙකු පවා ඇද බැඳ තබා ගන්නා ගුණය එහි විශිෂ්ට බව පෙන්වයි. ඇය අපේ ගෙදර උන්දෑගේ කිට්ටු මිතුරියකි.
සුනිල් ආරියරත්නට මෙහි දී හසු වන්නේ ඊට දශක දෙකකට පෙර අමතකවූ සරළ, සුගම, මටසිලිටි කවි වහරක මාධූර්යයි. එහිලා ඔහු කිසිවෙකුගෙන් ණයට නොගනී. උපමා රූපක ආදිය හිලවු නොකරයි. කිසිවෙකු බඹරාට හෝ බඹරියට නොහන්දවයි. ආමන්ත්‍රණයන්ගේ විචිත්‍රත්වය විනා වෙනත් වසඟකාරී යෙදුම් නොමැති මේ ගීය අසන මගේ සිතේ ඇතිවෙන්නේ අමන්දානන්දයකි. මෙබඳු තාවකාලික භින්නෝන්මාදයකට පත් වූ රචකයා කෙරෙහි සියුම් ඉරිසියාවක් ඇතිවෙන්නේ නිතැතිනි. වික්ටර් ගේ තනුවත් ඔහු හා නිර්මලා රණතුංග ගේ ප්‍රමෝදයෙන් උතුරා යන ගායනාවනුත් නිසා යළි යළිත් ඇසීමේ ආසාව ඇති කරන 'පෑදි දිය' වන් සෙඳිරියාවකින් පිරි මේ ගීය වික්ටර් ගේ සංගීත ආනුභාවයට දෙස් දෙයි.
ගෙත්තමක සෑම නූල් පටක්ම රටාව බිහි කිරීමට වහල් විය යුතු සේ ම, ඉන් බැහැර කිසි දෙයක් ඇතුළු කිරීම රටාව බිඳිමින් ගෙත්තම ලිහිල් කොට අවසාන ප්‍රතිඵලය අභිප්‍රේත අරමුණට අනුචිත කරන්නාක් සේ ම කාව්‍ය රචනාවක ද සෑම අංගයක් ම එහි ව්‍යුහයට දායක විය යුතු අතර අනවශ්‍ය කොටස් ඇතුළු කිරීම ව්‍යුහය දුබල කරයි [පරණවිතාන, සීගිරි ගී - වෙළුම 1, 271 පිට]. මේ ඉහත ගීයේ ඝටනාව අවබෝධ කර ගැනීමට පසුවදනක් සේම කවි ලිවීමට තැත් කරන මට දුන් උපදෙසකි.