(මේ පරිවර්තනය ගඟ පැත්තෙන් මහා සද්දයක් ඇහුනු කට්ටියට පිදේ!)
-සිංහලට දැම්මේ හෂිත අබේවර්දන-
හොඳා, මට බරම්පුර් වල රස්සාවක් හම්බුනේ නැති
වෙලාවේ, අපි දවස් දෙකක් තිස්සේ හාමත් වෙලා ඉන්නකොට, මගේ සාක්කුවේ පයිසා පනහේ
කාසියක් විතරක් ඉතුරු වෙලා තියෙන අල්ලපනල්ලේ, මම මගේ ගෙදර උන්දෑගෙන් මෙහෙම ඇහුවා:
“අඩුම ගානේ අද දවල්ට කන්ට ආටා ටිකක් හරි තියේද?”
“හ්ම්, චපාති හතරකට විතරක් ඇතිවෙන්න තියෙනවා.”
‘එහෙනම් ඒක හරි.’
‘ඒ කොහොමද?’ ඒ ඇත්ති ඇහුවා.
මම මගේ සාක්කුවෙන් පයිසා පනහේ කාසිය ඇන්න උන්දැගේ අතට දීලා හිට මෙහෙම
කිව්වා: ‘එළවලු කඩේට ගිහිං හිට, වම්බටු ටිකක් ඇන්න වරෙන්. උඹට හොඳ රහට බටු
කුරුමාවක් හදන්ට පුලුහන් කියලා මම දන්නවා නෙව.’
‘දවල් කෑම හරි, එතකොට රෑට කන්නේ අහවල් දෙයක්ද?’ එවුන්දෑ බයක්
හැකක් නැතුව කියව්වා.
‘උඹ ඒවා ගැන හිතන්නෙං කාරි නෑ, මගේ ආලවඩන හාන්නැහේ. උඩ දිවිය ලෝකේ ඉන්න ඇත්තාම
ඒක බලා ගනියි.’
එතකොට හුණු බදාමෙන් හදාපු ටාජ් මහල් රූපේ ඉදිකරලා තියෙන ඇබිත්තන් විදුරු
පෙට්ටිය මගේ ඇහැට වැටුනා. මම මේක අපේ උන්දැට ඇන්න දුන්නේ අපි දීග කන්න පටන් ගත්ත
මුල්ම දොහේ. මම මේක ගත්තේ අග්‍රා ගියාපු වෙලාවේ ටාජ් මහලේ බැලුවයින් පස්සේ. ආලවන්තකම
කියන්නේ මහ අමුතුම, කාටවත් කියාගන්න බැරි එකක්, දීග කන්න
ගත්ත මුල්ම දවස්සොල ඒක හරිම මෙව්වා එකක්. මේ රුපියල් විස්සේ තෑග්ග දුන්නහම අපේ
උන්දැගේ කම්මුල් දෙකේ පිරිච්ච රෝස පාටක් ඇල්ලුවා නෙව. එත් දැන් ඉතිං මේකවත් විකුනලා
කීයක් හරි හොයා ගන්න වෙනවා කියලා හිත හදාගෙන
ඒක දිහා බලද්දිං, අපේ උන්දැගේ මූණට මහ අලුපාට කළුවක් පාත් වුනා.
උන්දැ කුපිත වෙලා, බයෙන්, කර කියා
ගන්න දෙයක් නැතුව, ‘ නෑ, නෑ, මම ඔහෙට ඒක විකුණන්ට දෙන්නේ නෑ, ඕක නිමිත්තක්, ඕක තමා මගේ
සුවාමියා පණපිටින් ඉන්න එකට තියෙන නිමිත්ත.’
මම එවුන්දගේ කේන්තිය බාල කරන්න මෙහෙම කිව්වා. ‘හරි හරි, අපි ඒක
විකුනන්නේ නෑ. අපි ඒ වෙනුවට වෙන මක්ක හරි විකුනමු. එතකොට උඩ ඉන්න ඇත්තා අපිට කරුණා
දිවැස් වදාරයි. හැබැයි, දැන් කඩේ ගිහින් වම්බටු ටිකක් ඇන්න වරකෝ.
මම මෙතන සුදහ ගින්නේ මැරෙන්න තනනවා නෙව.’
උන්දැ කඩේ ගිහින් අලි කළු බටු ගෙඩි ටිකක් ඇන්න ඇවිත්, කුස්සියට
ගිහිං එව්වා කපන්න ගත්තා. උන්දැ පලවෙනි ගෙඩිය දෙකට පලු ගහන ගමන් හදිස්සියේ ම
නැවතුනා - පිහිය ඔලුවට උඩින් උරුක්කරගෙන හිටං.
‘මොකෑ බොල?’ මම ඇහුවා.
‘මේ බලහල්ලා, බටු ගෙඩියේ ඇතුලේ ලියවිලා තියෙන එක.’
මම බටු ගෙඩිය හොඳට බැලුවා.
බටු ගෙඩිය ඇතුලේ ඇට ටික ‘අල්ලා’ කියලා කියවෙන්න අරාබි අකුරෙන් හැදිලා
තිබ්බා.
මම ඒ කාලේ පදිංචි වෙලා හිටියේ මෝහල්ලා පුරිබාන් වල නෙව, ඒක හැම
ජාතියම කලවං වෙච්ච දිහාවක් නෙව. බාගෙකට වැඩිය අපි වාගේ හින්දුවෝ. අනික් බාගේ
වැඩියෙම්ම මුසල්මානුවෝ. තැන තැන ක්‍රිස්තියානි ආගමේ ඈයොත් ඉහිරිලා හිටියා. වම්බොට්ටේ
‘අල්ලා’ හිටිය ආරංචිය මෝහල්ලා හැම තැනම ලැව්ගින්න
වාගේ පැතිරිලා ගියා, හැම පැත්තෙම්ම මිනිස්සු නඩ-නඩ ආවා දේව හාස්කම දැක බලා ගන්න.
හින්දු ක්‍රිස්තියානි කවුරුවත් ඒක හාස්කමක් කියලා මායිමකට ගත්තේ නෑ, හැබැයි
මුස්ලිම් ඈයෝ එහෙම පිටිම්ම ඒක බාර ගත්තා. හජ්ජි අච්චන් මහත්තයා රුපියල් පහකින් පලවෙනි සම්මාදම
දුන්නේ කටයටින් මොකක්දෝ එකක් මතුරන අස්සෙමයි.
මේ හාස්කමේ සුද්දවන්තකමයි ඒක ආරස්සා කරන්නයි ඕන හින්දා මම ටාජ්මහලෙ එලියට
ඇන්න බටු පලුව වීදුරු පෙට්ටියේ දැම්මා. සම්‍යක්දෘෂ්ටිවන්තයෙක් ඒක යටින් කොළ
රෙද්දක් එලුවා, ඉතිං ඔන්න අපේ මුන්නන් මහත්තයා ඇවිදින් කුරානේ කියවන්න ගත්තා. ළඟ
අහල-පහල දිහාවල් වලින් මුස්ලිම් ඈයෝ - සමස්තිපුරේ හිට මෙමොනාපුරේ වෙනකම්, තව
බයිජ්වාඩා හිට කාමනගර් වෙනකම්, සයිලන්
මියන් හන්දියේ හිටං මෝහල්ලා කොතියාරන් වෙනකම් - මේ හාස්කම දැකබලා ගන්න නඩ හැදිලා ආවා.
එකෙක් මෙහෙම කිව්වා : ‘බලාපියව් අපේ ආගම මිත්යාදෘස්ටිකයින්ගේ ගෙවල්ලොලත්
පැහිලා පල දෙන හැටි’
අනිකා මෙහෙම කිව්වා : ‘මේක අල්ලා ගේ කැමැත්ත, මේක මේ
මිත්යාදෘස්ටිකයින්ට දොස් කටින එක ගැන දැනුං දෙන හැටි.’
සම්මාදන් ගලාගෙන එන්න ගත්තා. පලවෙනි සති දෙකේ මට රුපියක් හත්දාහකට වැඩිය
එකතු වුනා. මං ඒකෙන් රුපියල් තුන්සීයක් පැය විසිහතර තිස්සෙම හෂිශ් ගහලා දේව හාස්කම
ආරස්සා කරපු සෙයින් කරම් ශාහ ට දුන්නා. දවස් විස්සකට පස්සෙන් පහු සෙනග තුනී වෙන්න
ගත්තා.
ඔන්න එක දොහක රෑ සෙයින් කරම් ශාහ අබිං සැරට උඩුකුරුඤ්ඤං ගහලා ඉන්න අස්සේ මම
බටු පලුව ඇන්න, ඒක ඩිංගක් හරවලා හිට අපේ උන්දැ ළඟට ඇන්න ගිහිං පෙන්නුවා. ‘මේං
බලාපං, දැන් මොකද්ද පෙන්නේ?’ මං උන්දැගෙන් ඇහුවා.
උන්දැගේ අත කටට ගියා. ඇස්දෙක මහ පුදුමෙන් ලොඬි වුනා. ඒකි
පුදුමෙන් කෑගැහුවා, ‘හරේ රාමා!’ මේ බලපල්ලකො, අරාබි
අල්ලා කොහොමද දේවනාගරී ඕම් අක්සරේ වුනේ. මේක නම් ඇස්පනාපිට වෙච්ච මහාබල හාස්කමක්
නෙවද.’
මං එදාම රෑ පණ්ඩිත රාම දයාල් ගේ දොරට තට්ටු කරලා උන්නැහේව ඇහැරවා ගෙන
ඇවිල්ලා හිට - දැන් ඩිංගක් වෙනස් කරලා තියලා තියන බටු පලුව පෙන්නුවා
‘හරේ රාමා! හරේ ක්‍රිෂ්ණා! මේ ඕම්, අපේ ඕම්. මෙච්චර දවසක් මේ තම්බි අපිව රවට්ටලා
නෙව.”
සෙයින් කරම් ශාහව ඒකගේ තුන්කුදු ඇනගත්ත නින්දෙන් කීද්දුවා. ඒකා රාම් දයාල්
දිහාවේ රතු වෙච්ච ඇස් දෙකෙං බැලුවා. ‘තොලොංචි
වෙලා පල, මිත්යාදෘස්ටිකයා, තොපි අපේ ධර්මය අපිරිසිදු කරා. අපේ ඕම් තොපේ අල්ලා එක්ක
නිනව්වක් නැතුව මුහු කරලා. පල යන්ට.’ ඒකාව ගෙයින් දොට්ට විසි කෙරුව රාම් දයාල් ආන්න
එහෙමයි කිව්වේ.
ටවුමේ හිටිය හින්දුවොන්ට තන්තෝසේ බැරුව ගියා බටු ඇට රූපේ හැබෑවටම තියෙන්නේ
ඕම් කියලා මිසක අල්ලා කියලා නෙවෙයි කියලා දැනගත්තට පස්සේ. පණ්ඩිත රාම් දයාල් මේ
සිද්ද වෙච්ච එකේ බලේ එහෙම පිටිම්ම තමන්ගේ අතට ගත්තා. හැමදාම බටු පලුව ඉස්සරහ පිට දවල්
රෑ දෙකේම පාන් පූජා තියන්න ගත්තා. කිර්තන්,
බජන් කිව්වා, සල්ලි වලින්, රෙදි පෙරෙදි වලින් වෙන එකක් තියා ඔන්න ආබරණ වලින් හිට මහාසාර
පුජා තියන්න ගත්තා. මම ඒ පූජා වලින් පහෙන් පංගුවක් පණ්ඩිතයන්ට දුන්නා. මහන්සි වෙලා
වැඩකරන ඇත්තන්ට හොඳට සැළකෙන්න ඕන. මම සාදාරණේ, දුකට දුප්පත්කමට වැටිච්ච
මිනිස්සුන්ට උදව් පදව් කරන එක විස්සාස කරන මිනිහෙක්.
දැන් ඉති සාමි ලා ගුරු ජි ලා එක එක
ආචාරීන් ලා එක එක දිහා වලින් ආවා නෙව. අල්ලා, ඕම් වෙච්ච එක හැටියකට තම්බින්ව
පරද්දපු, පානිපත් වල කියලා තියෙන යුද්ද තුනම දිනපු බටු පලුව බැහැ
දැකලා යන්න. අපේ දර්මයේ තියෙන ශ්‍රේෂ්ට කම ගැන කතා කරන දේසනා ටවුමේ කීයක් නං තිබ්බද
මන්දා. ටික ටික මෙහෙ තිබිච්ච හිතවත්කම ඇඹුල් වෙලා යන්න ගත්තා, අවිස්සාසෙට, හිත
ගැස්මකට.
හින්දුවෝ කිව්වා, ‘සත්තකින්ම මේ ඕම්.’
මුසල්මානුවෝ කිවවා, ‘කුක්කුච්චයක් නැතුවම මේ අල්ලා.’
‘ඕම්.’
‘අල්ලා.’
‘හරි ඕම් තත් සත්.’
‘අල්ලා හු අක්බර්.’
ඊ ළඟ මාසේ මම සුද්ද ලාබේ විදිහට සම්මාදම් දේව පූජා වලින් රුපියල්ම විසිපන්දාහක්
සාර සුබාවට නෙලා ගත්තා.
එතකොට මේ හාස්කම ගැන තිබිච්ච උනන්දුව ටික ටික ඇකිලා මැකිලා යමින් තිබ්බේ. ඉතින් මේ දේව උනන්දුව දිගටම
අවුස්සලා තියාගන්න මට වෙන හැටියක් කල්පනා කරන්න වුනා.
දවසක් රෑ රාම් දයාල් හොඳටම බුදියගෙන ඉන්නකොට මම අපේ උන්දැට කතා කරලා මෙහෙම
කිව්වා, ‘යෝදියේ බටු පලුව බලපන්. ඒකේ ලියලා තියෙන්නේ මොකද්ද?’
‘ඕම්. මේ තියෙන්නේ හොඳට 'ඕම්'.’
මම ඉතිං ඕම් ඩිංගක් හරෝලා, ඇබින්දක් මහන්සි
වෙලා බටු ඇට ඩිංගක් එහා මෙහා කරලා ආයේ ඇහුවා,
‘එහෙනං දැන් මොකද්ද පෙන්නේ?’
‘මගේ දෙයියනේ,’ අපේ හාන්නැහේ පුදුමෙන් ඉහ අත බදාගත්තා.’මේ කුරුසයක්, ක්‍රිස්තු
ගේ කුරුසේ! ඔහේ කොහොමද මේක කෙරුවේ?’
මම මගේ කටට ඇඟිල්ල තියලා මෙහෙම කිව්වා, ‘අඩී කට වගහෙන හිටු, හෙට ඉරිදා.
මම ගිහින් දුරන්ද පියාව මුණගැහිලා එන්නං.’
ඊට පස්සෙන්දා දුරන්ද පියා තව ක්‍රිස්තියානි එකොළොස් දෙනෙක් එක්ක ඇවිල්ලා බටු
පලුවේ කුරුසිය දැකබලා ගත්තා. උන්නැහේලා මේ විපිරියාස හාස්කම හින්දා බිරන්තට්ටු
වෙලා ගියා. ඔක්කොමලා කුරුසේ ඇඳගෙන ගීතිකා කියන්න ගත්තා.
ටවුමේ හිටිය ඔක්කොම ක්‍රිස්තියානුවෝ මේ හාස්කම දැකබලා ගන්න සූරී කෑවා.
උනන්දුවයි ගැස්මයි දෙකම ඇවිස්සුනා. හින්දුවෝ කිව්වා ඒක ඕම් තමයි කියලා. මුසල්මානුවන්ට මේක අල්ලාහ් ම
තමා. ක්‍රිස්තියානුවෝ විස්වාස කරේම ඒ සුද්ද කුරුසේ කියලා.
ගල් ගහ ගත්ත ඒවා, පිහි ඇන ගත්ත ඒවා අන්තිමටම මිනී මැරුම්.
සමස්තිපුරේ හින්දුවෝ දෙන්නෙක් මරලා දැම්මා. සුරන්ජපුරේ තම්බි තුන්දෙනෙකුට මැරෙන්න
ම වැඩේ කරලා තිබුණා. ටවුමේ හන්දියේ ක්‍රිස්තියානි හාදයෙක් පිහි ඇනුම් කෑවා.
පොලිසිය මාව අත් අඩංගුවට ගන්න තීන්දු කෙරුවා.
හැබැයි වැඩේ වෙන්න කලින් මට ඒක ඉව වැටුනා නෙව. මම බටු පලුව කාණුවට වීසි
කරලා මගේ හරුබස්ස පොදි බැඳගෙන බොම්බායට ආවා නෙව. ඒ හාස්කම් හින්දා මගේ ළඟ එකතුවෙලා
තිබිච්ච සල්ලි වලින් මේ ටැක්සිය ඇරගෙන ඒක දුවන්න ගත්තා නෙව.
මම මගේ කතාව කියලා ඉවර වෙලා හිට මගේ වීදුරුව බොන තිප්පලේ බාර් තට්ටුවෙන්
උස්සලා ඇන්න එක උගුරට හලාගෙන ඉවර කෙරුවා.
ඒ අස්සේ හදිස්සියේ මගේ ඇහැට වැටුනේ වීදුරුවේ අඩියේ තිබ්බ අමුතු වතුර
පැල්ලමක් දිහාවට. මම මාත් එක්ක ටැක්සි දක්කන අනික් හාදයා මුම්මද්භායි මෙහෙම කිව්වා,
‘අඩේ, මුම්මද්භායි. මේ බලහන්කො, මේ වීදුරු
අඩියේ තියෙන හැඩේ බලාපන්කෝ. ඒක ඕම් අක්සරේ වගේ නෙවෙයිද අඩේ?’
මුම්මද්භායි ඒක දිහාවේ බැලුවා, මගේ දිහා
බැලුවා, ඊට පස්සේ මගේ පිටට හෙණ පාරක් පතබාලා මෙහෙම කිව්වා නෙව, ‘අඩෝ!- මේක ගොඩේ
බයියෝ ඉන්න බරම්පුරේ නෙවෙයි අරිද! මේක බොම්බාය.
මෙහෙ ඔය එකෙක්වත් නෑ. මේ ඕම් නෑ, අල්ලා නෑ, කුරුසෙත් නෑ. මෙහෙ තියෙන්නේ රුපියල්
විතරයි. මෙහෙ සල්ලි මිසක් මොකුත් වැඩක් නෑ අරිද, ඒ හින්දා
මෙතන තෙපර බබා ඉන්නේ නැතුව රෑ ශිෆ්ට් එකෙන් කීයක් ගොඩ දා ගන්න යමං.
මිනිහා බාර් කවුන්ටරේ තිබ්බ අමුතු හැඩේ අතෙන් එක විඩේට පිහිදලා මාව බාර්
එකෙන් එලියට ඇදගෙන ආවා.
(හින්දියෙන් ඉංගිරිසියට දැම්මේ ජායි රතන්)
* පානිපත් යනු අවකන් - හින්දු යුද්ධයකි - 1761 සිදුවූ බවක් කියවේ